මල් පිපුණිද හිම කැළයේ – 17

0
1090

අලුතින් ආ ගෑණුළමයා කෑම බන්දේසිය ද රැගෙන කාමරයට ඇතුල්වද්දීම මේරි සිය රඟපෑම පටන් ගත්තාය.

“එන්න එපා මෙහෙට එන්න එපා..මට බඩගිනි නැහැ මට කන්න බැහැ..මට බලෙන් කවන්න හැදුවොත් මම ස්ටීව්ට කියනවා..තමුන්ව පොලිසියට අල්ලලත් දෙනවා..”
නිලංගා මොහොතක් කාමරයේ දොර ළඟ නැවතුනාය.පසුගිය දින දෙකට පෝලා වෙතින් සහ සිල්වියා වෙතින් මේරි ගැන ලැබුණු අවබෝධය නිලංගාට ඉවසීම ප්‍රගුණ කර ගන්නට ප්‍රමාණවත් විය. ඒත් අද දවසේ තමාගේ මේ උත්සාහය නිරර්ථක වනු දැකීමට ඇයට අවශ්‍යතාවයක්ද නොවීය.

“අර ළමයාගේ ඔක්කොම උත්සාහය ඉවරයි වගේ මැඩම්..ඇහෙනව නේද මේරි මැඩම් කෑගහන්න පටන් ගත්තා..”
කෑම කාමරයේ සිට පෝලා සිල්වියා සමඟින් පැවසුවාය.සිල්වියා ක්ලිෆර්ඩ් කලකිරීමෙන් යුතුව හිස දෙපසට වැනුවාය.

“මම නම් මුලදිම දැනගත්තා පෝලා, ඕක හරියන්නේ නැහැ කියලා.ඒත් ඒ ළමයා මොකක් හරි උත්සාහයක්නෙ ගත්තේ…මං ඒකයි කරන්න දීලා බලන් උන්නේ..අපේ අම්මත් එක්ක බෑ පෝලා…ඔයාට කියන්න ඕන නැහැනේ මේ අවුරුද්දට  මට නං ඇත්තමයි ඇති වෙලා තියෙන්නේ”
සිල්වියා අසල වූ අසුනක ඉඳගත්තාය.කලකිරීමද අපේක්ෂා භංගත්වයද ඇයගේ මුහුණින් මනාව විද්‍යාමාන විය.

නිලංගා කෑම බන්දේසිය ඇඳ හරහා තැබිය හැකි මේසය මත තබා ආවරණ ඉවත් කළාය.කෑම එපා යැයි කෑගැසූ තැනැත්තියගේ දෑස් තරමක් විසල් වනු ඇය දුටුවාය.ආහාර බන්දේසිය ද එයින් හමා ආ කෑම සුවදඳ ද මේරි ගේ කුසගින්න අවුලුවා ලීය.නිලංගා යටිසිතෙන් මතුවන මන්දස්මිතය මැඩගනිමින් තව දුරටත් ඉවසීම ප්‍රගුණ කළාය.

“මොනවද ඕකේ තියෙන්නේ..”මේරි සුපුරුදු අහංකාර ස්වරයෙන් විමසුවාය.

“මැඩම් කිව්වා නේද අද රෑට චිකන් මෂ්රූම් සුප් එක්ක ගාලික් ටෝස්ට් ඕන කියල…ඉතිං අද මමමයිි හැදුවේ..බලන්නකෝ පොඩ්ඩක් කාලා…”
නිලංගා බන්දේසිය සහිත මේසය ඇය වෙත සමීප කළාය.මේරි වෙනදා සේ ඇය කෑම කවනා තෙක් වත් නොසිට කෑම බන්දේසිය තමා වෙත ළංකොට ගත්තාය.

“පොඩ්ඩක් ඉන්න මැඩම්..අපි මේ නැප්කින් එක එහෙම දාලා මම කවන්නංකෝ…මැඩම්ට තනියෙන් කන්න බෑනෙ නේද?”
නිලංගා යටිසිතින් සිනාසෙමින් සිය උපක්‍රමයන් දිග හැරියාය.මේ අවස්ථාවේ ගෙනයා යුත්තේ උපක්‍රමයන්ම පමණි.

“තනියම කන්න මට බෑ..කියල ඔය ළමයට කවුද කීවෙ…යූ නෝ…මට දැන් අසූපහක් වයස…ඉතින් මට මොකද තනියෙන් කන්න බැරි…පිස්සු…”
මේරි ඇය දෙස රවා බලා හිස ගස්සමින් පැවසුවාය.

“ඒකනෙ මැඩම්…මාත් මේ හිතුවේ …මැඩම්ට අතින් කන්න බෑ කියලා කලින් උන්න කෙයාරර්ස්ලා නෙ කියල තියෙන්නෙ…මොන බොරුද ඒ…? අනෙක් එක මැඩම්, කෙනෙක්ට තමන්ම කෑම කනකොට නේ ඒකෙ රස දැනෙන්නේ හරියටම…නේද?”
නිලංගා සුප් බඳුන සහ පාන් දීසිය ඇය වෙතට සමීප කළාය.කාලයකට පසු සිත්සේ කුසපුරා ආහාර ගන්නා මේරි දෙස සතුටු ඇසින් බලා උන්නේ නිලංගා පමණක් නොවේ. කාමරයට සවිකළ කැමරා පද්ධතිය ඔස්සේ සිය මිත්තණිය ඉමහත් රුචියකින් යුතුව ආහාර ගන්නා ආකාරය විස්මයෙන් බලා උන්නේ ස්ටීව් ක්ලිෆර්ඩ්ය.දන්නා තරම් කාලයකදී ඇය කෑම වර්ජනය නොකළ දිනයක් , ඒ ගැන පැමිණිලි නොලද දිනයක් මතකයේ නැත.එමෙන්ම ආහාර නොගැනීම හේතුවෙන් පෝෂණ ගැටලුද නිසි දියර ප්‍රමාණය ශරීරගත නොවීමෙන් විජලනයද නිතර නිතර සෞඛ්‍ය තත්වයට ගැටලු ගෙන ආවේය.එහෙයින් තමා කෙතරම් නොසලකා හැරියද  නෙලී අද ලොකු පියවරක් ආච්චී වෙනුවෙන් ගෙන ඇත.

ස්ටීව් ක්ලිෆර්ඩ් යළිත් කැමරාව දෙස බලා උන්නේය.ඇය නිසොල්මනේ ආච්චී කෑම කන ආකාරය නිරීක්ෂණය කරයි. ආච්චීගේ ඉරියව් සියල්ලටම වඩා වෙනස්‍ ය.ඇය නෙලී දෙස  හොරෙන් බලමින් කෑම කන්නීය.නමුත් ඇයගේ ඉරියව් වල ඇත්තේ ඇය එම ආහාර රසවිඳින බවය.ආහාර ගෙන අවසන් වූ විට නෙලී ඇය වෙත අත්පිස්නාවද ළං කොට මුවද පිස දැම්මාය.මේරිගේ මුහුණේ කළාතුරකින් නැගෙන මඳ සිනහව ස්ටීව් දුටුවේය.

“කෑම රසයිද මැඩම්..?”
නිලංගා විමසුවාය.මේරි ඇය වෙත රවා බැලුවේ නොසිතූ විලසිනි.

“රසයිද ඇහුවා..? වෙන කෑම නැත්නම් ඕවාත් රසයි තමා ..මම අර දවස් කීපයක්ම කෑම නොකා උන්න නිසායි ඔය ළමයා හදපු දේවල් විසි කරන්න බැරිනිසයි කෑවේ….තේරුණාද…?”
නිලංගා මේ කාලගුණයටත් වඩා වේගයෙන් වෙනස්වන කාන්තාවගේ හැසිරීම ඉවසා දරා ගත්තාය.ඇය ගේ මානසිකත්වය එසේ අනුමාන කළ හැක්කක් නොවේ.

“ඒකනෙ මැඩම්, අපි හෙට මීට වඩා රසට කෑම කමුකො…මම මේ ටික අස්කරලා එන්නම්කො”නිලංගා ඇයගෙන් සමුගෙන මුළුතැන්ගෙය වෙත ඇවිද ගියාය.

ස්ටීව් ක්ලිෆර්ඩ් සිය මිත්තණිය ගේ ඒ හැසිරීමද නෙලී එයට ප්‍රතිචාර දක්වන අන්දමද පුදුමයෙන් බලා උන්නේය.යමෙකු හට එතරම් දරාගැනීමක් කළ හැකිද? පසුගිය  කාලයේදී ආච්චී රැකබලා ගන්නට පැමිණි සියලුම කාන්තාවන් ඇය සම්බන්ධයෙන් පැමිණිලි කළ ආකාරය ස්ටීව් සිහිපත් කළේය.ඔවුන්ගේ නොහැකියාව ලෙස තමා දුටු ඒ ගැටලුව වූයේ ආච්චී සම්බන්ධයෙන් ඔවුන් තුළ නොවූ මේ ඉවසීමය.එය නෙළී තුල ඕනෑවටත් වඩා ඇත.

“ඔක්කොම කෑවද නෙලී….පුදුමයිනෙ…මතක ඇති කාලෙකින් ඔහොම එයා කාලා නෑ…අන්න ඉතුරු සුප් ටික සිල්වියා මැඩම් බීලා හරිම රසයි කියලා ගියෙත්….”
පෝලා හිස් බන්දෙසිය දැක පැවසුවාය.

“ඔයා දන්නවනම් අද මැඩම් කෑවෙත් තනියම…එයාට පුළුවන් කියල…හැබැයි ඔක්කොම කාලා ඉවර වුනාම වෙන කන්න දෙයක් නති නිසයි කෑවෙ කිව්වා…”
නිලංගාගේ සිනහව සමගින් පෝලාද එක්වූවාය.

“අපෝ ඔහොම දෙයක් නොකිව්වනං තමයි පුදුම..කිසිම දවසක මේරි මැඩම්ගෙන් හොඳක් අහපු කෙයාරර් කෙනෙක් නම් උන්නෙම නැහැ.. ඒ උනාට මම හිතුවා අඩු තරමෙ නෙලීටවත් හොඳක් කියාවි කියලා…”

” එහෙම තමයි පෝලා…කාලයක් තිස්සේ එයා හුරු වෙච්ච රටාව වෙනස් කරන්න එකපාරටම අපිට බැහැ..නමුත් මට හිතෙනවා..අපි එයාගේ පැත්තෙන් කල්පනා කරලා අපි වැඩ කරන විදියේ ටික ටික වෙනස් කරගත්තොත්..එයාව ටික ටික නම්මා ගන්න අපිට පුළුවන් වෙයි කියලා..”
නිලංගා පැවසුවේ පෝලා දෙස බලා සිනාවක් පාමිනි.

“ඔයා මැජික් එකක්..මට විශ්වාසයි..ඔයා මේරි මැඩම්ව වෙනස් කරාවි අනිවාර්යෙන්ම..ඔයාට ඔය තියෙන ඉවසීම මීට කලින් ආව කිසි කෙනෙක්ගෙන් මම දැක්කේ නැහැ..එයාලා ෆේල් උනේ අන්න එතන කියලා මට දැන් හිතෙනවා..”
පෝලා නිලංගාගේ දෝතින්ම අල්ලා ගනිමින් පැවසුවාය.පැසසිය යුතු තැන පසසන්නටත්..වරදක් දුටු කල එය කියාදෙන්නටත්…පෝලා කිසිවිටක පසුබට නොවූවාය. එහෙත් මින් පෙර ආ සේවිකාවන් කිසිවෙක් පෝලාගේ උපදෙස් වලට නම්‍යශීලී වූයේද නැත.නිවසේ සිටිනා පැරණිම සහ පල පුරුදුම සේවිකාව වූ පෝලා මේරි මර්ෆි සම්බන්ධයෙන් මනාව දැන උන්නද…ඇය රැක බලා ගන්නට පැමිණෙන කාන්තාවන්ගේ චර්‍යාවන් සමග හෙම්බත්ව උන්නාය.

පළමු සතිය අවසානයේ නිලංගා ගතින් විඩාවට පත් ව උන්නද සිතින් තෘප්තිමත්ව උන්නාය.අභියෝගයක් වූ රාජකාරිය මනාව ඉටු කරන්නට හැකිවීමද..සිය සේවා දායිකාව ක්‍රමානුකූලව නම්‍යශීලී කරගන්නට හැකිවීමද යන කාරණා දෙක මීට හේතු විය.ආහාර ගැනීම සම්බන්ධයෙන් මේරි මර්ෆි ක්‍රම ක්‍රමයෙන් යහපත් ප්‍රතිචාර දක්වමින් උන්නාය.ඉඳ හිටක කෑම ප්‍රතික්ෂේප කලද බොහෝ අවස්ථාවන්හිදී..ඇය ප්‍රමාණවත් ආකාරයෙන් ආහාර ගන්නට පෙළඹුනාය.පුදුමයකට මෙන් නිලංගා සමගින් ආහාර ගන්නා අවස්ථාවලදී කිසිදු භාජනයක් විසිකර දමන්නට පෙර මෙන් ඇය පෙළඹුණේ නැත.

“මේක තමයි ලොකුම මැජික් එක..සිල්වියා මැඩම්.. අපේ ලොකු මැඩම් කාලෙකින් භාජනයක් එහෙම විසිකරේ නැහැනේ..අනෙක් එක කාමරේ හරිම ක්ලීන්..ඉස්සර වගේ කෑම විසි කරන්නෙත් නෑ..”
පෝලා නිලංගා සමඟින් සිල්වියා ක්ලිෆර්ඩ් හමුවේ සති අන්තයේ සෙනසුරාදාවේ පැයක හමුවක් සඳහා පැමිණුනාය.සිය මවගේ කටයුතුත් ගෘහස්ථ අනෙක් කටයුතුත් සම්බන්ධයෙන් කතා බහ කිරීමට සතියකට වතාවක් පෝලා සහ නිලංගා ඇය හමුවිය යුතු බව සිල්වියා පළමු දවසේදීම පැවසුවාය.

“ඒකනම් ඇත්ත..නෙළී සතියකින්ම ලොකු වෙනසක් කළා..හැබැයි නෙළි එහෙමයි කියලා අපට අම්මගේ බිහේවියර් එක ප්‍රෙඩික්ට් කරන්න බැහැ..මේ සතියේ ඔහොම වුණාට ලබන සතිය වෙනකොට එයා ආපහු ඇග්‍රසිව් වෙන්න පුළුවන්.ඒ නිසා හැම තිස්සෙම කල්පනාවෙන් වැඩ කරන්න.”
සිල්වියා ක්ලිෆර්ඩ් මද සිනහවකින් පැවසුවාය.

“ඔව් මැඩම් මම ඒක තේරුම් අරන් ඉන්නෙ.ටිකෙන් ටික මිසක් මේරි මැඩම්ව එකපාරට වෙනස් කරන්න අපට බැහැ. මම තව එක request එකක් කරන්නයි හිතුවේ.මම එන සතියේ ඉඳන් මේරි මැඩම්ව බාතෲම් එකේ
වොෂ්කරන්න බලන්නම්. වීල් චෙයා එකක් තියෙනවානේ. අනෙක් අතට මැඩම් මේ ඇඳේ ඉඳගෙන ස්ට්‍රිප් වොෂ් කරන එක මේරි මැඩම්ට ගැලපෙන දෙයක් නෙමෙයි.ඔහොම උනාම එයා තව තවත් ඇඳටම වෙලා ඉන්න බලනව.”
නිලංගා සිය දෙවන අදහස සිල්වියා ක්ලිෆර්ඩ් වෙත ඉදිරිපත් කළාය. තමා කරන්නට යන සියලුම නව පියවරයන් සිල්වියා වෙත දන්වා ඇයගේ අනුමැතිය ලබා ගත යුතු බව නිලංගා දැන උන්නාය.කෙතරම් යහපත් හා රෝගියා හට සුබදායක වන පියවරක් ගත්තද එය හිතුමතේට කළ නොහැකි බව නිලංගා දැන උන්නාය.මෙවැනි රටකදී රෝගියෙකුගේ හෝ ඇය/ඔහු සම්බන්ධව තීරණ ගත හැකි ළඟම ඥාතියාගේ අනුමැතිය ලබා ගැනීම අත්‍යවශ්‍යය.

“ඒක කරන්න නම් මෙයා කැමති වෙන එකක්ම නැහැ..ඇඳටම වෙලා ඔක්කොම වැඩ ටික ලඟට කරවගන්නයි අම්මා පුරුදු වෙලා ඉන්නේ..ඔයාට පුළුවන් නම් ට්‍රයි කරන්න ..පෝලා චුට්ටක් නෙලීට අවශ්‍ය නම් සපෝට් එකක් දෙන්න..අම්මා කෑම කන්න ගත්තු එකම නෙලීට ක්‍රෙඩිට් එක යන්නේ…මටත් වෙලාවකට හිතෙනවා නෙලීට මැජික් හෑන්ඩ් එකක් තියෙනව කියල..ට්‍රයි කරලා බලන්න…”
සිල්වියා මද සිනහවක් පා පැවසුවාය.. අම්මා සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක්..ධනාත්මක බලාපොරොත්තුවක් තබා ගන්නට ඇයගේ සිත කිසිවිටෙකත් නොනැමෙයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here