මල් පිපුණිද හිම කැළයේ – 3

0
2191

රාත්‍රිය පුරාම නිසියාකාර නින්දක් නොලද හෙයින් නිලංගා තරමක් දවල් වනතුරුම නිදාගත්තාය. ඇසැරගත්තද හිස බරය.නලල දෙපසින් දැඩි වේදනාවක් මතුව එයි.රාත්‍රියේ නිදාගත්තේද නිරාහාරව හෙයින් යටපත්ව තිබූ ගැස්ට්‍රයිටිස් තත්වයද මතුවෙමින් එයි.නිලංගා ආයාසයෙන් ඇඳෙන් බැස්සාය.මේසය මතවූ වතුර වීදුරුව එකහුස්මට බී බිස්කට් පැකට්ටුවක් මේසය මතින් අතට ගත්තාය.මුලුතැන් ගෙයට යන්නටවත් ගතට පණක් නැතිසේය.තමාටම දොස් පවරාගනිමින් බිස්කට් කිහිපයක් කා වතුර බී වේදනා නාශක පෙති දෙකක් ගිල දැම්මාය.

මේ ආකාරයට නොසැලකිලිමත් වුව හොත් ජීවිතය වැටෙන්නේම අගාධයකටය.එහෙයින් හිත හයිය කරගන්නට අවැසි බව නිලංගා තමාහටම තහවුරු කර සපථ කලාය.තවත් අඩ හෝරාවකට පසු නිලංගා ඇඳෙන් නැගිටගත්තේ කලයුතු කරුණු සියල්ල එකිනෙකෙට ගොනු කරගනිමිනි.

අන්තර් ජාල ගත බැංකු ගිණුමේ ඇති මුදල පරෙස්සම් කරගන්නට අවශ්‍යය.මේ ඉතිරිය ඇය තබාගත්තේ රැකියාවක් වෙනුවෙන් sponsership එකක් සඳහා ගෙවීමට සහ වීසා සඳහා අවශ්‍යතාවය වෙනුවෙනි.ඒ මුදලට අතගසන්නේවත් නැතැයි සිතාගනිමින් නිලංගා සිය වියහියදම් ගැන ඉදිරි සතියට ඉලක්කයක් තබා ගත්තාය.අද එළියට යන්නට අවශ්‍යය.අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටිකක් ගෙනවිත් වේල් කිහිපයකට උයාතබා ගත යුතුය තව සති තුනක් ඇතුළත යන්නට තැනක් අවශ්‍යය.අද දවසේ නිවෙස් සහ දේපල කාර්‍යාලයන් කිහිපයක් වෙත යායුතුය.අන්තර්ජාලයේ තව සෙවිය යුතුය.

කුඩා සටහන් පොතේ එකින් එක සටහන් කල නිලංගා සිතට දිරිය ගත්තාය.කඩාවැටෙන වාරයක් පාසා තමා ඇදෙන්නේ ආපස්සටමය.එසේ පසුබාමින් ඉන්නට කාලයක් ඇත්තේම නැති තරම්ය.එළියට බැස ඇවිදයන්නට පෙරාතුව නිලංගා වේලාව ඇතිතරම් රැගෙන නෑවාය.උණුසුම් දිය පහසේ ජීවිතයේ සියලු අපහසුතාද සේදී යයි නම් කෙතරම් දැයි ඇය සිතුවාය.

නිලංගා නිවාස සහ ඉඩම් නියෝජිතයන් හමුවන්නට කාර්‍යාල කිහිපයකටම ගොස් හෙම්බත් වූවාය.ඒ හැම තැනකම වූයේ තනිකාමරයේ හෝ ඊට වැඩි තරමේ මහල් නිවාස හෝ නිවාස පමණි.කාමරයක් පමණක් වෙනුවෙන් ඇයට අන්තර්ජාලයේ ඇති යෙදවුම් මාර්ගයෙන් සොයාබලන ලෙසම උපදෙස් ලැබුණි.

නිලංගා යළිත් අධෛර්යමත් වූවාය. බලාපොරොත්තු බිඳවැටීම ,පේනමානයේ කිසිදු හව්හරණයක් නොවීම ඇයව හෙම්බත් කොට තිබුණි.නිවාස නියෝජිත කාර්‍යාලයෙන් පිටතට බැස ඇය කිසිත් අරමුණක් නැතිවම මාවත ඔස්සේ ඇවිදගියාය.අරමුණකින් තොරවම ඇය නගරයේ කෙළවර වූ උද්‍යානයක ගේට්ටුව අබියසට පැමිණ උන්නාය.අත වූ බෑගයෙන් පිටට ගත් බෝතලයේ අවසාන වතුර උගුරු කිහිපයද බී උද්‍යානය තුළට ඇවිද ආ නිලංගා උද්‍යානයේ ගසක් යට බංකුවක ඉඳගත්තාය.ජීවිතය මේ සා සරදමක් වන්නේ මන්දැයි ඇය යළි යළිත් සිතුවාය

ගෙල මුලටම ගොහොරුවක ගිලී යන්නෙකුහට අත දිග මානයේ ඇති තෘණ පඳුර පවා ගැලවීමකි. නිනව් නැති කාලයකට පසු නිලංගා සුසුමක් හෙලා ජංගම දුරකතනය බෑගයෙන් අතට ගත්තාය.මාලිකා සිරිනන්දගේ නම්වර පත දුරකතනය සමගින්ම ඇය අතට ආවේ ඒ මොහොතේය.

මෙතුවක් කාලයක් තමා රැකගෙන ආ ප්‍රතිපත්තිය වූයේ අනෙකෙකුහට කරදරයක් නොවී ජීවිතය පවත්වා ගැනීමය.අත්‍යාවශ්‍ය ම විටෙක විනා අනෙකෙකුගෙන් උදව් උපකාර පැතිම නිලංගා නොකලාය.මාලිකා සිරිනන්ද වෙතින් තමාහට විසඳුමක් ලබාගන්නට හැකිවේදැයි ඇය නොදත්තාය.මේ මොහොතේ කවුරුන් හෝ සමග කතාකිරීමේ අවශ්‍යතාවයක් නිලංගාහට ඇතිවෙමින් තිබුණි.

ඇය මාලිකා සිරිනන්දගේ අංකය ඇමතුවාය.ඒ මොහොතේම මාලිකා ඇමතුමට සම්බන්ද වූවාය.

“අනේ ඔයා…මම බලන් උන්නා කතාකරයි කියලා උදේම.ඉතින් ඉතින් ..අනේ ඔන්න.මම නම සේව් කරගෙන ඉන්නේ නෙලී කියලා හොඳද….මට ඔයාගේ නම එගෙම මතක තියාගන්න එක ලේසියි අනේ…”

උද්‍යෝගිමත් හඬින් කියවාගෙන යන යුවතිය ගේ හඬට නිසොල්මනේ සවන් දුන් නිලංගා ඇය පවසන දෑ අසා උන්නා මිසක වදනක් හෝ නොදෙඩුවාය.

“නෙලී ,ඔයා කොහෙද ඉන්නෙ දැන්…මම ඉන්නේ එදා ආව කොෆි ශොප් එක කිට්ටුව.ඔයා බිසි නැත්නම් මම ඔයාව මීට් වෙන්න එන්නද?”

මාලිකා සිරිනන්ද විමසුවාය.නිලංගා ඇය වෙත තමා ඉන්නා ස්ථානයේ ගූගල් යෙදවුම යවා බලා උන්නාය.හිතේ ඇති සාංකාමය බවත් අවිනිශ්චිත බවත් ඇය බෙහෙවින් හෙම්බත් කොට තිබුණි.

මාලිකා සිරිනන්ද පැමිණ උන්නේ තනිවමය.හුරුබුහුටි මෝටර් රථය ඇය වැනි ගැහැණු ළමයෙකුටම ගැලපෙන්නක් විය.මේ සියල්ල තමාටත් පෙරකළක වූ සිහිනයන්‍ විය.නිලංගා දුටුවනම ඇය වහා ඉදිරියට විත් වැළඳගත්තාය.

“නෙලී, ආ යූ ඕකේ…ඔයාගේ මූණ අසනීප පාටයිනේ…”
රැයක් නිදිවැරීමද, ආහාර නොගැනීමෙන් ආ ගැස්ට්‍රයිටිස් තත්වයද, අපේක්ෂා භංගත්වයෙන් හිත ඔද්දල් වීමද නිලංගා ගිලන් වූවක සේ පෙන්වන්නට ඇත.නිලංගා ආයාසයෙන් සිනාසී දෙපසට හිස වැනුවාය.වදන් එක්කාසු කරගන්නට අපහසු වුවද ඊට පෙර ඇස අග කඳුලු ඉස්සර වීගත්තේය.

“හේයි ගර්ල්, අනේ ඔයා අඬනවනෙ…ඩෝන්ට් ක්‍රයි..ප්ලීස්…අපි යං අපි කොහෙ හරි ගිහින් කෑම කාලා කතාකරමු…”
මාලිකා නිලංගාගේ අතින් අල්ලාගෙනම ගොස් රියට නංවාගත්තාය.ඇය රියදුරු අසුනට ගොඩ වන විට නිලංගා ආයාසයෙන් තද කොට ගෙන උන් දුක් වේදනා හැඬුමක්ව නෙත් වලින් ගලායමින් තිබුණි.

මාලිකා සිරිනන්ද ලාබාල යුවතියක වුවද මේ මොහොතේ නිලංගා කුමක් හෝ තදබල ගැටලුවක සිටිනා බව වටහා ගත්තාය.ඇයට සවන් දෙන්නියක් ලෙස සහයක් දෙනවා මිසක ගැටලුව කිමෙක්දැයි හාර හාරා ඇසීම කළ නොයුතු බව ඇය දැන උන්නාය.

එතරම් පිරිසක් නොගැවසෙන අවන්හලක කෙළවරක මේසයක් වෙත නිලංගා කැඳවාගෙන ගොස් අසුනක හිඳුවා ලූ මාලිකා සිරිනන්ද මෙනුපත ඇය වෙත පෑවද …නිලංගා එය ආපසු ඇයටම දුන්නාය.

“ඔයා කන දෙයක්ම මාත් කන්නම් මාලිකා.”
බිඳුණු හඬින් පැවසූ ඇය දෑත් එකට බැඳ ඒ මත මුහුණ හොවා ගත්තාය.මාලිකා සිරිනන්ද ආහාර ඇණවුම ලබා දී නිලංගා අසලින් ඉඳගත්තාය.

“මම අද හවසම ෆ්‍රී නෙලී.ඔයාට ඕන දෙයක් කියන්න.මම අහන් ඉන්නවා.එනිතින්ග්….එනි මැටර්…මාව විශ්වාස කරන්නකො….”
නිලංගාගේ දෝතින්ම අල්ලාගත් මාලිකා හෘදයාංගම හඬකින් පැවසුවාය.පෙර දා සිය අත්පසුම්බිය හමුවී ලබා දුන් මොහොතේ පටන් නිලංගා පිළිබඳ මාලිකා තුළ ඇතිව තිබුණේ ඉමහත් ප්‍රසාදයකි.

මාලිකා නිලංගාගේ ඉදිරිපස තවමත් අඩක් හෝ නිම නොකල බීම වීදුරුව ඇය වෙතට ළං කළාය.ඇණවුම් කළ ආහාර මේසය වෙත එනතෙක් පානයක් ගෙන ආවේ නිලංගා ගේ ස්වරූපය අනුව ඇය දැඩි පිපාසයක පසුවන බවක් පෙණුන හෙයිනි.

“මට කියන්න මොකක්ද දැන් මේ කන්නෙ බොන්නෙත් නැතුව ඔයා සෆර් කරන දේ…ඕනම ප්‍රශ්නෙකට උත්තර තියනවානෙ නෙලී”
මාලිකා විමසුවේ නිලංගා කිසිත් නොකියා හූල්ලමින් සිටිනා දෙස බොහෝ වේලාවක් බලා සිටය.

“මාලිකා මට ජොබ් එකක් නෑ…තව සති තුනක් ඇතුළත ඉන්න තැනත් නැතිවෙනවා. PSW එකට ජොබ් ස්පොන්සර්ශිප් එකක් හොයන්නයි… ඉන්න කාමරයක් හොයන්නයි මේ හැමදාම එහෙමෙහෙ යන්නෙ.අතේ තියන සල්ලි ටික මම මැනේජ් කරගන්නෙ ඒකට.ඒත්…ඒත් තාම මට කිසිම පොසිටිව් ආන්ස්වර් එකක් ලැබුණෙ නෑ එක තැනකින් වත්…”
ආයාසයෙන් හඬ අවදි කරගත් නිලංගා පැවසුවාය.මාලිකා මොහොතක් කල්පනා කළාය.

“ඉන්න තැනක් නම් හෙමින් හොයාගන්න කල් මගෙ අපාර්ට්මන්ට් එකේ හරි මම ඔයා තියාගන්නම්කො…ජොබ් එකක් නේද….ඒක ගැනත් අපි බලමුකො….ඉස්සෙල්ලාම ඕක බීලා ඉන්නකො අනේ..”
මාලිකා තරමක් කල්පනාවක ගැලෙමින් ම පැවසුවාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here