මල්සර හී සර – 3

0
3345

“මාර කතාවක්නෙ බං ඒක. දැන් උඹ මට කියන්නෙ උඹත් එක්ක ඔඩිශන් එකට ගිය එකීව ටෙලි නාට්‍යයට තේරුණා උඹට මක්කවත් නෑ කියලද?” කියලා කාන්තිලතා නෝනා ඉණට අත් දෙක තියාගෙන අහද්දි බාගෙට අඬන ගමන් උන්නු මාලවී කලේ ඔලුව හොල්ලන එක. ඔඩිශන් එකේදි බොරුවට ඇඬුණට මොකෝ මේ වෙලාවෙ නම් තරහ හන්දමද මන්දා මාලවීගේ ඇස් දෙක තිබ්බෙ නිකන් නියඟෙට අහුවෙච්ච වැවක් වගේ අඩියටම හිඳිලා.

“යකඩො හරි කතාවක්නෙ ඒක?” කියල අම්මා ඔය කිව්වේ කීවෙනි වතාවටද කියල ගණන් කරගන්න බැරි උනාට මොකෝ ඕකම අම්මා පහුවෙච්ච පැය භාගෙ ඇතුලත තුන් පාරකට වඩා නම් කිව්ව විත්තිය මාලවීට මතකයි.

“ඇයි බං උඹ මේ තකහනියක් ලෑස්තිවෙලා, ඇඳ පැළඳගෙන ගිහින් උඹ කියන විදියට අනිත් උන්ටත් ඇඬෙන ලෙවල් එකෙන් රඟපෑව නම් සප්තමීව තෝරගත්තෙ ඒ ඩිරෙට්ටර් කාරයට පිස්සුද මං අහන්නෙ?”

“ඩිරෙක්ටර් නෙවෙයි. ඩිරෙක්ටර් කැමති උනේ මට. මේ ගෑණිව තෝරගත්තෙ ප්‍රඩියුසර්. ඒ යකාමලු ස්ක්‍රිප්ට් එකත් ලියල තියෙන්නෙ. මං දන්නෙ නෑ ඒ මිනිහා අහවල් එහෙකට මේ ගෑණිව සිලෙක්ට් කරගත්තද කියල. පෙංවතා තමන්ව දාලා යනව කිව්වම පොඩ්ඩක් හරිහමං ගෑණියෙක් නම් අඬල කරලා එපාය ඉන්න. මේකි ඒකව තඹ සතේකට ගණන් ගත්තෙ නෑ. ඔහේ දර ඉපල වගේ දෙපැත්තට හෙල්ලි හෙල්ලි අත් දෙක බැඳන් තමයි කතා කලේ. එහෙම රඟපාන්න ඉතින් නිළියක් වෙන්න ඕනය.

ඒ යකත් මං රඟපාන වෙලේ ආවෙ නෑ. අරකි අර ගොං පාට් එක කරන වෙලාවෙම තමයි ඌ ආවෙත්. ඒ යකා ඉන්පස්සෙ රඟපාපු එකෙක්ගෙවත් පාට් හරියට බැලුවෙ නෑ හරියට අරකිවම තෝරගත්ත වගේ සීන් එකේ හිටියෙ. ඩිරෙක්ටර් නම් කීප සැරයක්ම මං දැක්ක අර යකාට කියනවා මාව පෙන්න පෙන්න. ඒ උනාට ඌ ඔලුව වන වන බෑ කියලමයි කිව්වෙ” කිය කිය මාලවී අම්මා එක්කල සප්තමීට දොස් පවරද්දි සප්තමී ඇත්තටම හිටියෙ තමන් ගෙ ගෙදර අම්මටයි මල්ලිටයි වෙච්ච සිද්දිය කිය කිය.

“මං මාලවී එක්කනෙ අම්මෙ ගියේ . මාලවීම තමයි මට කිව්වෙ නිකන් ආව එකේ පැත්තකට වෙලා ඉන්නෙ නැතුව පොඩි ට්‍රයි එකක් දීලා බලන්න පොඩි පාට් එකකට හරි සෙට් උනොත් හොඳයිනෙ මට එයා එක්කම ඇක්ට් කරන්න යන්න වෙයි කියලා. 

ඒ මිනිස්සු කරන්න දුන්නෙ බෝයි ෆ්‍රෙන්ඩ් තමන්ව රවට්ටල දාපු වෙලාවක කෙල්ලෙක් හැසිරෙන එකක් ගැන.මාලවී එහෙම නම් සුපිරියට අඬලා කරලා චරිතෙ කරා. අම්මා දන්නවනෙ මට ඔය වගේ අඬන දොඩන ඒව කොහොමත් කරන්න බෑ කියල. මං නිකන් කතා කරන එක කරේ. මං දන්නෙ නෑ අම්මෙ එවෙලේ ඒ මනුස්සට කොහෙන් කඩාපාත් උනාද කියල? එකපාර කට් කට් කියද්දි මං උඩ ගියා. මං හිතුවෙ හොඳටම බනී කියලා”

“මොකද්ද ඉතින් ඒ මනුස්සය ඉන්පස්සෙ කිව්වේ?”

“එවෙලෙ මුකුත් කිව්වෙ නෑ. ඉන්පස්සෙ උන්නු ළමයින්ටත් රඟපාන්න චාන්ස් එක දුන්න. ඔක්කොම ඉවර උනයින් පස්සෙ තමයි මටයි මාලවීටයි දෙන්නටම කතාකරල මාව තෝරගත්ත කියල කිව්වෙ. ඒ මනුස්සය එහෙම කතාකරාමත් මාලවී හිතුවෙ එයා සිලෙක්ට් වෙලා කියල. අයියෝ අම්මෙ මං දන්නෙ නෑ මාලවීට හොඳටම තරහ ගිහින් හිටියෙ. එයා මං එනකම් වත් ඉන්නෙ නැතුව තමයි ත්‍රිවිල් එකක නැගලා ඇවිත් තියෙන්නෙ. එයාලා අපේ මූණ බලාවිද දන්නෙ නෑ අම්මෙ ආයෙ. අනික ඒ මාව තෝරගත්තෙ ප්‍රඩියුසර්ලු. ඒ මනුස්සය ආවෙ ඔඩිශන් එකේ බාගයක් වගේ යද්දි. ඩිරෙක්ටර් ට ලොකුවටම උවමනාව තිබ්බ මාලවීව අරගන්න. ඒ උනාට අර මනුස්සය වචනයක් කතා කරන්න දුන්නෙ නෑ ඩිරෙක්ටර්ට”

“ආහ් හරි කතාවක් නෙ ඒක. තමුසෙ මොකෝ බලෙන් ගිහින් එයාගෙ චාන්ස් එක නැතිකරල ඒ පාට් එක ගත්තද එයාට එච්චර ගෙම්බර් දාන්න?” කියල මල්ලි වෙච්ච සප්තක කිව්වට මොකෝ සප්තමී ඒකට නම් කරේ මල්ලි දිහා බලලා “අනේ යනවා යන්න බක පණ්ඩිතයා” කියල දත් නියෙව්ව එක. 

“ඒකනෙ පුතේ. ඒ මිනිස්සුන්ට එහෙම ඔයා එක්කල අපි එක්කල තරහා ගන්න හේතුවක් නෑනෙ. ඔයා ඔන්න බලෙන් ගිහින් මාලවීට ලැබෙන්න තිබිච්ච අවස්තාව කඩාකප්පල් කරලා අරගත්ත නම් ඔයා වැරදියි කියන්න තිබුනා. එහෙම එකක් නෙවිනෙ උනේ. අනික ඉතින් මාලවීත් කියල තියෙන එකේ ඔයාටත් ගිහිල්ල රඟපාල එන්න කියල ඔයාට අනං මනං කියන එක තරහ වෙන එක වැරදිනෙ පුතේ”

“ඒ උනාට මට නාම් හිතෙන්නෙම අම්මෙ මාලවීලා ආයෙ අපේ මූණ බලන එකක් නෑ කියලා” සප්තමී එහෙම කියද්දි එහා පැත්තෙ ගෙදර උන්නු මාලවී අම්මා එක්ක බාගෙට අඬ අඬ තරහෙන් පුපුර පුපුර කිව්වෙත් ඒ කතාවම තමයි.

“මං නම් ආය ඕකිගෙ මූණ බලන්නෙ නෑ. මල හෝන්තුව. අම්මටත් මේ දානෙ ගෙදරක් එදාටම සෙට් කරගන්නම උවමනා උනානෙ. අම්මට එන්න පුලුවන් උනානම් මං කීයටවත් ඕකි එක්ක යන්නෙ නෑ. අන්තිමේ මට තමයි ඒකෙන් කෙලවුනේ. අම්මා හන්දා තමයි මේ ඔක්කොම” කියල මාලවී කියද්දි නම් කාන්තිලතා තරහෙන් මාලවී දිහාට හැරුණෙ අතේ තිබිච්ච පොල් කටු හැන්දත් උරුක් කරගෙන.

“එව් එව් ඒකටත් පුලුවන් නම් මට වැරැද්ද දාපං. අන්තිමේ ඔක්කොටම වැරදි මං. මං හින්දා තමයි මේ ඔක්කෝම වෙලා තියෙන්නෙ. අනේ මාලවී මේ, මං මේ උඹ මගේ දරුවා හන්දා ඉවසල කියන්නෙ. උඹ දැනගන්න ඕන නේද සප්තමී නෙවෙයි මොන මල යස්සනී එක්කල ගියත් තමන්ගෙ වැඩේ හරියට කරගෙන එන්න. එහෙම කරගන්න බැරුව මෙතන මල පිස්සු නටල ගෙදර ඇවිල්ල දැන් හරියට මේ උඹට රඟපාන්න පුරුදු කරෙයි, උබව රඟපාන්න යැව්වෙයි මං වගේ කතන්දර කියන්න එන්න එපා. කට කඩනව උඹේ” කියල කාන්තිලතා කියද්දි තමයි ගෙදර දොරට තට්ටු කරනවා ඇහුනෙ. 

“කාන්ති අක්කෙ ඉන්නවද?” කියලා කතාකරන්නෙ කවුද කියල කටහඬෙන් අඳුරගන්න ඇහැක් උනාට “මේ වෙලාවෙ එයා ඇවිත් ඉන්නෙ මොකද?” කියන ප්‍රශ්නෙ හිතිච්ච හන්දා තමයි අම්මයි දුවයි දෙන්නම ඇස් දෙක පුංචි කරන් මූණෙන් මූණ බලාගත්තෙ.

“මොකටද දන්නෙ නෑ ඇවිත් තියෙන්නෙ?” කියල කාන්තිලතා මාලවී දිහා බලලා ඇහුවෙ රහසෙන් වගේ. හරියට නිකන් තමන් මේ කුස්සියෙ ඉඳන් කතා කරන එක ඉස්සරහ දොර ලඟ ඉන්න මනුස්සයට ඇහෙවි කියන බයට වගේ.

“අරකි එවන්න ඇත්තෙ උඩගෙඩි දීලා” කියල මාලවී සද්දෙට කියද්දි කාන්තිලතා මාලවීගෙ හැකර කට අත් දෙකෙන්ම වැහුවෙ සද්දෙ එළියට යාවි කියන බයට වගේ.

“කෑගහන්න එපා යකෝ, අරකිට ඇහේවි”

“ඇහිච්ච දෙන්, මං කියන්නංකො අම්මටම දෝණියැන්දගෙ තරම. මට අතට ලැබිච්ච දේ කටට දාගන්න තිබ්බ පින නැතිකල හැතිරි” කියාගෙනම මාලවී හැකරැල්ලෙක් වගේ වේගෙන් වේගෙන් ඉස්සරහ දොර දිහාවට යද්දි කාන්තිලතාත් කකුල්වල බැරි අමාරුකම්, වාත අමාරුකම් එහෙම අමතක කරල තමයි ඒ පස්සෙන් දුවන් ගියේ. 

ඉස්සරහ දොර ලඟ උන්නෙ සප්තමීයි එයාගෙ අම්මා වෙච්ච නන්දායි. නන්දගෙ අතෙත් මොනවද තියෙනව දකිද්දි නම් මාලවීට තව තරහා ගියා. “උස්සන් එන්න නැති මොනවා හරි මල ජරාවක් මෙතන සොරි කියල හිත හදන්න හිතාගෙන” කියල හිතුවට මොකෝ ඒව ඒ විදියටම වචන කරන්න නම් හැටියක් මාලවීට එවෙලෙ තිබ්බෙ නෑ.

“අනේ අක්කෙ මං මේ තකහනියෙ මෙහෙ ආවෙ මේ අපේ එක්කෙනා නාහෙන් අඬ අඬ උන්නෙ ගෙදර ආව වෙලේ ඉඳන් මාලවී තරහා වෙලාද දන්නෙ නෑ කියල වෙච්ච දේට” කියල කියන ගමන් නන්දා අහක බලන් ඉන්න මාලවී දිහාවයි ඔලුව පල්ලෙහට නවාගෙන බලන් ඉන්න සප්තමී දිහාවයි මාරුවෙන් මාරුවට බැලුවා. 

“මං දන්නවනෙ මාලවී කොච්චර ආසාවෙන්ද පොඩිකාලෙ ඉඳලම හිටියෙ කියල නිලියක් වෙන්න. මොකෝ ඒක සප්තමී නොදන්නවය. දෙන්න කොච්චර පොඩිකාලෙ ඉඳලද මේ එකට සෙල්ලම් බත් ඉව්වෙ? අනේ එහෙම එකේ අක්කල හිතනවද දන්නෙ නෑ සප්තමී මේ එකපාර හිතට ආව පිස්සුවකට මාලවීට ලැබෙන්න තිබිච්ච චරිතෙ අරගන්න ආව කියලා” නන්දා කියල කට ගන්න හදද්දිම මාලවී කට ඇරලා මොනවද කියන්න හැදුවට කාන්තිලතා හයියෙන් අත අල්ලගෙන දුන්න සිග්නල් එක මාලවීට තේරුණා. හිත දාහක් දේවල් කියෙව්වත් කට වහන් ඉන්න උනේ ආන් ඒ හන්දා.

“දැන් ඉතින් ඕව කතාකරල වැඩක් තියෙ. වෙච්ච දේ වෙච්ච එකේ මේ අහල පහල අවුරුදු ගණන් දැන අඳුරගෙන උන්නු මිනිස්සු එක්ක අපි අහවල් එහෙකටද තරහා වෙන්නෙ? 

දැන් කවද ඉඳන්ද සප්තමීලට ඔය ටෙලි නාට්ටියෙ වැඩ පටන් ගන්නෙ?” කියලා කාන්තිලතා මූණිච්චාවට හිනාවක් දාන් නන්දා දිහා බලලා ඇහුවෙ ඒ මනුස්සය විතරක් කතා කරද්දි තමන් මෙතන සද්ද නැතුව ඉන්න එක හොඳ නැති හන්දා.

“ඒකනෙ අක්කෙ ඊලඟට තියෙන ලොකුම ප්‍රශ්නෙ” කියල නන්දා සප්තමී දිහා බලද්දිත් සප්තමී නම් උන්නෙ බිම බලාගෙන කල්පනා කරන ගමන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here