සැරිසරන්නී 29

පිරිමින් ට මේ තරම් නින්දිත ව හැසිරිය හැකි දැයි සිතන්නට මට ඕනා විය. අප කුඩා කල සිට ම, අපේ පවුල් වල පිරිමින්ට ගැහැනුන්ට වඩා වැඩි සැලකිල්ලක් දක්වනු මම දැක ඇත්තෙමි. ගැහැනියක වූ, පවුලේ වැඩිහිටි ම තැනැත්තිය වන ආච්චා පවා පිරිමි පුතුන්ට වැඩි සැලකිල්ලක් දැක්වූවා ය. එක ම මහ ගෙයි වහල යට කවුරුත් ජීවත් වුණ කාලයේ, මදිපාඩුවක් වේ නම් බිත්තරය වුව නැන්දලා මුලින්  පිරිමින්ට හා පිරිමි ළමුන්ට දෙනු මම දැක ඇත්තෙමි.

“කොල්ලො හොඳට කන්න ඕනෙ. කාල ඇඟ පත හයිය කර ගන්න ඕන. එතකොට තමයි ගෑනුන්ව ආරක්ෂා කරන්න පුළුවන්”

ගෑනු ළමයෙකුට නො දුන්  බිත්තරය ඔවුන්ට හොරෙන් පිරිමි ළමයින් ගේ පිඟන් වලට දමනු දුටු විට මම ඒ ගැන ප්‍රශ්න කරන්න ට පුරුදු ව සිටියෙමි. ඒ ගැන මට ලැබුණ පිළිතුර පෙර කී එක ය. එය එසේ යි සිතන්වට මම අකමැත්තෙන් හෝ කැමති වුණෙමි. අප වෙන් වෙන් ව ගෙවල් වල පදිංචි වූ පසු, අපේ ගෙදර මුට්ටියේ උඩ ම බත් කොටස වෙන් වූයේ තාත්තා ට ය!

තාත්තා වාගේ හැම පිරිමියෙක් ම ගෞරවනීය නොවන බව මම ඉක්මනින් ම වටහා ගතිමි. අපේ ගෙදර වෙන පිරිමි ළමයින් සිටියේ ද නැති නිසා මුල් කොටස බුද්ධ පූජාව සේ තාත්තා ට වෙන් කිරීම ගැන උරණ වන්නට හෝ රණ්ඩු වෙන්නට හේතුවක් වූයේ ද නැත. නමුත් නැන්දලා ගෑනු ළමයින්ට රහසේ පිරිමි ළමයින් ගේ පිඟන් වලට බිත්කරයක්, වැඩිපුර කුකුළු මස් කැබැල්ලක් දමත්දී මම හිතෙන් අවඥාවෙන් සිනහ වුණෙමි. දවසක දරුවන් බිහි කරන්නට අවශ්‍ය ශාරීරික පෝෂණය ඇරඹුමේ සිට ම ලබා දිය යුත්තේ ගැහැනු ළමුන්ට ය. නමුත් අම්මලා කරන්නේ දිනෙක සිය ස්ත්‍රීන්ට පහර දෙනු වස් බිත්තර ගිල්වා පිරිමි ළමයින් ගේ ඇඟ පත හයිය කිරීම ය.

රැකියාවට යන්නට ගත්තා ට පස්සේ, ළමා වියේ දී අපේ මනසේ පැළ කොට ඇති ගැහැනු පිරිමි ගැන අදහස කෙතරම් වැරදි දැයි මම ප්‍රත්‍යක්ෂ කර ගතිමි. මා දුටු වැඩිපුර ම කේලාම්, බොරු කීම් හා කෙටවීම් හා පාවා දීම් වලට සම්බන්ධ වී සිටියේ පිරිමින් ය. ඔවුන් ගේ අම්මලාත් ඔවුන්ට වැඩිපුර බිත්තර ගිල්වන්නට ඇත! නමුත් චීත්ත ගවුම් ඇන්දුවේ ගැහැනු ළමයින්ට ය!

දැන් ඉතින් බෝම්බය පුපුරා ගොස් තිබේ. බලා සිටිත යුත්තේ පශ්චාත් පිපිරුම් වල භයානක කම කෙසේ වනු ඇත්ද කියා ය. දිලුම් සිය වරද වහ ගන්නට නින්දිත ලෙස පාවිච්චි කළේ රවීන් සමග මගේ වන ප්‍රේමයයි. ඔවුහු ප්‍රේමය නො හඳුනති. වෛරය වපුරමින් යති.

“යකෝ මේක මාර වැඩක්නෙ…අපේ ගෙදරටම ඇවිත් අපේ වකාල්ලටම ගහල ගිහිං තියෙන්නෙ. කෝ මේ චණ්ඩියා…”

එහඬින් මගේ පපුව හෙළවී ගියේ ය. නමුත් කිසි සේත් නාය යාමකට ඉඩ නොතබන්නෙමැයි මම හදවතට පොරොන්දු වුණෙමි.

“මොනාද නිමාලි කියන්නෙ..”

ඒ තැන්පත් කටහඬ අම්මා ගේ ය. දැන් ඉතින් සියල්ල අවසාන ය. මගේ ඇස් වල තිබුණ කඳුළු වාෂ්ප ව ගොස් තිබුණේ ය. මම යහනේ හිඳ ගතිමි.

“ඔයා කොහොම දැන ගන්නද ජානා…ඔයා මැෂින් එකට මූණ ඔබාගෙන සල්ලිම හම්බ කර කර ඉන්න. ඔයාගෙ දුවල මොනා කරනවද කියල දැනගත්තහම දුක් වෙන්න තමයි වෙන්නෙ. පවු අර දුනුකේ අයිය. ළමයි සිය දහස් ගාණකට ඉගැන්නුවට මොකද තමංගෙ දුවල හරියට හදා ගන්න බැරි වුණා”

“නිමාලි ඔය හෑලි කියවීම නවත්තල මට කියනව මොකද්ද වෙලා තියෙන්නෙ කියල”

අම්මා ගේ හඬ උස් ව නැගුණේ ය. සාමාන්‍යයෙන් ඇය කෑ කෝ ගසා ගැනීම් වලට සම්බන්ධ නොවන නිශ්ශ්බ්ද ගැහැනියකි. නමුත් සිය දරුවන් ට වෙනත් කෙනෙකු දොස් කියත්දී කිසිම අම්මා කෙනෙකුට නිහඬ ව සිටිත නො හැකි ය.

“වෙලා තියෙන්නෙද…වෙලා තියෙන එකෙං අනේ අපිටනං කිසිම ප්‍රශ්නයක් නෑ. අපේ දිලුම් අවවාදයක් දෙන්න ගිහිං තියෙන්නෙ සහෝදර කමට. කසාද බැඳපු මිනිහෙක් එක්ක සම්බන්ධකං තියා ගන්න තරං මෝඩ වෙන්න එපා කියල. මෙයා මොකද්ද ඒකට උත්තරේ විදිහට දීල තියෙන්නෙ…අපේ එකාගෙ කම්මුල් දෙකටම ගහලයි ඔය ඇවිත් තියෙන්නෙ”

“මොකද්ද මොකද්ද ඒ කසාද බැඳපු කෙනෙක් ගැන කතාව…”

නිමාලි නැන්දා හිනැහෙනු ඇසිණ. මා සිටියේ වෙව්ලමිනි. කිහිප වතාවක් මගේ දත් ඇඳි ටකස් ගා එකට ගැටිණ. මම හිට ගතිමි. නමුත් දෙපා වෙව්ලනවා සේ දැනුණෙන් නැවතත් ඇඳ කොනක හිඳ ගතිමි. ළඟින් ඉන්නට නංගී හෝ ගෙදර නැති අඩුව මට හොඳට ම දැනුණේ ය.

“අනේ මන්දා මටනං මේ අනුංගෙ ඕපදූප වැඩක් නෑ ජානා. මටත් ඉතිං කෙල්ලෙක් ඉන්නවනෙ අනික. එයත් ඔය නොගැලපෙන සම්බන්ධයක් ඇති කරගෙන අපිට දීපු ගින්දර දැන් කවුරු කවුරුත් දන්නවනෙ. සනූ අර රවීන් එක්ක යාළුයි කියන්නෙ”

ඊට අපේ අම්මා ගේ පැත්තෙන් කිසිත් කියවුණේ නැත. ඇය මේ මොහොතේ මොන තරම් අසරණ හැඟීමක් තුළ පීඩිත ව හිඳිනවා ඇත්ද? මම අම්මා ව සිතින් මවා ගන්නට උත්සාහ කළෙමි. මා ලොවට බිහි කරත්දී ඇය අත්විඳින්නට ඇත්තේත් මේ වේදනාවමයි කියා සිතමි.

සියල් වේදනා හා දුර්වල කම් ජය ගන්නට ගැහැනුන්ට වේදනාව තුළින් ම පන්නරය ලැබේ. විෂෙන් විෂ නසනවා කියන්නේ ඊට විය යුතු ය. මම විදුලියක් දේ නැගී සිට ආලින්දය වෙත ඇදී ගියෙමි.

“දිලුම් අයිය මොනා හරි කිව්වනං ඒක හරි කියල හිතං මෙතන ඇවිත් චෝදනා කරන්න එපා නැන්දෙ..මං එයාගෙ කම්මුල රත් වෙන්න ගැහුවෙ කවුරුත් නැති ඕගොල්ලංගෙ ගෙදරදි හොරෙං පිටිපස්සෙං ඇවිත් මාව බදා ගත්තු නිසා”

“අනෙ අම්මේ මෙයා කියන බොරු”

සිය පුතා ගේ පැත්තේ සිට ගෙන පොදු මාතෘ හැඟීමෙන් එසේ කීවාට ඒ වචන ටික තුළ දිය වී තිබුණේ අන්ත අසරණ කමක් කියා මට සිතිණ. සිය පුත්‍ර රත්නයේ කල්ක්‍රියාව ගැන මා නිමාලි නැන්දාට අමුතුවෙන් කියා දිය යුතු නැත. ඔහු ගේ පාසල් සමයේ සිට ම හතර වටෙන් ඇයට ඒ ගැන චෝදනා හා පැමිණිලි කිරීම් තිබිණි. නමුත් පවුලෙ ගැහැනු ළමයෙකු ගෙන් ඒ චෝදනාව එල්ල වෙත්දී ඇයට එය උහුලා ගන්නට බැරි වෙන්නට ඇත.

“නෑ නෑ සනූ බොරු කියන්නෙ නෑ”

ආච්චා තදින් ම මා වෙනුවෙන් පෙනී සිටියා ය.

“බොරු නෙවෙයි ආච්චා. ටික දවසක ඉඳං දිලුම් අයියගෙන් මට මාර වදයක් තියෙන්නෙ. එක එක ඒව කියනවයි…කෝල් කරනවයි…ජරා ෆොටෝස් වීඩියෝස් එහෙම එවනවයි…”

“දැන්ද ඕව කියන්නෙ…”

අම්මා කෑ ගසා ඇසුවා ය. ඈ සිටි ආවේගයේ හැටියට අම්මා මට පහර දෙනු ඇත කියා ද මට සිතිණ.

“මං කාටවත් කිව්වෙ නෑ ප්‍රශ්න ඇති කරන්නෙ මොකටද කියල. අඩු ගානෙ ලොකු අයියටවත්…”

“නිමාලි…පුතාව ලොකු කරගෙන ආව නේද මෙතනට ගවුම අතිං අරගෙන…ඌ මොනාද බොල මේ කරල තියෙන්නෙ…සහෝදරියක් නේද මේ…”

ආච්චා පරල වී නිමාලි නැන්දාගේ ඇඟට ගොඩ වෙන්නට ගියා ය. මගේ හෘද ස්ඵන්දනය අතිශය වේගවත් වී තිබිණ.

“ආ එතකොට දැන් මෙයා කියන ඒව තමයි හරි. අපේ එවුං කියන්නෙ බොරු…අහන්නකො මෙයාගෙං…නැද්ද කියල රවීන් එක්ක සම්බන්දයක්”

“තියනව”

මම කෑ ගසා කීවෙමි. අම්මා ගේ ඇස් විශ්මයෙන් විසල් වී ගියේ ය. මා කී තනි වචනය පිළිරැව් දෙමින් නැවත නැවත ද මට ඇසෙන්නට විය.

මා තුළ ම ඇති ව තිබූ කම්පන තරංග දුරකට පා ව ගොස් මඳක් සන්සුන් වන තෙක් මම බලා සිටියෙමි. වඩාත් පැහැදිලි හා නිරවුල් පිළිතුරක් වෙනුවෙන් අම්මා බලා හිඳින බව මම දනිමි. තවමත් ඇය සිටින්නේ මගේ ප්‍රතිචාරයෙන් කම්පිත ව කිසිත් සිතා ගත නො හැකි ව ය.

“ඒක මේ ලෝකෙට හොර රහසෙන් තියං ඉන්න පටන් ගත්ත සම්බන්දයක් නෙවෙයි. රවීන් ඩිවෝස් වෙලානෙ ඉන්නෙ. ඉතිං මේක හොර සම්බන්දයක් නෙවෙයිනෙ. වෙලාව ආවහම ගෙදරට කියන්න තමයි හිටියෙ. හැබැයි දිලුම් ඒක දැන ගෙන කළේ මාව බ්ලැක්මේල් කරන්න හදපු එක. එයා හිතන්න ඇති මේ ගැන ගෙදරට කියනවට බයේ මං එයා කියන ඕන දේකට කැමති වෙයි කියල. එයාගෙ ජරා අසනීප සනීප කරන්න තරං මං මෝඩ වෙයි කියල..අන්න ඒක නිසා තමයි කම්මුල් දෙකම රත් වෙන්න දීල ආවෙ මං”

“බලාපල්ලකො ලැජ්ජ නැතුව තව චණ්ඩිකමුත් කතා කරන හැටි”

නිමාලි නැන්දා වෙව්ලන්නට වූවා ය. ඊළඟ ඇසිල්ලේ රොකට් එකක වේගයෙන් මවෙත ආ අම්මා මගේ කම්මුල සිසාරා වෙරා යොදා පහරක් එල්ල කළා ය. ඇස් නිලංකාර වෙනවා සේත් මා කැරකී යනවා සේත් දැනී, කිසිත් සිදු නොවුණ බව පසක් කරමින් ලෝකය ක්‍රියාත්මක විය.

“අර මිනිහ නැහීගෙන දුක් විඳගෙන උඹලව හැදුවෙ මෙහෙම වෙන්නද ආ…රටේ ලෝකෙ පිරිමි හිටියෙ නැද්ද වෙන…ඇයි දෙයියනේ මෙහෙම කළේ අපිට…සනූ මෙහෙම කරයි කියල තාත්තා කවදාවත් හිතන්නෙ නෑ. මේක දැන ගත්තහම ඒ මනුස්සය පපුව පැලිල මැරෙයි දෙයියනේ”

අම්මා එසේ කියවමින් ද හඬමින් ද පුටුවක් මතට වැටුණා ය. මගේ ඇතුළාන්තයේ වූයේ ලේ ගලනා තුවාලයකි. නමුත් මම නාඬා සිටියෙමි. අඬන්නට ඕන වුණත් මට හැඬුණේ නැත. මම ගලක් වී හයිය වෙමින් සිට්යෙමි.

“ඒගොල්ලංගෙ කුණු වහගන්න අපේ ළමයින්ට අත පය උස්සගෙන එනව. හරි උපාසක අම්ම. ඔය දැං කරගෙන තියෙන්නෙ”

වගේ දේවල් කියමින් නිමාලි නැන්දා අපේ ගෙන් නික්ම ගියා ය.දැන් ඉතින් ශෙහාරා නිදහස් ය. ලොකු අක්කා ද නිදහස් ය. ටික කාලයකට තලු මර මර කතා කරන්නට කට්ටියට අලුත් මාතෘකාවක් මුණගැසී තිබේ. සනූ රවීන් එක්ක පැටලිල්ලක් හදා ගෙන තිබේ!

අම්මා දොඩවමින් ද ඉකි ලමින් ද හැඬුවා ය. මම ඇය හිඳ උන් පුටුව ළඟ බිම හිඳ ගෙන ඇගේ දෙපා අල්ලා ගෙන සිටියෙමි. නංගී ආවේ ඒ අතර ය. ඇය ට මගදී ම කාරණය ආරංචි වී තිබේ.

“අපරාදෙ අරූට කනට ගහල නිකං හිටියෙ. අතක් පයක් කඩන්නයි තිබුණෙ”

ඇය ගෙට ගොඩ වූයේ ඒ ගෝරනාඩුවෙනි.

“ඒක විතරද පේන්නෙ…මෙයා අපේ මුළු පවුලටම කරල තියෙන ලැජ්ජාව පේන්නෙ නැද්ද…”

අම්මා නංගී ගේ ඇඟට ද ගොඩ වූවා ය. නංගී පිළිතුරු දෙන්නට ගියේ නැත..අම්මා හිත පාරා ගෙන සිටින මේ වෙලාවෙ නිහඬ ව සිටිනා එක හොඳ යයි මට ද සිතිණි. මේ වෙලාවට තාත්තා ගෙදර එවන්නට එපා යයි මම දෙවියන් ගෙන් ඉල්ලා සිටියෙමි. දෙවියනි මට තාත්තා ට මූණ දෙන්නට තරම් හයියක් නැත!

ලොකු අයියා අපේ දොරකඩින් මතු වූවේ මා එහෙම පිටින් ම කළඹවා ගෙන ය. දොරකඩ සිට, දෙපසට දෑත් විහිදා  උළුවස්ස අල්ලා ගෙන සිටින ඔහු ගේ දැවැන්ත ශරීරය දෙස බලන්නට පවා මට බය හිතුණේ ය. මම කිසි සේත් ඔහු ගේ මුහුණ දෙස නම් නො බැලුවෙමි.

“ලෝකෙ මෙහෙම දෙයක් වෙච්ච මුල්ම වතාව මේක නෙවෙයි ජනරංජනියො. හිතේ අමාරුවක් ඇති. මං නෑ කියන්නෙ නෑ. ඒත් ඔය හැටි විස්සෝප වෙන්නවත් කේන්ති ගන්නවත් ඕන නෑ. මේ කෙල්ල ලෝකෙ තියෙන ලොකුම වැරැද්ද කළා නෙවෙයිනෙ”

ආච්චා ගේ හඬ ඈත විශ්වයෙන් මතු වූ සුරංගනා හඬක් සේ මට ඇසුණේ ය. කොහොමටත් ආච්චා සුරංගනාවකි. අප කුඩා කල ඈ කියූ සුරංගනා කතා අසත්දී මම එහෙම හිතේ මවා ගෙන සිටියෙමි.

“අනික ඉතිං ඕව කෙරෙයිද නොකෙරෙයිද කියල දන්නෙ දෙවියො විතරනෙ. යාළු වෙන කොල්ලො කෙල්ලොංගෙං කීයෙං කීයද කසාද බැඳල නතර වෙන්නෙ…කලබල නොවී ඉමුකො. අර මනුස්සයවත් කලබල කරන්නෙ නැතුව”

අන්න ඒ අන්තිම වාක්‍ය නම් සුරංගනා ආත්මයකින් නැගුණ කතාවක් ම විය. මේ සම්බන්දය පුරා මා බය වූ, මා තැති ගත්, මා විස්සෝප වූ එක ම හේතුව තාත්තා ය!

“සනූ..මෙහෙ වරෙං”

කියා ගෙන ලොකු අයියා පිය ගැට පෙළ නගින්නට වූයේ ය. මම ටික වෙලාවක් ගල් ගැහී සිට අඩියක් පෙරට තැබුවෙමි. ලෙච්චමී, තංගච්චී, සිරියලතා, ටිකිරිමලී වැනි නම් කියනු මිස ලොකු අයියා ගේ මගේ ම නමින් මා අමතන්නේ නැති තරමි. ඔහු ට තරහ ගොස් තිබේ.

දෙපා අද්ද අද්දා මම ස්ලැබ් එක මතට ගියෙමි. මට හිස ඔසවා වත්ත දෙස බැලිය නො හැකි තරම් විණි. මේ මොහොතේ මුළු වත්තේ ම මාතෘකාව මා බව මම දනිමි.දෙබරට ගලක් වැදුණා සේ දැන් සියල්ලෝ ම ඇවිස්සී සිටිති.

“මොකද්ද යකෝ මේ කරං තියෙන්නෙ…තොපි දෙන්නටම යුතුකමක් තිබුණ නේද අඩු ගානෙ මේ මට ඕක කියන්න”

“අනේ ලොකයියෙ…”

මම හඬා ගෙන ම ලොකු අයියා ගේ පපුව ට කඩන් වැටුණෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles