ඕට්ස් වලින් තෝසේ හදමු

ඕට්ස් කියන්නෙ ෆයිබර්, ප්‍රෝටීන්, විටමින් සහ ඛනිජ ලවණ වගේම ප්‍රතිඔක්සිකාරක වලින් පරිපූර්ණ ඕට්ස් ශරීරයේ LDL එහෙමත් නැත්නම් නරක කොලෙස්ටෙරෝල් මට්ටම අඩු කරන්න එමඟින් හදවතේ ක්‍රියාකාරීත්වය සහ නීරෝගීබව යහපත්ව පවත්වා ගන්න, රුධිරගත සීනි මට්ටම අඩු කරන්න, ශරීරයේ අනවශ්‍ය බර අඩුකරගන්න වගේම ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කර මළ බද්ධය වැනි තත්වයන් අඩු කරගන්නත් සම ආරාක්ෂා කරගන්නත් උදව් වෙන ආහාරයක් කියල smart lady අපේ ලිපි කියවන ඔබ මේ වෙද්දිත් දන්නව.

හැමදාම එකම විදිහට නොකා ආහාර පාලනය කරන ඔබට වඩාත් ගැළපෙන පෝෂ්‍යදායී ඕට්ස් තෝසෙ හදාගන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි smart lady අපි අද මේ සූදානම් වෙන්නෙ.

එහෙනම්, මුලින්ම අවශ්‍ය කළමණා සූදානම් කරගමු.

අවශ්‍ය ද්‍රව්‍ය 

ඕට්ස් කෝප්ප ½ ක් 

ලුණු කුඩු තේ හැඳි ½ ක් 

සූදුරු ඇට තේ හැඳි ½ ක් 

හාල් පිටි කෝප්ප ¼ ක් 

රුලං කෝප්ප ¼ ක් 

කුඩා කොටු හැඩයට කපාගත් ලොකු ලූණු මේස හැඳි 02 ක් 

හීනියට ලියාගත් කරපිංචා ඉත්තක කොළ

හීනියට ලියාගත් අමුමිරිස් කරලක් හෝ දෙකක්

යෝගට් කෝප්ප ¼ ක් 

වතුර කෝප්ප 1 ¼ ත් 1 ½ ත් අතර ප්‍රමාණයක් 

හොඳයි, දැන් අපි බලමු ඕට්ස් තෝසෙ හදාගන්නෙ කොහොමද කියල.

සාදාගන්නා ආකාරය

මුලින්ම ඕට්ස් ටික හොඳින් කුඩුවෙන තුරු බ්ලෙන්ඩර් කරගන්න ඕන.

ඉන්පසු, ඕට්ස් කුඩු ටික තරමක් විශාල භාජනයකට දමා එයට ලුණු කුඩු, සූදුරු, හාල් පිටි සහ රුලං එකතු කර හොඳින් කලවම් කරගන්න.

ඊළඟට මේ පිටි මිශ්‍රණයටම කපාගත් ලූණු, අමු මිරිස් සහ කරපිංචාත් එකතු කර නැවත හොඳින් කලවම් කරගන්න.

දැන් මේ මිශ්‍රණයටම යෝගට් සහ වතුර කෝප්ප 1 ¼ ක් පමණ එකතු කර නැවත හොඳින් කලවම් කරගන්න ඕන.

දියාරු මිශ්‍රණයක් සෑදෙන තුර් වතුර අඩු වැඩි කරගන්න ඔබට පුළුවන්.

මේ මිශ්‍රණය විනාඩි 10 ක් 15 ක් පමණ පසෙකින් වසා තබාගන්න.

විනාඩි 15 කට පසු නන්ස්ටික් තැටියක් ලිපතබා තැටිය රත්වෙන තුරු වතුර ටිකක් තැටියට ඉසගන්න.

දැන් හැන්ඳකින් තැටිය මතට තෝසේ මිශ්‍රණය වත්කර හැන්ඳකින් තැටිය මත රවුමට තුනීකර ගන්න.

තුනීකරගත් තෝසෙ වල වටේට තෙල් තේ හැන්ඳක් පමණ වත්කරගන්න.

තෝසේ වල වටේ රන්වන් පාට වී ගැළවෙන්නට පටන් ගත්විට ප්‍රවේශමෙන් අනික් පස හරවා දෙපැත්තම රන්වන් පාටවනතුරු පිසගන්න. 

ඔන්න අපි ඕට්ස් තෝසෙ හදාගෙන ඉවරයි.

එහෙනම් රස බලමු නේද?

සටහන – දුලානි නවෝද්‍යා

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles