මේ ඒ වසන්තයයි – 10

0
4593

…………. ඔයා එක්ක එකතු වෙලා අපි අපේ ජීවිත හදාගමු කියලා මම කීව දවස් ගාන මට මතක නෑ නුරාන් .. ඒත් මම ඒ හැමදේම අමතක කලා …

මට තවම තේරෙන්නේ නෑ, ඇත්තටම මම ඔයාගෙන් ඈත් වුනේ ඔයාගේ ගෙවල් දැකලාද, ඔයාට තියෙන ජීවිත බර දැකලාද, ඔයා මට වඩා ඉන්න දුර දැකලාද කියලා නුරාන් .. ඇත්තටම මම දන්නේ නෑ … ඒත් මම එහෙම කලා..

.. ඔයාට වගේම මටත් ලේසි වුනේ නෑ .. මම මාස තුනක් අක්කා ළඟට ගිහින් හිටියා … එහෙන් ඇවිල්ලා බෙහෙත් බිව්වා…ඔයාගේ යාලුවෝ, මගේ යාලුවෝ, අපේ යාලුවෝ හැමෝම මාව අතෑරලා දැම්මා නුරාන් ..ඔයා වටේ හැමෝම ඉද්දී, මට හිටියේ පවුලේ අයම විතරයි …

ඒ හින්දාම මම හිතන්න පුරුදු වුනා, මම කල දේ හරි කියලා … මොන දේ වුනත් අපිට ඉන්නේ පවුල විතරයි කියලා….”

ඉසිනි ඒ සියල්ල තමාටම හඬ නඟා කියා ගනිමින් උන්නාය. නුරාන්ගෙන් වෙන්වන්නට තීරණය කලාට පසු ඒ ඇයිදැයි විමසූ සියල්ලන්ටම ඕ කීවේ එකම දෙයකි.

” අපි ගැලපෙන්නේ නැ .. පස්සට දුක් විඳිනවාට වඩා දැන් තීරනයක් ගන්න එක හොඳයි … අනෙක, කසාද බැඳලා, එකට ජීවත් වෙලා පස්සේ ගහ මරාගෙන අයින් වෙන්න බව දැන දැනම අපි මොකටද ඒ තීරණේටම යන්නේ.. දෙන්නාටම මේ වෙලාවේ මේ තීරණේ අමාරු වුනත්, පස්සේ අපි දෙන්නාම මේ ගැන අනිවාර්යෙන් සතුටු වේවි. … ඒ නිසා ඔයාලා නුරාන්ට ඒක තේරුම් කරන්න …” කියාය.

එලෙසින් පැවසූ පසු බොහෝ දෙනා ඉසිනිට පෙරලා මුවින් නොබනිමින් බැණ වැදුණු බවද ඉසිනි දන්නේය. එහෙත් ඕ ඒ කිසිවක් මායිමකට හෝ නොගෙන උන්නාය. පවුල වෙනුවෙන්, ඔවුන් තමා වෙනුවෙන් දරා සිටින සිහින වෙනුවෙන් ගත් තීරණය නිවැරදි බව පමණක් ආයාසයෙන් සිතට ඒත්තු ගැන්වූවාය.

එක්වරම මෝටර් රතය තිගැස්සී ගියේය. ඉසිනිගේ කල්පනා දැහැනද එලෙසින්ම බිඳ වැටුණේය. ඕ  වහා යළි එන්ජිම පණ ගන්වා ගන්නට උත්සාහ කලාය. එහෙත් එන්ජිම පණ ගැන්වූනේ නැත. ප්‍රධාන මාර්ගයට පිවිසෙන්නට තවත් දුරක් යා යුතු බව සිහිවෙද්දීද, ආපසු හැරී නවාතැනට යන්නට බැරි තරම් දුරක් තමා ආ වග සිහිවෙද්දීද, නැවතී සිටින මාර්ගයෙන් ඉදිරියට  දෙපස පෙනෙන තෙක් මානයේ ඇත්තේම අක්කර ගණනක වෙල් යායක් පමණක්ම බව සිහි වෙද්දීද, දැන් සිටින තැනින් පිටුපසට ඇත්තේ අලි මාරුවන මංකඩක් බව සිහියේ ඇදෙදීද ඉසිනිට සන්සුන්ව සිටින්නට හැකි වූයේ නැත. ඕ යළි යළි එන්ජිම පණ ගන්වා ගන්නට උත්සාහ කලේ මෝටර් රිය තුල ආලෝකය දල්වා ගන්නා අතරේය.

” ශිට් …”

සුක්කානමට වැරෙන් පහර දෙමින් ඕ සන්සුන් වෙන්නට උත්සාහ කලාය. මදක් තෙත තිබූ හිසකේ මුදුනට වන සේ බැඳ ගත්තාය. හුස්මක් ගෙන සන්සුන් වී, යළිත් එන්ජිම පණ ගන්වා ගන්නට උත්සාහ කලාය. එවර හඬක් හෝ නැඟුනේ නැත.

ඕ ජංගම දුරකතනයේ දල්වා වෙලාව බැලුවාය.

” දහයයි පහයි …”

ඇයටම පවසා ගත්තාය.

“මම මෙහෙම පාර මැද නැවතිලා ඉන්නවා කියලාවත් නොපෙනන් ගානට කට්ට කලුවර …”

පෝ දා සඳ වසා ගනිමින් තිබූ කළු වළාකුලු උන්නේද ඇයට අරියාදුවටමය. ඕ ජංගම දුරකතනය අතට ගෙන කුමක් කරන්නටදැයි කල්පනා කලාය.

මේ මෝටර් රත කාර්මිකයෙකු සොයා ගන්නට හැකි වෙලාවක් නොවේ. ඒ සොයා ගත්තද, මේ තැනටම ඔහු පැමිණේයැයි විශ්වාසද නැත. මේ අවට සිටින එවැන්නෙකු ගැන ඉසිනිට සිහියක්ද නැත.

” සෝමා නැන්දා …”

සැනින් සිහි විය. ඉසිනි ඇමතුමක් ගත්තාය.

” නෝනේ ..”

මවුවත් කමින් ඉසිනි රකින, ඉසිනි දෙස සෙනෙහසින් බලා සිටින ගැහැණියගේ හඬ ඉසිනිට දැණුනේ මහා කතරකට වැටුණු දිය පොදක් ලෙසින්‍ ය. අඳුරුම මොහොතක ඔටිපන්දම් එලියක්  නිසාවෙන් දැනෙන බලාපොරොත්තුවේ එලිය ලෙසින් ය.

” සෝමා නැන්දා කොහේද ?…”

” මම මේ ගෙදර නෝනේ …”

” සෝමා නැන්දාට පුලුවන්ද මට පොඩි උදව්වක් කරන්න …”

ඉසිනි ඊළඟ මොහොතේ සෝමාගේ මුවින් කුමක් පිටවෙන්නේදැය් සිතා ග්ත නොහැකිව විමසුවාය.

“කියන්න නෝනේ …”

” සෝමා නැන්දේ .. මම මේ ඉන්නේ අක්කර සීයේ පාර පටන් ගන්න  හරියේ .. කාර් එක ස්ටාර්ට් වෙන්න නැතුව ගියා … අනේ කවුරුත් හොයාගන්න බැරි වෙයිද ?…”

” හත් ඉලව්වේ .. මේ මැදියමේ මක්කටෙයි එලියට බැස්සේ නෝනේ .. මම මඟින් මඟට කියලාත් .. දෙයි හාමුදුරුවනේ .. සිරිපාල මලයත් සිරිපාදේ ගිහින් …. වත්සලා… වත්සලා …. අර උඹලෑ ඔපීසියේ වාහන හදන්න එන මහත්තයාගේ නම්බරේට කෝල් එකක් දීලා බලන්න කෙල්ලේ … මම අර වැඩට යන ගෙදර නෝනාගේ වාහනේ පාර මැද හිටලාලූ .. අර අක්කර සීයේ .. එතන අලි මංකඩනේ කෙල්ලේ ..”

සෝමා ජංගම දුරකතනයද විසන්ධි නොකරම එලෙසින් කෑ ගසා කිසිවෙකුට පවසනු ඉසිනිට ඇසුණි. ඕ ජංගම දුරකතනය විසන්ධි කර  ආපස්සට හැරී බැලුවාය.  කෑලි කැපෙන අඳුරය. අලියෙක් ආවාද, ගියාද පෙන්නේ නැත. ඔවුන් තමා දැක පැමිණියොත් මිසෙක, අලි දැක උන්ගෙන් මිදෙන්නට තමාට ඉඩක් වන්නේ නම් නැතැයි සිතුවාය.

මෝටර් රියෙන් බැස වෙල් යාය මැදින් පැලක් හමුවනතුරු ඇවිද යන්නටද ඕ සිතුවාය. තමා නුරාන්ගේ ජීවිතයට දුන් වේදනාවන්ට සොබාදහම තමාට දඬුවම් දේවි යැයි ඇයට පලමු වරට සිතුනේ අලින්ගේ ප්‍රහාර වලින් මිය ගිය මිනිසුන්ගේ රූ ඇස් අස්සේ හොල්මන් කරද්දීය.

” කමක් නෑ … මම මැරෙන එක හොඳයි .. එතකොට නුරාන්ට ලේසි වෙයි .. එයාට මට වෛර නොකර ඉන්නත් පුලුවන් වෙයි .. අරුණෝදට තවත් මට අපහාස කරන්න ලැබෙන්නේත් නෑ … අම්මලා ටික දවසකින් හිත හදා ගනී .. මේ ගමේ මිනිස්සු මට වෛර කරන එකකුත් නෑ …  ඒක එක්කෝ එහෙම වෙද්දෙන් ….”

ඕ එලෙස සිතා සුක්කානටම  හිස තබා ගත්තාය. යළි සෝමා ඕ අමතමින් උන්නාය.

” නෝනේ දෙයි හාමුදුරුවන්ගේ පිහිටෙන් කරදරයක් වෙන්නේ නෑ … කෙලීගේ ඔපිසියෙන් හරි කවුරු හරි එවාවි … ලොකු වාහන වලින් නේ එන්නේ ..ඕක හදන්න බැරි වුනොත් නෝනේ ඒ මහත්තෙන්ලාට කියලා ගෙදරට ඇරලවාගන්න ..මාත් එන්නන් නෝනේට තනියෙන් ඉන්න බැරි නම් …”

” නෑ නෑ ..සෝමා නැන්දා ගෙදරින් එලියට බහින්න එපා .. මම කියනකල්  .. මම කියන්නම් වෙන්නේ මොකද්ද කියලා…”

සෝමා ඉසිනි අස්වසමින් කියෙව්වාය.

ඇයට අඩු නැතුව මවුවත් කම දැනුණි. 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here