fbpx

මනසින් වැටුණු අය රිදවන්න එපා

“අපි රශ්මිත් එක්ක කතා නොකර ඉමු..”

දේශන පටන් ගන්න වෙලාව තියන නිසා කැම්පස් එකේ ගහක් යට වාඩිවෙලා ඉන්නකොට සරනි කීවේ එක පාරටම.තනියම පැත්තකට වෙලා වාඩි වෙලා ඉන්න රශ්මි දිහා මම හැරිලා බැලුවේ එතකොට.

“එයා ඉන්නේ එයා බූට් තිබ්බා වගේ.දුලාජ් පව් නේද?”

අපි හූමිටි තියෙන්නේ නැති නිසා සරනි ආයේම කියනවා.

“එයාටත් කතාවක් ඇති අනේ..”

භාග්‍යා එහෙම කියාගෙන නැගිටිනකොට සරනි හයියෙන් හිනා වුණා.දැන් රශ්මිට කිසිම කතාවක් නැති බව කියන්න සරනිට සෑහෙන වෙලාවක් වැය වෙයි.මමත් භාග්‍යා එක්ක ඉක්මනින්ම යන්න ලෑස්ති වුණේ ඒකයි.

“ඇත්තටම රශ්මිට කතාවක් ඇති කියලා ඔයාලට හිතෙන් නැද්ද?”

දේශන ශාලාවට ඇවිදගෙන යන අතරේ භාග්‍යා මගෙනුත් මීනුගෙනුත් ඇහුවා. ඕනෑම ප්‍රශ්නයකට දෙපැත්තක් තියන බව තරයේ හිතන මම ඔලුව වනද්දී මීනු නම් කිව්වේ වෙනස් කතාවක්.

“අපේ තාත්තා කියන දෙයක් කියන්නං..එයා කියන්නේ ප්‍රශ්නයක් උනාම ඉස්සරලම කෑගහන්නෙ වැරදිකාරයා කියලා.දුලාජ් රශ්මිගෙන් වෙච්ච වැරදි කිය කියා කෑගහනවා නේද? මට හිතෙන්නෙත් අන්න ඒක..”

ඒ කතාවට නම් මීනුට ලකුණු සීයෙන් දෙසීයක්ම දෙන්න වටිනවා.දේශන ශාලාවට ගිහින් ඉඳගන්නකොට අපි රශ්මිව ආයෙත් දැක්කා.එයා හිටියේ අඳුරු මුල්ලක පුටුවක් අයිනට වෙලා.අඬලා අඬලා ඉදිමුණු ඇස් දෙක දකිනකොට මට රශ්මි ගැන ආවේ පුදුමාකාර දුකක්.

“එන්නකො මාත් එක්ක..”

භාග්‍යා මාවත් මීනුවත් ඇදගෙන නැගිට්ටා.එයා අපිව අරගෙන ගියේ රශ්මි ගාවට.

“ඔන්න ඔය කර්ටන් එහාට කරලා ලයිට් එක දාන්න මීනු..”

භාග්‍යා අණක් දෙනවා වගේ කියනවා.හරියට එයාව මෙතනට එක්ක ආවේ අපි වගේ.රශ්මි ගැස්සිලා අපි දිහා බැලුවා.

“අද පාඩම මුල ඉඳලම තේරුණේ නෑ අනේ.එතකොට මතක් වුණා ඔයාට කලින් ටර්ම් එකකත් මේ සබ්ජෙක්ට් එකට හයි මාක්ස් කියලා.ඇත්තටම රශී අපි මේ ආවේ ආත්මාර්ථකාමීකමටමයි.ඔයාගෙන් ගොඩ යන්න බලන්.උදව් කරන්න ඈ..”

භාග්‍යා මේ දොඩවන්නේ මොනවද? ඊයෙත් මේ සබ්ජෙක්ට් එක එයාට කිරිකජු වගේ කියලා කියපු හැටි මට හොඳට මතකයි.දැන් එකපාරටම එයාට ඒක අමාරු වුණේ කොහොමද?

දේශනය පටන් ගන්නකම් භාග්‍යා රශ්මි එක්ක කියවන්න පටන් ගත්තා.මාත් මීනුත් බෝඩිමේදී කරන මෝඩ වැඩ කියලා එයා ඇද බාන බොරු දිහා මං ඇත්තටම බලාගෙන හිටියේ පුදුමයෙන්.ඒත් ඉදිමුණු ඇස් සහිත මුහුණක් තියෙන රශ්මි ටික ටික හිනා වෙන්න පටන් අරන්.

“මේ..මේ..”

අපි කැන්ටීන් එක පැත්තට යනකොට සරනි දුවගෙන ආවා. දරාගෙන ඉන්න බැරි අමාරුවක් ගැන කියලා රශ්මිවත් ඇදගෙන භාග්‍යා වොෂ් රූම් එකට ගිහින්.මමත් මීනුත් හැරිලා බැලුවේ සරනිට ආව හදිසිය ගැන දැන ගන්න.

“රශ්මි ඔයාලට කතාව කිව්වද?ඇයි එයාලා බ්‍රේකප් වෙලා තියෙන්නේ?”

මෙයාටත් තියන ප්‍රශ්න! මං අහක බලාගත්තේ එහෙම හිතමින්.

“අපි මොකටද ඒවා අහන්නේ?”

මීනු ඇහුවේ කඩා පනින හඬකින්.සරනි උරහිස් ගස්සලා හිනා වුණා.

“එයාගෙ ජරා වැඩේ ගැන අහලා මෙච්චර එයා එක්කම හිටපු අපිත් එයාව අතෑරියා.ඔයාලා මේ එකපාරටම එයා ගාවට ගියේ මොකටද නොතේරෙන්න මම බබෙක් යැ..ඕපාදූපෙ දැනගත්තම මටත් කියන්න ඈ..”

සරනි එහෙම කියලා යන්න ගියා.ඊළඟ දවසේ එයා ආවේ ඊට වඩා අමුතු ඕපාදූපයක් අරගෙන.

“අපි දැන් බෝඩිමේදී රශ්මිව ගණන් ගන් නෑනේ.ඊයේ මං චානකට කෝල් කරන්න එළියට එනකොට දැක්කේ රශ්මි ඉන්නවා අර උඩ ස්ලැබ් එකට නැගගෙන.ෂුවර් එකට වෙන කොල්ලෙක් ඉන්නවා.අපිට හොරෙන් කෝල් කරන්න ඔය නගින්න ඇත්තේ..ඇයි අහන්නකෝ තව කතාවක්, ඊයේ රශ්ම් අපිව හලලා අර රේල් පාර පැත්තෙන් බෝඩිමට ගිහින්..ඒ පැත්තේ ෆැකල්ටියක කොල්ලෙක් අල්ලන් ඇති ෂුවර් එකට..”

රතු කොඩියක සලකුණක් මගේ හිතේ මැවෙනකොට මීනු මාවත් ඇදගෙන නැගිට්ටා.භාග්‍යා හොයාගෙන ගිහින් අකුරක් නෑරම එයාගේ කනේ තියන්න මීනු වග බලා ගත්තා.

“අනේ රශී..මෙහෙම අහන එකනම් අසාධාරණයක්.ඒත් නිකමට අහන්නෙ..”

අපේ කතාබහ ඉවර වුණාට පස්සේ භාග්‍යා රශ්මිට කතා කළේ බොහොම පරිස්සමින්.මේ අහන්න යන්නෙ එයාගෙත් දුලාජ්ගෙත් කතාව වෙන්න ඇති හිතපු රශ්මි බොරපාට ඇස් ලොකු කරලා අපි දිහා බැලුවා.

“අනේ තරහ වෙන්න එපා. පුලුවන් කමක් තියනම් අපේ බෝඩිමට එන්නකො.මේ  දවස්වල පාඩම් මොකුත්ම තේරෙන් නෑ.අපිට පිස්සු වැටෙන්න ළඟයි..”

අපේ එහා පැත්තේ කාමරේ හිටපු අවසන් වසරේ අක්කා යන්න ගිහින් දවස් දෙකක්.ඒ කාමරේට යාලුවෙක් දෙන්නෙක් හොයා ගන්න කියලා බෝඩිම් ආන්ටි අපිට කීවේ අද උදේ.ඒත් රශ්මිට බෝඩිමක් තියනවනෙ.

“මං අදම එන්නං..”

රශ්මි එදාම අපි එක්ක ඉන්න ආවා.රශ්මි ගැන ඇහැ ගහගෙනම ඉන්න කියලා භාග්‍යා අපිට නියෝගයක් දුන්නා.

රශ්මි,අපේ මිතුරියන් අතර හිටපු ලස්සනම ගෑනු ළමයා.රශ්මි සහ වෙන ෆැකල්ටි එකක දුලාජ් අතර ආදරය කැම්පස් එකේ ලස්සනම ආදර කතා අතරේ තිබුණා.ඒත් ඒ ආදරය හදිසියේම අවසන් වුණා.රශ්මි තමන්ට වංචා කරපු බව කියමින් දුලාජ් තැන තැන විස්සෝප වෙන්න ගත්තා.ගෑනු ළමයෙක් හැටියට කිසිම ලැජ්ජාවක් නැතුව සම්බන්ධතාවයක් නවත්තපු රශ්මිව හැමෝම කොන් කරන්න ගත්තා.කෙටියෙන් කීවොත් ඒක තමයි රශ්මි අපේ බෝඩිමට එනකන් වුණු කතාව.

මහ රෑ වොෂ් රූම් යන්න හිතාගෙන මම නැගිටිනකොට මගේ බෑග් එකක් අවුස්සලා දාලා තියනවා මං දැක්කා.වහාම විදුලි පහන දල්වලා විපරම් කරනකොට බිම වැටිලා තිබුණේ මං රෝගී තත්ත්වයකට බොන බෙහෙත් කාඩ් එකක්.හොරා හොරකම් කරපු දේ ගැන බයෙන් මම එළියට දුවනකොට බෝඩිමේ අඳුරු ආලින්දයේ හොරා වාඩි වෙලා ඉන්නවා.මං හොරා ළඟින් වාඩි වුණා.එක්සෑම් ස්ට්‍රෙස් ගැන කියවමින් බොහෝ වෙලාවක් ගෙව්වා.ආපහු කාමරයට යං කියලා අතින් අල්ලා ගන්නකොට මගේ බෙහෙත් පෙති හොරා, රශ්මි අතින් බෙහෙත් පෙති එකින් එක වැටෙන හැටි මට දැනුණා.

ඒ බෙහෙත් පෙති කාඩ් එක හෙට අරගෙන කොහෙහරි හංගන්න ඕන!

රශ්මිට දුලාජ් එක්ක තිබුණු සම්බන්ධය නවත්වන්න හේතු වුණු කාරණා අපි තවම දන්නේ නෑ.ඒත් මමත්, භාග්‍යාත් මීනුත් එයාව මනෝ වෛද්‍යවරයෙක් ළඟට එක්කගෙන ගියා.අපි තුන්දෙනාගෙන් කෙනෙක් හැම සායනයකටම රශ්මිව එක්කගෙන ගියත් එයාගේ ප්‍රශ්නෙ ගැන අහන්නේ නැතුව ඉන්න ප්‍රවේසම් වුණා.

“ඔයාලාට රශ්මි කිව්වද අනේ ඇයි බ්‍රේකප් වුණේ කියලා..”

සරනි තාම අපෙන් අහනවා.

“එයා ස්ලැබ් එක උඩ හිටියේ, රේල් පාර පැත්තෙන් ආවේ ඇයි කියලා තාම ඔයාට හිතා ගන්න බැරිද? මොකක් හරි උනානං දෙවියෝ ඉස්සරලම නෙළා ගන්නෙ ලස්සනම මල් කියලා ෆේස්බුක් හෑල්ලක් ලියන්නද හිටියේ?”

භාග්‍යා එහෙම කඩා පැන්නට පස්සේ සරනි ආයේ කිසිම දවසක එහෙම ඇහුවේ නෑ.

මට අපි තුන්දෙනා ගැන ආඩම්බරවීම නවත්වා ගන්න බෑ.අපි එදා රශ්මි ළඟ ඉඳ නොගත්තා නම් බොහෝ දේවල් වෙනස් වෙන්න තිබුණා.එයාව අපේ බෝඩිමට එක්ක නොගියානම් බොහෝ දේවල් ඉවර වෙන්න තිබුණා.අපිට ඕපාදූපයක් අහන්න උවමනා නොවුණට රශ්මි එක්කම ඉන්න හිතුණු හිතිවිල්ල ගැන මට දැනෙන්නේ සතුටක්.අපි තවම එයාගේ තුවාලයේ ගැඹුර දන්නේ නැහැ.නමුත් අපි එයාට සුව වෙන්න උදව් කරමින් ඉන්නවා.

ඔබ අවට තුවාල සහිතව කී දෙනෙක් ඉන්නවද කියලා මම අහන්නේ නෑ.ඒත් ඒ තුවාල වල ගැඹුර බලන්න කෝටු කෑලි අනින්න එපා.ලේ ගලනකොට සතුටු වෙන්න එපා.සුවවෙමින් පවතින තුවාල පාරන්න එපා.

සනීප වෙන්න උදව් කරන්න.ඒ හොඳටම ඇති.




More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x