“පොඩි දෙයක් මාලිකා. බාත් රූම් එකේ ඩ්‍රෝවර් එකක අලුත්ම අලුත් ටොයිලට්‍රීස් සෙට් එකක් තියනවා බොක්ස් එකක. මං හිතන්නෙ කාමරේ කලින් උන්න කෙනාගෙ හරි ගෙදර කාගෙ හරි වෙන්න ඕනෙ.මම මේක පෝලාට දෙන්නද මිසිස් සිල්වියාට දෙන්නද?”
නිලංගාගේ කෙටි පණිවිඩය එන මොහොතේ මාලිකා උන්නේ සිල්වියා ක්ලිෆර්ඩ් සමග වෙනත් ඇමතුමකය.මාලිකා ඇමතුම අතරේම එය කියවූවාය.නිලංගා ගේ හැසිරීම් රටා ගැන ඉමහත් ප්‍රසාදයක් ඇතිව උන් මාලිකා සිල්වියා සමගින් එපවත් පැවසුවාය.
“එයාට කියන්න ඒ ඔක්කොම එයාට සූදානම් කළ ඒවා කියල.අම්මව බලාගන්න එන කෙනාට අපේ උපරිම සැලකිල්ල අපි දෙන්න ඕනෙ මෙලා ..මට ඒක සුලු දෙයක්…”
සිල්වියා ක්ලිෆර්ඩ් පැවසුවේ සංවේදීවය.අතීතයේ සමහරක් දිනවල නිවසට ආ රැකබලා ගන්නියන්ගේ වෙනස් ආකාරයේ චර්‍යාවන් හේතුවෙන් ඔවුන්හට නවාතැන් දීමද අවලංගු කොට තිබුණි.මේ යුවතියගේ මොකක් හෝ වෙනසක් සිල්වියා ක්ලිෆර්ඩ් ද ආරම්භයේ සිටම නිරික්ෂණය කර තිබුණි.
මාලිකා ගේ පිළිතුරද සමගින් නිලංගා යළිත් නාන කාමරය වෙත ගියාය.ඒ සියල්ලම ඉහළ සන්නාමයන්ගෙන් යුතු රූපලාවණ්‍ය ද්‍රව්‍ය විය.අනෙක් කබඩයේ අලුත්ම තුවා රැසකි.බාත් රෝබයක් පොලිතින් කවරයක සීල් තබා ඇත.
නාන බේසම අසළ අලුතින් ඉටිපන්දමකි.එයට ඉහළ ජනෙල් පඩිය මත අපූරු මල් සැකසුමක් ඇති වීදුරු බඳුනකි. සියල්ලම සුන්දරය.. නැවුම්ය.
නිලංගා ජීවිතය ගැන යළිත් වරක් ස්තුති පූර්වකව සිතුවාය.වැටෙන්නට යන හැම මොහොතකම දෛවය තමාහට නියම මං පෙත් පෙන්වා දෙමින් සිටී.
දවස් ගණනාවක වෙහෙස මොහොතින් පළාගියා සේය.උණුසුම් ජලදහරාවක ගිලී නැහැවෙද්දී ගත මෙන්ම සිතද දැවූ දාහයන් නිවීගියා සේය.තෙත කොණ්ඩය තුවායක දවටා ගෙන නාන බේසමෙන් බැස බාත් රෝබය ගත දවටා ගත් නිලංගා කාමරයට විත් සුවපහසු සයනයේ ඉඳ ගත්තාය. ජීවිතය ගෙනයන දුරක නිසොල්මනේ ගමන් කළ යුතුය.ඒ එන අභියෝග සියල්ල සමසිතින් විඳදරාගන්නට අවැසි සවිය තමා සතුව ඇතැයි ඇය කවදාත් විශ්වාස කළාය.
ස්ටීව් ක්ලිෆර්ඩ් ව්‍යාපාරික කටයුතු ගොන්නක ගිලී කාර්‍යබහුල වූ දිනයක් අවසානයට පැමිණ උන්නේය.විදෙස් ගතවූ විටෙක විනා කෙතරම් වැඩ තිබුණද සුපුරුදු ලෙස මිත්තණිය බලන්නට ඔහු දිනපතා යෑම පුරුද්දක් කොටගෙන තිබුණි.අද දවස සිත අවිවේකයෙන් පුරවා ලූ දවසකි. ඒ අව් අස්සේ අම්මා සේවයට බඳවාගත් තැනැත්තියට ආච්චීගේ කටයුතු අරඹන්නට පවසා ඇත්තේ එලඹෙන සඳුදා සිටය. අද සිකුරාදා හෙයින් ඉදිරි දින තුනම පෝලාගේ පැමිණිලි හා එක්ව ගෙවන්නට සිදුවනු ඇත. එයද මනසට හිරිහරයකි.
පෝලා ගේ ඇමතුම සිතා උන්නාක් මෙන් ඒ මොහොතේම ඔහු වෙත පැමිණියේය.
“මිස්ටර් ස්ටීව් , මැඩම් මේරි අද දවසටම කෑම ගත්තෙ පොඩ්ඩයි.එයා රිජෙක්ට් කරනවා දෙන හැම දේම. සොරි මිස්ටර් ස්ටීව් මෙහෙම ගියොත් එයාව ආපහු ඩීහයිඩ්‍රේට් වෙලා ඇඩ්මිට් කරන්න වෙයි….”
ස්ටීව් ක්ලිෆර්ඩ් ඇමතුමේ රැඳී සිටිමින්ම රිය වෙත පැමිණියේය.
“ඇයි අම්මා ගෙදර නැද්ද ? එයා ආච්චි ගැන බලන්නෙම නැද්ද?”
ස්ටීව් විමසුවේ කෝපයෙනි.අම්මාගේ දුරකතන අංකය පෙරදාක තමන් විසින් අවහිර කළ බවද එහෙයින් ඇයට තමා ඇමතිය නොහැකි බවද ඔහුට සිහිවූයේ නැත.
“සිල්වියා මැඩම්ට කාමරේට එන්න දුන්නේ නෙලී ඉන්ට්‍රොඩියුස් කරන්න ආව වෙලාවේ විතරයි.ඉන් පස්සේ කන්නෙ නැති නිසා එන්න හැදුවම කෑගහලා එළවා ගත්තා.සිල්වියා මැඩම් සර්ට කෝල් ගත්තාට කනෙක්ට් වෙන්නෙ නෑ කීවා…”
පෝලා පැවසුවාය.ස්ටීව් මොහොතකට නිහඬ විය.
“මම එනගමන් ….බලමු ඇවිල්ලා…”
ස්ටීව් දුරකතන සබඳතාවය බිඳහළේ එසේ කියමිනි.නෙලී…ඒ ආච්චී රැකබලා ගන්නට ආ තැනැත්තිය විය යුතුය.
තෙත හිසකේ වටා දැවටූ තුවායද බාත් රෝබයද පිටින්ම නිලංගා නින්දක වැටී උන්නාය.කාලයකට පසු හිතේ නිදහසක් ඇතිව සුවදායී නින්දක ඇය පසුවූවාය.
එක්වනම ඇසුණ බඳුණක් බිඳෙන හඬකින් තිගැස්සී ගිය නිලංගා සයනයේ ගැස්සී මෙන් හිඳගත්තාය.තමා මේ සිටින්නේ කොහිද යන්නවත් ඇයට මොහොතකට නිනව් නැතිව ගියේය.යාබද කාමරය පසින් ඇසෙනා කලබලය අසමින් කාමරයට වී සිටින්නට තවදුරටත් නොහකි හෙයින් වහා සුදුසු ඇඟලුමක් ගත ලා ගෙන ඇය කාමරයෙන් පිටතට ආවාය.
පෝලා කාමරය තුළින් පිටතට ආවේ හඬමිනි.සිල්වියා ක්ලිෆර්ඩ් කාමරය තුළ සිය මව සමග බිම ඉඳගෙන උන්නාය.
“මොකක්ද උනේ පෝලා…?”.නිලංගා චකිතයෙන් මෙන් ඇසුවාය.තමාහට මේ කරුණු වලට මැදිහත් වන්නට අවසරයක් තවම ඇත්ද යන්නත් සැක සහිතවුව ඇය විමසුවේ මෙම තත්වය දැක දැක නොදුටුවාසේ සිටින්නට නොහැකි හෙයිනි.
“මේරි මැඩම් ඔක්කොම පිඟන් කෝප්ප වතුර බිම හලලා …ඉන්පස්සේ ඒ ටික වයිප් කරලා අස් කරන්න ගියාම මට ග්ලාස් එකෙන් ගැහුවා.ඇඳේ වාඩිවෙලා ඉඳන් නෙ ගැහුවෙ..කන්ට්‍රෝල් නැතුව බිමට ලිස්සලා ගියා.එයාව ගන්න සිල්වියා මැඩම් ගියාට නැගිට්ටවන්න බෑ…ගලක් වගේ බිමට ඇඟ තද කරන් ඉන්නෙ…”
හිසේ සිටම වතුර බේරෙමින් පෝලා පැවසුවාය.
“මම පොඩ්ඩක් බලන්නද ?”
පෝලාගෙන් නිලංගා විමසුවේ සැකමුසුවය.පෝලා අවිනිශ්චිත භාවයකින් හිස දෙපසට වැනුවාය.
“ඔයාට කීයටවත් එයාව කන්ට්‍රෝල් කෙරන්න බෑ.අපි මිස්ටර් ස්ටීව් එනකල් ඉම්මු.වෙන කරන්න දෙයක් නෑ නෙලී…”
පෝලා පැවසුවාය. එහෙත් බිම වැටී ඉන්නා කාන්තාවන් දෙදෙනා දැක දැකම බලා ඉන්නට නොහැකි බ්වක් ඇයට දැනුණි.නිලංගා කාමරය තුළට ගොස් සිල්වියා ක්ලිෆර්ඩ් අසලින් දණගසා ගත්තාය.
“මැඩම් මම බලන්නම්ද…ඔයා චුට්ටක් එහාට වෙන්නකො ප්ලීස්..”
නිලංගා මෘදු ස්වරයකින් පැවසුවාය.සිල්වියා ක්ලිෆර්ඩ් හඬමින්ම නැගී උන්නාය.
නිලංගා ලඟට ආසන්න වත්ම මේරි මර්ෆි ඇය වෙත රවා බලමින් කෑගසන්නට වූවාය.
“යනවා යන්න එහාට…එන්න එපා මාව අල්ලන්න..මම පොලිසියට කෝල් කරනවා…ඔක්කොම මාව ඇබියුස් කරනවා කියලා මම කම්ප්ලේන් කරනවා…ස්ටීව් …ස්ටීව් ඔයා කොහෙද ස්ටීව්…මේ ඔක්කොම මාව මරන්න හදනවා…අනේ ස්ටීව් එන්න ප්ලීස්…මාව බේරගන්න ස්ටීව්…”
මේරි මර්ෆි කෑගසන්නට වූවාය.නිලංගා අසල වූ ගණකමැති පොරෝනයක් ගෙන ඇයගේ දෙවුර වසා පෙරවූවේ නිහඬවමය.වතුර ගංගාවක ඉඳගෙන සිටින්නිය සීතලෙන්ද ගැහෙයි.නිහඬවම තවත් තුවා කිහිපයක් ගත් නිලංගා බිම වූ වතුර උරාගන්නට සකසා පිස දැම්මාය.
තමා කෑගසද්දීත් බැන වදිත්දීත් වචනයක් හෝ නොපවසා කටයුතු කරන්නාවූ මේ අරුම පුදුම තැනැත්තිය දෙස මේරි මර්ෆි කෑගැසීම මොහොතක් නවතා බලා උන්නාය.බිම විසිර තිබූ පිඟන් කටු, කෑම ආදිය පසෙකට කල නිලංගා මේරි මර්ෆි අසලින් හිඳගත්තාය.
“ඔක්කොම හරි මැඩම්…මං ඔක්කොම අස්කළා…ඔයාට බිම ඉන්න කොට සීතලයි නේද..?අපි ඇඳට යමුද හෙමින්…”
නිලංගා ඉතා මෘදු ස්වරයකින් විමසුවාය.දරදඬු භාවය මොහොතකට අමතක කල වියපත් කත ඇයට හිස වනා අනුමැතිය දුන්නාය.නිලංගා ඇය වාරුකොට ගනිමින් සෙමින් නැගිටවාලූවේද…ස්ටීව් කුණාටුවක් මෙන් කාමරයට කඩා වැදුණේද ඒ මොහොතේය.
තෙත බරිත වී සීතලෙන් ගැහෙමින් ඉන්නා ආච්චී සහ ඇයව වාරු කරගනිමින් ඉන්නා යුවතිය දුටු මොහොතේ ස්ටීව් ක්ලිෆර්ඩ් ට යක්ෂාරූඪ විය.ඔහු නිලංගා පසෙකට තල්ලු කරදමා ආච්චීව දෝතටම ඔසවා ගත්තේය.
“ග්‍රැනී….මොකද ඔයාට උනේ…ශ්…ශ්..ශ්…බය වෙන්න එපා ග්‍රැනී…මම ඉන්නවානෙ ඔයා ලඟ දැන්….ඩෝන්ට් වොරි ග්‍රැනී…අපි යමු ඇඳට….”
නිසොල්මනේ මුව පියා ඉන්නා සිය මිත්තණිය කුඩා දරුවකු සේ දෝතේ තබාගෙනම සැනසිලි බස් පවසන ස්ටීව් දෙස නිලංගා බලා උන්නේ දෑස් අයාගෙනය.ඔහු කෙතරම් වේගයෙන් තමා පසෙකට තල්ලු කලාද කිවහොත් අසළ වූ බිත්තියෙහි ගැටුණු වැළමිට රිදුම් දෙනු නිලංගා ට දැනුණේ මඳ වේලාවක් ගොසිනි.
“ගෙට් අවුට් ජස්ට් නව්…යනවා යන්න මෙතනින්…මම තමුන් ගැන පස්සෙ බලාගන්නම්…”
ස්ටීව් කෝපයෙන් ගුගුරා හැලුණේ තවමත් තමා දෙස නෙත් අයා බලා සිටිනා තරුණිය දැකය.ඇවිත් දිනයක් යන්නට පෙරම ඇය කරඇති දෙයට කිසිදු සමාවක් නම් නොදෙමියැයි ඔහු සිතුවේය.
මේරි මර්ෆි සිය මුණුපුරාගේ කමිසයේ කොළරය අල්ලා සෙලවීය.යමක් කියන්නට ඇයට අවැසිවුව එය වදන් වී මුවට එක්වනම නොආවේය. ස්ටීව් උන්නේද කිසිවක් අසනා මානසිකත්වයක නම් නොවීය.
නිලංගා බියෙන් තැති ගැණුනාය.සහයක් වන්නට ආ දේම තමන්ගේ වරදක් ලෙස ඔහුට පෙනීම තමන්ගේම වෙලාවය.ඇය වහා කාමරයෙන් පිටවූවාය.පෝලා කාමරයෙන් පිටත උන්නාය.සිල්වියා මහත්මිය එකත් එකටම උඩුමහලට යන්නට ඇත.නිලංගා පෝලා වෙත ළං වූයේ දෑස්වල පිරුණ කඳුලද සමගිනි.
“සොරි නෙලී…ඔයා නිකරුණේ බැනුම් ඇහුවෙ.දැන් ඕක මම මිස්ටර් ස්ටීව්ට කියන්න ගියාට වැඩක් නෑ…ඔයා කාමරේට යන්න.මම එයා යන්න කලින් හෙමින් ඔක්කොම කියන්නම්..යන්න කාමරේට.මම ඔයාට තේ ටිකක් ගේන්නම්”
පෝලා ඇයව අස්වසා ලන්නට තැත් කළාය.ස්ටීව් ක්ලිෆර්ඩ් ගේ බැනුම්,ගෙරවීම් ක්ලිෆර්ඩ් මන්දිරයේ අයට සාමාන්‍ය දෙයක් වුවද මේ අලුතින්ම ආ යුවතියට එය දරාගන්නට අපහසු වන්නට ඇතැයි පෝලා ට වැටහිණි.
නිලංගා දෙපය අද්දමින් මෙන් කාමරයට ආතුළු වී දොර වසා දැම්මාය.සිහින් ඉකියක් ව ආ වේදනාව කඳුලක් හා හැඬුමක්ව ඇගෙන් මිදී ආවේය.සයනයට කඩා වැටුණු නිලංගා ඉකිගසමින් හඬා වැටෙන්නට වූවාය.