සඳ ගංතෙර – 60

“ඔයා දුකින් ඉන්නේ ඇයි අයියේ?”

දුලන්‍යා සඳරැස්ට ගැළවෙන්නට දුන්නේම නැත. ඔහුගේ කනස්සල්ලට හේතුව ඇය දනියි. නමුත් ඒ ගැන ඔහුගෙන්ම අසන්නට ඇය සතුටු ය. ආදරය එසේ විය යුතු වේ. වේදනාත්මක මොහොතක පවා අත නෑර අල්ලා සිටිය යුතු වීම ආදරයේ කොටසක් බව ඇය සිතී ය.

“සත්සර එයා ගැන අමුතු කතාවක් කිව්වා.”

දුලන්‍යා දෑස් මඟ හැරියා ය. කිසිවක්ම නොදන්නා කතාවක් මහත් පුදුමයකින් අසා හිඳීම අසීරු ය.නොදන්නා නොවැටහෙන ගාණට ඔහුට බොරු කරන්නට ද අසීරු ය.

“ඉතිං හොඳයිනෙ.”

කතාව අසා සිටීමෙන් පසු දුලන්‍යා එහෙම කිව්වා ය. නමුත් එපමණක් ප්‍රමාණවත් නොවේ. ඇය දිගටම කතා කරන්නට තීරණය කළා ය.

“මේ විහස් අයියා කියලා මට පිළිගන්න පුලුවං එයා ඔයා වගේම හොඳ මනුස්සයෙක් නිසා. අපේ අයියයි පොඩි බූතයයි බලන්නකො. කොච්චර සමානද? විහස් අයියත් ඔයා වගේම හොඳ ඇති.”

සහස් විශ්වවිද්‍යාලය තුළ එතරම් හොඳ නමක් ඇති තරුණයෙකු නොවේ.ප්‍රේම නොපිළිගන්නා තරුණියන්ට හිරිහැර කිරීම පමණක් නොව ආත්මාර්ථය තදින්ම ඇති තරුණයෙකු ලෙස ඔහු ප්‍රසිද්ධ ය. ඔහුට ඇති මිතුරෙකු ද නැත. විජේවර්ධන මුදලේ නාමයෙන් සමීප දෙතුන් දෙනෙකු හැරුණුවිට සහස් මිත්‍ර සම්පත්තිය ඇති කෙනෙක් නොවේ. 

“ඒ වුණාට විහස් අයියා ඔයා වගේමනෙ. ඉක්මනින් අනිත් අයට හිතවත් වෙනවා. යාළුකම් වලට අවංකයි. හිත හොඳයි.”

දුලන්‍යා කියාගෙන ගියා ය. අනතුරුව හිමින් සීරුවේ ප්‍රශ්නයක් අසන්නට තීරණය කළා ය. 

“ඔයා එයාට කියනවද? ඔයා තමයි එයාගේ අයියා කියලා.”

එවැනි කතාවක් කියන්නට කාලය ගත යුතු බව සඳරැස්ට සිතේ. විහස් නරක නැත. ඇතැම්විට අම්මා ඔහුට ද හොඳ අම්මා කෙනෙකු නොවන්නට ඇත.සඳරැස්ට අක්කා අම්මා විය. විහස්ට ඒ වාසනාව පවා නැතිනම්? අක්කාට තවත් මල්ලී කෙනෙකුට අම්මා වීම අසීරු නැති බව ඔහු දනියි. සේරම ගැන හිතන්නට ඕනෑ ය.

“මං තව හිතන්න ඕනේ . මං මේ ගැන අයියත් එක්ක කතා කළා. මේ කතාව අක්කට කියනවද කියලා මං තව හිතන්න ඕන. අක්කට මේක කොහොම දරාගන්න පුළුවන් වෙයිද කියලා මම දන්නේ නැහැ.”

තාරුකාට ඇගේ බාල සහෝදරයා බව විහස් පවසා බොහෝ දවසක් බව කියන්නට තාරුකාට ඕනෑ වූයේ නැත. ඇය නිහඬවම සිටියා ය. සියල්ල යහපත්ව විසඳීම හොඳ බව ඇය දනියි.

“අම්මා නිසා මං ගෑනුන්ට පුදුම විදියටනෙ වෛර කරේ. මට ඇත්තටම ඒ ගැන මහ දුකක් දුලා තියෙන්නේ. මං ආදරේ සත පහකට ගණන් නොගෙන හිටිය එක ගැන ආදරේ ගැන හරි සරලව හිතපු එක ගැන මට දුකයි.”

ඔහු එපමණකට අවංක වී සිටියේ ය. ජීවිතය සරලව ගත් ගැහැනුන් ඔහු වටා සිටි බව ඇත්තකි. නමුත් ආදරයම අපේක්ෂා කළ යුවතියන්ට පවා තමන් නිර්දය ලෙස පිටුපෑ අන්දම ඔහුට වේදනාවක් උපද්දවයි. මේ දිලිසෙන දෑස එවැනි කටයුතු නැවත නොකරන්නට ඔහු පොළඹවන නමුත් අතීතය අමතක කරන්නට කිසිම අයුරකින් පහසු නොවේ.

“මං හිතන්නේ ඔයාලගේ අම්මා වුණත් වෙච්ච දේවල් ගැන ගොඩක් පසුතැවෙනවා. හැමදෙයක්ම ගැන පසු තැවි තැවි ජීවත් වෙන්න ගියොත් අයියේ අපට සතුටින්වත් සැනසීමෙන්වත් ඉන්න බැරුව යනවා. ඒ නිසා ඕවා අමතක කරලා දාන්න. ඊටපස්සෙ අපිට පුලුවන්නෙ ඉස්සරහට කරන දේ හිතන්න.”

ඔහු සමඟ එළි වන තුරු හෝ කියවන්නට දුලන්‍යා මනාප ය. නමුත් මේ අම්මාත් අයියාත් අක්කාත් ඉන්නා නිවස ය. සමහර වෙලාවට ඔහුගේ ඇඟිල්ලක පැටලෙන්නට හිතෙන හැඟීම පවා ඉතා තදින් මෙල්ල කරගන්නට ඇයට සිදු වේ.

“මෙයාටනම් මොකෝ.කොල්ලා ගෙදරමනෙ.”

මිතුරියන් ඇයට ඊර්ෂ්‍යා කරයි. නමුත් ඕනෑවටත් වඩා ප්‍රවේසම් විය යුත්තේ ඒ හන්දාම ය. එහෙම ආදරය කිරීම ද පහසු නොවේ. දුලන්‍යා එතැනින් එන්නට ආවේ එහෙම සිතමිනි.

“සඳරැස් මොකෝ කියන්නේ?”

ඇගේ සිතිවිලි අහුර බිම වැටුණේ අයියාගේ හැපීමෙනි. ඔහු එක්වරම මෙතැනට ආවේ කොහොමදැයි කියන්නට දුලන්‍යා නොදනියි. නමුත් අයියා සාලයට වී හිඳ ඇති පාට ය. පෙම් වදන් හුවමාරු නොවී ප්‍රශ්නයක් කතා කිරීම ගැන දුලන්‍යා ට දැනුණේ අප්‍රමාණ සැනසිල්ලකි.

“සඳරැස් අයියට හෙම්බිරිස්සාව වගේ. මං සමහන් එකක් හදලා දුන්නා අයියේ. විටමින් සී එපා කිව්වා”

දුලන්‍යා වහා දොස්තරට ඇඳ ගත්තා ය.වසර කිහිපයකින් මේ ගෙදර ඉන්න හැම කෙනෙකුටම බෙහෙත් දෙන්නට ඉන්නේ ඇය ය. ඒ නිසා දැන්ම තියා පුළුවන් දේ කිරීමේ ගැටළුවක් නැත. ඇය වෛද්‍යමය වගකීම ඕනෑවට වඩා ඔලුවට ගත් අයුරින් හැසිරෙන්නට පටන් ගත්තේ ඒ හන්දාම ය.

“මං කියන්නමයි හිටියේ. ඔයා ආපහු ලස්සනට ලියන්න අරන් සුදු මැණික. ෆේස්බුක් නෝට්ස්වලට හොඳ ෆෑන් බේස් එකකුත් හැදෙනවා නේද?”

අයියා මේ කියන්නේ සඳරැස්ට ලියන සටහන් ගැන ය. දුලන්‍යා කම්මුල් රත්පැහැ කර ගත්තා ය. ඒ කතාව දිගට ඇදී යාම එතරම් යහපත් නම් නොවේ. ඇයට ඕනෑ වූයේ එතැනින් මාරු වෙන්නට ය.

“මේක මාර ලස්සනයි. සරල වුණාට ලස්සනයි ඉතිං. තරහ වුණාම අක්කටත් යවන්න මාත් සේව් කරගත්තා.” අයියා පෙන්වන සටහන චාන්දනී විජේවර්ධන හන්දා කෝපයෙන් සිටි දවස්වල ඇය ලියූ සටහනකි. දුලන්‍යා එදෙස බැලුවේ මුල්ම වතාවට බලන අන්දමට ය.

සමහර දවස් ගෙවෙන්නේ අසීරුවෙන්. හිතේ වේදනා පිටාර යන්නෙත් ආවේග පිට වෙන්නෙත් ළඟම හදවත මතින් වග නැවත නැවත සිහිපත් කරමින්.

“බිඳුණු මිනිස්සු බැඳෙන්න හොඳ නෑ.”

බිඳීම් පිළිසකර කරගන්නත් බැඳෙමින් ජීවත් විය යුතු බව හිතෙනකොට ආයේ එහෙම හිතුවක්කාරකම් හිතෙනවා.

ඒත් සමහරවිට නිවෙන්න මහ දෙයක් ඕනෑ නෑ.

“ඔබේ හඬ” ඒ හොඳටම ඇති!

හිත නිවන හඬකටත් හිත නිවෙන ඇස් දෙකකටත් ජීවිතය වඩවඩාත් වර්ණවත් කළ හැකි බව ඉගෙන ගත්තේ ඔබෙන්!!

එතකොට ආදරේ ගැන ඉගෙන ගන්න වෙන කවුරුත් මොකටද!

“ඕවා මේ නිකං ලියන්නේ අයියේ.”

දුලන්‍යා වහවහා හේතු කියන්නට වූවා ය. ඇතැම්විට ඒ සඳරැස් නොවුණානම් මේ ප්‍රශ්නය අයියා සමඟ කියන්නට පවා පහසු ය. ආදරය කරන බව අයියාගෙන් සඟවන්නට තරම් ඇයත් අයියාත් දුරස් නැත. එහෙත් සඳරැස්ට ආදරය කරන බව කියන්නට කිසිම අයුරකින් පහසු නොවේ.

“ආදරේ ගැන ඉගෙන ගන්නකොට හරිම පරිස්සං වෙන්න ඕන හරිද?”

අයියාගේ හඬ දුලන්‍යාට ඇසුණේ ඈත ලෝකයකින් වාගේ ය. ඇය ගැස්සී ගියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles