නිම් නැති නිම්නය 27

කවීශ්වර ගජධීර සිටියේ සිතිවිලි ලෝකයක ය. ඔහු ගේ දෙතොල් මත්තේ ඔහු ට ම නො දැනුණු හසරැල් රේඛාවක් වූයේ ය. බිඟුනි ගේ පාසලේ දෙමාපිය රැස්වීමට ගිහින් එන ගමන් ආරාධනා කියූ ඇතැම් දේවල් තවමත් ඔහු ගේ මනස තුළ පිළිරැව් දේ.

“කෙනෙක්ගෙන් තව කෙනෙක්ව දකින්න උත්සාහ කරන්න නරකයි කවීශ්වර. කෙනෙක්ගෙන් තව කෙනෙක්ව හොයන්නත් නරකයි. මං හිතන්නෙ කාශ්‍යප ට වෙන්න ඇත්තෙත් ඒක. කෙනෙක් ඔළුවෙ තියාගෙන තව කෙනෙක් දිහා බලද්දි පේන්නෙම අඩුපාඩුනෙ. මොකද කෙනෙක් තව කෙනෙක්ට කවදාවත් සමාන වෙන්නෙ නෑනෙ. ඔයා කොච්චර හොඳ වයිෆ් කෙනෙක් තෝර ගත්තත් අම්මයි තාත්තයි වුණත් එයාගෙන් මාව හෙව්වොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි. මං ඒක දැන්ම අම්මට කියල තියන්න ඕන. ඒ දෙන්න මට හරි පුදුම විදිහට ආදරෙයි තමයි. ඒත් ඒ එන ගෑනු ළමයට අසාධාරණයක් වෙයි එයාගෙන් මාව බලාපොරොත්තු වෙන්න ගියොත්…එයාගෙන් එයාගෙ හොඳ දේවල් දැකල ඒදේවලට ආදරේ කරං ඉන්නයි ඕනෙ”

‘ඒ හිස්තැනට වෙන කෙනෙක් ගේන්නෙ නැතුව ඔයාම ඔය විදිහටම හිටියනං ඉවරයිනෙ’ කියා කියන්නට ඔහු ගේ මුව නලියෑවේ ය. නමුත් එහෙම වුණොත් ඇගේ අත්තල සලකුණු හෝ සෙරෙප්පු සලකුණු සිය කම්මුල මත නො මැකෙන සටහන් ඉතිරි කරනු ඇතැයි බියෙන් කවීශ්වර ඔහු පාලනය කර ගත්තේ ය. 

“සර්…බැලන්ස් දුන්න වැරදීනෙ…”

කවීශ්වර පියවි සිහියට ආවේ සාප්පුවේ සේවිකාවක ගේ හඬිනි. 

“අ…ඇයි…ගාන වැරදිලාද…”

“බිල් එක හරි. ඒත් වැඩිපුර බැලන්ස් දීලනෙ…”

සේවිකාව එය නො දකින්නට ඒ අලෙවියෙන් එවේලේ විශාල අලාභයක් වෙන්නට තිබිණි. සේවිකාව ඔහු දෙස බැලුවේ ඇස් දෙක හකුළා ගෙන ය. ඒ වගේ නො සැලකිලිමත් යමක් සාමාන්‍යයෙන් ඔහු ගෙන් සිදු වන්නේ නැත.

“කුමාරි පොඩ්ඩක් කැශියර් එකෙන් ඉන්න”

කියමින් එවර ඔහු එතැනින් ඉවත් වූයේ සිතිවිලි බෙහෙවින් විසිරී පැතිරී ඇති බව දැනුණු නිසා ය.

ආරාධනා මත සිය දෑස් නතර වන විට කවීශ්වර උසස් පෙළ සිසුවෙකි. ආරාධනා එතකොට සාමාන්‍ය පෙළ පන්තියේ ය. බොහෝ දඟකාර හැඩකාර ගෑනු ළමයින් ඇසුරු කරනා ඔහු දෙස උවමනාවකින් නො බලන එක ම ගෑනු ළමයා ලෙස ආරාධනා ඔහු ගේ සිතේ සලකුණු තැබුවේ කවදා කුමන සිදුවීමක් නිසා දැයි දැන් ඔහු ට සිහි කර ගත නො හැකි ය. ඇය කුඩා සාවියේ පටන් සැනසුම් පායට ආවා ගියා ය. බලන්නට හෝ මතක තබා ගන්නට තරම් විශේෂත්වයක් ඔහු ඒ කාලේ ඇයගෙන් දැක නැත.

“මොකද්ද ඕයි…ඇහැට කනට පේන කෙල්ලෙක් යාළුව කර ගන්නවකො”

කියා කිහිප වතාවක් ඔහු කාවින්දි ට කියා තිබේ. 

“හප්පේ…ආරාධනා තමුසෙගෙ ඇහැට කනට නොපෙනෙන එකමයි හොඳ. ඒ ළමයව නැත්තං  හිතේ නිදහසෙන් මං මේ ගෙදරට එක්කං එන්නයැ”

එතකොට කාවින්දි එකට එක කීවා ය. සාමාන්‍ය පෙළ පන්තියේදීත් ආරාධනා වූ කලී වැඩුණු අඟ පසඟ වලින් යුත් යුවතියක වූයේ නැත. කොණ්ඩය දෙකරලට ගොතා, චාම් ගවුම් හැඳි ඕ සිත නිවා සනහන, ළමා පෙනුමැති අවිහිංසක ගෑනු ළමයෙකු වූවා ය. ඔවුන් ගේ පාසලේ ම සුරූපී බාලිකාවන් රැසක් සමග අනඟ රැඟුම් පෑ කවීශ්වර ගේ ඇස් ඇය වෙත යොමු වූයේ ඔහු පාසලෙන් ඉවත් වී, ඇය උසස් පෙළ සිසුවියක ව සිටියදී ය. නමුත් එතැන්හි සිටියේ කවීශ්වර ගේ උමතු ඇස් බැලුම් ළඟ සසල වන විදිහේ ගෑනු ළමයෙකු නොවේ. ඔහු ගැන ඇසිතේ ඇඳී තිබූ ප්‍රතිරූපය, කිසි දා ඔහු ගේ ඇස් බැල්මකට අනුබල දෙන ආකාරයේ එකක් නොවේ.

“මාර ගණංනෙ මෙයාගෙ”

ඇය සැනසුම් පායට ආ දිනෙක, කාවින්දි ට හොරෙන් කවීශ්වර ආරාධනා ට එසේ කියා තිබේ. ආරාධනා කළේ ඉක්මන් තැති ගත් සිනහවකින් වහා ඔහු වෙතින් ඉවත් වී යාම ය. කාවින්දිට හෝ එදා ඇය ඒබව කීවේ නැත. ඊට පස්සේත් කිහිප වතාවක ම කවීශ්වර ආරාධනා ට කතා කරන්නට උත්සාහ කළ ද ඇගෙන් කිසිදු අනුබලයක් නො ලැබිණි. ඇසුරු කළ හා දැන නො දැන සිටි හැම ලස්සන ගෑනු ළමයෙකුට ම වඩා ඇය ඔහු ට අමුතු වූවා ය. ඇය වෙත වූ ලස්සන අවිහිංසක විය. ඇය සබකෝලයෙන් යුතු වූවා ය. වයසින් වැඩෙන්නට වැඩෙන්නට ආරාධනා කවීශ්වර ගේ හදවත මත තැබුණු සුවිශේෂ ම මුද්‍රාව වූවා ය. නමුත් ඇයට සමීප වීමේ අවසරයක් කාවින්දි ගෙන් නො  ලැබුණු අතර අනුබලයක් ආරාධනා ගෙන් ද නො ලැබිණි.

කවීශ්වර ආරාධනා වෙතට බැලුම් හෙලන්නට පටන් ගෙන ඇති බව දැන ගත්තාට පස්සේ කාවින්දි කෙලින් ම අයියා ට තර්ජනය කළා ය.

“තමුසෙගෙ මනමාලකං ඕන නැට්ටිච්චියෙක්ට දාගන්නව. හැබැයි ආරාධනා ඒවට නෑ හරිද…ඒ ළමය වැදගත් අහිංසක ළමයෙක්. එයාට විතරක් නෙවෙයි එයාගෙ අම්ම තාත්තටත් මං වගකියන්න ඕන එයා ගැන”

“ඕයි මේ ජෝක් එකක් නෙවෙයි නංගි”

කවීශ්වර එසේ කීවේ සිනහ වෙවී ය. ඊට වඩා හැඟුම්බර වෙන හැටියක් ඔහු දැන සිටියේ නැත. කාවින්දි හැකි උපරිමයෙන් ඔහු ට රැව්වා ය.

“පොඩීයියා මේ…වඳින්නං. ආරාධනා කියන්නෙ ඔයාට සෙල්ලං කරල විසි කරන්න පුළුවන් සෙල්ලම් බඩුවක් නෙවේ හරිද…එයා දිහා බැලුවොත් උගුල්ලනව මං තමුසෙගෙ ඇස්”

ඒ තර්ජනය කිසි සේත් විහිළුවක් නොවේ. ඒ වෙත්දී යෞවනයේ දීට වඩා වෙනස් වූ ප්‍රේමයක අවශ්‍යතාවයෙන් පසු වූවත් කවීශ්වර ට කිසිදු අවස්ථාවක් නො ලැබී ගියේ ය. ආරාධනා මතු නොව කාවින්දි පවා ඔහු ගැන සිතුවේ සල්ලාලයෙකු ගානට දමා ය. එක කාලයක සිතෙහි පැලපදියම් වුණා වූ ප්‍රතිරූප බිඳ දමනා එක පහසු නැත!

කාශ්‍යප ආරාධනා වෙත විවාහ යෝජනාවක් ඉදිරිපත් කොට එය සාර්ථක කර ගෙන ඇති බව දැන ගත් වෙලාවේ කවීශ්වර ගේ හදවත හරහා රිදුම් කුණාටුවක් හමා ගියේ ය. නමුත් ඔහු මඳහසකින් ඒ පරාජය ඉවසා වදාළේ ය. ඒ ඔහු ගේ ම එක කුස ඔත් සහෝදරයා වෙනුවෙනි. අනිත් අතට අයියා වූ කලී ඔහු ට වඩා හොඳ මිනිසෙකි. වැදගත් පිරිමියෙකි. ඔහු කවීශ්වර වාගේ නම කැත කර ගත්තෙකු නොවේ. උගත්, ඉහල තනතුරක් හොබවන්නෙකි. ආරාධනා සෑම අතින් ම ගැලපෙන්නේ තමන් ට නොව කාශ්‍යප ට යයි කවීශ්වර ඉත සිතින් විශ්වාස කළේ ය. අනිත් අතට ඔහු ගේ මූණ බලා කතා කරන්නේ නැති යුවතිය අයියා ගේ විවාහ යෝජනාව පිළිගෙන තිබේ. සිය මිතුරිය දෙස බැලීම වුව ඔහු ට තහනම් කළ නංගී, අයියා ගැන විවාහ යෝජනාව ආරාධනා වෙත ගෙන ගොස් තිබේ. ඒ අනුව සියලු දෙනාගේ ම තීරණය වන්නේ ආරාධනා කාශ්‍යප ට ගැලපෙන බවයි. කවීශ්වර ඇය වන් වැදගත් ගෑනු ළමයෙකු ට නො ගැලපෙන බවයි.

ආරාධනා අයියා ගේ බිරිඳ වී සැනසුම් පායට පය ගැසීමෙන් ඉක්බිති කවීශ්වර සිය ඉපැරණි සිතිවිලි වළ දැමුවේ ය. ඇයට මුළු හදවතින් ම ගෞරව කළේ ය. ඉන් පසුවත් අනේකාකාර ස්ත්‍රීන් ඇසුරු කළේ ය. ආරාධනා කෙරේ බැල්මකිනිදු වරදක් වන්නට ඉඩ නො තැබුවේ ය. 

නමුත් කාශ්‍යප අමානුශික ලෙස ඇය අතැර ගියායින් පස්සේ, වළ දැමූ හැඟීමක් අතීතයේ පස් කඳු අතරින් මතු වී ගොඩ එන්නට පටන් ගෙන ඇති බවක් ඔහු ට දැනේ. නමුත් තවමත් සිටින්නේ එදා ආරාධනා ම ය. ස්ත්‍රීන් සම්බන්ධයෙන් ඔහු ව විශ්වාස නො කරන, ඔහු ගේ සෙල්ලක්කාර කම් ගැන කියවෙන වෙලාවට කට කොනක සිනහවක් තවරා ගන්නා, එදා ආරාධනා ම ය!

කාශ්‍යප යළි එක් වීමක් ගැන කළ යෝජනාව ආරාධනා විසින් ප්‍රතික්ෂේප කළ එක ගැන ඇගේ සොයුරා වන චින්තන ගේ ප්‍රසාදයක් වූයේ නැත. මේ ගැන ඔහු සිය මව් පිය දෙදෙන සමග තීරණාත්මක සංවාදයක යෙදුණේ ය.

“මේ ලෝකෙ එහෙම දේවල් වෙලා නැද්ද…පිරිමි වෙන ගෑනු එක්ක සම්බන්දකං තියාගෙන නැද්ද..එහෙම එකක් වුණ පළවෙනි වතාවද මේ…එහෙම වෙච්චි පලියට පවුල් කඩා ගත්තනං මේ ලෝකෙ පවුල් කියල දෙයක් තියෙන්න පුළුවන්ද තාත්තෙ…මොකද්ද මෙයාගෙ මේ හිතුවක්කාර කම…කාශ්‍යප මට කතා කළා. හරි ඉතිං මිනිහ වැරැද්ද පිළිගන්නවනෙ. මෙයාට පුළුවන් ද හැමදාම ඔය ළමයි දෙන්නව තනියම හදන්න…හත්පලේ ගාගන්නැතුව සමාදාන වුණානං ඉවරනෙ තාත්තෙ”

චින්තන කියන කතාවේ සත්‍යයක් නොවන්නේ නැති බව චමල් සේනාසිංහ නො දැන සිටියා නොවේ. කාශ්‍යප ගේ හැර ගිය දින වල ආරාධනා හැඬූ තැවුණු හැටියට, ඔහු යළි ආවෝතින් ඇය දෙවරක් නො සිතා පිළිගනු ඇති බව ද ඔහු සිතුවේ ය. ඇය එපමණට සියුමැළි වූ කෙල්ලකි. ඇය ජීවිතයේ රිදුම් තැවුල් වින්දේ ම නැති එකියකි. අංශු මාත්‍රික අඩුපාඩුවක් නැතිව උස් මහත් වූ දැරියකි. තමන් වෙත බැඳුණු අය ඉතසිතින් විශ්වාස කළ හා ඔවුන් වෙනුවෙන් ඕනෑ ම පරිත්‍යාගයක් කරනා සූදානමක සිටි යුවතියකි. එහෙව් ඇයට කාශ්‍යප ගෙන් තොර ජීවිතයක් වෙතැයි සිතිය නො හැකි තරම ය. නමුත් දැන් ඇය ඒ සියල් හැඟීම්, දැනීම්, සංවේදනා, රිදුම්, තැවුල්, වේදනා, අළු, දුහුවිලි අතරින් ෆීනික්ස් කිරිල්ලක සේ නැගිට ගෙන තිබේ.

“අම්ම නංගි එක්ක කතා කළොත් හොඳයි නේද තාත්තෙ…එයාට පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න. මේක සෙල්ලමක් නෙවෙයිනෙ. ළමයි දෙන්නෙක් එක්ක තනි වෙනව කියන්නෙ ගෑනියෙක්ට කරන්න පුළුවන් දෙයක්ද…එයා ආයෙ බඳින්න වෙනව එතකොට. ළමයි දෙන්නෙකුත් එක්ක ගෑනියෙක්ට කර ගහන මිනිහෙක් ඉඳියිද…අම්මෙ…ඔයා එයාට ඒක පැහැදිලි කරල දෙන්න”

“ආයෙ බඳින්න අදහසක් අරාට නෑ චින්තන”

මධුරි ට පෙර පිළිතුරු දුන්නේ තාරා ය. චින්තන ඇදෙස රවා බැලුවේ ය.

“තාරා මේ…ඔයත් වග කියන්න ඕන මේවට…එයා ඔය තරං මුරණ්ඩු විදිහට වැඩ කරන්න අරං තියෙන්නෙ ඇයි…ඔයාට යුතුකමක් තියනව මේ තීරණ වල බරපතල කම ගැන එයාට තේරුං කරන්න”

“අරා ට මුකුත් තේරුං කරන්න ඕන කමක්නෑ චින්තන. මටනං ආඩම්බරයි ඒකි ගැන. ගෑනියෙක් වෙලා ඉපදුණා කියල පිරිමින්ගෙ හැම නැහැදිච්ච කමක්ම ඉවසන්න ඕනද…ඒවට විරුද්ද වෙන්න අයිතියක් තියෙන්න ඕන නැද්ද…”

“පිස්සු මුන්ට”

චින්තන එතැනින් නික්ම ගියේ දමා ගසා ය. ඔහු ගේ කතා බහට හවුල් නොවී සිටියා ට මධුරි ගේ හදවතෙහි ද මහ බරක් පැටවී නො තිබුණා ම නොවේ. නීත්‍යානුකූල වෙන් වීමක් කරා යන ලෙස ඇය ද ආරාධනා ව පෙළඹවූවා ය. ඒ කාශ්‍යප කළ දේ ගැන කේන්තියෙනි. නමුත් දැන් ඉතින් දියණිය ගේ අනාගතය ගැන අලුතෙන් සිතත යුතු ය. ඇගේ ඉරණම කවරාකාරයෙන් විසඳෙන්නට නියමිත ද කියා සිතන විට අම්මා වශයෙන් මධුරි ගේ හිත පිච්චී යයි.

“චින්තන කියන්නෙත් ඇත්ත කියල හිතෙනව චමල්.. මං කියන්නෙ කාශ්‍යප ආයෙ සමාදාන වෙන්න කැමති එකේ…”

චමල් සේනාසිංහ එකවර කතා කළේ නැත. මඳ නිහැඬියාවකින් පස්සේ ඔහු සුසුමක් වා තලයට එක් කරමින් කතා කළේ ය.

“ඔයා දන්නවනෙ මධූ අපේ දුවගෙ හැටි. එයා දෙයක් කරන්නෙ හොඳට හිතල. එහෙම කළාට පස්සෙ ආයෙ ඒක වෙනස් කරයි කියලනං මං හිතන්නෑ. ඒත්…ඔයා කතා කරල බලන්න එයා එක්ක”

දෙවන නඩු වාරයට පෙර ආරාධනා එක්ක මේ ගැන කතා කරන්නට මධුරි සිතා ගත්තා ය.

ආරාධනා එක්ක සාකච්ඡාව ඔහු ට ඔනෑ ලෙස නිමා නොවීමෙන් පස්සේ කාශ්‍යප අපේක්ෂා භංගත්වයට විය. හිස තෝන්තු වී ඇතිවා වාගේ ඔහු ට දැනෙන්නට ගති. ඒ දරුනු පීඩනයෙන් ගැලවෙනු වස් ඔහු ට සිහිපත් වූයේ එක් මාර්ගයකි. මිතුරෙකුට ඇමතුමක් දුන් කාශ්‍යප ඔහු ද සමගින් තැබෑරුමකට ගොඩ වූයේ ය. කවදාවත් නැති ලෙස හිතේ හංගා ගෙන සිටි සියල්ල වමාරමින් මී විතින් මත් වන්නට වූයේ ය. කාශ්‍යප වූ කලී මීට පෙර එහෙව් අත්දැකීමක් සහිත වූවෙකු නොවේ. නමුත් ඒ මිතුරු සමාගමයත් මී විතත් ඔහු ට යම් සැනසුමක් සදනා ලදී. එදා කාශ්‍යප ගෙදර ගියේ පසු ගිය දින කිහිපයට වඩා සැහැල්ලු වූ බමන ගතකිනි. සෞභාග්‍යා ගිනි පිට වෙන දෑසකින් ඔහු දෙස බලා සිටියා ය. කාශ්‍යප ගේ මුහුණේ පාලනයකින් තොර සිනහවක් ඇඳී තිබිණ. තමන් පාලනය කර ගත නො හැකි වූ සෞභාග්‍යා ඔහු ව තල්ලු කොට දැමුවා ය. කාශ්‍යප විසි වී ගොස් බිම පතිත විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles