මල්සර හී සර – 4

0
3089

“සමුද්‍ර ඒ වෙලාවෙම එතනට ඒවි කියල මම ඇත්තටම හිතුවෙ නෑ” කියල කියන ගමන් වසන්ත් මහත්තයා හිනාවෙලා තමන් දිහා බලද්දි සමුද්‍රත් කලේ මුකුත් නොකියා ඒකට හිනාවෙන එක. අනික ඉතින් හිනාවෙනවා ඇරෙන්න වෙන මොනවා කියල කියන්නද? වසන්ත ඔහොම කියන්නෙ තමන් තෝරගත්ත කෙල්ලට වඩා ලේසියෙන් අනිත් කෙල්ලව අල්ලන් හුරතල් කරන්න පුලුවන් විත්තිය දන්නවා උනාට මොකෝ ඒක මූණට කියන්න පුලුවන් දෙයක්ද.

“එතන ඊට වඩා හොඳට ඉමෝශනල් විදියට ඇක්ට් කරපු ගර්ල්ස්ල ඕන තරම් ඉඳියත් සමුද්‍ර එකපාරින්ම ඒ ළමයවම වැඩේට තෝරගන්න හිතුවෙ මොකද?” කියල වසන්ත මහත්තය අහද්දි නම් සමුද්‍ර ඒත් හිත ඇතුලෙන් හිතුවා “අනේ බං කෙලින් කිව්ව නම් ඉවරනෙ උඹට ඕන උනේ අර මං තෝරපු කෙල්ල එක්ක ඇවිත් උන්නු අනිත් එකීව ගන්න?” කියලා.

“ඇයි වසන්ත මහත්තයා කිව්වේ හොඳට ඉමෝශනල් විදියට ඇක්ට් කරපු ළමයි ඉඳලත් කියලා?” සමුද්‍ර කරද්දි වසන්ත හිනා උනේ “සමුද්‍රගෙන් කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවම සමුද්‍ර ඉතින් හැමදාම කලේ තව ප්‍රශ්නයක් අහන එකනෙ” කියලා.

“නෑ මං මගේ උත්තරේ දෙන්නම්කො වසන්ත මහත්තය ඉස්සෙල්ල මං ඇහුව එකට උත්තරේ දුන්නොත්”

“හොඳට ඉමෝශනල් විදියට ඇක්ට් කරපු ගර්ල්ස්ල ඕන තරම් අර ගර්ල්ව තෝරගත්තෙ කියල ඇහුවෙ නේද? ම්ම්ම්ම්. නෑ ඉතින් අපි ඒ ළමයින්ට දුන්න ටාස්ක් එක උනෙ තමන්ගෙ බෝයි ෆ්‍රෙන්ඩ් තමන්ව දාලා ගියාම ගර්ල් කෙනෙක් හැසිරෙන විදියනෙ. සාමාන්‍යයෙන් ඉතින් ඕනම ගෑණු ළමයෙක් ඒ වගෙ වෙලාවක කරන්නෙ අඬන කරන එකනෙ නේද? මට නම් අර සමුද්‍ර තෝරපු ගර්ල් එක්ක ආව අනිත් ගර්ල්ව හොඳටම සෙට්. ඒ ළමයා හොඳටම කරා ඒ චරිතෙ. අපිට මේ වෙන නිළියන්ට ඔය වගේ සීන් එකක් කරන්න ඇහැට කී පාරක් බොරුවට කඳුලු දාන්න වෙනවද? මේ කෙල්ල මේ එක ශොට් එකෙන් සුපිරියටම කලානෙ” කියලා වසන්ත මහත්තය තමන් දිහා බලද්දිත් සමුද්‍ර කලේ අර හීනී ලස්සන හිනාව මූණෙ ඇඳගෙන වසන්ත මහත්තය දිහා බලන් උන්නු එක.

“සමුද්‍ර තෝරපු ළමයා ගෙ ඈක්ට් එක එතන උන්නු අනිත් හැම කෙනාටම වඩා වෙනස්. ඒ කිව්වෙ ඒ ගර්ල් හරිම ලස්සනයි. හරි ස්වීට්. ස්පොට් එකට එද්දිම මම හිතුවෙ එයා ඒ එලියෙන් පේන ලස්සනට ගැලපෙන මාරම ඉමෝශනල් ඇක්ට් එකක් කියලා.ඒ උනාට ඒ ළමයා හාත්පසින්ම වෙනස් ඇක්ට් එකක්නෙ කරේ. ඉමෝශනල් වෙන්න තියා ඇහෙන් එක කඳුලක්වත් වැටුණෙ නෑනෙ. අනේ මන්ද සමුද්‍ර අර රයිටර් කෙනෙක් උනාට ඩිරෙක්ට් කරන එක පැත්තෙන් මගේ ඇහැ හොඳට ෆෝකස් වෙනවානෙ ටැලන්ට් එක තියෙන කෙනා දිහාවට. ඒකයි මම කිව්වෙ මට නම් අර අනිත් ගර්ල්ව තමයි හොඳටම හිතට ඇල්ලුවෙ කියලා” වසන්ත කියද්දි සමුද්‍ර හිතෙන් ඒත් හිතුවා “ආහ් ඇත්තද? හිතට ඇල්ලුවද? තව කොහෙන් කොහෙන් අල්ලන්නද දන්නෙ නෑ නේද බලාපොරොත්තුව?” කියලා. ඒ උනාට හිතෙන් එහෙම හිතුවට කටෙන් කිව්වෙ නම් වෙන දෙයක්.

“ඔන්න ඕක තමයි වසන්ත මහත්තය අපි වරද්ද ගත්ත තැන. අපි හැමතිස්සෙම හිතනව ගෑණු කියන්නෙ එකම පිරිමිය තමන්ව දහස් වතාවක් රැවැට්ටුවත් අඬා වැලපෙන හොටු පෙරන කෙල්ලෙක් වෙන්න ඕන කියලා. කවුරුහරි කෙල්ලෙක් අපේ ඒ ෆ්‍රේම්වර්ක් එකෙන් එලියට පැන්න ගමන් අපිට ඒ කෙල්ලව පේන්න පටන් ගන්නෙ රෝන් ටර්න් යනව වගේනෙ. මං අන්න ඒ නිසාමයි ඒ ළමයව මේකට සිලෙක්ට් කරගන්න ඕන කියල හිතුවෙ. අපෙ ටෙලි ඩ්‍රාමා එකේ ඉන්නෙත් කොහොමත් තරුණ කාලෙම හස්බන්ඩ් මැරිච්ච ගෑණියෙක්. මට මේ ළමයගෙ ඇක්ට් එක දැක්කම හිතිච්ච දෙයක් තමයි තරුණ කාලෙම හස්බන්ඩ් නැතිවෙච්ච ළමේක් එක්ක අසරණ වෙච්ච, ලස්සන හන්දම පිරිමි පස්සෙන් එන කෙල්ලෙක් කීයටවත් හැම තප්පරේම අඬන දොඩන හොටු පෙරන් ඉන්න කෙල්ලෙක් වෙන්න බෑ නේද කියන එක. ඒ චරිතෙට ඕන ඔන්න ඔය කෙල්ල වගේ ඇත්තටම එලියෙන් කොච්චර සුකොමල උනත් හිතෙන් මාර හයිය කෙනෙක්. මං ඒකයි ඒ ළමයව තෝරගත්තෙ. අපි හදන්න යන ටෙලිය සෑහෙන හිට් වෙන වගේම අවෝඩ්ස් උනත් දිනාගන්න පොසිබිලිටි එකක් තියනව කියන එක අපි දැනටම දන්නවනෙ මහත්තයා. මේ ළමයා ඇත්තටම එහෙම හිත හයිය කෙල්ලෙක් නම් අපිට වැඩේ අමාරුවෙන්නෙ නෑ.

පස්සෙ ඒ ළමයව වෙන චරිතෙකට ගන්නවනම් වෙන ටෙලියක හරි චිත්‍රපටියක හරි අපිට ඒ චරිතෙට ගැලපෙන්න පස්සෙ ඔප මට්ටම් කරලා ගන්න බැරිය. අනික ඔය වසන්ත මහත්තයට හිතට අල්ලපු කෙල්ලව අරගන්න වසන්ත මහත්තය මොකෝ තව ටෙලි හදන්නෙ නැතුවය. මම නම් ඉඳලා හිටලනෙ මෙහෙම ස්ක්‍රිප්ට් එකක් හරි ලියන්නෙ” කියල සමුද්‍ර කියද්දි වසන්ත කට වහගත්තෙ කොහොමත් මේකෙ ස්ක්‍රිප්ට් එකයි නිශ්පාදනෙයි දෙකම සමුද්‍රයගෙ හින්දා තමන් ඕකට පොල්ල තියන්න ගියොත් මිනිහා ඔක්කොම අකුලන් යාවි කියන බයට.

ඔය විදියට සප්තමීව අලුත් ටෙලි නාට්‍යයට අරගන්න කට්ටිය කතාබස් කරගෙන හිටියට සප්තමී නම් හිටියෙ තමන්ගෙ අදහස වෙනස් කරගන්න ගමන්.

“දැන් ඉතින් ඕව කතාකරල වැඩක් තියෙ. වෙච්ච දේ වෙච්ච එකේ මේ අහල පහල අවුරුදු ගණන් දැන අඳුරගෙන උන්නු මිනිස්සු එක්ක අපි අහවල් එහෙකටද තරහා වෙන්නෙ? 

දැන් කවද ඉඳන්ද සප්තමීලට ඔය ටෙලි නාට්ටියෙ වැඩ පටන් ගන්නෙ?” 

“ඒකනෙ අක්කෙ ඊලඟට තියෙන ලොකුම ප්‍රශ්නෙ”

“අර මොකද්ද?”

“මේ ළමයා යන්න බෑ කියනවනෙ” කියල නන්දා කියද්දි නම් කාන්තිලතාගෙයි මාලවීගෙයි හිත් හිනාඋනාට මොකෝ ඒ විත්තිය ඉතින් අනික් අය දැක්කෙ නෑ.

“අප්පේ අර මොකද ඒ? මෙච්චර හොඳ චාන්ස් එකක් හම්බෙලා එහෙම දේකට පයින් ගහන්නෙ?” කියල අම්මා අහද්දි මාලවීත් කලින්ට වඩා උවමනාවෙන් තමා මේ කතාව අහන් ඉන්න හොට දැම්මෙ. මෙච්චර වෙලා සප්තමීට ඈතින් වාඩිවෙලා උන්නට මොකෝ සප්තමී ටෙලි නාට්‍යයට යන්නෙ නෑ කියල කිව්වයින් පස්සෙ මාලවී ඇවිල්ල සප්තමී ලඟින් වාඩි උනා.

“මෙයා බෑ කියනවනෙ. අන්තිමේ උදේ දවල් රෑ කියල හරියට කෑමක් නින්දක් නැතුව ඔය රඟපාන්න යන්න බෑ කියන්නෙ. අනික දැන් රස්සාවකුත් හොයාගත්ත එකේ ඕවට යන්න තියාගත්තොතින් අන්තිමේ රස්සාවට යන්න වෙන්නෙ නෑ කියනවනෙ”

“අනේ ඔය කොමියුනිකේශන් එකේ රස්සාවට ගිහින් කීයක් කියල හම්බ කරන්නද නංගි? ඒ වගේද රඟපාන එක” කියල නන්දගෙයි සප්තමීගෙයි මූණට මූණිච්චාවට කිව්වට මොකෝ වැඩේ නොකෙරෙන තැනට පාර කපන්න ඕන හන්ද තමයි කාන්තිලතා ඊලඟට “හැබැයි ඉතින් කෙල්ල කියන කතාව ඇත්ත. නිළිකම කරන්න ඇහැක් පෙනුම තියෙන කම් නෙ, රස්සාව එහෙමද? ඔන්න අපේ අය නම් මේ වෙන රස්සාවලට නොයන හන්ද රඟපාන්න යනවා” කියල කිව්වේ. වෙන වෙලාවක අම්මා තමන්ව ඔහොම දෙකේ කොලේට දාලා කතාකරාම මාලවීට මල පනිනවා උනාට අද නම් මේ ඔක්කොම ඉතින් තමන්ගෙ වාසියටනෙ කියල දන්න හන්දා සද්ද නැතුව හිටියා.

“මම නම් කියන්නෙ අක්කෙ අපි මෙයාට රස්සාවට යන්න කියන්නෙත් නෑ. අපි මෙයාට රඟපාන්න යන්න කියන්නෙත් නෑ. කිසිම දේකට එපා කියන්නෙත් නෑ. එහෙම එකේ තමන්ට හොඳ දෙයක් බලලා ඉතින් කරන්න කියල තමයි මං කිව්වෙ. ඔය ටෙලි නාට්‍යය වල රඟපාන්න යන එක ටිකක් කරදර වැඩක් කියල මං නොදන්නවය. අනික කෙල්ලෙක්ව ඉතින් එහෙම හා හා පුරා කියල ඔහොම එහෙකට යවද්දි තනියෙන් යවන්නත් බෑනෙ. අනිවාර්‍යෙන්ම මටත් යන්න වෙනවා. කරදර වැඩ ඉතින් ඕව. අනික මොක උනත් තාත්තගෙනුත් අහන්න ඕනනෙ. ඒ මනුස්සයට වැඩ ඉවරවෙලා ආවමනෙ කතා කරන්න වෙන්නෙ”

එදා ඒ කතාව ඉවරවෙලා සප්තමීලා ආයෙ ගෙදර ආවෙ මාලවීගෙයි කාන්තිලතාගෙයි හිත් දිනාගෙන. නන්දා නම් කිව්වෙම “ඔය රඟපාන්න ගිහින් මිනිස්සු දාහකගෙ හිත් දිනාගෙන මක්කටද අල්ලපු වැටේ ඉන්න මනුස්සය තරහා කරගෙන” කියලා. සප්තමී නම් කොහොමත් හිටියෙ ඔය රඟපාන සීන් එකට කැමැත්තෙන් නෙවෙයි හන්දා ගෑණිට ඒක කිසිම අවුලක් උනේ නෑ.

“පුතා අකමැති නම් කිසිම දේකට යන්න ඕන නෑ. මම ඔයා ඔය කමියුනිකේශන් එකේ ජොබ් එකට යනවට උනත් මුකුත් නොකිව්වෙ ඔයා ආස නම් යන්න. ගෑණු ළමයි එහෙම ගේ අස්සටම හිරවෙලා ඉන්න ඕන කියල මම හිතන්නෙ නෑ. එළියෙ කොහෙ ගියත් තමන් පරිස්සම් වෙලා ඉන්න දන්නවනම් බයවෙන්න දෙයක් නෑ. රඟපාන්න විතරය ගෑණු දන්නෙ. ඔය අභ්‍යවකාශෙටත් ගිහින් ආපහු ලස්සනට පරිස්සමට එන්නෙ” කියල ප්‍රෙස් එකේ වැඩ ඉවර කරල හවස ගෙදර ආව තාත්තා කියද්දි උනත් සප්තමී උන්නෙ අදහස වෙනස් කරන අදහසක නෙවෙයි.

කැම කන ගමන් ටෙලි නාට්‍ය බලද්දි මල්ලි වෙච්ච සප්තක ඒත් කිව්වා “බලනවකො තමුසෙ ඔය රඟපාන සීන් එකට ගියා නම් ඉස්සරහට බත් කන දවස්වලට අපි තමුසෙ දිහා බලන් නෙ බත් කන්නෙ” කියලා.

“ඉතින් තමුසෙට බත් කද්දි මාව බලන්න ඕන නම් දැන් බලනවකො, මං මේ ඉන්නෙ” කියල සප්තමී කියද්දි සප්තක ආයෙ අක්කා දිහා බලලා නියෙව්වා.

ඔය ඔක්කොම වෙලා, සප්තමීයි මාලවීයි ආපහු යාලු මිත්‍රයො වෙලා දවස් ගාණකට පස්සෙ තමයි ඒ කෝල් එක ආවෙ. කවුරුවත් බලාපොරොත්තු නොවිච්ච විදියට.

“හෙලෝ මේ සප්තමී තාරුකා ජයබාහු ද?” 

“ඔව් කවුද මේ කතාකරන්නෙ?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here