උදෑසන සම්මුඛ පරික්ෂණය සඳහා තෝරාගෙන තිබුනේ සිල්වියා ක්ලිෆර්ඩ්ගේ නිවහනය. මාලිකා උදෑසනින්ම නිලංගා ඇයගේ නවාතැනින් රැගෙන ආවාය. සිල්වියා ක්ලිෆර්ඩ් නිලංගා වෙතින් ප්‍රශ්න රැසක් ඇසුවාය.පළපුරුද්ද, භාෂා ප්‍රවීණතාවය, හැසිරීම, ආකල්ප සියල්ලම ඇයගේ දැඩි පරීක්ෂාවට ලක්විය.නිලංගා යනු මවාගත් ස්වරූපයකින් පරීක්ෂණයට මුහුණ දෙන්නියක් නොවන බව ඇය අවබෝධ කරගත්තාය.අම්මා බලා ගැනීමේ අභියෝගය ඇය අත තබන්නට සිල්වියා අවසානයේ තීරණය කළාය.
“හොඳයි ..මමත් ඔයාට නෙලී කියලම කියන්නම්..එහෙම හොදයිනෙ..ඔයාව අම්මව බලාගන්න මම තෝරගන්නවා.හැබැයි එකක් මතක තියාගන්න..මේක ලේසි වැඩක් නෙවෙයි..මගේ අම්මා වුණත් මම ඇත්ත තත්වය ඔයාට කියන්න ඕනනෙ..එයා හරි ඉක්මනින් වෙනස්වෙන බිහේවියර් එකක් තියන කෙනෙක්..එයා එක්ක ඉන්න ඉවසීම ඔයාට තියනවා කියල මම විශ්වාස කරනවා…”
සිල්වියා ක්ලිෆර්ඩ් සිනාසෙන්නට උත්සාහ දරමින් පැවසුවාය.නිලංගා මඳ සිනහවක් පෑවේ හිස සලමිනි.
“ඔයාට අද ඉඳන්ම ඕනෙ නම් මෙහෙ නවතින්න පුළුවන්…අද ෆ්‍රයිඩේ නිසා ඔයා නෙක්ස්ට් මන්ඩේ ඉඳලා වැඩ පටන් ගත්තාම ඇති…මාලිකා මෙයාට අපි කාමරයක් නම් ඇරෙන්ජ් කලා..මෙයාගෙ බඩු ටික අරන් ඇවිත් අදම ඕනෙනම් ඉන්න පුළුවන්..”
සිල්වියා ක්ලිෆර්ඩ් නිලංගා සහ මාලිකා දෙදෙනාටම පොදුවේ පැවසුවාය.
“ඊට කලින් අපි යමු අම්මව බලලා ඔයාව ඉන්ට්‍රොඩියුස් කරල දෙන්න.එයා වෙල්කම් කරන එකක් නම් නෑ ඔයාව.ඒක ගණන් ගන්න එපා..”.අසුනෙන් නැගී හිඳිමින්ම සිල්වියා පැවසුවාය. මාලිකා නිලංගා සමගින් කාමරය වෙත නොයා විසිත්ත කාමරයේ රැඳුණාය.
“ඔයා යන්න ආන්ටි එක්ක..මම මෙහෙන් ඉන්නම්.ආච්චි ගොඩක් අය එනවට කැමති නෑ..”
මාලිකා නිලංගාගේ සවනට කෙඳිරුවාය.
“මමී, මේ ඉන්නෙ නෙලී…ඔයාගේ අලුත් කෙයාරර්…බලන්න එයා ස්වීට් නේද? මෙයාව හොයාගත්තේ හරිම අමාරුවෙන් මමී…අනේ මමී ප්ලීස් මේ ගර්ල් එක්ක වත් හොඳින් ඉන්නකො අනේ…”
සිල්වියා සිය මවගේ ඇඳ අසල අසුනේ ඉඳගනිමින් පැවසුවාය.වූල් බෝලයක් ගෙතුම් කටු දෙකක් අතැතිව උන් මේරි මර්ෆි උපැස් යුවල යටින් ඇය දෙස බැල්මක් හෙළා හිස ගස්සා ඉවත බැලුවාය.නිලංගා ඉන් සසැළුණද කල් තියා මේරි මර්ෆි මහත්මියගේ චර්යා රටා දන්නා හෙයින් එය ගණනකට නොගෙන සාමාන්‍ය ලෙසින් උන්නාය.
සිල්වියා අම්මාගේ හිසට පහත්වී සිපාචාරයක් දක්වා නිලංගාට අතින් සන්කරමින් පිටතට ආවාය.
“එයා එන්න එන්නම ස්ටබර්න් වෙනවා. මතකයේ අඩුවක් පැහැදිලිව ම තියන නිසා පොඩ්ඩක් කම්ප්ලේන්ස් වැඩියි. කේන්තිත් යනවා ගොඩක් වෙලාවට.මාත් බිසි නිසා එයා හිතන්නෙ එයා ගැන අපි බලන්නෙ නෑ කියල.එයාව අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න බලන්න..”
සිල්වියා ක්ලිෆර්ඩ් පෙර වූ ආඩම්බරකාර ව්‍යාපාරික කාන්තාවගේ භූමිකාවෙන් මිදී සිත් තැවුලට පත් දුවණියකගේ තත්වයට හැරී උන්නාය.
“මම මේරි මැඩම් ව බලාගන්නම් හොඳින්..”
නිලංගා එපමණක් කියා මඳ සිනහවක් පෑවාය.
“එහෙනම් පෝලා ,මේ ගර්ල්ට රූම් එක පෙන්වන්න එයාගේ බඩු අරන් ආවම.මම උඩට යනවා…මෙලා තෑන්ක්ස් ඔයාට මේ කල උදව්වට…ඔයාගේ යාලුවා ගැන මම ලොකු බලාපොරොත්තුවක් තියන් ඉන්නවා අම්මාව හොඳට බලාගනී කියලා.මොකද ඔයාගේ රෙකමන්ඩේශන් එක නිසාමයි රූටීන් එකෙන් පිට අපි මෙහෙම කෙනෙක් ගත්තෙත්..”
සිල්වියා සමුගෙන ඉහල මාලයට ගමන් කළාය.
ස්ටීව් ක්ලිෆර්ඩ් සිය මිත්තණිය රැකබලාගන්නට පැමිණෙන සේවිකාව සම්බන්ධ සම්මුඛ පරික්ෂණය සිය මවට පවරා මග හැර උන්නේය.මේ යුවතිය සමග මාලිකා එන බවත් ඒ හෙයින්ම කතාබහට එක්වන්නට අනිවාර්යයෙන් සිදුවන බවත් දැන උන් හෙයින් ඔහු අවස්ථාව හිතාමතාම අතහැර දැමීය.ආච්චීගේ කාමරයේ ඇති කැමරා තුළින් ඔහු අම්මා සමගින් ඇය වෙත පැමිණි යුවතිය නිරික්ෂණය කළේය.
එම කාමරයේ කැමරා පද්ධතිය සවි කරන්නට වූයේ වතාවක් ඇය බලාගන්නට පැමිණි සේවිකාවක් ඇයට යම් යම් අඩන්තේට්ටම් කළ බව ඇය දන්වා සිටි හෙයිනි. ඉන්පසු ආරක්ෂිත උපක්‍රමයක් ලෙස එය දිගටම පවත්වා ගන්නට ස්ටීව් වගබලා ගත්තේය.
ආච්චීගේ නුරුස්සන බැල්මත් එය ඉවසා නිසොල්මනේ බලා ඉන්නා යුවතියත් ස්ටීව් එක් බැල්මකට හසුකර ගත්තේය.ඒ අතරේ අම්මා ගේ කියවීමට කෝප ගත්තේය.
“කොච්චර කිව්වත් එකම ටික කියවනවා…ශිට්…”
ඔහු අතවූ පෑන මේසය මතට දමා ගැසීය.අම්මාත් ඒ යුවතියත් කාමරයෙන් පිටව යනුත් ආච්චි ඇය දෙස හොරෙන් බලා ඉනුත් දුටු ස්ටීව්ගේ කෝපය නිවී සිනාවක් මතුව ආවේය.
“අනේ අනේ මේරි කෙල්ල…ඔයා නම් මාරම හොරගෙඩියෙක් තමා…”
ඔහු සිනාවෙමින් පැවසුවේය.
මාලිකා සමගින් නවාතැනට යළි ගොස් ඇඳුම් බෑග දෙක රැගෙන ආවේ මාලිකා හෙට දවසේ කාර්යබහුල වන බැව් කියූ හෙයිනි.
” මගෙ ඔක්කොම බඩු ඉතින් ඔච්චරයි .”
නිලංගා සිනාවෙමින් පැවසුවේ…බෑග දෙක පමණක් ඇතිව මෝටර් රථය අසළට ආ නිලංගා දෙස විමතියෙන් බලාඋන් මාලිකා දැකය.
“අනේ මන්දා නෙලී මට හිතාගන්නත් බෑ..සොරි එහෙම හිතුවාට.ඒත්…”
මාලිකා සිරිනන්ද සුසුමක් හෙළුවාය.තම නිවසේ ඇඳුම් අල්මාරි පුරවා ඇති ඇඟලුම් ප්‍රමානය තමන්ද නොදන්නා තරම්ය.තමාහට වඩා වසර කීපයක් පමණක් වැඩිමහලු ඇතැයි සිතිය හැකි මේ යුවතිය සන්තකව ඇත්තේ ගමන් මලු දෙකක රැඳි දේ පමණි.
“තැනින් තැන ට මාරුවෙන ජීවිතයක්නෙ මට තිබ්බෙ ආව දවසේ ඉඳන්…ඉතින් මිනිමලිසම් තමා හරියන්නෙම..”
නිලංගා සිනාසී පැවසුවාය.මාලිකා ඇය නැවතත් ඇරලවා නික්ම ගියේ ඉරිදා දවසේ ඇය හමුවන්නට එන බව පවසමිනි.
“ඔය ලොකු මැඩම් බලාගන්න පටන් ගත්තාම ඔයාට ෆ්‍රීඩම් එකක් එන්නෙ සන්ඩේ විතරනෙ.අපි ඒ නිසා මේ සන්ඩේ ටිකක් ඇවිදලා කාලා ඔයාට ඕනෙ බඩු මොනා හරි තියේ නම් අරගෙන එමු…”
නිලංගා හිස සලා ඇයගෙන් සමුගත්තාය.
පෝලා ඇය කාමරයට ඇරලවා නික්ම ගියාය.නිලංගා තමාහට ලැබුණ කාමරය තුළ ඒ මේ අත ඇවිද බැලුවාය. සිතාගන්නටත් අපහසු තරමේ සුඛෝපභෝගී කාමරයක් ඇය වෙනුවෙන් පහළ මාලයේ වෙන්කොට ඇත. ඒ තමා රැක බලා ගන්නට අවැසි මේරි මර්ෆි මහත්මියගේ කාමරයට යාබද කාමරයයි.සිල්වියා ක්ලිෆර්ඩ්ට අයත් මේ සුවිසල් තෙමහල් නිවස නාගරික පරිසරයෙන් ඈත්ව තරමක් විශාල ඉඩමක් මධ්‍යයේ ගොඩනගන ලද්දකි.
පහළ මාලයේ ප්‍රධාන දොරටුව විවර වන්නේ සුවිසල් විසිත්ත කාමරයකටය. එතැනින් එක්පසකට විහිදෙන පැසේජය කාමර කිහිපයක් වෙත යොමුවේ.එයින් එක් කාමරයක් මේරි මර්ෆි වෙන්කොට ඇත. එය තරමක් විශාල සුවපහසුවෙන් අනූන කාමරයකි.ඊට යාබද කාමරය නිලංගාටද අනෙක් කාමරය පෝලාටද වෙන්ව තිබුණ අතර අමුත්තන්හට වෙන් කළ තවත් කාමරයක් පහළ මාලයේ විය.කාමර වල කෙළවරකින් ඉහළ මාලයට යන පියගැටපෙළ විය.අනෙක් පැසේජය මුලුතැන් ගෙය සහ කෑම කාමරය වෙත විහිදේ.
නිලංගා පහළ මාලය පමණක් ආ ගමනේදී දුටුවාය.ඉහළ මාලයන් කුමනාකාරයද ඒවායේ සිටින්නේ කවුරුන්ද යන්න තමන් හට අදාළ නොවන බව ඇය වටහා ගත්තාය.සම්මුඛ පරීක්ෂණය අවසානයේ සිල්වියා ක්ලිෆර්ඩ් නැගිට ගියේ ඉහළ මාලයටය.ඒ හෙයින් ඇයගේ කාමරය ඉහළ මාලයන් ගෙන් එකක විය යුතු බව ඇය දැනගත්තාය
සුදු පැහැ ගත් බිත්ති තුනකින් සහ සුදු සහ අහස් ලා නිලැති තිර රෙදි දැමූ උස් වීදුරු ජනේල වලින් යුතු බිත්තියකින් කාමරය සීමාවී තිබුණි.කාමරයටම අල්ලා නිමකොට තිබූ නාන කාමරය ද මනා ඉඩ කඩ සහිත වූවකි.
තරමක් ලොකු සුවපහසු ඇඳක්, මල් ගෙත්තම් කළ කවර දැමූ කූෂන් කොට්ටා සහිත හාන්සිපුටුවක් , කුඩා මේසයක් සහ පුටුවක් සහ ඇඳුම් අල්මාරියක් පමණක්ම කාමරයේ විය.අනවශ්‍ය බඩුබාහිරාදියෙන් තොරවූ කාමරය සුවපහසු බවින් පූර්ණව තිබුණි.කාමරය පුරාම විහිද යමින් තිබුණේ මෘදු මල් සුවඳැති සුවඳකාරකයකි.නිලංගා නාන කාමරයට පිවිසියේ ඇඟ සෝදාගෙන ඇඳුම් මාරුකොට ගන්නටය.
නාන කාමරය ලානිල් සුදු පැහැ සංකලනයකි.එහි සින්කයට උඩින් කුඩා බිත්ති කබඩයකි. නිලංගා එය විවෘත කොට බැලුවාය. එක් තට්ටුවක උණලීයෙන් කල ඇසුරුම් පෙට්ටියක ඉහළ සන්නාමයක නම දරන ආලේපන රැසක් ඇත.ඒවා විවෘත කොටවත් නැති ඒවා ය.නිලංගා චකිතයකින් යුතුව ඒ සියල්ල අතට ගෙන බැලුවාය.එකත් එකටම මේකාමරය කලින් පරිහරණය කළ කාගේ හෝ දේවල් විය යුතුය.නිලංගා ආපසු ඒ සියල්ල තබා කාමරයට විත් මාලිකා ඇමතුවාය.