කාලය ගෙවී ගියේ බොහෝ දේ වෙනස් කරමින්ය. නිහඬව ගෙවී යන ඒ කාලයට අවනතව හසරාගේ ජීවිතයේ බොහෝ වෙනස්කම් සිදු වෙමින් තිබුණි. කාලය මහ පුදුමාකාර එකක්යැයි ඇයට සිතුනේ එනිසාය. යළිත් ඇගේ බැංකු ගිණුම් මුදල්මය වටිනාකමින් පිරෙන්නට විය. එහෙත් ඕ ඒවා වෙනදා මෙන් තමාගේ සුඛ විහරණය සඳහා පමණක් නොව බොහෝ දෙනකුගේ ජීවිත නගා සිටුවනු වස් වෙන් කළාය. ඒ තුළ මහත් සතුටක් ඕ අත්විඳිමින් උන්නාය.
ඉඳ හිට ධනංජය සිහි නොවූවාම නොවේ. එහෙත් ඒ සැණින් කුමක් හෝ කාර්යයක නිරතවන හසාරා උවමනාවෙන්ම මතක වලට සමු දෙන්නට උත්සාහ දරමින් සිටියාය. ඇගේ මවත් පියාත් ලංකාවට පැමිණියේ ඒ අතරය. ඒ දෙසතියක් තරම් කෙටි නිවාඩුවකට ය. ගෙවී ගිය දිනවල ඕ සිටියේ සතුටින්ය.
යළි විවාහයකට ඇතුලත් විය යුතුයැයි සොයුරිය පුන පුනා පවසද්දී හසාරා සිහින් මන්දස්මිතයක් දෙතොල්මත තබාගෙන නිහඬ වූවාය. මිනිසෙකුට විවාහය යන්න ජීවත් වීමට අත්‍යවශ්‍යම කාරණයක්ද යන්න ඇගෙන් අසන්නට සිතුනත් අවසන ඕ එසේ නොකළාය. අදහස් දැක්වීමට සියල්ලන්ටම අයිතිය වේ. ඒවායේ හොඳ නරක තෝරා බේරා ගත යුත්තේ තමාය.
අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පිට පිටවූයේ රාත්‍රියකය. බුවනෙකගෙන් දුරකතන ඇමතුමක් පැමිණෙද්දී හසාරා සිටියේ පසු දින ඉංග්‍රීසි පන්තිය සඳහා අවශ්‍ය නිබන්ධනයක් සකස් කරමින්ය.
“ හසාරා එක දරුවයි ඉංග්‍රීසි ෆේල් වෙලා තියෙන්නේ. මගේ අනිත් දරුවො හය දෙනාම ඉංග්‍රීසි පාස්. එක දරුවෙකුට සී පාස් එකකුත් තියෙනවා…. ගණන් විද්‍යාව වගේ විෂයන් අසමත් වෙච්ච දරුවෝ දෙන්නෙකුටත් ඉංග්‍රීසි වලට එස් පාස් එකක් තියෙනවා. මේක මගේ පුංචි ඉස්කෝලෙට ලොකු ජයග්‍රහණයක් හසාරා මිස්..”
ඔහු සතුටින්ය. ඒ පිරිමි හඬ වෙව්ලමින් තිබිණ.
හසාරා ඒ සතුට විඳගත්තේ දෑස් කඳුලින් පුරවාගෙනය. මේ දරුවන් වෙනුවෙන් තමා යමක් කළා යැයි දැනෙන සතුට ඕ හදවතින්ම විඳිමින් උන්නාය. රාජ්‍ය නොවන සංවිධානය සමග එක්ව සාමාන්‍ය පෙළ දරුවන් වෙනුවෙන් ආරම්බ කල ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට සහභාගී වූ දරුවන්ගේ විභාග ප්‍රතිඵල කෙටි පණිවිඩ මගින් ආයතනයට ලැබෙමින් තිබිණ. ඒ බොහෝ දෙනාගේ අදහස වූයේ හසාරාගේ ඉගැන්වීම් ක්‍රමය තමන්ට අප්‍රිය වූ විෂයක් මතක තබා ගැනීමට උදව්වක් වූ බවය. කෙටි කලක් තුළ ඔවුන්ගේ සිතෙහි ඒ පිළිබඳව විශ්වාසයක් ඇතිව තිබිණ.
මිනිසුන් ආත්මාර්ථකාමීව තමාගේ කියා ළං කර කරගන්නා බොහෝ දේවල ඇත්තේ සතුටක්, සැපයක් නොවන බව හසාරා හඳුනා ගනිමින් උන්නාය. නොදැණුනවත් කමින් ඒ එකතු කරගන්නේ දුක්ය. අද තමා මේ නිර්ලෝභීව ලබන සතුට මිනිසුන්ට යමක් දී ලෝකයාට යමක් කර ලබන එකකි. ඇයට මහත් වූ ආත්ම තෘප්තියකුත් සැනසිලිදායක හැඟීමකුත් දැනෙන්නට විය.
බොහෝ දිනකට පසුව ඇය හදවතින්ම සිනහසුනාය. මිනිසුන්ගේ ජීවිතවල එක් මාර්ගයක් වැසී යද්දී තවත් මාර්ගයක් විවර වේ. කනගාටුව බොහෝ දෙනෙකුට එය හඳුනාගත නොහැකි වීමයි.තමන්ට සියල්ල නැති උනායැයි සිතා උන් හසාරා වර්තමානයේ බොහෝ දේ ලැබූ ගැහැණියකව උන්නාය. ජීවත් වීමට වටින්නේ සිතේ සැනසීම සහ සතුට බව විශ්වාසය. මේ ඒ සැනසුම් සහගත කාලයයි.
හසාරා විසින් නිර්මාණය කළ ඉංග්‍රීසි උගනිමු යන පොත් කිහිපය ළමා හා වැඩිහිටි ප්‍රජාව අතරේ බොහෝ ජනප්‍රිය වී තිබිණ. ඇය ඒවායෙන් උපයාගත් සියලුම මුදල් දුෂ්කර පාසල් වල අධ්‍යාපනය නගා සිටුවීම සඳහා වෙන්කළාය.
රාජ්‍ය නොවන සංවිධානයට දිගින් දිගටම ලැබුණේ ඉල්ලීම් වලට කන්දෙමින් හසාරා වැඩිහිටියන් සඳහාත් මාර්ගගත දේශන මාලාවක් සංවිධානය කළාය. දැන් ඕ රට තුළ වෙනදාටත් වඩා ජනප්‍රිය වූ චරිතයකි.
බොහෝ සම්මාන උළෙලවල්වළ ජනප්‍රියම ගුරුවරයා අගයමින් දෙනු ලබන සම්මාන සඳහා ඇගේ නම නිර්දේශ වන්නට විය. එහෙත් ඕ ඒ සියල්ල කාරුණිකව ප්‍රතික්ෂේප කළාය.
“ මට එදා ඕන වුනේ ඔයාව මොනවම හරි දේකට යොදවන්න විතරයි. ඒ ඔයා කල්පනා කර කර ඉඳලා ජීවිතයට මොනවා හරි හානියක් කර ගනියි කියලා හිතේ තිබුණු බය නිසා. එදා ඔයා මේ තරම් දුරක් යයි කියලා විශ්වාසයක් මගේ හිතේ තිබුණෙ නෑ. හැමදාම කියනව වගේ හසාරා ඔයාව නවත්තන්න කාටවත් බෑ. අද ඔයා මේ ඉන්න තැන ගැන මට හරි සතුටුයි. ඔයාට පුළුවන් තමා ඉපදිච්ච මේ මහ පොළොවට ණය නැතුව මැරිලා යන්න. ඔයා හරි වාසනාවන්තයි හසාරයි..”
ඉන්දුමා වරක් දෙවරක් නොව නොව කිහිප වතාවක්ම එසේ පැවසුවාය. මිනිසුන්ගේ ජීවිතවලට සැනසුම උදා කරන්නට හොඳම ඔසුව කාලය බැව් විශ්වාසයය.
ජීවිතයට හානියක් කරගන්නට හසාරාට එදාවත් අද වත් සිතුනේ නැත. කොහොමටත් ඈ ඒ සා දුර්වල ගැහැණියක නොවන්නට සිතුවාය. කිසිදු ගැහැණියක ඒ තරම් දුර්වල විය යුතුද නොවේ.
තමා ඒසා ශක්තිවන්ත ගැහැණියක වූයේ මව නිසායැයි හසාරා සිතුවාය. ඕනෑම කෙනෙකුගේ සමාජානුයෝජනයට සිය පවුල් පරිසරය වැදගත්ය. තාත්තා සිය වෘතීය ජීවිතයම ගතගත කළේ බදුල්ලේය. ප්‍රවාහන පහසුකම් නොතිබුණු මුල් යුගයේදී ඔහු නිවසට පැමිණියේ මසකට වරක් පමණි. වෘත්තියෙන් ගුරුවරියක වූ අම්මා තමාගේ රැකියාවට තම දරුවන්ට සේ ආදරය කළ බව හසාරා දනී. මුල් කාලයේ තාත්තාගේ සේම අන් ඥාතීන්ගේත් මතය වී තිබුණේ අම්මා ගුරු වෘතියෙන් ඉවත් විය යුතුතු බවයි. එහෙත් ඈ එසේ නොකළාය. තාත්තා සමග ඒ අරඹයා පුංචි පුංචි බහින්බස් වීම් ඇති වූ බවද හසාරා දනී. එහෙත් ඕ සියල්ල දරාගෙන ඉවසා සිටියාය. අවසන ඇය සිය වෘතීයට මෙන්ම ජීවිතයටත් දරු දෙදෙනාටත් තම සැමියාටත් සාධාරණය ඉටුකළ ගැහැණියක වූවාය. ආපස්සට හැරී බලන්නට තරම් දුකක්, පසුතැවීමක් තමා සිතෙහි ඉතිරි කර නොගත් බව ඇය නිතරම පවසන කරුණකි. අවසන ඕ තම රාජකාරී ජීවිතයට සමුදෙන්නේ නියෝජ්‍ය විදුහල්පතිවරියක ලෙසය. එසේම තමාත් සොහොයුරියත් හොඳින් උසස් අධ්‍යාපන කටයුතු පවා නිම කළාය. සොයුරියගේ සිතේ එදා සිට කැමැත්ත වූයේ පිටරටකට යාමය. එහෙත් හසරා ඊට කැමති වූ අයෙකු නොවේ.
ජංගම දුරකථනය යළිත් වරක් නාද වූයේ ඈ එසේ කල්පනා කරමින් සිටියදීය. ධනංජයගේ සොයුරියගේ අංකය දුරකථන තීරයෙහි සටහන් වූයේ ඔහු නික්ම ගොස් හරියටම මාස නවයයි දවස් විසි එකක් ගතව යද්දීය.
“ නංගි…..”
“ හෙලෝ, යැයි නොකියා ඕ එසේ පැවසූයේ හැකි තරම් සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින්ය.
“ අක්කට කතා කරන්න පුළුවන්ද මේ වෙලාවේ..”
“ ඔව් නංගි කතා කරන්න පුළුවන්…”
“ අනේ අක්කේ.. අපේ අයියා ගැන ආරංචියක් නැද්ද….”
එවර ඇය ඇසුවේ මද හඬකින්ය. ඒ හඬ හැඬුම් මුසුය. එහා පස උන් ඇයට නොපෙනුනත් හසාරා දෑස් විසල් කර ගත්තාය.
“ ඇයි මං ඔයාලගෙන් අහන්න ඕන ප්‍රශ්නයක් ඔයාලා මගෙන් අහන්නේ..”
“ අනේ අක්කෙ අයියා අන්තිමට කතා කරේ ප්‍රංශෙට යන්න කලින් දවසේ. එදයින් පස්සේ අයියා ගැන කිසිම ආරංචියක් නෑ…”
හසාරාට ඉද උන් පුටුවෙන් නැගිටුනේ ඉබේටමය. මින් මසකට පමණ පෙර නිර්මිතාගේ නැගණිය කතා කරමින් පැවසූයේත් එයමය. හසාරා මාසයක් පාසා ඇය වෙනුවෙන් මුදලක් ලබා දෙන්නට පොරොන්දු වූවාය. පෙරේදා ඕ දුරකථන ඇමතුමක් හසාරාට ලබාගත්තේ ඉන්දුමාටත් හොර රහසේම එම මුදල ඇගේ බැංකු ගිණුමට බැර කළ පසුවය. එවේලෙහිත් ඈ පැවසූයේ තවමත් නිර්මිතාගෙන් ඇමතුමක් නොවන බවයි. නිර්මිතා කොහොමටත් ආත්මාර්ථකාමී ගැහැණියකයැයි හසාරා විශ්වාස කළාය. තමා පැතූ සතුට ලං කර ගත් පසු ඇයට අම්මාත් සොහොයුරියත් අමතක වීම පුදුමයක් නොවේ යැයි ඇය සිතුවේ එනිසාය. එහෙත් ධනංජය එසේ නොවේ. ඔහු නිරතුරුවම අම්මාත් තාත්තාත් ගැන වද වූ පුද්ගලයෙකු බව හසාරා දනී. ලැජ්ජාවට හෝ වෙනයම් හැඟීමක් නිසා හෝ ඔවුන්ව මගහැර සිටියත් මේසා කාලයක් ඔහුට එසේ කළ නොහැකි බව විශ්වාසය.
“ ඔයා මොනවද මේ කියන්නේ අයියා ගියපු දවසේ ඉදලා එක දවසක්වත් කතා කළේ නැද්ද…”
“ නෑ අක්කේ අයිය යනකල් අම්මවත් තාත්තවත් දන්නේ නැහැ. මමයි මල්ලියි විතරයි දැනගෙ හිටියේ. එයා යන්න දවස් දෙකකට කලින් දවසේ අපි තුන්දෙනා කොළඹදි මුණ ගැහුනා… ඒ වෙලාවේ තමයි අපි දැනගත්තේ අයිය යන්නේ තනියම නෙමෙයි කියලා.අයියා කිව්වා ඒ බවක් කිසිම කෙනෙකුට දැනගන්න තියන්න එපා කියලා…අන්තිමට අයියා මට කතා කලේ එයාර්පෝට් එකේදි. ඒ ලංකාවෙ එයාර්පෝට් එකේදී..එතනින් එහාට අයියා ගැන කිසිම ආරංචියක්නෑ..”
“ ඔයාලා හරි පුදුම මිනිස්සුනේ..මං දන්නවා කොහොමටවත් ධනාට මෙච්චර කාලයක් අම්මටයි තාත්තටයි කතා නොකර ඉන්න බෑ. ඔයාට කතා නොකර ඉන්නත් බෑ….’
හසාරාගේ හඬ කෝපයකට පරිවර්තනය වී තිබිණ.
“ අනේ අක්කේ….”
“ ධනංජය පිටරටක ගියා කියලා හරි මම දැනගත්තේ ලියුමකින් නංගි..එයා අපේ ඩිවෝස් එකට ඕන කරන හැම දෙයක්ම රෙඩි කරලා ගිහින් තිබුණා. මට ඔයාලට කතා කරන්න ලොකු උවමනාවක් තිබුණා. ඒත් මට ඒකට ශක්තියක් තිබුණේ නැහැ. ඒ හැමදේටම වඩා ඔයාලා ගැනත් මගේ හිතේ අපැහැදීමක් තිබුණා..”
“ ඒක එහෙම නොවුනොත් තමයි පුදුමේ. අයියා කියන දේවල් අහලා මං අක්කට ගොඩක් වැරදි විදිහට කතා කලා. අදටත් මම දන්නෙ නැහැ අයියද වැරදි එහෙම නැත්නම් අක්කද කියල. අයියා නිර්මිතා එක්ක තමයි මේ ගමන යන්නේ කියල දැන ගත්තට පස්සේ මගේ හිතෙයි මල්ලිගේ හිතෙයි අයියා ගැන තියෙන විශ්වාස නැති වුණා. ඒත් අන්තිමට අපි දෙන්න හිතුවා අක්කගේ වැරදි හින්ද තමයි අයියා මේ තත්ත්වයට පත්වෙන්න ඇත්තේ කියලා…”
“ මිනිස්සු තමන්ගේ පවුල් ජීවිතයේදී එකිනෙකාට ඇඟිල්ල දික් කර ගන්නවනං, ඒ තමන් වැරදි පාරක යන්න හේතු හොයන මිනිස්සු නංගී..”
හසාරා පැවසූයේ දිගු සුසුමක් මුදා හැරියාට පසුවය.
( යළිත් හමු වෙමු ආදරයෙන්……)
ReplyForwardAdd reaction |