පසුදින සඳුදාවේ ඉසිනි ධනුක සහ පැහැසරා සිතා මතාම මඟ හැරියාය . කාර්‍යමණ්ඩල රැස්වීම බදාදා දිනයට කල් දැම්මාය. සැලසුම් කර තිබූ වැඩ කටයුතු කිසිවක් වෙනුවෙන් ඇයට සුදුසු මානසිකත්වයක් වූයේ නැත.
මේ වේලාවේ දැනෙන දේ බෙදාගන්නට මිතුරියකවත් උන්නා නම් කියා ඉසිනිට සිතෙන්නේය. එහෙත් අරුණෝද හා ජීවත් වූ කාලය තුළ ඇගේ බාහිර සම්බන්ධතා සියල්ල ක්‍රමයෙන් ක්ශයව ගියේය. තම මිතුරු සමාජය පිලිබඳව අරුණෝදට වූයේ ගැටුම් කාරී තත්වම වීම තුළ ඉසිනි සිතා මතාම මිතුරු සමාජයෙන් මිදුණාය
” ඒ ගෑණි තමුසේ එක්ක එච්චරට කුටු කුටු ගාන්නේ මොනාද ඉසිනි ..? මොකක් හරි හොර මිනිහෙක්ගේ කතාවක්ද ?.”
අරුණෝද ට එවැනි ප්‍රශ්න පවා තිබුණි. ඒවාට පිළිතුරු බඳිමින් සිටීමම මානසික වෙහෙසක් බවට පත් වෙද්දී ඉසිනි කලේ සියලු සම්බන්ධතා අතේ දුරින් පවත්වා ගැනීමය.
හඹා විත් ඇය හා මිතුරු කම් පවත්වන්නට තරම් රිසි කිසිවෙකු සරසවිය තුළ නොවූයේ, නුරාන් ඉසිනි නිසාවෙන් පත් වූ තත්වයට මුලු මිතුරු නඩයම නුරාන්ගේ පැත්තේ උන් නිසාවෙනි. ඒ හැරුණ කොට රාජකාරි ජීවිතයේ මුණ ගැසුණ අය, ඉසිනිගේ මඟ හැරීමට ප්‍රති මඟ හැරීම් දී වෙන්ව ගියෝය.
ඉසිනි පැනඩෝල් පෙති දෙකක් ගිල දැම්මාය. එදිනට තිබූ ලිපි වල අදාළ විෂයට වන සේ අංකනය යෙදුවාය. ලිපි ගොනු වල සකසා අත්සනට යොමු කර තිබු ලිපි අත්සන් කලාය. එහෙත්, හිත එක් තැනක වූයේ නැත.
නුරාන්ගේ හමුවීම දින දෙකක් තුළ අහම්බකාරක ආකාර දෙකකින් සහ නුරාන් සිතා මතා සැලසුම් කරගත් එක් ආකාරයකින් සිදුවූ ආකාරය ඉසිනි සිහිපත් කලාය. පලමු හමුවේදී නුරාන් තිගැස්සුණ අයුරු සිහිවෙද්දී ඉසිනිගේ නෙත් තෙත් විය. ඔහු ඉන් පසුව කොහිදැයි සොයාගන්නට වත් නොහැකි ලෙස අතුරුදන්වද ගියේය. ඒ බව තමා දැනගත්තේ පැහැසරා ගේ කතාවෙන් බවද ඉසිනි සිහි කලාය.
” එක්ස්කියුස් මී ඒ ඩී මිස්…”
ඉසිනි වහා තෙත්ව තිබූ නෙත් පිස දමා හැරියාය. පැමිණ උන්නේ ධනුකය.
” ඒඩී මිස් බිසිද ?”
” නෑ ධනුක මහත්තයා .. එන්න .. එන්න …”
ඉසිනි අසුනේ හරිබරි ගැසී ඉඳගන්න අතරෙ ධනුකටද හිඳගන්නට කීවාය. හිතෙහි වුයේ වටහා ගත නොහැකි තිගැස්මකි.
” ඒඩී මිස් එක්ක මට පොඩි පර්සනල් දෙයක් කතා කරගන්න ඕනි.. මේ වෙලාවේ බැරි නම්, මට වෙලාවක් දෙන්න …”
” නෑ..නෑ.. කියන්න ධනුක මහත්තයා… “
“දැන් මේක තවදුරටත් හංගන්න දෙයක් නෑ ඒඩී මිස්. ඒ ඩී මිස් මෙහෙ එනවා කියලා කිව්ව දවසේම මම කන්ෆර්ම් කරගත්තා මගේ මල්ලිගේ ජීවිතේ විනාශ කරපු ඉසිනි තමයි එන්නේ මෙහෙට කියලා… මල්ලිට ඒඩී මිස්ව සම්මුඛ වෙන්න ලොකුවට හේතුවක් නැති නිසා මම ඒක මගේ ඔලුවෙන් බිම තිව්වා.. ඒත් නුරාධ්‍යා ඒඩී මිස් එක්ක සමීප වුනා.. මම පැහැසරා ට කිව්වා අනේක, ඒඩී මිස්ගෙන් නුරාධ්‍යා ඈතට කරලා තියන්න කියලා… ඒත් එයා ඒක තේරුම් ගත්තේ නෑ..
පැහැසරා මේ දේවල් දැනගත්තොත් එයා අනිවාර්‍යෙන්ම ඒ ඩී මිස් එක්ක ප්‍රශ්‍න ඇති කරගෙන ජොබ් එක කරගන්න පවා බැරි වෙන තැනකට වැටෙන බව මම ඉන්තේරුවෙන්ම දන්න නිසයි මම පැහැසරා ගෙන් මේක හැංගුවේ ඒඩී මිස්.. නුරාන් කියන්නේ පැහැසරා ගේ පණ වගේ සහෝදරයා.. ඌ මගේ මල්ලි උනාට උගේ අම්මා වගේ පැහැසරා ඌට සැලකුවේ…
ඒ ඩී මිස් මගේ මල්ලිව දාලා, එකපාරටම වෙන අතක් බලාගත්තම පැහැසරා තමයි මල්ලිව ගොඩ දාන්න සෑහෙන්නම නැහුණේ…
එව්වා වැඩක් නෑ ඒඩී මිස්… දෙයියනේ කියලා දැන් නුරාන් ඔලුව උස්සලා ඉන්නවා…. දෙය්යනේ කියලා ජීවත් වෙන්න උත්සාහ කරනවා… ඒ මගේ මල්ලී.. මගේ අම්මයි තාත්තයි සැනසීමෙන් ඉන්නවා මිස්.. අපිට ඉන්න පණ ඌ…. මට ආයෙම ඌ නැති වෙනවා බලන්න බෑ…”
ධනුක වෙනදා නොවූ ආවේගයකින්, තමා කෙරෙහි පෙන්විය හැකි කෝපයේ උපරිම මාත්‍රාවෙන් අමතන බව ඉසිනි වටහා ගත්තාය.
” මං.. මං… මොකක්ද කරන්න ඕනි ධනුක අයියේ ?”
ඉසිනිට එලෙසින් ඇසුණේ සැලැස්මක් ඇතිව නොවේය. ධනුක ඉන් තිගැස්සී යනු දුටුවද ඕ එය නිවැරදි කලේ නැත
” නුරාන්ගෙන් ඈත් වෙලා ඉන්න මිස්… මගෙන් පැහැසරාගෙන්, නුරාධ්‍යාගෙන් ඈත් වෙලා ඉන්න…. නුරාන් මැරිකරන්නේ නෑ කියලාම ඉන්නේ.. ඒත් අපි ඌගේ හිතට සෙට් වෙන කෙල්ලෙක් හොයනවා.. එහෙම කෙල්ලෙක් ඇවිල්ලා ඌ අතිතේ කලු කුහරෙන් එලියට එනකල්වත් මගේ එකාගෙන් අනේ ඈත් වෙලා ඉන්න ඒඩී මිස්… මගෙන් පලිගන්න .. මං ඒ ඕනි එකකට ලෑස්තියි .. මගේ මල්ලිගේ ජීවිතේට නම් එන්නෙපා.. මට මේක ඒ ඩී මිස්ට වෙන පැහැදිළි කරන්ම විදියක් තේරෙන්නේ නෑ…”
“නෑ නෑ.. ධනුක අය්යේ.. මට තේරෙනවා…. මං.. මං … හරි….හරි…”
ඉසිනි ට වචන පැටලුණි. ඕ කඳුළු පිසලා ගත්තාය. ධනුක සුසුමක් හෙලුවේය.
” ඒ ඩී මිස් ඩිවෝස් කියලා මං දන්නවා…මං හිතන්නේ මල්ලී ඒ බවක් දන්නේ නෑ තවම…. ඒත් ආයේ මගේ මල්ලිගේ ජීවිතෙන් ඉඩ හොයන්න එපා… කුණු මාලු කෑල්ලක් ගානට මගේ මල්ලිව අතෑරලා ගිය ගෑණියෙක් ආයෙම නුරාන්ගේ ජීවිතේට එපා ඒ ඩි මිස්..
ඌ ඊයේ බීලා පිස්සෙක් වගේ ගෙදර ආවේ…යන්න කියන්න දොස්තර මහත්තයා ළඟටම කියලා කියෝ කියෝ ඇඳට වැටුණේ.
හිතේ හොරේට අද අපි ඇහරෙන්නත් කලින් ලෑස්ති වෙලා ගිහින්… ..”
ධනුක බර සුසුමට පසුව එලෙසද කියා අවසන් කලේය. ඉසිනි ඉන් තිගැස්සී ගොස් දෑස් විසල් කරගෙන ධනුක දෙස බැලුවාය. ඇයට දැනුනේ කිසිවෙකු විසින් තමා ඔසවා කන්දකින් පහලට විසි කලා සේය. ඕ හුස්ම ඉහල සිර කරගෙන බලා උන්නාය.
” මං මෙහෙම කිව්වට මට සමාවෙන්න ඒඩී මිස් ..”
ධනුක අසුනෙන් නැගිට්ටේ එලෙසද පවසාගෙනය. ඉසිනි එය කම් නැතැයි කියන්නට හිස සලන්නට උත්සාහ කලා වුවද ඕ උන්නේ ගල් ගැසීගෙනය.
” ඒඩී මිස් ඩිවෝස් කියලා මං දන්නවා…මං හිතන්නේ මල්ලී ඒ බවක් දන්නේ නෑ තවම…. ඒත් ආයේ මගේ මල්ලිගේ ජීවිතෙන් ඉඩ හොයන්න එපා… කුණු මාලු කෑල්ලක් ගානට මගේ මල්ලිව අතෑරලා ගිය ගෑණියෙක් ආයෙම නුරාන්ගේ ජීවිතේට එපා ඒඩි මිස්..
ඌ ඊයේ බීලා පිස්සෙක් වගේ ගෙදර ආවේ…යන්න කියන්න දොස්තර මහත්තයා ළඟටම කියලා කියෝ කියෝ ඇඳට වැටුණේ.
හිතේ හොරේට අද අපි ඇහරෙන්නත් කලිම් ලෑස්ති වෙලා ගිහින්… ..”
ඉසිනිට යළි ධනුකගේ හඬ ඇසුණි.
ජීවිතයේ අස්වැසිල්ලක් සොයාගෙන ආ ගමන, දැන් යළි ගින්දරකය.
ReplyForwardAdd reaction |