මල් පිපුණිද හිම කැළයේ – 13

0
4157

නිලංගා උදෑසනින් ඇහැර ගත්තාය.පෙරදා පෝලා පැවසුවේ මේරි මහත්මිය උදේ අට පමණ වන විට අවදිවන  බවය. හිතේ චකිතයක් ඇතද මේ අභියෝගයට මුහුණ දෙන්නට තමාහට හැකි බව නිලංගා විශ්වාස කළාය..

ක්ලිෆර්ඩ් මැදුරට  මේරි මර්ෆි රැකබලා ගන්නියන් යොදවන ආයතනයෙන් නිලංගා වෙතද නිල ඇඳුම් සපයා තිබුණි.ලානිල් පැහැයට හුරු උඩුකය ටීෂර්ට් එක හා එමපාටින්ම වූ කලිසම නිල ඇඳුම විය. මේරිගේ සනීපාරක්ෂක කටයුතු වලදී  වරක් භාවිත කොට ඉවත ලන පොලිතීන් ඒප්‍රණයන් ,අත්වැසුම් සහ මුව ආවරණ ද භාවිතා කළ යුතුවිය.

නිලංගා මේරි මර්ෆි සිටිනා කාමරය වෙත ඇතුළු වන මොහොතේම ඇය නින්දෙන් පිබිද උන්නාය.

“ගුඩ් මෝනින් මැඩම්…කොහොමද ඔයාට?”
නිලංගා උදෑසන සුබ පැතුම සමගින් සිනාවක් පෑවාය.

“නොට් ගුඩ් ඇට් ඕල්…”
ප්‍රති සුබ පැතුම රහිතව දිනයේ පළමු පැමිණිල්ල ළඟාවිය.

“අපි බාතෲම් එකට ගිහින් වොෂ් එකක් දාමු නේද මැඩම්.ඉන් පස්සෙ බ්‍රෙක්ෆස්ට් එක ගම්මු…”
නිලංගා ඇයගේ සෘනාත්මක පිළිතුර නොසලකා හරිමින් පැවසුවාය. මේරි මර්ෆි අලුත් රැකබලාගන්නිය දෙස රවා බැලුවාය.

“නෑ නෑ…මාව ඇඳේ ඉද්දි වොෂ් කරන්න.කලින් අය කලෙ එහෙම…පෝලා..පෝලා…මෙහෙ එනවා…මෙන්න මේ කෙනාට අර wipes ටික දෙනවා…”
මේරි බෙරිහන් දෙන්නට පටන් ගත්තාය.

“හරි හරි මැඩම් පෝලා ඕන නෑ .මම බෙඩ්බාත් එකක් දෙන්නම් අදට.හැබැයි මැඩම් බාත් රූම් ගිහින් ප්‍රොපර් වොෂ් එකක් දැම්මම එන ෆ්‍රෙශ් ගතිය මේකෙන් එන්නෙ නෑනෙ .”
වියළි කෝටුවක් එක්වරම නවන්නට අපහසු බව නිලංගා දැන උන්නාය.අවුරුද්දකට ආසන්න කාලයක් එකම රටාවට හුරුවූ මේරි මර්ෆි වෙනස් කරන්නට එක්වරම කිසිසේත්ම බැරිය.

“ඔයාට අපි ගෙවන්නෙ මට ඕන විදියට වැඩ වෙන්න මිසක් ඔයාට ඕන ඕන විදියට වැඩ කරන්න නෙවෙයි…තේරුණාද?”
නිලංගා මේ වයස්ගත මුරණ්ඩු මැතිණියගේ හිතුවක්කාර කම් ඉවසා ගෙනම ප්‍රවේශමෙන් ඇයගේ ගත තෙත් පිහදනයන් ගෙන් පිස දැම්මාය.ඇඳටම වී දවස ගෙවන්නියගේ සමේ ඇති වෙනස්කම් නිලංගා නිරික්ෂණය කළාය.තෙත් හරියාකාරව ඉවත් නොවූ තැන් වල දිලීර ආසාදනයන් බඳු තත්ව ඇතිව ඇත.නිලංගා ඇය ගත පිසලා අදාල ආලේපනයන් තැවරුවාය.

“ඔච්චර වෙලා ගන්නෙ ඇයි…කලින් අය විනාඩි පහෙන් සේදුවා මාව.ඔයා ගෙ වැඩ හරිම හෙමින්…”
මේරිගේ නෝක්කඩු කීමේ කෙළවරක් නැතුවා සේය.නමුත් ඇයගේ ගතට වෙනදාට වඩා පහසුවක් හා සුවයක් ද දැනේ.නමුත් ඕනෑවට වඩා පැසසීම කළයුතුම නැතැයි ඈ සිතුවාය.

නිලංගා, මේරි මර්ෆි රාත්‍රිය පුරා ඇඳ උන් ඩයපරය ඉවත් කොට අලුතින් ඇඳුම් ඇඟලූවාය.කාමරයේ පසෙක ඇති කමෝඩය භාවිත කරන බවක් නම් නොපෙනේ.මේ වයසක කාන්තාව කලින් බලාගත් අය ඉතා පහසු ක්‍රමවේදයන් වලට ඇය ව හුරුකොට ඇත.රාත්‍රියට ඩයපරයක් අන්දවා එයට මළ මුත්‍රා පහවන්නට හුරුකරවා ඇත.කොතරම් මුදල් තිබුණද ධනයෙන් ආඩ්‍ය වුවද මේ ජීවන රටාව ඉතාම නුසුදුසු එකක්ව ඇත.

“හොඳයි ඔන්න වොශ් දාලා ඉවරයි.පෝලා කෑම ගෙනල්ලා තියෙන්නෙ.අපි පුටුවක ඉඳගම්මු නේද කන්න….”
නිලංගා ඊලඟ පියවරට පිවිසුණාය.මේරි මර්ෆිගේ මුහුණ කෝපයෙන් අව පැහැ වෙන්නට මොහොතක් ගියේ නැතිතරම්‍ ය.

“සිල්වියා …සිල්වියා…මෙහෙ එනවා..ඉක්මනින්…”
මේරි කෑගසන්නට වූවාය.නිලංගා කිසිවක් හිතාගන්නට නොහැකිව බලා උන්නාය.උදෑසන කෑම මේසයට පැමිණ උන් සිල්වියා ක්ලිෆර්ඩ් සිය පය අද්දමින් මෙන් මවගේ කාමරයට ආවාය.

“අම්මා මොකද මේ කෑගහන්නේ..? නෙලී මොකක්ද උනේ..?”
නිලංගා ගෙස රවා ගත් වලම ඉන්නා අම්මාගෙන්ද කිසිවක් හිතාගන්නට නොහැකිව පසෙකට වී බලා සිටිනා  නිලංගාගෙන්ද සිල්වියා ක්ලිපර්ඩ් මාරුවෙන් මාරුවට බලා ඇසුවාය.

“මෙන්න මේ කෙල්ල කියනවා මට පුටුවට ඇවිල්ල කෑම කන්නලු.දැන් එක පාරක් කිව්වා බාතෘම් එකට ගිහිල්ලා වොෂ් දාන්න ඕන කියලා. දැන් කියනවා පුටුවට ඇවිල්ල කෑම කමුලු…මේ සැරේ ගෙනාවේ පිස්සු හැදිච්ච ගෑනියෙක්ද..? මට ඇඳට කෑම එක දීලා මේ ගෑනි එලවල දාන්න..”
නොනවත්වාම කියවන්නා වූ වියපත් කාන්තාවගේ කෝපය තවත් ඇවිස්සියේ නොයුතු බව නිලංගා වටහා ගත්තාය.

“රියලි සොරි මේරි මැඩම්…මම දන්නේ නැහැනේ මැඩම් කැමති විදිය.. හරි අපි අද ඉඳලා ඒ විදිහට කරමු.. සොරි සිල්වියා මැඩම්…මම මේරි මැඩම් ගෙ විදියට කරන්නම්..”
නිලංගා මඳ සිනහවක් මුව රඳවාගෙන පැවසුවාය.මේ කාන්තාව සිය ජීවන රටාව විහින් එක් තැනකොට සීමා කොටගෙන ඇති ආකාරය නිලංගා වටහාගත්තාය.ඇය වෙනස් කළ යුත්තේ ඉතාමත්ම ප්‍රවේශමෙන් සහ කල්පනාවෙනි.නැතහොත් ඇයගේ මානසිකත්වය අනුව ඉතා පහසුවෙන් කේන්ති ගන්නට ඉඩ ඇත.

“අපි පස්සෙ කතාකරමු නෙලී…මෙයාව අවුස්සගන්නෙ නැතුව ඔන්න ඔය කියන විදියට වැඩ ටික කරන්න…”
සිල්වියා ක්ලිෆර්ඩ් නිලංගාට මිමිණුවේ කලකිරුණු හඬකිනි.අම්මාගේ මේ ක්‍රියාකලාපය ඇයද නුරුස්සන්නේ වුවද කළ හැක්කක් නැත.

නිලංගා ඇයව සයනයේ මඳක් උඩු අතට කොට්ට කිහිපයක් තබා ඉඳගන්නට සැලසුවාය.ඉන්පසු කෑම ආදිය පිළිවෙලකට අසුරා තිබූ බන්දේසිය සිය ඇඳට උඩින් ඇති මේසයට ගෙන ආවාය.

“ඉතින් බලාගෙන ඉන්නේ ඔය ටික කවනවා මට…”
යළිත් කෑ ගැසීමකි.මේ ප්‍රභූ කාන්තාවගේ එක් කකුලක් පමණක් බිඳී ඇත.එහෙත් ඇය සිය ජීවිතයම ආබාධ සහිත කෙනෙක් බවට පත් පත්කොට ගෙන ඇත.නිලංගා නිහඬවම ඇයට කෑම කවන්නට පටන් ගත්තාය. ගෙල වටා සුදු පැහැ ලේන්සුවක් දවටා කෑම සීරුවෙන් කවනා යුවතියගේ මුහුණේ නොරිස්සුමක් සොයාගන්නට මෙන් මේරි මර්ෆි විමසුමෙන් ඇය දෙසම බලාඋන්නාය.මුලු කෑම කවනා  කාලයම ඇයගේ මුහුණේ වූයේ මන්දස්මිතයකි.වෙනදාට කටක් දෙකක් කෑ පසු කෑම එපා වෙන මුත් අද මේ කෑම කැවීමම කලාවක් ලෙස මේරි මර්ෆි ට දැනුණි.

අවුරුද්දක් පුරා ආ ගිය රැකබලා ගන්නියන් අතර මේ තැනැත්තිය වෙනස්ම කෙනෙකි.නමුත් මෙවැන්නියන්ට කිසිදු බුරුලක් නොදිය යුතුය.සුපුරුදු හිතුවක්කාර ගතිය මතුව එද්දී ඇය වතුර වීදුරුවට අතින් ගැසුවාය. බන්දේසිය පුරා වතුර විසිර ගියේය.

“අනේ වතුර එක හැලුණා නේද?ඉන්න මම අලුත් වතුර එකක් ගේන්නම්..මේ ටික පිහිදාන්නම් ඉක්මනින්..”
කිසිදු වෙනසක් නැත්තී පැවසුවාය. වතුර වීදුරුව විසිකළ හඬ සුපුරුදු පෝලා කාමරයේ දොර අසළට ආවේ අලුතින් වතුර එකක් ද රැගෙනය. වෙනදා මෙන් කෑම හතරවට විසිර ගොස් නැත. සියල්ලම අපූරුවට පිළිවෙලට ඇත.විසිරුණු වතුරපැල්ලම් විනා ඉඳුල් කිසිවක් කොහේවත් නැත.

නිලංගා සුපුරුදු මන්දස්මිතය මුව රඳවාගෙනම කාමරය පිරිසිදු කළාය. කරනා ඕනෑම දෙයක් මේරි මර්ෆි නුහුරට බාරගන්නා බව ඇය වටහා ගත් හෙයින් ඉතා කල්පනාවෙන් සහ ඉවසීමෙන් කටයුතු කළ යුතුවිය.වියපත් වන්නියන්ගේ ස්වභාවය අනුව ඔවුන් තමා සතුවන බොහෝ දේ රැස්කොට ගොඩගසා ගන්නා ස්වභාවයක් ඇත.මේරිගේ කාමරයද එවන් බොහෝ පැරණි අනවශ්‍ය දෙයින් පිරී ගොස් තිබීම කාමරය අපිළිවෙල කරන්නක් විය.නිලංගා ට මෙවන් පරිසරයක වැඩ කිරීම පවා අපහසුවක් දැනෙන්නක් විය.

එහෙත් එවන් තැනක් පිළිවෙලක් කරන්නට අද අතගසන්නට ගිය හොත් මේරි තමා සේවයෙන් අනිවාර්යයෙන් එලවා දමනු ඇත.

“මොකද කාමරේ පුරාම බලන්නෙ.හොරකම් කරන් යන්න ද දේවල් හොයන්නෙ…?මම ස්ටීව්ට කම්ප්ලේන් කරනවා අදම..”
වියපත් කාන්තාව කෑගැසුවාය.පෝලා කලබල වී ඉදිරියට ආවේ නිලංගා වෙනුවෙනි.

“මේරි මැඩම්, ඔහොම කෑගහන්න එපා.බලන්න මේ ගර්ල් ඔයාව අද ලස්සනට වොශ් කරලා ඩ්‍රෙස් කරලා කෑම ඔක්කොම කවලා…ඇයි ඔහොම කතාකරන්නෙ…දැන් නෙලීත් යැව්වොත් කවුද ඔයාව බලාගන්නෙ?”
මේරි යම්තාක් දුරට පෝලාට අවනතය.ඒ ඇය මේරි අසනිප වන්නටද බොහෝ කලකට පෙර සිට ක්ලිෆර්ඩ් මැදුරේ සේවය කරනා හෙයිනි.

“ඉතින් මොකද…ගියාම…ස්ටීව් මට අලුතින් කෙයාරර් කෙනෙක් ගෙනල්ල දේවි…”
අහංකාර හඬින් පැවසූ ඇය ඉවත බලාගත්තාය.නිලංගා පෝලාහට ඇසින් ඉඟිකළේ කතාව නවතා නික්ම යන ලෙසය.

“දැන් ඉතින් ඔතනට වෙලා බලා ඉන්නෙ.ගෙට් අවුට්….ඕන නම් මම බෙල් එක රිංග් කරන්නම්…එතකොට එනවා..”
වියපත් කත යළිත් කෑගැසුවාය.නිලංගා ඇයගේ බසට අවනතව කාමරයෙන් පිටව ආවාය. එහෙත් මේරි මර්ෆි ක්‍රමානුකූලව නිසි ක්‍රමවේදයකට යොමු කරලීමේ බලාපොරොත්තුව ඇය තුළ නොසිඳී පැවතුණි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here