මල් පිපුණිද හිම කැළයේ – 18

0
6392

ඉරිදාව නිලංගාගේ නිවාඩු දිනයයි.මේරි මර්ෆි සතියක් තිස්සේ රැකබලා ගන්නා සේවිකාවනට ඉරිදා දිනය නිවාඩු ලබා දීම ගිවිසුමට අනුව ලියවී තිබුණි.එම දිනයේ මේරි මර්ෆිගේ අවශ්‍යතාවයන් පෝලා ,ඇයගේ සහායක සේවිකාවක සහ සිල්වියා වෙතින් සිදුවිය.පෝලා ඉරිදාව ඉතා කැමැත්තෙන් බාරගෙන නිලංගා නිදහස් කළාය.සතියේ දිනහයක් ඇය මේරි මර්ෆි බලාගත්තේ කිසිදු අයකුගේ සහයක් නොමැතිවය.මේරිද වෙනදාට වඩා බොහෝ සන්සුන් වූවාය.ස්ටීව් පැමිණෙන විට පමණක් විවිධාකාර පැමිණිලි ඉදිරිපත් කළද ඒවා වෙනදා තරම් බරපතළ ඒවා නොවීය.

මින් පෙර වකවානුවේ පෝලා උන්නේ දැඩි ලෙස හෙම්බත්වීය.මන්ද පෙර උන් සේවිකාවන් අසාර්ථකවන වාරයක් වාරයක් පාසාා පෝලාට මේරිගේ වැඩකටයුතුද කරන්නට සිදුවීම ඇයට අපහසුවූ හෙයිනි. ගත වූ සතියේදී පෝලාට මේරි සම්බන්ධව  කරන්නට කිසිදු දෙයක් නොවූ තරම්ය.මේ ටිකේ කෑම පවා සාදන්නට නෙළී බාරගත්තාය.ඇය එය අමතර රාජකාරියක් වුවද කිසිදු පැමිණිල්ලක් කළේ නැත.සැම විටම මඳ සිනහවකින් මත සරසාගෙන සිටිනා නෙළී සම්බන්ධව පෝලාගේ සිතෙහි දැඩි හිතවත්කමක් ගොඩනැගෙමින් පැවතුණි.

“අපි අද මේරි මැඩම්ව බලා ගන්නම් ගන්නම්. ඔයා හොඳ රෙස්ට් එකක් ගන්න..”
උදෑසන ආහාරය පිණිස මුළුතැන් ගේ වෙත පැමිණි නිලංගා හට පෝලා පැවසුවාය.

“මම අද ටිකක් ඇවිදින්න යනවා…සතියම ගේ ඇතුලෙ ඉඳලා අමාරුයි ටිකක්..”
නිලංගා පැවසුවාය.වැඩ රාජකාරි සියල්ල කෙසේ ඉටු කළද නිවස තුළම සිටින්නට වීම ඇය හෙම්බත් කොට තිබුණි.මේරිගේ කටයුතු කරනා අතරමැදි කාලයේදී ලැබෙන විවේකයෙන් ඇය කාමරයේ ජනේලය අසලට වී උද්‍යානය දෙස බලා උන්නාය.ක්ලිෆර්ඩ් මන්දිරයේ උද්‍යානය මනාව නඩත්තු  කළ එකකි. මාර්තු මාසයේ මුල හෙයින් ගෙවත්තේ සේවකයන් ලහි ලහියේ පැළ ආදිය සිටුවනු පෙනේ.ගෙවත්ත පුරා ඇති විසල් ගස් වල තවමද හරියාකාරව කොළපැහැයක් නැතද රෝස ,කැමේලියා පඳුරුවල කොළ සහ  මැග්නෝලියා ගස් වල කුඩා පොහොට්ටු ද මතුවෙමින් තිබුණි.මිදුලේ වැඩි හරියක් ඇති තණ පලසේ තැනින් තැන සුදු පැහැයෙන් ඩේසි මල් මතු වෙමින් තිබෙයි.අසල ඇති උද්‍යානයක හෝ ඇවිද එන්නට සිත කියන්නේ මේ හේතුවෙනි. වසන්තය හෙමි හෙමින් පැමිණෙමින් ඇත.

මාලිකා රැකියාවේ සමුලුවක්  වෙනුවෙන් විදෙස්ගතව ඇත. ඇය නැවත පැමිණෙන්නේ සතිදෙකකට පසුවය.ඉතින් අද දවස කොහොමත් තමාගේ හුදෙකලා සැලසුම් ක්‍රියාත්මක කරන්නට සිදුවන දවසකි.ජනේලය අසළට ඇවිද ආ නිලංගා ඒ අසල වූ  කුඩා මේසය මතවූ සටහන් පොත පෙරළා බැලුවාය. ඉඩ ලද සියලු විවේකයන්හි ඇවිදයන්නට නරඹන්නට පහසු තැන් සටහන් තබාගන්නට my travels -to be completed මැයෙන් කුඩා පොතක් ඇය තබා ගත්තාය. පසුගිය වකවානුවේ පවත්වාගෙන ආ travel journal එක නඩත්තු කරන්නට තරම් සිතට විවේකයක් ඇයට පසුගිය කාල පරිච්ඡේදයේ නොතිබුණි.

සොබා දහම සමගින් අනුගත වන්නට ඇත්නම් සිත ගතට දෙකටම දැනෙන්නාවූ වෙහෙස මඳකට හෝ සමනය වනු ඇතැයි නිලංගා සිතුවාය.වසන්තය අතලඟ වුව තවම සීතලෙන් පරිසරය මිදී නැත.ගෙලවටා දැවටූ ගණ සලුව සහ උණුසුම් හිස් වැසුමද අවසානයෙන් පැළඳගත් පසු  ගමනට ඇය සම්පූර්ණයෙන් සූදානම් ව තිබුණි. කුඩා tote බෑගයට වතුර බෝතලයක්, කියවන්නට පටන්ගත්තද පිටු කිහිපයක්වත් කියවා ඉවර කරන්නට නොහැකි වූ නවකතා පොතක්ද දමාගත්තාය.

නිලංගා පෝලාගෙන් සමුගෙන ඇවිද ආවාය.බස් නැවතුමට විත් බැලූකළ තවත් විනාඩි අටක් බලා ඉන්නට සිදුවේ. බස් නැවතුමේ කෙලවරක වයසක මහත්මයෙක් සිය කුඩා බලුපැටවාද ළයට තුරුලු කොට ගෙන ඉලෙක්ට්‍රොනික  රෝද පුටුවට වී බලා ඉඳී. ඔවුන් අතර ඇස් බැල්මෙන් හා ස්පර්ශයෙන් සංවාදයක් පවතී.හුදෙකලා ජීවිතය ට තමන්ගේමැයි කියන්නට මිනිස් ඇසුරක් අත්‍යාවශ්‍ය ම නැති බව නිලංගා මෙවන් දසුන් ඇසුරෙන් උගත්තාය. ඒ අතින් බැලූකළ තමා අතිශයින් හුදෙකළාව ඇත. ජීවිතයේ තමාහට තමන්ගේ යැයි කියන්නට කිසිවෙක්ම අවසානයේ නැත.එහෙත් මෙතුවක් කාලයක් පවා තමන්ගේයැයි කියා සිතූ බොහොමයක් අය තමා ඔවුන්ගේ නොවන හෙයින් වෙන්කර තබා තිබුණා නොවේදැයි නිලංගා අනෙක් අතට සිතුවාය.

විනාඩි අටක ඇවෑමෙන් බස් රිය නැවතුමට ආ පසු නිලංගා ඉදිරි දොරෙන්ද electronic රෝද පුටුව පැතිදොරින්ද බස් රථයට පිවිසුණි. බස් රියේ ඉහල තට්ටුවට ඇති පඩිපෙළ දිගේ නිලංගා ඉතා ප්‍රවේශමෙන් ඇවිදගියාය.එක්වතාවක් ඇය සමග බස් රියේ ගිය යෙහෙළියක් පඩිපෙලෙහි ඇදවැටුණ දා පටන් නිලංගා ඉතා සැලකිලිමත් වූවාය.කාත් කවුරුවත් නැති අතර වාරයේදී අනතුරක් සිදුවුවහොත් එයද විඳ දරා ගන්නට සිදුවන්නේ තමන්ටමය.
බස්‍ රියෙහි අසුනක වි ගූගල් යෙදවුම පරීක්ෂා කළ විට පැයක පමණ ගමනක් සිය ගමනාන්තය ට ඇති හෙයින් නිදහසේ කලබලයක් නොමැතිව ගමන යාහැකි බව ඇයට පසක් විය.
කාලයකට පසු හිතේ නිදහසින් නිලංගා සිය ගමන ඇරඹුවාය.

බස් රියෙහි ගමන් ගන්නා අතරවාරයේ ඇය මඳකට සිය මුහුණු පොත් ගිණුම වෙත පිවිසුණාය.එක්සත් රාජධානියට පැමිණුනාට පසුව සිට කාලයක් තිස්සේ මැසෙන්ජර් යෙදවුම ක්‍රියා විරහිත කොට තැබුවේ විවිධාකාර කාරණා සම්බන්ධයෙන් සිත රිදවාලන අන්දමේ පණිවිඩයන් තමා වෙත ළඟා නොවන්නටය.විටින් විට එය සක්‍රීය කොට අත්‍යාවශ්‍ය පණිවිඩයන් කියවා අනෙක් සියල්ල මකා දමන්නට ඇය පෙළඹුණාය. කාලයකට පසු ඇය එම යෙදවුම සක්‍රීය කළාය.

විශ්ව විද්‍යාල මිතුරියන්, කාර්ය මණ්ඩලයේ  සුහදතාවයක් දැක්වූ ඇතැම් අයගේ කෙටි පණිවිඩයන් එහිවිය. සිය පෙර කාර්‍යාලයේ කාර්ය මණ්ඩලයේ සිටි හිතවත්ම යෙහෙළියක වූ අනූපමා පසුගිය සතියේ නැවත කෙටි පණිවිඩයක් එවා තිබුණි.

” නිලා…මේක දැක්කොත් මට කෝල් එකක් දෙන්න..”
එහි සඳහන් විය.අනූපමා ඇය ඇමතුවේ “නිලා” නමිනි. අනූපමා කෙතරම් සුහද මිතුරියක වුවද ඇය සමගින් වුව නිලංගා පසුගිය කාලයේ එතරම් කතාබහේ යෙදුනේ නැත.අනූපමා කරුණු කාරණා අවබෝධ කරගන්නට හැකි තැනැත්තියක් වූවාය. යමෙකුගේ හිත බලවත් සෙයින් පෑරුණු පසු ඇයට හෝ ඔහුට සුව වන්නට කාලය දිය යුතුය.ඇතැම් විට දුරකථන ඇමතුමක් කෙටි පණිවිඩයක් පවා ඒ පුද්ගලයාට හිරිහැරයක් වන්නට ඉඩ ඇති බව අනූපමා අවබෝධ කොටගෙන උන්නාය.එහෙයින් ඇය නිලංගා තමා අමතන තුරු නිහඬව උන්නාය.

අනූපමා මෙවන් පණිවිඩයක්  එවීමට හේතුව කුමක් වන්නට ඇත්දැයි නිලංගා මඳකට කල්පනා කළාය. කාර්යාලගේ කරුණු කාරණාව වෙනුවෙන් ඇය තමා හට අමතන්නට හේතුවක් නැත.රැකියාවෙන් ඉවත්වී වසර ගණනක් ගෙවීී ඇත.පෞද්ගලික කරුණු කාරණා සම්බන්ධව ගතහොත්..චරිත ගලප්පත්ති සම්බන්ධව අනූපමා තමා සමගින් කතා නොකරනු ඇතැයි නිලංගා විශ්වාස කළාය. චරිත සහ තමා අතර වූ පෙම් සබඳතාවය අනූපමා හොඳින් දැනඋන්නද…ඔවුන් අතර සබඳතාව නිමාවූ පසු අනූපමා නිලංගාගේ පසින් සිට ගත්තේ ඇය වටහාගත් මිතුරියක ලෙසිනි.ඉතින් ඇය මේ අවස්ථාවේදී තමා අමතනු ඇත්තේ කිනම් කාරණාවකටදැයි අවිනිශ්චිතය.

“අනූ ඔයා ඉන්නවද..?”
නිලංගා කෙටි පණිවිඩයක් සටහන් කළාය.මොහොතක් දෙකක් ගතවූ පසු එහා පසින් එය කියවූ ලකුණු පහළ විය.

“කැන් කෝල්?”
අනූපමා විමසා තිබුණි.නිලංගා මැසෙන්ජරය හරහාම ඇමතුමක් ගත්තාය.

“ඉතින් ඉතින් කෙල්ලෙ…කොහොමද ඔයාට..සෑහෙන්න කාලෙකින්..”
අනූපමා සුපුරුදු සුහදත්වයෙන් විමසුවාය.

“මේ ටිකේ හරිම බිසී උනා අනූ…ජොබ් එකක් හොයාගන්න උනා..දන්නවනේ ඒක ලේසි නැහැ..මං ඉතින් පොඩ්ඩක් ස්ට්‍රෙස් එකේ උන්නේ ඒකයි මං මැසෙන්ජර් එකවත් ඕපන් කරේ නැත්තේ..”
නිලංගා පිළිතුරු දුන්නාය.

“ඒකට කමක් නැහැ  නිලා…මම හිතුවා ඔයා බිසී ඇති කියලා..ඔයාටකොහොමද බලන්නත් එක්කම පොඩි කාරණාවක් කියන්නයි මම ඒ වෙලාවේ මැසේජ් කලේ…”
අනූපමා පිළිතුරු දුන්නාය. ඉන්පසු මොහොතක් නිහඬව සිට යළිත් හඬ අවදි කළාය.

“නංගි ඩිවෝස් වෙලා..අර මනුස්සයා නංගිව දාලා වෙන කෙනෙක් එක්ක ගිහිල්ලා..”
නිලංගා මොහොතකට නිරුත්තර වූවාය..

“කවුද අනූ… ඔයා කියන්නේ මේ අපේ නංගි…?”
නිලංගා විමතියෙන් විමසුවාය.

“ඔව් නිලා…අපි කොහොමත් දන්නවනේ නංගි බැන්ද ඒ කොල්ලා හොද මිනිහෙක් නෙවෙයි කියලා.ඔයා කොච්චර අම්මලාට තේරුම් කරන්න හැදුවද..ඔයාට මතකයිනේ ඒ දවස්වල ඔය මනුස්සයා ගැන අපි හොයා ගත්තු දේවල් අම්මලාට කිව්වට අම්මල ගණන් ගත්තෙවත් නැහැනේ..ඔයා ඉරිසියාවට කියන දේවල් කියලානේ ඒ වෙලාවෙ කිව්වෙත්…”
අනූපමා දිගින් දිගටම විස්තර පැවසුවාය.සිදුව ඇත්තේ කල් ඇතුවම තමා ඔවුන් හට කී  කාරණාවමය.

නංගී ඉතා අඩු වයසින් පෙම් සබඳතාවයක පැටලුණාය.එම පෙම් සබඳතාවය කණින් කොනින් පැතිර යද්දී නංගී ගැන පැතිරුණේ එතරම් යහපත් කරුණු කාරණා නම් නොවේ.ඇය පෙමින් වෙලී උන් තැනැත්තා සම්බන්ධව අප්‍රසිද්ධියේ සහ ප්‍රසිද්ධියේ පැතිර යන කතා නිලංගාට දැනගන්නට ලැබෙද්දී තවදුරටත් නිහඬව සිටින්නට ඇයට හැකි නොවීය.

“තමුසේ මුල ඉඳන්ම මාත් එක්ක ඉරිසියයි..දිහාන් මට ආදරෙයි..තමුසෙට එක පේන්න බෑ..තමුසෙගෙ යාළුවොත් ඒ වගේමයි…අර කොල්ලා තමුසෙව දාලා යන්න ඇත්තෙත් ඕක නිසාම තමයි..”
නංගී දණ්ඩෙන් පහර කෑ හැපින්නියක සේ කුපිතව බැන වදින්නට වූවාය..තාත්තා කිසිවක් නොකීවද අම්මා නංගිගේ අදහස් වලට උල් පන්දම් දෙමින් නිලංගාහට බැන වදින්නට වූවාය…

“චූටිදුව නොගැළපෙන කෙනෙක් එක්ක පැටලෙන්නේ නැහැ.. උඹට තියෙන ඉරිසියාව තමයි.. දරුවා ගැන හොයන්න අපි ඉන්නවා..උඹ මේවට මැදිහත් වෙන්න ඕන නෑ..”
දීර්ඝ කතාබහක් අවසානයේ අම්මා අවසාන තීන්දුව දුන්නාය.ඉන් මනතට නංගී සම්බන්ධ කිසිම කාරණාවක් නිවසේ කතාවන විටට නිලංගා එය මඟහැර ගියාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here