වියෝ ගී ගැයෙනා හදේ – 47

0
3626

“මං දන්නෙ නෑ බං. මට ඇත්තටම කියන්න තේරෙන්නෙ නෑ. මං වලාකුලුට කැමැතියි. කැමතියි නෙවෙයි ඇත්තටම මම මාරම කැමැත්තකින් හිටියා. ඒ උනාට මේ පෙත්මලීගේ ප්‍රශ්නෙ වෙච්ච වෙලාවෙ මට හිතිච්ච දෙයක් තමයි වලාකුලුව මගෙ ජීවිතේට ලීගල් විදියට සම්බන්ධ කරගන්නවා කියන්නෙ දැන් අපේ ජීවිත ඇතුලෙ චිරත්ට තියෙන ඉඩ තව සෑහෙන ප්‍රමාණයකින් අඩුවෙනවා කියන එක. මට තියෙන එකම ප්‍රශ්නෙ වලාකුලු අංකල් කෙනෙක් විදියට පිලිගන්න පෙත්මලී කැමති උනාට තාත්ත්ගෙ රිප්ලේස්මන්ට් එක විදියට වලාකුලුව පිළිගන්න එයා කැමති වෙයිද කියන එක”

“කැමති වෙයිද කියල හිතන්න උඹ කරදර වෙන්න ඕන නෑ. පෙත්මලී කවදාවත් ඒකට කැමතිවෙන්නෙ නෑ. කැමතිවෙන්නෙ නෑ කියන්නෙ කැමතිද අකමැතිද කියල හිතන්නවත් ඒ ළමය එහෙම දෙයක් ගැන හිතලවත් නෑ. වලාකුලු රිප්ලේස්මන්ට් එකක් වෙන්නෙ උඹේ හස්බන්ඩ් කියන තැනට මිසක්කා පෙත්මලීගෙ තාත්තා කියන තැනට නෙවෙයි. උඹ හිතන්න එපා මේ වලාකුලු උඹ එක්ක හොඳට මල් කඩපු හැටියට කතා පොත්වල තියෙනව වගේ ඌ මේ පෙත්මලීට මාර හොඳ තාත්තා කෙනෙක් වෙලා පෙත්මලී චිරත්ව අමතකම කරලා දාවි කියලවත් චිරත් ඇවිල්ලා අනේ කමක් නෑ ඔයාලා සන්තෝසෙන් ඉන්න ඔයාලගෙ සතුට තමයි මගෙ සතුට කියල කියාවි කියල.ඒව ආතල් කතන්දර පොත්වල තියෙනකම් විතරයි මේධා. ඇත්ත ජීවිතේ ඔය කියන හිතන ලියන තරම් ආතලුත් නෑ ශෝක් එකක් ඇත්තෙත් නෑ”

“මට ඇත්තටම තේරෙන්නෙ නෑ බං මම මොකද්ද කරන්න ඕන කියලා” කියලා මේධා දිග හුස්මක් හෙලද්දි යෙහෙලිය කෙතරම් මෝඩ කම් කරන්නියක වුවද තවදුරටත් ඇයට බණින්නට කරන්නට හිත හදාගන්න ආලෝකාට පුලුවන් උනේ නැත.  මොනවා උනත් මේ තමන්ට හමුවුන හොඳ යෙහෙලියකි. අසනීප වී උන් අවස්තාවල මේධා තමන්ට කොපමණ නම් වාර ගණනාවක් කෑම බීම හදා ගෙනවිත් දී තිබෙනවාද කියන එක ආලෝකාට අමතක නැත. එහෙම ගැහැණිය තමන්ගේ මෝඩකම නිසා කෙතරම් කරදර වල වැටුණද එවන් තැනකදී මග හැර හිඳීම යහපත් මිතුරියකගේ ගතියක් නොවන බව ආලෝකාට අමතක උනේ නැත.

“මං දන්නෙ නෑ මම මෙහෙම කියන එක හරිද කියල. උඹයි වලාකුලුයි අතරෙ තියෙන සම්බන්ධෙ මොන වගේ මොන දේවල් බේස් කරගෙන හැදුන එකක්ද කියන්නවත් මම දන්නෙ නෑ.  එහෙම එකේ මට ඇත්තටම කියන්න දෙයක් හිතාගන්න බෑ. හැබැයි මම මේ උඹ ගැනටත් වඩා අර දරුව ගැන හිතලා තමයි මෙහෙම කියන්නෙ. වලාකුලු එක්ක සම්බන්දෙ තියාගත්තට කමක් නෑ.මනුස්සයෙක්ව ආස්‍රය කරන්නෙ නැතුව අපිට ඩිසයිඩ් කරන්න බෑනෙ ඒ මනුස්සය මොන වගේ කෙනෙක්ද කියන එක. හැබැයි කලබලවෙලාවත්, ඌ උඹ එක්ක තරහා උනා, මිනිහ අඬනවා, මැරෙන්න යනවා වගේ අරව මේවා කිව්ව කියලවත් උඹ ඌව බඳින්න හදිස්සි වෙන්න එපා. අපි කියනවා තමයි බං කසාද බැන්දට පස්සෙත් ගෑණු අමතක කරන්න නරකයි තමන් මනුස්සයො කියන එක, තමනුත් සන්තෝස වෙන්න ඕන, අනිත් අයව සතුටු කරනව විතරක්ම නෙවෙයි කියලා. ඒ උනාට ඇත්තටම ඒක කරන්න මාර අමාරුයි බං. විශේෂයෙන්ම අම්මා කෙනෙක්ට. උඹ මනුස්සයෙක් බව ඇත්ත. උඹත් ආස ඇති උඹට ආදරේ කරන, උඹව බලාගන්න කෙයා කරන මනුස්සයෙක් එක්ක ජීවත්වෙන්න. ඒකෙ වරදක් නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ මනුස්සය ඇත්තටමට කෙයා කරන්නෙ කියන එක. අනික ඒ මනුස්සය උඹ ගැන විතරක් හිතල හරියන්නෙ නෑ. දරුවා ගැනත් හිතන්න ඕන. උඹ ආයෙ බඳිනව කියන්නෙ ඒ දරුවටත් මොක උනත් ආයෙ ජීවත්වෙන්න වෙන්නෙ උඹයි උඹ බඳින මිනිහයි එක්ක. එහෙම එකේ ඒ මනුස්සය පෙත්මලීට ආදරෙ වෙන්න ඕන. උඹල දෙන්න බැඳලා ළමයි හිටියත් පෙත්මලීටත් කිසි වෙනසක් නොවෙන්න ඕන. අනික දැන් චිරතුයි උඹයි වෙන් උනාට පස්සෙ ඒක පෙත්මලීට මෙච්චර ලොකුවට බලපාලා නම් උඹම හිතපන් වලාකුලුව හරි වෙන කෙනෙක්වහරි උඹ කසාද බැඳලා ඒ මිනිස්සු දෙන්න එක්ක එකට ජීවත්වෙන්න වෙන එක පෙත්මලීට කොච්චර බලපාලා ඇද්ද කියලා? ඒ නිසා මොන දේ කරත් හොඳට හිතල බලල කියන්න. අම්මලා තාත්තල දරුවන්ට වරදක් කරන්නෙ නෑ කිව්වට අමතක කරන්න එපා උඹයි චිරතුයි දෙන්නම හන්දා දැනටම පෙත්මලීට ලොකු වරදක් වෙලා තියෙන විත්තිය”

මේධා එදා ආලෝකාගේ ගෙදර හිඳ එන ගමනුත් කලේ වලාකුලු විසින් කියන්නට යෙදුන ඒ කතාවත් එයට තමන් දිය යුතු පිළිතුර කුමක්ද කියන එකත් පිළිබඳවය. ඒ ප්‍රශ්නයට දෙන්නට සුන්දර පිළිතුරක් තමා ලඟ නැති බව හොඳාකාරවම දන්නවා නමුදු හිත රිද්දන පිළිතුරක් දී වලාකුලුව තරහ කරගන්න උවමනාවක්ද මේධාට නැත. 

කාලය බොහෝ වේගයෙන් ගෙවුණේ මේධා විසින් හරියාකාර පිළිතුරක් නොදෙන තැන ඒ ප්‍රශ්නය වලාකුලුගේ මුවින් දිනපතා නිකුත්වෙන්නට ඉඩ දීය. ඒද විටෙන් ආදරයෙන්, තව විටක දුකෙන් සහ තව විටෙක කෝපයෙන් තර්ජනයෙන් ගර්ජනා වශයෙනි. තමන් ඒ සියලුම වදන් මෙලෙස මාසයක් දෙකක් පුරාවට ඉවසුවේ කෙසේද යන එක ඇත්තටම මේධාට පවා හිතාගන්න බැරිඋන දෙයකි.  එහෙත් කෝප ගැනීම, රණ්ඩු කරගැනීම වනාහී මෙවන් මොහොතක හිතට නුවුමනා දෙයක් බව දන්න හන්දාම වලාකුලුට ඕන දෙයක් කියාගන්න ඉඩ දී මේධා නිහඬවම උන්නාය. ඒ සියලුම නිහඬවීම් සිත් වේදනා හමුවේ වුවද පෙත්මලීව කවුන්සලර් ලඟට අරගෙන යන්නට මේධා කිසිම මොහොතක අමතක කලේවත් ප්‍රමාද කලේවත් නැත. මේධා වෙනදාට වඩා නිහඬ බවත් ඒ මීන දෙනෙත් වෙනදාට වඩා විඩාබර බවත්, ඒ දෙනෙත් අස්සේ කුමක් හෝ වේදනාවක් කැටි වී ඇති බවත් එවන් අවස්තාවල චිරත් නොදැක්කා නොවේ.

“මම දැන් එයාව මගෙන් ජීවිතෙන් සම්පූර්ණෙන්ම අයින් කරලා දාලා තියෙන්නෙ” කියා කොතෙක් කිව්වද කෙනෙක්ව ජීවිතෙන් අයින් කරන එක කොපමණ ලේසිද එතරම්ම හිතෙන් අමාරුකරන එක අපහසු බව චිරත් නොදන්නවා නොවේ. මේධාගේ දෙනෙත් අස්සේ ලියවී තිබුන හේතුවක් නොදත් වේදනාබර තමන් ගේ හිත මෙතරම්ම වේදනාවට පත් කරන්නේ ඒ නිසා බව චිරත් නොදැන උන්නා නොවේ. එහෙත් ඒ ගැන අහන්න කරන්න සනසන්න අයිතියක් දැන් තමන්ට නැත. පෙත්මලීගේ වෛද්‍යවරිගේ වෛද්‍ය කාමරයේ අසුන් දෙකක වාඩි වී දෙකෙලවරක් බලාගෙන ඉන්න නාදුනන මිනිසුන් දෙදෙනෙකු බඳු තමන් දෙදෙනාට දැන් එයාකාර පෞද්ගලික හැඟීමක් බෙදා හදා ගන්න හැකියාවක් නැති බව චිරත්ට රහසක් නොවේ.

“පෙත්මලීගෙ ඉම්පෘව්මන්ට් එකක් තියෙනව. තව මාසයක් වගේ යද්දි ඇත්තටම එයාව සම්පූර්ණයෙන්ම වගේ රිකවර් කරගන්න අපිට බැරිවෙන්නෙ නෑ. අපි පහුගිය මාස කීපයක් තිස්සෙම දිගටම ට්‍රීට්මන්ට් එක්සයිසස් කල නිසා වගේම එයා එද්දිත් ඉඳියෙ ගොඩක්ම ක්‍රිටිකල් ස්ටේජ් එකක නෙවෙන නිසා සහ ඔයාලා දෙන්නගෙ කැපවීම තමයි ඇත්තටම අපිට මෙච්චර ලොකු ඉම්පෘව්මන්ට් එකක් පෙත්මලීගේ දකින්න හේතු උනේ. හැබැයි දැන් තව මාසෙකින් වගේ පෙත්මලී සම්පූර්ණයෙන්ම රිකවර් වෙනවා කියන එකේ තේරුම ඔයාලා දෙන්නට ආයෙ ඉස්සර හිටිය තැනට යන්න පුලුවන් වෙනවා කියන එක නෙවෙයි. මම මැදිහත් වෙලා මේ ඔයාලා දෙන්නව එකතුකරගෙන කරපු දේවල් ඔයාලා දෙන්න දරුවා වෙනුවෙන් ඉස්සරහටත් කරන්න ඕන. මම නෑ කියල එක දවසකටවත් ඒව මගාරින එක හොඳ රිසල්ට් එකක් ගෙනත් දේවි කියල නම් හිතන්න එපා. රිකවර් වෙනවා කියන එකෙ තේරුම ආයෙ පෙත්මලී ඩිප්‍රෙස් වෙන්න බෑ කියන එක නෙවෙයි කියන එක හොඳටම මතක තියාගන්න” 

වෛද්‍යවරිය එහෙම කියද්දිත් මේධා උන්නේ හිත ඇතුලෙන් වලාකුලු විසින් අසන්නට යෙදුන කාරණාවට දිය යුතු පිළිතුර ගැන සිතමිනි. 

බෑ කියන උත්තරේ වලාකුලුගේ හිත රිදවන්නට ද හා කියන උත්තරේ පෙත්මලීගේ හිත රිදවන්නටද හේතු වෙන බව මතක් වෙන අතරවාරයේම මතක් කරන්නට තව කාරණාවක් මේධාට තිබුණාය.

ඒ ඒ දෙකෙන් කුමන උත්තරේ දුන්නද එය තමන්ගෙ හිත රිද්දන්නට හේතුවෙන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here