මුතු බෙලි හදවත – 26 වන කොටස

සඳසීලී සේනක සමග විවාහ වෙත්දී, ඇගේ පියා ගෙන් දෑවැද්ද ලෙස ගෙයක් ලැබුණේ ය. ඒ කාලයේ සේනක තරුණ ව්‍යාපාරිකයෙකු නිසා මේ ගේ කුළියට දුන්නේත්, ඉන් මුදල් ලැබුවේත් සඳසීලී ය. විටින් විට කුළියට දුන් මේ නිවස, මේ දිනවල තිබුණේ වසා දමා ය. ප්‍රතිසංස්කරණයන් කොට වැඩි මුදලකට කුළියට දීමට සඳසීලී සිතා උන්නා ය. ඒ නිවස ආදිත්‍යා ගේ අරමුණ වෙනුවෙන් ලබා දීමට ඇය මේ මොහොතේ තීරණය කළා ය.

“මං තීන්ත ටිකක් එහෙම ගාවලම දෙන්නං. මොකද ළමයි එක්ක කරන වැඩක් නිසා ලස්සනට තියෙන්න ඕනනෙ”

“අනේ අම්මට පින් සිද්ද වෙනව අම්මෙ. මට ඕනෙ කොතනකිං හරි පටං ගන්න. මට ඕන මේ කාලකණ්ණි හැඟීමෙන් මිදෙන්න. පිරිමියෙක් මත්තෙ හැපි හැපි ලැබිච්ච ජීවිතේ අපතේ යවා ගන්න මට ඕන නෑ අම්මෙ”

ආදිත්‍යා එසේ කීවේ අවංක ම ය. සඳසීලී සුසුම් හෙළුවා ය.

“මට පින් දෙන්න දෙයක් නෑ. ඔයාගෙ ජීවිතේ කොතනකට හරි වැටිල තියෙනවනං මාත් ඒකට වග කියන්න ඕන. ගෑනියෙක් විදිහට මේ වෙලාවෙ මං ගන්නෙ ඔයාගෙ පැත්ක ආදිත්‍යා. නැතුව මගෙ පුතාගෙ පැත්ක නෙවෙයි. අපි දරුවවත් සනීප කරගෙන කොහොමහරි මේ දේ වලට මූණ දෙමු. මට පුළුවන් වෙයි ඔයාගෙ නර්සරි එකටත් උදව් කරන්න”

වැටෙනා තැන් වල ම නැගිටින්නට හේතුත් හැදෙනා හැටි ගැන ආදිත්‍යා පුදුම වූවා ය. අලුත් බලාපොරොත්තුව ඇය ට ජීවිතය ගැන අලුතෙන් හිතන්න ට මග පෙන්වන හේතුවක් වූයේ ය. සමාජ සේවා ආයතනයකට කතා කොට සඳසීලී පෙර පාසලට පුටු මේස ටික සපයා ගන්නට කටයුතු කළා ය.

“බිල්ඩින් එක කලර් වොෂ් කරන අතරෙම ඉස්සරහ බැනර් එකක් ඩිස්ප්ලේ කරමු. ලබන අවුරුද්දට අලුතෙන් ළමයි බඳවගන්නව කියල”

නමුත් මේ ගැන ඉව වැටුණු වෙලේ විකුම් කිපුණේ ය.

“ලැජ්ජ නැද්ද මොන්ටිසෝරි කරන්න…මහ ලොකු රස්සාවක්නෙ…කටක් ඇරල කාටවත් කියන්න පුළුවන් ද…මේ…මට ලැජ්ජ කරන්න එපා. එච්චරයි මට කියන්න තියෙන්නෙ”

එ හඬට ආදිත්‍යා සිනහවක් නගා ගත්තා මිස නො සැළුණා ය.

“මං කරන දේවල් ගැන ඔයා ලැජ්ජ වෙන්නවත් ඔයා කරන දේවල් ගැන මං ලැජ්ජ වෙන්නවත් ඕන නෑ නේද…”

ආදිත්‍යා ඉතා සන්සුන් ව විමසුවා ය. විකුම් මේසයක් මත තිබූ වීදුරු මල් බඳුනක් පොළොවේ ගසා කුඩු කළේ ය. නමුත් ඉදිරියට තැබූ පය ආපස්සට නො ගන්නෙමැයි ආදිත්‍යා දැඩි ව සිතා ගත්තා ය. සඳසීලී සමග ද විකුම් බහින් බස් වීමක් වූයේ ය. ඒ නිවස සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට ඕනා වන නිසා මේ මොන්ටිසෝරි වැඩේට එය නො දෙන ලෙස දැඩි ව කීවේ ය.

“මං ආදිත්‍යා ට පොරොන්දු වෙලා තියෙන්නෙ විකුම්. ඔයාට ඕන වෙන කාලෙ වෙද්දි බලමු. එතකොට ආදිත්‍යා ට වෙන තැනකට නර්සරා එක  ශිෆ්ට් කරන්න වුණත් පුළුවන් වෙයිනෙ”

“අම්ම ආදිත්‍යා ට දඟලන්න අනුබල දෙන්න එපා”

“ඒ ළමය දඟලපු දැඟලිල්ල මොකද්ද විකුම්…දඟලන තරමක් ඔයානෙ දඟලල තියෙන්නෙ. ගෑනු කියන්නෙ තමංගෙ අතේ නැටවෙන රූකඩ කියලයි මේ හුඟක් පිරිමි හිතන්නෙ. එහෙම නෑ පුතා. ගෑනු හිත හයිය කර ගත්ත දවසට පිරිමි සීයකගෙ හයිය තියෙනව එතන. අන්න ඒක මතක තියා ගන්න. මමයි ඒ ළමයව මේ නරකාදියට ඇදල දැම්මෙ. මං එහෙම කළේ ඔයා එයා නිසාවත් හැදෙයි කියන බලාපොරොත්තුවෙන්. ඒ ළමයගෙ ජීවිතේට වෙච්ච අපරාදෙට පුළුවන් විදිහකට මං වන්දි ගෙවනව විකුම්. ඔයාට ඒක නතර කරන්න බෑ”

විකුම් මේ තරම් ඈ කරන්නට යන පුංචි වැඩේ ගැන කලබල වන්නේ කිම දැයි ආදිත්‍යා සිතුවා ය. ඒ පුංචි පෙර පාසලකි. ඒ වූ කලී මහා ධනයක් ඉපයිය හැකි ව්‍යාපාරයක් නොවේ. ඇගේ ආත්ම තෘප්තිය සහිත ව, මින්දුල ගේ කායික මානසික වර්ධනයට යම් පමණක දායකත්වයක් ලබා දෙමින්, ජීවත් වීම සඳහා  මුදලක් උපයා ගැනීම පමණක් එහි අරමුණ වේ. විකුම් ට ඒ ගැන ඒ තරම් කලබල වෙන්නට ඇති හේතුව කුමක්ද?

“වෙන කිසි දෙයක් නෙවෙයි. හුඟක් පිරිමි කැමති තමන්ගෙ කසාද ගෑනි කියන එකාව ගෙදර බිත්ති හතරට සීමා කරල තියා ගන්න. එතකොට මිනිහට පුළුවන් ඕන නැටුමක් එළියෙ නටන්න. ගෑනිගෙ කොන්ද කඩල තියෙන නිසා ඒ ගෑනි කවදාවත් තමංගෙ දෙපයින් නැගිටින්න හිතන්නෙ නෑ. එතකොට ඒ මිනිහට හරී ලේසියි තමංගෙ ජීවිතේ තමන්ට ඕන විදිහට ගෙවන්න.”

ආමන්තා කීවා ය. තවමත් විවාහ වී නො සිටිය ද ඇය ට යුග දිවිය ගැන සේ ම ජීවිතේ තවත් බොහෝ අංශ ගැන ප්‍රායෝගික අවබෝධයක් තිබේ..

“නර්සරි එකක් කියන්නෙ පොඩි දෙයක් බව ඇත්ත. ඒත් ඔයා මේ තනියම ඔයාගෙ කකුල් දෙකෙන් හිට ගන්නනෙ හදන්නෙ. ඉතින් මිනිහ බයයි ඔයා ගෙ කකුල් හයිය වෙයි කියන එක ගැන. ඔතන ඊට වැඩිය දෙයක් නෑ අක්ක”

කෙසේ වෙතත් ආදිත්‍යා මේ තබන්නට හදන පියවර ගැන ඇගේ මව් පියන්ගේ ද ඒ හැටි කැමැත්තක් වූයේ නැත.

“විකුම් කැමති නැත්තං මොකට ඔය දේවල් කරන්න යනවද..මොකද ලොකූට කන්න අඳින්න නෑ කියලද…”

ලලිතා විරෝධය පෑවේ එසේ ය. මේ හැම දේම ලොකූ ගේ ඔළුවට දාන්නේ පොඩී යයි ඇය හිතින් ආමන්තා ට දොස් කියමින් ද සිටියා ය.

“අම්මෙ…ගෑනියෙක් වුණාම කන්න අඳින්න විතරක් තිබිල හරියන්නෙ නෑ”

ආදිත්‍යා කට නො හරින බව දන්නා නිසා ආමන්තා එකටෙක කීවා ය.

“නැත්තං…අපිත් ගෑනු…අපි කන්න අඳින්නත් හරියට නැතුව වුණත් මිනිස්සුත් එක්ක සමගියෙන් සමාදානෙං ජීවත් වුණා. අන්න ඒකයි ගෑනියෙක්ට ඕන ම දේ”

“කෙහෙල්මලක් කියනව. කූඩු කරල මසට හදන කිකිළියො වගේ කෑම ටික විතරක් වෙලාවට දීල ගෑනුංව ඇති කරන්න බෑ අම්මෙ. ඔව් ඔය හුඟක් පිරිමි හිතං ඉන්නව තමයි ඒ විදිහට ළමයි හදාගන්න විතරක් ගෑනු ගෙවල් ඇතුළෙ කූඩු කරල තියා ගන්න. ඒත් ගෑනුන්ටත් ජීවිතයක් කියල එකක් තියෙනව අම්මෙ. අර කූඩුව ඇතුළෙ නැත්තං උං ඒක වෙන කොයි ලෝකෙං හරි හොයා ගන්න ඕනෙ. අක්කත් එහෙම කරන්න ඕනෙ. අපිට රස්සාවල් අරං දෙන්නයි කියල අම්මල මේ අහිංසකීව අර නරියගෙ කුකුල් කොටුවට යැව්ව”

“පොඩී…කට වහනව”

“ඇයි මං කට වහන්නෙ…අම්මල මෙහෙ ඉන්නෙ. මෙයත් ඉඳහිට ඇවිත් හිනා මූණක් පෙන්නල යනකොට අම්මල හිතනව අනේ අපේ ලොකූ ඇමති පුතෙක් ව බැඳගෙන සැප විඳිනව කියල. අම්මෙ. ඌගෙ අග බිසව වෙලා මේ ගොං වැස්සි එතන ළමයෙක් එක්ක මැරෙනව. ඌ අන්තඃපුරේ ගෑනු එක්ක හුරතල් වෙවී ඉන්නව. අම්මල ළිඳේ ඉන්න ගෙම්බො වගේ ඔහේ හිටියට මං දැක්කා. මට පෙනුණා මේ ගෑනි ගෙවන ජීවිතේ. මන්නං කියන්නෙ අක්ක ඔය ගස් ගෝනා ගෙං දික්කසාද වෙන්න ඕනෙ. එච්චරයි”

“වහනව කට”

ලලිතා ආමන්තා ගේ කම්මුලකට ගැසුවා ය. ඒ පහර ඇය ඒ තරම් දැඩිපව එල්ල කළා නොවේ. ආමන්තා ට රිදුණේ ද නැත. නමුත් ඒ කම්මුල් පහර, දෙපයින් නැගී සිටින්නට අරාඳිනා ගැහැනුකම් වලට එල්ල කරන ලද පහරක් සේ දැනුණෙන් ආමන්තා ට රිදිණි.

“උඹ ඒ ගෙදරට රිංගන එක නවත්තපං. නැත්තං වෙන්නෙ මේකිගෙ පවුලත් කැඩිල යන එක”

“අන්න දැක්කා නේද අක්කෙ…ඕක තමයි අපේ අම්මලගෙ මානසික වහල්කම. ඔය තත්වෙට අම්මලව තල්ලු කරල තියෙන්නෙ පරම්පරා ගාණක් තිස්සෙ විකුම්ල වගේ අය. විකුම් හිතුවෙ ඔය විදිහටමයි. මං ඔයාව ස්පොයිල් කරයි කියල. ඔයා ඇත්ත දකියි කියල”

ආදිත්‍යා සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටියා ය. අම්මා ගැන ඇයට දුක ය. නංගී ගැන ඇය ට ආඩම්බර ය. ඒ අතරේ ඈ ගැන ඇය ට තේරෙන්නේ නැත. නූල කැඩුණ සරුංගලයක් සේ සිය ජීවිතය අනන්ත අවකාශයේ පා වෙමින් යන බවක් පමණක් ඇය ට දැනේ.

දුමාල් පසෙකට වී සියල්ල දෙස බලා සිටියේ ය. ආදිත්‍යා කියන්නේ තුත්තිරි ඇටයක් සේ කවුරුන් හෝ පිරිමියෙකු ගේ ඇඟේ එල්ලී දුකෙන් එතෙර වන්නට බලා හිඳිනා ආකාරයේ ගැහැනියක නොවන බව ඔහු වටහා ගෙන ටික කලකි. ඇය යනු අම්මා ය. පුංචි දුමාල් ව අතේ එල්ලා ගෙන අම්මා පිරිමින් ගෙන් වහන් වන්නට දැරූ තැත ඔහු ට කිසි දා අමතක කළ නො හැකි ය. විවාහක පුරුෂයෙකු ළඟ නැති නිසා හෝ පියෙකු නැති දරුවෙකු දැඩි කළ යුතු වූ නිසා හෝ අම්මා කිසි දා ක පිරිමින් ට පැළේ දොර නො හැරි හැටි දුමාල් ට සිහිපත් කළ හැක.

බොහෝ ගැහැනු පිරිමින් සිතන්නේ අසරණ වූ තනි ගැහැනුන් යනු එවැන්නියන් කියා ය. කවුරුන් හෝ පිරිමියෙකු ගේ සරණින් හෙට දවස එළි කර ගන්නා බලාපොරොත්තුවක සිටින්නියවුන් කියා ය. නමුත් එය එසේ නො වන බව දුමාල් අත්දැකීමෙන් දනී.

“අපේ අම්මට මුදලාලි මුණ ගැහෙනකොට මං ටිකක් දැනුම් තේරුම් තියෙන කොල්ලෙක්. මුදලාලිගෙ නෝනා මැරිල…ළමයි කසාද බන්දල දීල එහෙම එයා අම්මට යෝජනාවක් ගේනකොට මං ඒ ලෙවල් කරනව. එහෙම නොවුණනං…ඒ වෙද්දි මං මුකුත් නොදන්න පොඩි එකෙක් වෙලා හිටියනං මට පුළුවන් වෙයි මුදලාලිට ලං වෙන්න. තාත්ත කෙනෙක්ට වගේ එයාට ආදරේ කරන්න. සමහර දේවල් පහු වුණාට පස්සෙ කරන්න බෑ. මට මින්දුලව පහු කර ගන්න හිතෙන්නෙ නැත්තෙ ඒකයි”

දිනක් කථන සායනයකට ගොස් එන අතරේ දුමාල් කීවේ ය. මේ ගමන් වලට එන්න එපා කියා ආදිත්‍යා කීවාට දුමාල් නො අසයි. ඔහු ගේ ඒ අකීකරු ප්‍රතිපත්තියට ඇය කැමති නැතිවා ම නොවේ. එපා කීවත් දුමාල් එතැයි ඇය මග බලන්නේ ඒක ය.

හිතක් මෙසේ වන්නේ ඇයි දැයි ආදිත්‍යා දුරට දිගට සිතයි. විවාහක ගැහැනියක වශයෙන් දුමාල් කෙරේ ඇදෙමින් බැඳෙමින් තිබෙනා හිත කරන්නේ වරදක් බව ඇය නො දන්නවා නොවේ. මීට පෙර ප්‍රේමයක අග මුල නො දැන සිටි හිත, ප්‍රේමයේ තිගැස්මක් අත් විඳිමින් තිබේ. ඒ මිහිර විතරක් ඒ මොහොතේ දී විඳ ගන්නවා යි ඇය විටෙක සිතුවා ය.

“මං බඳින්න කලින් ඔයා මට මුණ ගැහුණනං කියල සමහර වෙලාවට මං හිතනව”

ආදිත්‍යා සුකොමළ බොළඳ ස්වරයකින් කීවා ය. දුමාල් පරිනත පිරිමියෙක් වාගේ හිනැහුණේ ය.

“මං සාමාන්‍යයෙන් වෙච්ච නැති දේවල් එහෙම වෙන්න තිබුණනං කියල හිතන කෙනෙක් නෙවෙයි. මං කැමතියි මේ වෙලා තියන විදිහට. කොටින්ම මට ප්‍රශ්නයක් නෑ ඔයා මේ මං ළඟ ඉන්න විදිහ ගැන”

ආදිත්‍යා ඒ මුහුණ දෙස බලා සිටියේ ඉරණම ට සිදු වූ වරද ගැන කම්පාවකින් සේ ය. අසම්මතය කියන්නේ සම්මත ලෝකය කවදාවත් නො පිළිගන්නා දෙයකි. ඔවුන් හිතන්නේ අසම්මතය තුළ පැවතිය හැක්කේ විකුම් ලා පිටස්තර කාන්තාවන් සමග පවත්වනාකාරයේ ශරීර සම්බන්ධතා පමණක් ය කියා ය. අසම්මතය තුළ ප්‍රේමයක් තිබිය හැකි ය කියා හිතන්නට තරම් බොහෝ මිනිසුන් ගේ හදවත් පොහොසත් නැත. ගැඹුරු ද නැත. ඒ හින්දා ම දුමාල් සමග මේ ගමන් බිමන් හොඳකට හිටින්නේ නැති බව ආදිත්‍යා දනී. විකුම් ගේ ලෝකයට ඉව වැටුණ හොත්, ඔවුන් දන්නා අසම්මතය තුළ ඔබා ආදිත්‍යා ව සේ ම දුමාල් ව ද හංවඩු ගසනු ඇත.

“මට ඔයා ගැන බයයි”

ඇය ඉතා හෙමිහිට මිමිණුවා ය. දුමාල් රිය පදවන ගමන් ම එක වරක් හිස හරවා ඇය දෙස බැලුවේ ය.

“මාත් ඔයා ගැන හැම මොහොතකම බයේ ඉන්නෙ”

ඔහු කීවේ සිනහවකිනි.

“විහිළුවක් නෙවෙයි දුමාල්”

“මාත් කළේ විහිළුවක් නෙවෙයි. ඒ බය නැති වෙන්නනං එක දෙයයි කරන්න පුළුවන්. ඒ අපි අපිට පේන තැනක ජීවත් වෙන එක”

“ඉතිං අපිට අපි පේනවනෙ. බැල්කනි එකට ආවහම”

ආදිත්‍යා අතීතයේ පුරුදු ව තිබූ දඟකාර හුරතලයෙන් කීවා ය.

“එහෙනං එහෙමවත් පෙනි පෙනි ඉමු”

ඔහු ගේ පැත්තට පෙනෙන මුහුණ දෙස ආදිත්‍යා බලා සිටියා ය. මේ හැඟීම වෙනස් ය. නුහුරු ය. නමුත් මිහිරි ය. මින්දුල ව තනි ව හදා ගන්නට තරම් දැන් ඇගේ හිත හයිය වී තිබේ. ඔහු හදා වඩා ගන්නට තරම් මුදලක් කෙසේ හෝ උපයා ගත යුතු ය. පෙර පාසල් වෙලාවෙන් පසු උපකාරක පන්තියක් ආරම්භ කරන්නට පුළුවන. ගොඩනැගිල්ලට ගෙවීමක් කළ යුතු නොවන නිසා ටික කලකට හෝ එය පහසුවකි. මේ ආකාරයෙන් හිතා ගෙන යත්දී මින්දුල සමග තනිව ජීවත් වීමේ අභියෝගයට කෙසේ හෝ මුහුණ දිය හැකැයි සිතන්නට පුළුවන. දරුවෙකු ඇති දැඩි කරන්නට ගැහැනියකට පිරිමියෙකු ගේ හයියක් අත්‍යවශ්‍ය ම වන්නේ නැත.

නමුත් ප්‍රේමය කියන්නේ වෙනම ම දෙයකි. දැන් දැන් ආදිත්‍යා ට එය දැනෙමින් තිබේ.

SmartLady.lk ලිපියක් ඇසුරින් අසන මෙම සරල ප්‍රශ්ණයට නිවැරදිව පිළිතුරු දීමෙන් වටිනා තෑගි දිනා ගැනීමට දැන් ඔබටත් අවස්තාව. මේ මාසයේ Cooking Recipes ඇසුරින් පැනයක් ඔබට ලැබෙනවා.


Cooking Recipes මේ ලින්ක් එකෙන් මේ මාසයේ ප්‍රශ්නයට පිළිතුරු පහසුවෙන් සොයා ගන්න පුලුවන්.


ප්‍රශ්ණය - මුරුංගා තේ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද?

අනෙක් කොටස්

More Stories

Don't Miss




Latest Articles

සැරිසරන්නී -16

මගේ වත මතට සිනහවක් එන්නටත් ඒ සිනහව වියැකී යන්නටත් ඒ හැටි වෙලාවක් ගියේ නැත. ඒ කාලය පුරා රවීන් මදෙස ම බලා සිටියේ...

අතීත සුළඟ.

බිනරි බොහෝ වෙලාවක් තමන්ගේ ඔන්ලයින් බිස්නස් පේජ් එකට ආව මැසේජ් එකක් දිහා බලාගෙන හිටියා.ඒ පණිවිඩය නාවානම් කියලා ඇය දෙසිය වෙනි පාරටත් හිතන්න...

මතක දිගහැරුම 103 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය තුන්වන දිගහැරුම ,කොළඹ ප්‍රදේශය පුරාම හෂාන් නොගිය තැනක් නැති තරම් විය.විශාල වශයෙන් ඡන්ද රැස්වීම් පැවැත්වුණු අතර ඇතැම්...

ගැබ් ගැනීමෙන් තොරව ලිංගිකව එක් වීමට සුදුසු දින යෝනි ශ්‍රාව ඇසුරෙන් හඳුනා ගනිමු.

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් සරු දින ඇසුරෙන් හඳුනාගෙන, ඒවා මග හැර...

නිලැසි -24

" බබා එහෙනම් ලෑස්ති වෙන්න ගෙදර යන්න.."තිසරු එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගන්නා අතර ය.හදිසියේ හටගත් රණ්ඩුවක නිමාව එසේ...