“ වෙන කරන්නම දෙයක් නැති නිසයි මම අක්කට කතා කළේ. ගොඩක් වැරදි සිද්ධ වෙන්න ඇති. අයියා ගියාට පස්සේ තාත්තට බයිපාස් ඔපරේෂන් එකක් කරන්නත් උනා. අම්මා ඉන්නේ ඒ තරම් හිත හොඳකින් නෙමෙයි.. අම්මා මට කිව්වා කීප පාරක්ම අක්කට කතා කරන්න ඕන කියලා. මමයි ඒක මගහැරියේ. ඇත්තටම කිව්වොත් හිත හදාගෙන අක්කට කතා කරන්න පුළුවන් කමක් මට තිබුනෙ නැහැ. මං දන්නවා මම හරිම වැරදි විදිහට ඔයාට කතා කළේ කියලා.”
“ අපි දැන් ඒ දේවල් අමතක කරමු නංගී තාත්තට කොහොමද දැන්…”
“ ඉස්සර වගේ තාත්තට මහන්සි වෙලා වැඩ කරන්න බැහැ අක්කේ. අයියා එයාලගේ වියදමට එවපු සල්ලි නැති උනාට පස්සේ අපිට අපහසුතාවයන් ගොඩකට මුහුණ දෙන්න වුනා. ආසිරිත් බලාගෙන හිටියේ අයියා සෙට්ල් උනාට පස්සේ එයාගේ මාර්ගයෙන් රට යන්න. මල්ලිත් මට නොකිය හිටියට එයාගේ හිතෙත් ඒ බලාපොරොත්තුව තිබුණා. මල්ලි කොහොම හරි ටියුෂන් කරලා එයාගේ වියදමට සල්ලි හොයා ගන්නව. තවමත් හරි හමන් ජොබ් එකක් එයාට නැහැ. අම්මයි තාත්තයි බලන්නේ අපි. තාත්තා දැන් කාමරෙන් එළියට එන්නේ කලාතුරකින්. අම්මා අපිව දකින්න දකින සැරේට අක්කව මතක් කරලා අඬනවා. කාගේ ඇස් වහක් වැදුනද කියල කියනවා. අයියා මගෙන් ඉල්ලීමක් කලා මොනම හේතුවකටවත් අක්කට කතා කරන්න එපා කියලා . ඒ හින්දම මම අම්මටයි තාත්තටයි කිව්වා අක්කා දැන් ලංකාවේ නැහැ එයාගේ අම්මයි තාත්තයි ළඟ ඉන්නේ කියලා. ඒත් දැන් අක්ක ගැන මිනිස්සු කතා වෙනවා . අක්ක කරන ක්ලාසස් වලට අපේ ගමේ ගොඩක් ළමයි සම්බන්ධ වෙනවා. අම්මලට ඇත්ත හංගන්න අමාරුයි දැන්..”
“ අයියා ඔයාලට කතා කරන්න කියලා එහේ යාළුවෙක්ගෙවත් නම්බර් එකක් දීලා ගියේ නැත්ද..”
“ නෑ අක්කේ. මල්ලිත් යන්න පුළුවන් හැම තැනකටම ගියා. බැරිම තැනයි අක්කට කතා කරන්න අපි හිතුවේ. මේ අයියා හොරෙන් ගිය ගමනක් කියලා අපි දැනගෙන හිටියේ නැහැ. මල්ලි තමයි කිව්වේ අයියා ගිහිල්ලා තියෙන්නේ නීති විරෝධී ක්‍රමයකට කියලා..”
“ මං ඒ ගැන දැනගෙන හිටියේ නැහැ “
“ නිර්මිතත් එයාලයි ගෙදර කිසි කෙනෙකුට කතා කළේ නෑ කියලා ඒ නංගි මට කිව්වා.”
“එහෙනම් මේ දෙන්න මොනවා හරි කරදරයක් වෙන්න ඇති.”
“ සමහර විට…අයියා මොනවම හරි ඩොකියුමන්ට්ස් ඔයාලට දීලා ගියාද..”
“ අනේ නෑ අක්කේ කිසිම දෙයක් නෑ..අපි අන්තිමට හම්බවෙච්ච වෙලාවේ යනවා කියලා කිව්වා විතරයි.මං ඇහුවහම ඇයි එහෙම හදිසි තීරණයක් ගත්තේ කියලා එයාට හිත හදාගන්න ඕනි කියලා කිව්වා. සමාවෙන්න අක්කේ..ඒ වෙලාවේ අපි ගත්තේ අපේ සහෝදරයාගේ පැත්ත. ආපස්සට හැරිලා ඔයා දිහා බලන්න අපිට උවමනාවක් තිබුණේ නෑ අක්කේ..අපි අපේ සහෝදරයාව විශ්වාස කළා. ඔයාට වෛර කලා..”
“ ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්නේ නංගි..ඔයාලා එම්බසි එකට කතා කළේ නැද්ද..”
“ කතා කලා අක්කේ…මල්ලි ගියා..එතනදි තමයි අපි දැනගත්තේ අයියා ගිහිල්ල තියෙන්නේ නීති විරෝධී ගමනක් කියලා..”
“ මම බලන්නම් නංගි…”
“ අනේ තරහ නැතුව අපිට අපේ අයියව හොයලා දෙන්න..”
“ කවදාවත් මගේ හිතේ ධනා ගැනවත් ඔයාලා ගැනවත් තරහක් තිබුණේ නෑ..මං ඒක කොහොම හරි කරනවා..”
“ මං ඔයාගෙන් දෙයක් අහන්නද…මම ලැජ්ජ වෙනවා… බැඳපු ගෑනියෙක් විදිහට මට අක්කගෙන් මේ ප්‍රශ්නය අහන්න තිබුණේ මීට කලින්..”
“ ඒ මොකක්ද නංගී…”
“ ඇත්තටම අක්කේ… වැරදුනේ ඔයාටද නැත්නම් අපේ අයියට..”
“ මං හිතනවා නංගි අපි දෙන්නටම කියලා..මං විශ්වාස කලා හැම තැනකදිම ධනංජය මමත් එක්ක ඉන්නවා කියලා. ගොඩක් කාලෙකට කලින් එයා මගේ අත අතහැරලා මට ඔහේ පාවෙලා යන්න ඉඩ දීලා බලන් හිටියා කියල මං දැනගෙන හිටියේ නෑ. ඒකට හේතුව මොකක්ද කියලා මම අදටත් හිතනවා. මම මගේ වෘත්තිය මට්ටමෙන් ඉහළට ගියා තමයි. ඒත් හැමදාම මගේ ජීවිතේ අංක එක උනේ ඔයාගේ අයියා. මගේ ජීවිතේ සතුට උනේ අපේ පවුල..දන්නෙම නැතුව මට ඒවා අහිමි වෙලා ගියා.”
“ මේ හැමදේම උනේ නිර්මිතා නිසා වෙන්න බැරිද..එයාව මට හම්බවෙලා තිබුණේ දෙතුන් වතාවක් වුණත් මට එයාව ඇල්ලුවේ නෑ..”
“ ඔයා වගේම තමයි ධනංජයත් එයාට කැමති වුණේ නෑ. මං දන් නෑ ඒ සම්බන්ධකම් ඒ හිතවත්කම් කොහොම ඇතිවුණු ඒවද කියලා..වෙච්ච දේ වෙලා ඉවරයි..අපි අයියවයි නිර්මිතාවයි හොයාගමු. එයාලා ඒ රටේ හොඳින් ඉන්නවනං අපිට ප්‍රශ්නයක් නෑනේ නංගි. අපි බලමු එයාලට කරදරයක්ද කියලා..’
“ අනේ හරි අක්කෙ…අක්කට කතා කලා කියලා අම්මට කියන්න තරම් ශක්තියක් මට නැහැ. එයාලා තවම දන්නේ නෑ අයියා ගැන ආරංචියක් නැහැ කියලා. අයියලට එහේ ටිකක් කරදරයි කියලා අපි කිව්වා. ඉඳලා හිටලා පුළුවන් වෙච්ච වෙලාවට මල්ලිට කතා කරනවා කියලා තමයි අපි ඒගොල්ලන්ට කියල තියෙන්නේ. ඒත් තාත්තා කියනවා ඒ කතා කරන වෙලාවක අපිටත් වචනයක් කතා කරන්න කියහං කියලා..”
“ මට තේරෙනවා…අපි පුළුවන් තරම් ඉක්මනට ඒ දෙන්න ගැන හොයමු නංගි.”
“ අපේ තාත්තා දවසක් කිව්වා ලොකු පුතා උගත් උනාට මෝඩයෙක් කියලා. ඌට තමන්ගේ කකුලේ වැදිච්ච මැණිකේ දිස්නෙ පෙනුනේ නෑ කියලා කිව්වා. මට මේ ළඟදි දවසක මල්ලි ඔය කතාව මතක් කලා..”
“ අතීතේ සිද්ධ වෙච්ච දේවල් සිද්ධ වෙලා ඉවරයි නංගී.මමත් තීරණය කරගෙන හිටියේ අම්මයි තාත්තයි ලඟට යන්න. එවුනාට අහම්බෙන් මට මේ රටට සේවයක් කරන්න අවස්ථාවක් ලැබුණා. මං සතුටින් ඒ දේවල් කරනවා නංගි..”
“ අක්ක ඒ කරන සේවය ගැන මට කියන්න වචන වචන නෑ අක්කේ. මේ ගම්වල මිනිස්සු අක්කට පින් දෙන හැටි දැක්කහම මට මං ගැනම හරි තරහක් ඇතිවෙනවා..අපි අක්කව තේරුම් ගත්තේ වැරදි විදිහට..”
“ අපි ඒ හැම දෙයක්ම අමතක කරමු නංගි. මිනිස්සු අතින් වැරදි වෙනවා. පුළුවන් තරම් ඉක්මනට මං අයියලා ගැන විස්තරයක් හොයාගෙන ඔයාට කතා කරන්නම්. ඒ අතරේ මොනවාම හරි දෙයක් ඔයා දැනගත්තොත් මට කෝල් එකක් දෙන්න. පුළුවන් තරම් ඉක්මනට මං අම්මයි තාත්තයි බලලා යන්න එන්නම්..”
හසාරා දුරකථනය පසෙකින් තැබුවේ තවත් විනාඩි කිහිපයක් ගෙවී ගියාට පසුවය. ධනංජය ගැන සිහිවද්දී ඇගේ පපුව රිදුම් දෙන්නට විය. මාස නවයකටත් අධික කාලයක් තිස්සේ එකම එක දුරකතන ඇමතුමක්වත් ලබා දෙන්නට නොහැකි වූවානම් ඔහු හොඳින් නොවන බව විශ්වාසය. ඔහුත් මේ සහෝදරයනුත් අතර තිබුණේ පුදුමාකාර බැඳීමකි. නැගණිය වුවත් කිසිවක් නොවිමසාම ඔහුව විශ්වාස කරන්නට ඇත්තේ එනිසා විය යුතුය. එවන් සහෝදරයන්ගේ දුකසැප සොයා නොබලා සිටීයැයි සිතීමම විහිළුවකි. සොහොයුරා විශ්ව විද්‍යාලයේ සිටින සමයෙහි අම්මා තාත්තාත් නිවසේ තනිව සිටිනවායැයි කියා ඔහු දුක් වූ අන්දම හසාරාට සිහි වූයේත් එවේලෙහිය. දිනපතාම ඔවුනට දුරකථන ඇමතුමක් ලබාදීම ඔහු වරද්දන්නේ නැත. විශ්ව විද්‍යාලයේදීත් විවාහ වූවාට පසුත් ඒ පුරුද්ද එහෙමම පැවතිණ.
දෙවරක් නොසිතූ ඈ කසුන්ට ඇමතුමක් ලබාගත්තේ එනිසාය. වේලාව රාත්‍රී එකොළහක් පසු වී තිබෙන බව ඈ දුටුවේ දුරකථනය දෙතුන් වරක්ම නාද වද්දීය.
“ හලෝ…”
“ මට සමාවෙන්න අයියේ මේ වෙලාවේ කතා කළාට. ඇත්තටම ෆෝන් එක අරගෙන ඔයාට රිං කලාට පස්සේ තමයි මම වෙලාව දැක්කේ..”
“ නෑ නංගි..අපි නිදියගෙන නෙමෙයි හිටියේ. අක්කයි මමයි දැන් කතා කර කර ඉන්නගමනුත් ඔයාලව මතක් කලා.”
“ අයියේ ධනා ගැන මොකුත්ම ආරංචියක් නැද්ද…”
“ නෑ නංගී… ඒත් ඇයි මේ හදිසියේ ඔයා ඌ ගැන හොයන්නේ. අලුත් ජීවිතයට ඒ පරණ මතක එකතු කරගන්න එපා නංගී..”
“ අනේ අයියේ මේ දැන් ධනංජයගේ නංගි මට කතා කළා…”
“ ඉතින්”
“ මේ මාස නවයටම එකම එක දවසක්වත් ධනංජය එයාලට කතා කරල නෑ අයියේ. අන්තිමට එයා නංගිට කතා කරලා තියෙන්නේ මෙහේ එයාර්පෝට් එකේදි.”
“ මොනවා.. ඒක වෙන්න බෑනේ නංගී..””
“ ධනංජයගේ නංගී බොරු කියන කෙනෙක් නෙමෙයි. එයාලා හොයන්න පුළුවන් හැම තැනකින්ම හොයල. එතකොට තමයි දැනගෙන තියෙන්නේ ධනංජය ගියේ ලීගලි ඩොකියුමන්ට්ස් වලින් නෙමෙයි කියලා”
“ මේ යකා පිස්සෙක්නේ..”
“ අයියා මේ ගැන මොනවා හරි දෙයක් දන්නවද..”
“ කිසිම දෙයක් දන්නෙ නෑ..ගෙදර අයට කිව්ව වගේම ඊට දවස් පහ හයකට කලින්නේ මිනිහ මට කතා කරලත් කිව්වේ මෙහෙම ගමනක් යනවා කියලා.මේ යකාට මොනවද උනේ..”
“ මොනවද නංගි කියන්නේ ?…..”
ඒ කසුන්ගේ බිරිඳගේ හඬය..ඔහු දුරකථනය මදක් පසෙකට කර යමක් පැවසුවත් ඒ හඬ පැහැදිලිව හසාරාට ඇසුණේ නැත.
“ අපි දැන් මොකද කරන්නේ?..ඌවනං කොහොමටවත් ආයේ ඔයාගේ ජීවිතේට ළං කරගන්න ඕන නෑ. ඒ උනාට මේ මිනිහට උනේ මොකක්ද කියලා හොයලා බලන එක අපේ යුතුකමක් නේ…”
“ මට හෙට දවසේ ප්‍රෝග්‍රෑම් එක මිස් කරන්න බැහැනේ..හෙට රෙකෝඩින් එකක් ගන්න කියලා මං අනිද්දා උදේම කොළඹ එනවා..”
“ ඇවිත්..”
“ මට හිතෙනවා මුලින් එම්බසි……එකට ගිහිල්ලා බලන්න.”
“ ඔව් ඔයාට ඒ තැන් වලට ගිහිල්ලා යමක් කරගන්න බැරි වෙන එකක් නෑ නංගී..මං අහන්නෙ මාස නවයක් වෙනකල් මේ මිනිස්සු මක් කළාද..එතකොට අර ගෑනි, ගෑනිගේ පැත්තෙ කට්ටිය.”
“ ඒ නංගි මට කතා කරනවා අයියේ එයාලා ඉන්නෙත් මේ ප්‍රශ්නෙම තමයි. හැබැයි ඒගොල්ලෝ තදින්ම විශ්වාස කරනවා අක්කට එහෙ ගියාට පස්සේ මේ හැම දෙයක්ම අමතක වෙලා ඇති කියලා..”
“ ඔව් ඉතින් ඔහොම ගෑනුන්ට එහෙම කරන්න බැරිකමක් නෑ.”
“ එයා සමහර තැන්වලදී ආත්මාර්ථකාමී කියලා මමත් දැනගෙන හිටියා අයියේ. එඋනාට ධනා කියන්නේ එහෙම කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. කාට එහෙම කළත් එයාගේ අම්මටයි තාත්තටයි නංගිටයි මල්ලිටයි එහෙම කරන්න එයාට බෑ..ඔය කියන විදිහට ප්‍රාන්ස්වලට ගිහිල්ලා එයා හොඳින් ඉන්නවනම් මේ වෙද්දි එයා එයාගේ අයට ගොඩක් උදව් කරලා අයියේ..මං එයාව දන්නවනේ…”
“ උඹ හොඳට එයා ගැන දැනගෙන හිටියට නංගියේ එයාට බැරිවුනා උඹ ගැන දැනගන්න..ඔයා ඔහෙන් පිටත් වෙද්දි මට කියන්න. අනිද්දා මම නිවාඩුවක් දාන්නම්. අපි කොහොම හරි උත්සහ කරමු මේකා ගැන දැනගන්න….”
( යළිත් හමු වෙමු ආදරයෙන්..)
ReplyForwardAdd reaction |