මල්සර හී සර – 10

0
3770

10

“උඹ ඒකිට කැමති කියන එක මට නම් තේරුණේ ඒකි මලින්දය එක්ක කතා කරන කරන සැරේට උඹේ මූණ නිකන් කරත්තෙට අහුවෙච්ච කජු ලෙල්ල වගේ වෙන හන්දා” කියලා සුමල් කියද්දි උනත් සමුද්‍ර නම් මුකුත් කිව්වෙම නෑ. අනික ඉතින් හිතේ ඔහොම දෙයක් තද කරගෙන ඉන්න බැරි හන්දම සුමල්ට කිව්වෙ මේ දවස් ටිකේම කොහොමත් සප්තමීව හම්බුවෙන්න තියා ලාවටවත් දකින්න පුලුවන් කමක් තිබ්බෙ නැති හන්දා.

සප්තමී එක්ක මාලවී ශූටින් ආව වගේ මාලවී වත්තෙ ශූටින් වලට එද්දි සප්තමි ඒවි කියල හිතාගෙන ආවට මොකෝ මාලවී ඇවිල්ල තියෙන්නෙ තනියම කියල දැනගත්තම හිතේ තිබ්බ සන්තෝසෙ හුලං නැති බැලුව වගේ ඇකිලිච්ච එක සමුද්‍ර භාරගත්තෙ මාරම දුකෙන්. 

“උඹ කෙලින්ම ඒකිට කෝල් එකක් දීලා ඉතින් මීට් වෙමුද අහමුකො?” කියල සුමල් කියද්දි සමුද්ර ඔලුව ගස්සලා සුමල් දිහා බැලුවෙ “පිස්සුද උඹට?” කියන්න වගේ.

“ලැජ්ජ නැද්ද එහෙම අහන්න? ඒකි මොනවා හිතාවිද මං ගැන”

“එහෙනම් මොකද්ද දැන් කරන්න කියන්නෙ? ඒකි ආයෙ ශූටින් වලට එනකම් බලන් ඉඳ්අපන්. ආයෙ වතාවක් සතියක් දෙකක් කැපකරෙගෙන මෙහෙ වැඩත් පාඩු කරගෙන ඒකි පස්සෙන් ශූට්න් පලයං. අපරාදෙ මලින්දය නෙවෙයි උඹට ඕකෙ ප්‍රධාන චරිතෙ කරන්න තිබ්බෙ” කියලා සුමල් කියද්දිත් සමුද්ර දැනගෙන හිටියා සප්තමී ශූටින් වලට එහෙ මෙහෙ යන හැම පාරකම තමන්ට එහෙම යන්න පුලුවන්කමක් නැති විත්තිය. ඒ උනාට ඒ වගේම එහෙම නොගියොත් තමන්ත ආයෙ සප්තමීව දකින්න ලැබෙන්නෙ ටීවී එකේ ඔය කතාව යද්දි විතරක් කියන එක. ඒ උනාට සප්තමීව හම්බුවෙන්න යන්න ගහන්න පුලුවන් ප්ලෑන් එක මොකද්ද කියන එක නම් ඇත්තටම සමුද්රට හිතාගන්න බැරුව තමයි උන්නේ.

“මට ඔක්කොටම වඩා කේස් එක තියෙන්නෙ මලින්දය කොහොමත් හොඳ එකා වෙච්ච එක වගේම ඌ කොහොමත් දැන් ඉන්නෙ කසාදයක් කරගන්නෙ වයසෙ හන්දා ඕක ඔක්කොටම කලින් ඉස්සර උනොත් මේකි ඌට හා කියාවිද කියන එක. ගෑණු එහෙමනෙ”

“ගෑණු එහෙමයි කියල නිකන් ඒකි මහ වරදක් කල ගාණට කතාකරන්නෙ උබ නිකන් හරියට කතාකරන්නෙ ඒකි උඹ එක්ක යාලුවෙලා ඉන්න ගමන් බූට් එක තියල මලින්දයා එක්ක යාලු උනා වගේනේ” 

“කියපංකො බං මොකද්ද මං කරන්නෙ?” කියල සමුද්ර අහද්දි සුමල් මෙච්චර වෙලා ලැප්ටොප් එකේ කර කර උන්නු වැඩේ නවත්තල ඉඳගෙන උන්නු තැනින් නැගිටල ඇවිත් සමුද්රට කිට්ටුවෙන් වාඩි උනා.

“අනේ මන්දා බං, කතන්දර වලට ස්ක්‍රිප්ට් ලියන්නෙ උඹලා. උඹලගෙ කතන්දර වලට ස්ක්‍රිප්ට් ලියන්න ඕන අපි. අනේ මන්දා බං” කියල කියද්දිත් සමුද්ර උන්නේ සුමල්ගෙ කට දිහා බලාගෙන දැන් දැන් මිනිහගෙ කටෙන් මේකට කරන්න පුලුවන් දෙයක් එලියට ඒවි කියන බලාපොරොත්තුවෙන්.

“මෙහෙමයි මං දන්නෙ නෑ මොකද්ද මේකට කරන්න පුලුවන් හොඳම දේ කියල. මට මුලින් හිතුනෙ එදා ඒ කෙල්ල තාත්තයි අම්මයි එක්ක මෙහෙ ආව වෙලාවෙත් ඒ අංකලුයි ආන්ටියි හොඳට හිතවත්ව කතා බහ කරපු එකේ උඹ එහේ පලයන් කියන්න. ඒ උනාට ඒක හරියන්නෙ නෑනෙ. මං කියන්නෙ කරන්න තියෙන හොඳම දේ අපි ඒකිට මැසේජ් එකක් දාමු. දාලා අහමු මීට් වෙන්න පුලුවන්ද කියලා නෙවෙයි නිකන් අම්මයි තාත්තයි ඔයාව ශුටින් වලට එව්ව එකට තෑන්ක් කරන්න වගේ වෙලාවක ඒ පැත්තෙ ඇවිත් යන්න එන්නද කියලා?”

“මං එහෙම එකපාර ඒකිට සෙට් එකේදි සද්ද දදා ඉඳලා මෙහෙම එකපාර මැසේජස් එව්වම ඒකි බලන එකක් නැද්ද මං එහෙම දෙයක් කරන්නෙ ඇයි කියලා? දෙබිඩි චරිත රඟපානවා කියල හිතාවිද දන්නෙ නෑ නං. මං එදා මහ ලොකුවට ඒකිට ඇණෙන්න කිව්වට උන් ඇත්ත ජීවිතෙත් රඟපානවා කියලා අන්තිමේ නිකන් මංම එහෙම දෙයක් කරන එක චාටර් වගේනේ” 

“මෙහෙමයි උඹ නැකත්, සිරිත් විරිත්, ඒකි මොනවා හිතාවිද හිතන් එකක් නැද්ද කියල කල්පනා කර කර ඉන්න වෙලාවෙ පුතෝ පෙරහැර ගිහින් තියේවි. ඒ නිසා කිව්ව ඒවා කරපුව ඕන දෙයක් වෙද්දෙන් කියලා හිතලා මං කියන විදියට වැඩේ කරපං. හරි මැසේජ් එකක් දැම්මට පස්සෙ ඒකි නිකන් ලොකු සීන් හරි සත්තමක් හරි දැම්මොත් ආයෙ ඒකිගෙ මූණ ඉස්සරහට යන්නෙ නැතුව ඉන්න ටිකනෙ. ඒක එවලෙටනෙ. දැනම් ඒක හිතලා වැඩක් නැනෙ. මං කියන්නෙ මේක කරලා බලමු කියලා”

“උඹ ගාව ඒකිගෙ පර්සනල් නම්බර් එක තියෙනවද?” කියලා සමුද්ර අන්තිමේ ඇහුවෙ සුමල් කිව්ව එක කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ කියල දන්න හන්දා. අනික අම්මටයි තාත්තටයි තැන්ක්‍යු කියන්න එන ගමනක් වගේ පෙන්නන හන්දා කෙල්ලට තමන් ගැන මොකුත් වරදක් හිතාගන්න බැරි වෙන හන්දා මේ විදියට කරන එක හොඳ විත්තිය සමුද්රත් හිතුවා.

“ඒකි කල්පනා කරාවිද දන්නෙ නෑ නේද මෙහෙම හැම ටෙලියම ප්‍රඩියුසර් එහෙම ගෙවල් වලට ඇවිල්ලා තැන්ක්‍යු කියනවද දන්නෙ නෑ කියලා”

“ඒක ඉතින් අපිට වැඩක් නෑනෙ. අනික වෙන ප්‍රඩියුසර්ලා එහෙම යනවද නැද්ද කියලා දැනගන්න ඒකි මීට කලින් රඟපාලා නෑනේ” කියන ගමනුත් සුමල් හිටියෙ සප්තමිගෙ පර්සනල් ෆෝන් නම්බර් එක තමන්ගෙ ෆෝන් එකේ හොයන ගමන්. “ එදා අර ශූටින් ලොකේශන් එකේ ලොකේශන් පින් එක යවන්න මම නම්බරේ අරගත්ත කෲ එකේ කොල්ලෙක්ගෙන්. ම්ම්ම්ම් කොහෙද ඒක තිබ්බේ… ආහ් හරි මේ තියෙන්නෙ” කියන ගමන් තමයි සුමල් සමුද්රගෙ ෆෝන් එකට සප්තමීගෙ පර්සනල් නම්බර් එක සෙන්ඩ් කරේ. ඒ නම්බර් එක සේව් කරගෙන සප්තමී දාලා තියෙන මූණ හරියට පේන්න් නැති ඈත ඉඳන් ගැහුව සාරියක් ඇඳගෙන ඉන්න පිටිපස්සෙන් පේන පින්තූරෙ දිහා බලන ගමනුත් සමුද්ර කල්පනා කරේ තමන් මොකක් කියලද මුලින්ම මැසේජ් එක දාන්නෙ කියලා.

“හායි අයෑම් සමුද්ර” කියලා දාන එක නිකන් කතාව ඕනවට වඩා ෆෝමල් කරන්න හේතුවෙනවා කියල හිතිච්ච හන්දා එහෙම නැතුව නිකන්ම හායි කියල දානවා කියලා පස්සෙ සමුද්ර හිතුවා. ආන් ඒ හිතුවිල්ල උඩ තමයි තව විනාඩියක් විතර කල්පනා කර කර ඉඳලා සමුද්ර සප්තමීට “හායි” කියලා දැම්මෙ.

ඉන්පස්සෙ ඉතින් ඔලුවට නිවනක් තිබ්බෙ නෑ. සප්තමී දැන් දැන් රිප්ලයි එකක් දාවි කියලා බලාගෙන උන්නට මොකෝ සමුද්ර බලාපොරොත්තු වෙච්ච ඉක්මනට නම් ඒකට රිප්ලයි කරන්න සප්තමී ලෑස්ති නැති විත්තිය සමුද්රත් තේරුම්ගත්තෙ දැන් ඒවි දැන් ඒවි කියලා බලාපොරොත්තුවෙන් ඉන්න මැසේජ් එක එන්න එන්න විනාඩියෙන් විනාඩිය තප්පරෙන් තප්පරේ පරක්කු වෙද්දි.

“මේකිගෙ මෙච්චර ලොකු සීන් ද?” කියල හිතෙන් හිතද්දි තමන් නිකා පුස් නාම්බා වගේ සප්තමීට මහ ලොකුවට හායි කියලා දාලා චොර උනා නේද කියන එකත් එක්කම සමුද්ර හිටියෙ සුමල්ටත් බැණ බැණ.

“මහ ලොකුවට කිව්වෙ කොහොමද? උඹලගෙ ආදර කතාවල ස්ක්‍රිප්ට් ලියන්න වෙන්නෙ අපිට තමයි. යැයි යැයි යැයි තමයි. ඔය ලිව්වෙ ස්ක්‍රිප්ට් එක. ඒකි නොටිෆිකේශන් එකෙන් මැසේජ් එක බලලා හිනාවෙනවා ඇති පස්ස පැත්තෙන්’

“කමක් නෑ කාටවත් පේන්නෙ නෑනෙ”

“මොකද්ද?”

“හිනාවෙන එක”

“ඇයි?”

“”පස්ස පැත්තෙන්නෙ හිනාවෙන්නෙ. පස්ස වහගෙනනෙ ඇත්ත් ඒකි”

“අනේ මේ” කියල හොඳ පදයක් කියන්න හිතුවට සුමල් නෝණ්ඩියට හිනාවෙවී කාමරෙන් එලියට යද්දි වෙන කරන්න දෙයක් නැති හන්දම ඔෆිස් එක වහලා ගෙදර යන්න කලින් සමුද්ර ආය වතාවක් සප්තමීට දාපු මැසේජ් එක බලල, ඒක ඩිලීට් කරන ඔප්ශන් එකට ගිහිල් ඩිලීට් ෆො මී, ඩිලීට් ෆො එව්රිවන් කියන ඔප්ශන් දෙකෙන් දෙවනි ඔප්ශන් එක ඔබල තමන් යැව්ව මැසේජ් එක මකලා දැම්මා. ඒක මැකුවට තමන් මැසේජ් එකක් එවලා ඒක මකලා දැම්මා කියන නොටිෆිකේශන් එක මකන්න බැරි බව දන්න හන්දා ඒකට දෙන්නත් උත්තරයක් හදාගන්න තමයි සමුද්ර ඉන්පස්සෙ වෙලාව ගත්තෙ.

සප්තමී තමන්ගෙ මැසේජ් නොටීෆිකේශන් එක දැකලා ලොකු සීන් හන්දා බලල විතරක් නිකන් ඉන්න ඇති කියල හිත හිත ඇඟ හෝදන ගමනනුත් සමුද්ර උන්නෙ සප්තමීට හිතෙන් බැණ බැන. ඇඟේ සබන් ගාන ගමන් තමයි “පුදුම ලොකු සීන්. මමමයි මේ ටෙලියට තෝරගත්තෙ. එහෙම එකේ මටත් ලොකු සීන් දානවනෙ” කියල බැණ බැණ ඉද්දි තමයි ශවර් එකට පොඩ්ඩක් එහා තුවාය තියල තියෙන බැම්ම උඩ තිබ්බ ෆෝන් එකට මැසේජ් එකක් ආව නොටිෆිකේශන් සද්දෙ සමුද්රට ඇහුනෙ.

“අනේ ඒ සප්තමි වෙන්න” කියල හිතෙන් හිතන ගමන් තමයි ඇඟේ සබනුත් ගාගෙන සමුද්ර ඉස්සරහට අඩියක් තිබ්බෙ. කකුල්වල යටිපතුලෙ එක්කහු වෙල තිබිච්ච සබනුයි වතුරයි හන්දා, ෆෝන් එක අරගන්න අත දික්කරනවත් එක්කම ලිස්සල ගිහින් හෙලුවැල්ලෙන් බාතෘම් එකේ පොලොවෙ වැටුණත් ලාවට වගේ ඒ නොටිෆිකේශන් එක ඇවිල්ලා තිබ්බෙ සප්තමීගෙන් කියල දැක්ක හන්දා උනත් වැටිච්ච රිදුම එච්චර සමුද්රට දැනුනෙ නෑ.

රිදෙන හන්දම පස්ස උඩ දාගෙන බිම හාන්සිවෙලා ඉන්න ගමන්ම අත දික්කරලා ෆෝන් එක අතට අරගෙන සමුද්ර ආව මැසේජ් එල්ක කියෙව්වා.

“මොනවද එවලා ඩිලීට් කරේ?” 

සප්තමී එච්චර ෆ්‍රෙන්ඩ්ලි කතා කරාවි කියල තමන් හිතුවෙ නෑ නේද කියන එකත් සමුද්ර හිතුවෙ ආන් ඒ වෙලාවෙ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here