සඳ කත් මිණි ඇස් 15

සූර්යා දැන් භුක්ති විඳිනා නිදහස ඇගේ යෞවනයේ දී නො ලැබුණ එකකි. ඇය දෙමව්පියන් ගේ දැඩි නීති රීති හා පාලනය යටතේ හැදුණ වැඩුණ දැරියකි. ඇය ට ආලෝක හමු වන උසස් පෙළ ශිෂ්‍යාවක සමයේ දී සිසුන් වැඩි ප්‍රමාණයක් ගැවසෙන උපකාරක පන්තියකට සහභාගී වන්නට පවා ඇයට අවසර ලැබුණේ නැත. ගුරුවරුන් ගෙදරට ගෙන්වා ටියුෂන් දුන්නේ සූර්යා ගේ වැඩි ආරක්ෂාව තකා ය. ඇගේ දෙමාපියන් ට ඒ සඳහා ඇති හැකි බවක් විය. නමුත් එසේ ගෙදරට ගෙන්වා ගත් ගුරුවරයෙකු කෙරේ වුව සූර්යා බැඳෙන්නට හැකිය කියා ඔවුන් ට සිහිපත් වූයේ නැත.

සූර්යා සිය දියණිය නිසා ඈ ගැන පූර්ණ අයිතිය වන්නේ ඔවුන් ට යයි බොහෝ දෙමාපියන් සේ ඔවුහු ද සිතූහ. කුළි ගෙදරක වාසය කරමින් විශ්ව විද්‍යාලයට ගිය ආලෝක ට වඩා ජනිත් හැම අතින් ම සිය පවුල හා ගැලපුනෙන්, සිදු විය යුත්තේ එය යයි ඔවුහු තීරණය කළහ. දරුවන් ගේ ඉරණම ලිවීමේ අයිතිය පැවරී ඇත්තේ දෙමාපියන් ට යයි සිතා තීරණ ගැනීමෙන්, ඒ දරුවන්ගේ ඉරණම මුළුමනින් අවුල් සහගත විය හැකි යයි බොහෝ දෙනෙක් නො සිතති.

එදා නො තිබුණ නිදහසක්, විවාහය නිසා සූර්යා ට ලැබිණ. ජනිත් කියන්නේ ඇගේ කිසි දා ක සිය බිරිඳ ගේ ජීවිතය ඔහු අතට ගන්නට තැත් කළ ස්වාමි පුරුෂයකු නොවේ. නමුත් ඒ නිදහසින් දිනන්නට ය කියා දෙයක් සූර්යා ගේ ඇස් මානයේ වූයේ නැත. ඇය සිය නිදහසත් ජීවිතයත් යන සෙක ම ඇගේ පවුල වෙනුවෙන් කැප කළා ය.

දික්කසාදයෙන් පසු ඇයට ලැබුණ නිදහස අසීමිත විය. නමුත් ජීවත් වන්නට හෝ හේතුවක් නොවන මිනිසෙකුට නිදහසකින් ඇති පලක් නැත. යෞවනයේ නොතිබුණ නිදහස මොන තරම් අගනේද කියා ඇය වඩා හොඳින් අවබෝධ කර ගත්තේ ආලෝක යළි හමු වීමෙන් පසු ය. යළි ලංකාවට පැමිණීමෙන් පසු සූර්යා පීටර්ස් පෙදෙසේ සිය මහ ගෙදර නො නැවතී අපාට්මන්ට් එකක් මිල දී ගත්තේත්, අම්මලා සිය නිදහසට අයුතු ලෙස බලපෑම් කරතැයි බියෙනි.

නමුත් සූර්යා වූ කලී කිසි දා සිය නිදහස තුළ ආත්මය පාවා දුන් ගැහැනියක නොවේ!

“අනේ මන්දා ඔයා මොනව කරනවද කියල…ලංකාවට ඇවිත් මාස කීයද…දැන් ආයෙ ෆ්‍රාන්ස් යන්න හදනව”

සූර්යා විදේශ ගත වීමට සූදානම් වන බව දැන ඇගේ මවු තරමක නොමනාපයකින් කීවා ය. සද්නා විශ්‍රාම ගොස් වැඩි කාලයක් නැත. නමුත් ඇගේ තරුණ රූ සපුවෙහි කිසිදු අඩුවක් නැතැයි සූර්යා මව දෙස බලා ගෙන සිතුවා ය.

“ඔයා හිතන්න එපා ඩිවෝස් වෙනව කියන්නෙ ගෑනු කෙනෙක්ට හම්බ වෙන අසීමිත නිදහසක් ය කියල. අවික මේක ලංකාව මිසක් ෆ්‍රාන්ස් කියල හිතන්න එපා”

සූර්යා තිගැස්සුණා ය. ආලෝක සිය අපාට්මන්ට් එකට යන එන බව අම්මා දැන ගෙන ද යන ප්‍රශ්නය සියල්ලට කලින් ඇගේ සිතට පිවිසියේ ය.

“ලංකාවෙ ගෑනු අය ජීවත් වෙන විදිහක් තියෙනව සූර්යා. අපි කැමති වුණත් නැතත් අපිට ඒ සීමාවල් ඇතුළෙ ඉන්න වෙනව. එහෙම නැත්තං දකින මිනිස්සු අපි ගැන කතා කරන්න පටං ගන්නව”

වට පිටේ වන මිනිසුන් ගැන කතා කරන්නේ ලංකාව වාගේ දූපතක් මානසිකත්වයක් ඇති ව ජීවත් වන මිනිසුන් ය. බටහිර ලෝකය ඊට හාත්පසින් වෙනස් වේ. කෙනෙකු ගේ පුද්ගලිකතවයට හෝ නිදහසට ඔවුහු ඇඟිලි තුඩක අත පෙවීමක් නො කරති.

“ඒක නිසා ටිකක් කල්පනාවෙන් වැඩ කරන්න සූර්යා. ඔයාට ගෙදර නවතින්න කිව්වහම ඒක කළෙත් නෑ. මොන දේ තිබුණත් වැඩක් නෑ අපි අපේ ආත්ම ගෞරවය නැති කර ගත්තොත්”

“මෙහෙ නෙවෙයි ෆ්‍රාන්ස් වල හිටියත් මං ආත්ම ගෞරවේ නැති වෙන දෙයක් කරල නෑ අම්මි”

ඇගේ ඇස් වල විශ්වාසවන්ත බවක් විය. එඩිතර හා ඍජු බවක් ද විය. සිය දියණිය ගේ ජීවිතය අනවශ්‍ය ලෙස පාලනය කරන්නට යාම නිසා ඇය තනි වූවා ය යන සිතිවිල්ලෙන් මිදෙන්නට දැන් සද්නා ට අසීරු ය. ඒ වරදකාර හැඟීම නිසා සූර්යා ගේ අද ජීවිතයට අත පොවන්නට ඕ තොමෝ තවමත් නො පෙළඹුණා ය. නමුත් සූර්යා හිතුණ හිතුණ විදිහට ගන්නා තීරණ ගැන ඇගේ වියපත් හදවතෙහි වන්නේ තිගැස්ම මුසු දෙගිඩියාවකි.

“ඇයි දැන් හදිස්සියෙ ෆ්‍රාන්ස් යන්නෙ…තව ටිකක් ඉඳල හෙමිහිට ගිහින් එන්න පුළුවන්නෙ. ළමයි දෙන්නට මෙහෙට ඇවිත් යන්න කියන්න. එතකොට එයාලට අපිත් එක්කත් ටිකක් ඉන්න පුළුවන්නෙ”

“මං කියන්නං. ඒත් මට ඒගොල්ලන්ට බල කරන්න බෑ අම්මි. මං කැමති නෑ මගෙ දරුවන්ගෙ ජීවිත වල ඉරණම ලියන වැඩේ මගෙ අතට ගන්න”

සද්නා මුණිවතින් ඉවත බැලුවා ය. ‘සූර්යා තාමත් අපිත් එක්ක තරහෙන්ද ඉන්නෙ’ කියා ඇය ඇසුවේ නැත. නමුත් ඒ හැඟීම ඇගේ හදවතෙහි කටු තුඩු ඇන්නේ ය.

ජර්මනියෙහි පැවැත්වෙන තේ නිෂ්පාදන අලෙවි කරුවන් ගේ ප්‍රදර්ශනය සඳහා පිටත් ව යාමට සියලු කටයුතු සූදානම් කෙරිණි. ලාංකික ප්‍රදර්ශන කරුවන් ලංකාවෙන් පිටත් වෙන්නට කලින් දවසේ ආලෝක සූර්යා සමගින් ගුවන් ගත වූයේ ය. එය වූ කලී ඔවුන් දෙදෙනා ගේ ම ජීවිත වල සුවිශේෂී අවස්ථාවකි. කිසි දා ක උදා වෙතැයි සිතුවේ නැති අවස්ථාවකි. ගුවන් යානය, මහා හිම කඳු සේ පෙනෙනා සුදු වලාකුළු අතරින් ද ඒවා මතින් ද ගුවනේ පා වෙවී තිබියදී හදවත මත්තේ පා වුණා වූ සැහැල්ලුව ට යටින් ආලෝක ආගන්තුක බරක් අත්වින්දේ ය. සූර්යා ගේ අතක් තදින් අල්ලා ගෙන සිටියා වී ද ඒ අත අත් හැරෙතැයි බියක් ඔහු ගේ පිරිමි පපුව ට කිනිසි තුඩකින් ඇන්නේ ය.

ඔහු ගේ වෙනස සූර්යා ට නොදැනුණා නොවේ. දහසක් කාර්ය බහුලත්වයන් අතරේ සිටියදී ද, දෙතුන් දිනක් තිස්සේ ම ආලෝක ට වද දෙන යමක් ඔහු ගේ හිතේ වන බව ඇය දැන සිටියා ය. වරකට දෙකකට වඩා ඇය ඒ ගැන අසා හාරා අවුස්සන්නට නොගියේ ඔහු ට ඒ ගැන ඇයට කියන්නට ඕනෑ නැති බවක් පෙන්වූ නිසා ය. සූර්යා කියන්නේ පෞද්ගලික නිදහස කියන දේ ඉතා ඉහලින් අගයනා ස්ත්‍රියකි. ඇය විවාහක සමයේ ජනිත් ට සේ ම සිය දරු දෙදෙනා ට ද ඔවුන් ට හිමි නිදහස හිතේ හැටියට විඳ ගන්නට දුන්නා ය. ඒ නිදහසට අනවශ්‍ය ලෙස ඇඟිලි ගසන්නට නො ගියා ය. ඒ නිසා ඇය ත් එක්ක ජීවත් වීම ජනිත් ට පහසු විය. පවුලෙන් පිටත ඇසුරු කළ අය සම්බන්ධයෙන් ද ඇගේ ප්‍රතිපත්තියේ වෙනසක් නොවිණි. ඇය ඕනෑ ම කෙනෙකු ට සමීප වූයේ ඕනෑ ම වෙලාවක ඔවුන්ට නික්ම යාමේ හැකියාව ඇති දුරකිනි. ඇය කාටවත් නො ඇළුණා ය. නො බැඳුණා ය. අනිත් අයට ද එසේ නො කොට ඈ ඇසුරු කිරීමේ ඉඩ සලසා දුන්නා ය. නමුත් ඕනෑ ම කෙනෙකු වෙනුවෙන් ඕනෑ ම මොහොතක ඉදිරිපත් වී ඇගෙන් ඉටු විය යුතු සියල්ල නො පිරිහෙළා ඉටු කළා ය.   සූර්යා එසේ කළේ ඈ උගත් පාඩම් වල ආනුභාවයෙන් බව කවුරුන්වත් දැන සිටියේ නැත.

බර්ලින් නුවර සංචාරක හෝටලයක එක ම කාමරයක ගිමන් නිවත්දීත් ආලෝක හිතමින් හිටියේ ඔහු ගත යුතු නිවැරදි ම තීරණය කුමක් ද කියා ය.

“මං මේ ගමන ආපු එක වැරදිද කියල දැං මට හිතෙනව”

සූර්යා ආලෝක ගේ අත් ගොබය මත සිය හිස තබා ගනිමින් මිමිණුවා ය. ඔහු බෝ වෙලාවක් සිවිලිම දෙස බලා ගෙන සිටි බව ඇය නිරීක්ෂණය කොට තිබිණි.

“ඇයි…”

ඔහු යන්තම් හිස හරවා ඇසුවේ ය.

“ඔයාගෙ නිදහසට මං බාධාවක්ද කියල හිතෙනව”

“පිස්සු කෙල්ල”

එවර ඔහු, සූර්යා හිස තියා ගෙන උන් අතින් ම ඇය ව වඩාත් ඔහු වෙතට සමීප කොට ගත්තේ ය.

“මට මහන්සියි. ඒකයි”

“මට බය…ඔයාගෙ මහන්සියට හේතුව මං ද කියන එක…මොකන්ම හරි අවුලක් තියෙනවනං…අදම මං ෆ්‍රාන්ස් යන්නං. ඔයාගෙ වැඩ ඉවර වුණහම ඔයා එහෙට එන්න. ම්…”

“ඔයා මං ළඟින් ඉන්න”

ඔහු සුසුමක් අත් හැරියේ ය. සූර්යා ඇගේ නිගමනය වඩාත් තහවුරු කර ගත්තා ය.

“ප්‍රශ්නයක් තියනව තමයි. ඒත්…ඒක..ඔයා මේ ගමන ආපු එකට අදාල එකක් නෙවෙයි”

සූර්යා ඔහු ගේ මුහුණ දෙස බලා ගත්තා ය.

“අම්ම ඔයා ගැන දැන ගෙන”

ආලෝක ගේ බටිති දෙතොල් අතරේ හසරැල්ලක් නැගිණි. සූර්යා හිටිවන ම බලා සිටියා ය. ඔහු ඒ හසරැල්ලෙන් වහන් කරන්නට හදනා හැඟූම් සමුදාය තේරුම් ගන්නට ඇය ට හොඳට ම පුළුවන. පපුව පිච්චී ගෙන යනවා සූර්යා ට දැනිණ. ඇයට මේ හැඟීමේ හුරු පුරුදු කමක් දැනේ. මීට වසර විසි ගණනකට පෙර සිය මව විසින් ඔවුන් ගේ ඇසුර ගැන දැන ගනු ලැබූ වේලේ ඇය අත් වින්දේත් මෙබඳු ම දෙගිඩියාවකි.

සූර්යා ආලෝක ගේ කොපුලකින් අල්ලා ඒ මුහුණ ඔහු වෙත හරවා ගත්තා ය. ඔහු ගේ ඇස් දිළිසුණේ දුකට බව ඈ දනී. ආලෝක සිය ආත්මීය සහකාරිය ගේ නළලත හාදුවක් තැබුවේ ය.

“අම්ම මට කැමති නෑ නේ…”

සූර්යා මඳහස් වතින් විමසුවා ය. ආලෝක ඇගේ හිස සිය නග්න පපුවෙහි රුවා ගත්තේ ය. මඳ වෙලාවක් ඒ පපුතුර මුහුණ හොවා උව් ආලෝක යළි සිය හිස ආලෝක ගේ අත් ගොබය මතින් තබා ඔහු ගේ මුහුණ දෙස බලා ගත්තා ය.

“අම්මල එහෙම තමයි ආලෝක”

ඒ නම් මීට විසි වසරකට පෙර ඔහු ට පෙම් කළ සූර්යා නොවන බව ආලෝක ට ඉඳුරා දැනිණි. එදා ඇය ඒ තරම් උපේක්ෂාවකින් ඒ ප්‍රශ්නය දෙස බැලුවේ නැත.

“එදා අපේ අම්ම ඔයාට අකමැති වුණා. අද ඔයාගෙ අම්ම මට අකමැතියි. එක අතකට එදා අපේ අම්මට ඒ සම්බන්දෙට අකමැති වෙන්න තිබුණට වඩා සාධාරණ හේතු අද ඔයාගෙ අම්මට තියෙනව”

“ඔහොම කතා කරන්න එපා මැණිකෙ”

“ආලෝක..දුක් වෙන්න එපා ඔයා. මේ බලන්න..මං අප්සට් නෑ. දුක නෑ නෙවෙයි. ඒත් ඒ දුක මත්තෙ අනිත් හැම දේම අවුල් කර ගන්නෙ නෑ. ඒ දුක වුණත් කොච්චර මං සතුටෙන් වින්දද කියල දැනෙන්නෙ අද තමයි. ඒ දුක වුණත් මං ළඟ නොතිබුණානං මට ජීවත් වෙන්න හේතුවක් නෑ ආලෝක”

ආලෝක යහනෙන් නැගිට කාමරයේ වීදුරු ජනේල පෙළ වෙත ගියේ ය. ඔවුන් ඉන්නේ කෙතරම් උසින් ද කියා දැනෙන්නේ එතැනින් පහළ බලනා විට ය. මිනිස්සු,  ජීවිතය තමන් රිසි පරිදි සකසා ගනු වස් සොබා දහමත් සියතට ගෙන සිටිති. නමුත් තමන් ගේ හදවතට ඕනෑ දේ ලබා දෙන්නට තවමත් ඔවුන් ට හැකියාවක් නැත.

සූර්යා ආලෝක ළඟට විත් පිටුපසින් ඔහු වැළඳ ඔහු ගේ පිටෙහි මුහුණ තියා ඇස් දෙක පියා ගත්තා ය. දැන් ඉතින් මිය ගියත් ඇගේ හිතට වේදනාවක් නැත. දුකක් නැත.

“මං දන්නව දැන්…ඔයා මට ඇත්තටම ආදරේ කළා කියල හැම දාටම. එකම ගෑනියෙක් මත්තෙ තනියම ඉන්න පිරිමියෙක්ට පුළුවන් කියල විශ්වාස කරන්නෙ කොහොමද ආලෝක…ඒත් ඔයා නිසා මට ඒක විශ්වාස කර ගන්න වෙනව. ඔයා ලැබුණනං ඇත්තටම මංආසයි..ඒත්…නොලැබුණා කියල දැන්නං කිසිම වෙනසක් නෑ ආලෝක. මට දැනෙන විදිහට ඔයා මට ලැබිල ඉවරයි. මේ වතාවෙ හම්බ වෙලා අපි මෙහෙම එකට ඉන්න එක ගැන නෙවෙයි මං කියන්නෙ. ඔයා ව මට ලැබිල තියෙන්නෙ මීට අවුරුදු විසි ගාණකට කලින්. දුරස් වෙලා හිටියත් අපිට අපි නැති වුණෙ නෑනෙ..මට වටින්නෙ ඒකයි. ඔයා ගෙ අම්ම මං ගැන මොන විදිහට රිඇක්ට් කළත්…ඔයා ඒ ගැන දුක් වෙන්න එපා.මං දුක් වෙන්නෙත් නෑ”

ආලෝක හැරී ඇය ව සිය ළමැදේ තුරුලු කොට ගත්තේ ය. බෝ වේලාවක් ඔවුහු ඒ උණුහුම් තුරුලේ ගාල් වී සිටියහ.

“අර ප්‍රවීනය තමයි ගින්න අවුලෝල තියෙන්නෙ”

“මට ඕනෙ ප්‍රවීන්ට පේන්නම අපි දෙන්න එකට මෙහෙ ඉන්න…මං හිතුවටත් වඩා එයා ඩේන්ජරස්”

ආලෝක හඬ නගා හිනැහුණේ ය. හිතේ පැටවී තිබූ බර, සූර්යා සමගින් කතා කිරීම නිසා පහ ව ගියාසේ ඔහු ට දැනිණ. රාත්‍රිය වන තුරා ම ඔවුහු බර්ලීනය පුරා ඇවිද්දහ. මේ ජීව්තය වෙත හදිසියේ උදා වූ අහඹුවක් වූයේ ය.

ප්‍රවීන් ඇතුළු තේ සැපයුම්කරුවන් පැමිණියේ පසු දා සැඳෑවේ ය. ඔවුන් නවාතැන් ගන්නට නියමිත ව තිබුණේ ද ආලෝක ලා නතර වූ හෝටලයේ ම ය. සූර්යා හැංගි මුත්තන් කරන්නට කැමති නොවූයෙන් එළිපිට ම ඔවුහු අනෙකුත් ශ්‍රී ලාංකික සගයන් හමු වූහ.

“උඹ කිව්වෙ සූර්යාගෙ බිස්නස් ස්ටඩීස් ඇන්ඩ් අකවුන්ටින් මාස්ටර් කියල නේද බං”

රාත්‍රියේ මධු විත පුරත්දී ප්‍රවීන් සමච්චල් සරින් ආලෝකට ලං ව විමසී ය. ආලෝක ඔහු වෙතට තියුණු බැල්මක් හෙළුවේ ය.

“ඊට පස්සෙ එයා මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙලා හිටිය”

“ඕ…එහෙමත් එකක්ද…”

ආලෝක කාමරයට යන්නට පෙර, හෝටලයේ ලොබියේ දී ප්‍රවීන් ට සූර්යා හමු විය.

“ඕන්නං මගෙ රූම් එකේ වුණත් ඉන්න පුළුවන්”

ඔහු ඇගේ කනට කර කීවේ ය. සූර්යා එක වරක් හෝ කිසිවක් ගැන සිතන්නට ගියේ නැත. අත දිග හැර ප්‍රවීන් ගේ කම්මුල හරහා පහරක් එල්ල කළා ය. ඒ වගේ මොහොතක, විදේශයක අති සුඛෝපභෝගී හෝටලයක දී සූර්යා අතින් ඒ වාගේ කම්මුල් පහරක් කන්නට වෙතැයි ප්‍රවීන් හීනයෙන් හෝ සිතා තිබුණේ නැත.

“ඉඩියට්”

ඇගේ ඇස් වලින් ගින්දර පිට වේවිද යන බිය පවා ප්‍රවීන් ගේ සිත් හි ජනිත විය. එක අතකින් රිදුණ කම්මුල අල්ලා ගන්නා ගමන් ඔහු අනිත් අතේ දබරැඟිල්ල ඇගේ මුහුණ ළඟට ම කොට උරුක් කළේ ය.

“බලාගමු ආ”

එය වූ කලී බරපතල අනතුරු ඇඟවීමක් විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles