” අපේ අම්මා අර උයලා යන්න යන ගෙදර මිස් අඩි සීයේ පාරට මෙහයින් වාහනේ කැඩිලා හිරවෙලාලු .. අපේ කවුරු හරි ඒ හරියට ගිහින් බලන්න පුලුවන් කෙනෙක් ඉන්නවදෝ …”
වත්සලාගේ වට්සැප් ගිණුමෙන් ආයතනේ මිතුරු ගොනුවේ වට්සැප් සමූහයට ආ පණිවිඩය නුරාන් යළි කියෙව්වාය.
වත්සලාගේ අම්මා යනු සෝමා නැන්දාය. ඇය නිවෙසක අත් උදව්වට යන බව පවසමින් වත්සලා උරණව උන් බවද සිහි විය. පෝ දිනයේ ඒ නිවසේ හිමිකාරිනිය කවුරුන්දැයි තමා දැනගත් බවද සිහි විය. එලෙස නම්…,
නුරාන් දඩි බිඩියේ කමිසයක් ගත ලාගනිමින්ම පඩිපෙල බැස්සේය. ධනුක සාලයට එන විට නුරාන් කැබ් රියෙන් පිටත්ව ගොස් හමාරය.
” කෝල් එකක් ගන්න පැහැසරා අර මිනිහාට ..”
ඔහු පැහැසරාට කෑ ගැසුවේය.
” අක්කා .. මම පොඩි වැඩකට එලියට යනවා… එන්නම් ..නිදාගන්න ..”
ඒත් සමඟම හඬ පණිවිඩයක් පැහැසරාගේ වට්සැප් ගිණුමට ආවේය. ධනුක එය අසා යළි පැහැසරාට පැවසූයේ ඇමතුමක් ගන්නා ලෙසටය. එහෙත් පිළිතුරු ලැබුනේ නැත.
” මල්ලී නිදාගන්නවා කියලත්නේ ගියේ.. දහයයි කාලටත් වෙලා…”
” මොන මඟුලක් වෙලාද මන්දා මේ යකාට … තමන්ට තමන් විනාස කරගන්න මෙච්චර හදිසියක් … එක්කෝ මූ මේ නාඩගම් නවත්තන්න ඕනි . නැත්නම් අපි නවත්තන්න ඕනි .”
ධනුක උස් හඬින් කෑ ගසමින්සාලය පුරා ඇවිද්දේය. ඉසිනි යනු නුරාන් තවමත් අමතක කර ගත නොහැකිව දරා සිටින ප්‍රේමය වග පැහැසරා සිහිනෙකින්වත් සිතුවේ නැත. එනිසාම, ඕ ධනුකගේ කෝපය කිසිවකට ගලපා ගන්නට නොහැකිව මෙන් ධනුක දෙසම බලා උන්නාය.
“පැහැසරා .. ආයෙ කෝල් කරන්න බලන්න ….”
ධනුක යලි පවසනවිටත් පැහැසරා උන්නේ නුරාන්ගේ ක්‍රියා විරහිත වූ ජංගම දුරකතනයට ඇමතුම් ගනිමිනි.
” ෆෝන් එක ඕෆ් ධනුක …”
ධනුකගේ මුහුණ කෝපයෙන් ඇද ව ඇති අයුරු දුටු පැහැසරා අසල වූ පුටුවක යන්තමින් වන සේ හිඳගත්තාය.
” මූ ආයේ නාඩගමක් නටන්න හදන්නේ ..”
ඉන් පසුව පැහැසරාට ඇසුනේ ධනුකගේ බිඳුණු හඬය. පැහැසරා වහා නැගිට ඔහු වෙත ගියාය.
” කලබල නොවී ඉන්නකෝ ධනුක … මල්ලි සමහරවිට ෆැක්ට්‍රි එකේ හදිසියකට ගියාද දන්නේත් නෑනේ .. අනෙක තවම දහය පහු වුනා විතරනේ .. එයාට මෙහෙ පාරවල් නුහුරු නුපුරුදුත් නෑනේ … කොහේ කොහොම ගියත් මල්ලිව අඳුනන කවුරුම හරි ඉන්නවානේ … අපි මේම ඉමු එයා එනකල් .. මං ඔයාට කෝපි එකක් හදන්නද ?…”
” හ්ම්ම් … ඔයාටත් එක්ක හදාගෙන එන්න …”
ධනුක පැහැසරාගේ පිටි අල්ල ඉඹිමින් කීවාය. ඇගේ මවුවත් හඬ තුල ඔහුට සන්සුන් වන්නට තරම් යමක් හැමවෙලේම තිබුනේය. වසර පහලොවකටත් වැඩි කාලයක් තිස්සේ ඕ තම ජීවිතය අල්ලා සිටින හයිය බව ධනුක දන්නේය. අම්මලා ට සුවපහසු ජීවිතයක් තනා දීම මෙතරම් පහසු වූයේ පැහැසරා නොසාවෙන් වගට ධනුකට සැක නැත.
මිනිසත්කම අංක එකෙහි ලා විශ්වාස කල ඇගේ දෙමාපියන් සහ සොහොයුරා තමන් දෙදෙනා වෙත දිගු කල සෙනෙහසේ දෑත නොවන්නට සියල්ල මීට වඩා වෙනස් ආකාරයෙන් සිදු වන්නට තිබුණි.
” ධනුක … අම්මා ෆොටෝ එවලා මේ …”
පැහැසරා එක්වරම යළි සාලය දෙසට ඉක්මන් ගමනින් ඇවිද එමින් පවසද්දී, ධනුක ඒ දෙස හැරී බැලුවේය.
” අම්මා ෆොටෝ එවලා .. ටීම් එකේ ඉන්න පිරිමි ළමයෙක් ෆොටෝ ගහලා වට්සැප් කරලත් දුන්නා කියලා වොයිස් එකකුත් එවලා…”
දෙවෙනි වතාවටද දඹදිව වන්දනාවේ ගිය දෙමාපියන් පිළිබඳව දැනෙන සෙනෙහසින් යුතුව ධනුක එවා තිබූ පින්තූර බැලුවේය. තිබූ දහසක් ප්‍රශ්න මැද්දේ තමා සහ මල්ලී අත් නොහැර ජීවිතය අල්ලා සිටි ඔවුන් දෙදෙනා දැන් සිටින්නේ ජීවිතයේ ප්‍රශ්න පිළිබඳව සිතිය යුතුවත් නොවන කාලයකය. ඔවුන්ට අවැසි ලෙසින් ජීවිතය විඳින්නට ඉඩ ලැබී ඇත. සැහැල්ලුවෙන් සිටින්නට ඉඩ ලැබී ඇත.
” ඔයත් වොයිස් එකක් දාන්න අම්මලාට …”
ධනුක පැහැසරාට කීවේය. පැහැසරා සිනාසෙමින්ම හඬ පණිවිඩය පටිගත කලාය.
නුරාන්ට ඉසිනි උන් ස්තානයට යන්නට විනාඩි පහලොවක් ගත විය. වෙනදාට එන විනාඩි විසි පහක පමන ගමනකි. තමාට ඉදිරියෙන් යම් වාහනයක් පැමිනෙන බව දුටු ඉසිනි මෝටර් රිය තුළ වන ආලෝකය නිවි නිවී දැල්වෙන සේ සැකසුවාය. දිගු හුස්මක් ගත්තාය. ඒ හුස්ම ඒ ගැඹුරෙන්ම හෙලුවාය.
ජීවිතය තමාට යළි යළි අවස්තාවන් දෙන වග ඇයට සිතුණි. ඕ අසුනෙන් ඉස්සී පැමිනෙන රිය නතර වන තුරු බලා උන්නාය.
නුරාන්ගේ කැබ් රිය නැවතුනේ ඉසිනිගේ දෑස් නිලංකාර කරගෙනය. ඔහු සැනින් කැබ් රියෙන් බැස ඇය වෙත ඇවිද ආවේය. ඉසිනි නුරාන්ව හඳුනාගත්තේ නුරාන් අඩි දෙක තුනක් වාහනය වෙත ඇවිද එද්දීය. ඕ සුක්කානම එක් අතකින් තරයේ අල්ලා ගත්තාය. අනෙක් අතේ වූ ජංගම දුරකතනය ගිලිහී ගියේය. අපහසුවෙන් ඉතා සෙමින් කෙළ පිඬක් ගිල දැමුවාය. ඔහු, කෙලෙසද ?… ඇයට කිසිවක් වැටහුනේ නැත. මේ ඇය ඔහුගෙන් දුරස් වන්නට සැලසුමක් වෙනුවෙන් යන්නට සූදානම් වූ ගමනකි. එහෙත් දෛවය මෙතරම් ඉක්මනින් ඒ සැලසුම් වෙනස් කරන්නේ කෙලෙසද ?
නුරාන් මෝටර් රියේ රියැදුරු අසුන පැත්තේ වීදුරුවෙන් එබුණේය. අසිනි අතින් අඟුලු විවෘත වූයේ සිතා බැලීමකින් තොරවය. නුරාන් මෝටර් රියේ දොර පිටතින් විවෘත කලේය.
” මැරෙන්න ආස වෙලාද ?…”
ඉසිනි උන්නේ නුරාන්ගේ මුහුණ දෙසම බලාගෙනය. ඔහු උන්නේ නැවී ඇය වෙත එබීගෙනය. ඉසිනිගේ දෑස් හමුවේ නුරාන් සිටින්නට උත්සාහ කල ස්වරූපය බිඳ වැටුණේය. ආදරය නිසා කිසිවෙකු බිඳ වැටිය යුතු නැත. එහෙත් ආදරය නිසා හැසිරීම් සහ ස්වරූප බිඳ වැටීම නැවැත්විය හැකි නොවේය. බාහිරින් නොපෙනුනද අභ්‍යන්තරව හෝ බිඳ වැටීම් අඩු වැඩි තත්පර ලෙසින් සිදු වන්නේය. ආදරයද ජිවිතයද කලමණාකරණය කර ගැනීම යනු ඒ බිඳ වැටීම් යළි ප්‍රතිස්තාපණය කරගන්නා මට්ටමය.
ඉසිනි ට ඉවතක් බලන්නට අවශ්‍ය බව අඟවමින් යටි සිතෙන් නැඟෙන පණිවිඩ වලට ප්‍රතිචාර දක්වන්නට තරම් හැකි වූයේ නැත. ඕ උන් පියවරේම උන්නාය.
” බහින්න …”
නුරාන්ගේ හඬෙහි වූ සෞම්‍ය බව ඉසිනි ඔසවා අහසටම විසි කලේය. ඔවුනතර ප්‍රේමය නමින් වූ ගිණිපුපුර හටගත්තේ මීට වසර අටකටත් එපිටය. ඒ ගිණි පුපුර යළි යළි ඇවිලෙමින් තිබුනේ වසර කිහිපයකි. ඉන් පසුව ඒ ගිණි පුපුර නිවී ගියේය.
ඒ නිවී යෑමෙන් පසුව, වසර ගණනාවක් එකිනෙකා කෙරෙහි වන බැඳීමක් නැතිවා සේ හැසිරුනාටද පසුව,දැන් යමක් දැනෙන්නේය. දෙදෙනාටම වෙනස් ප්‍රාමාණික බවකින් යුක්තව යමක් දැනෙන්නේය. අර කී ගිණි පුපුර නිවී යෑමෙන් පසුවද, දැනෙන මේ හැඟීම දෙදෙනාටම එක්ව කියවා ගන්නට හැකි වුවහොත් එය ආදරය සොයා ගැනීම ලෙසින් ඔවුන්ටම හඳුනා ගන්නට හැකි වනු ඇත. ගිණි පුපුර නිවී යෑමට පසුව ආදරය හමුවීම එලෙස සියල්ලන්ටම ලැබෙන අවස්තාවක්ද නොවේය. එය ඉසිනි සහ නුරාන් ලෙසින් ආදරය ආත්මය තුළ සඟවාගෙන පැමිණෙන ඇතැමුන්ට පමණක් සැලසෙන අවස්තාවකි.
ReplyForwardAdd reaction |