මේ උත්සව කාලයේ ගෙදරට එන අමුත්තන්ට වගේම ගෙදර සාමාජිකයන්ට වුනත් රස බලන්න පුළුවන් අපිට හුරුපුරුදු රසම රස කෑමක් අරන් තමයි අද අපි ඔබත් එක්ක එකතු වෙලා ඉන්නෙ.
වැලිතලප කීවම නොදන්න කෙනෙක් නෑනෙ.
එහෙනම්, අපි බලමු වැලිතලප හදන්න අපිට ඕන කරන්නෙ මොනවද කියල මුලින්ම.
අවශ්‍ය ද්‍රව්‍ය
කැකුළු හාල් පෙඟෙන්නට තබා කොටාගත් කැකුළු හාල් පිටි 01 kg ක්
සීනි 500 g ක්
සිහින්ව ගාගත් පොල් බෑවක ප්‍රමාණයක්
ලුණු කුඩු
කුඩු කරගත් එනසාල් ඇට 08 ක්
වතුර
සාදාගන්නා ආකාරය
මුලින්ම, කියන්න ඕන අපිට ඕන කරන්නෙ ටිකක් කල් තියාගන්න බලාගෙන හදන වැලිතලප නම් අපි මේ ගත්‍ත අමුද්‍රව්‍ය වලින් හාල් පිටි සහ පොල් පාට වෙනස් නොවෙන විදිහට තෙත ගතිය ඉවත් වෙනකන් අඩු ගින්දරේ පොඩ්ඩක් පරිස්සමට බැදගෙන එකතු කරගන්න ඔබට පුළුවන්.
හරි, මුලින්ම පිටි කිලෝඑක දාන්න පුළුවන් භාජනයක් හොයාගන්න ඕන. මේ භාජනේ අර ඉස්සර අපේ ගෙවල් වල තිබ්බ ඇළුමිණියම් තාච්චියක් වගේ නම් ගොඩක් හොඳයි.
පිටි කිලෝ එකම දාන්න භාජනයක් හොයාගන්න අමාරු නම් පිටි ටික දෙපාරකට කලවම් කරගන්න පුළුවන් ටිකක් පොඩි භාජනයක් වුනත් කමක් නෑ.
දැන් පිටි ටිකට ලුණු තේ හැන්දක් හරි ඔබේ රස පදමට හරි එකතු කරල හොඳට කලවම් කරන්න ඕන.
අපි වැලිතලප හදද්දි මුලින්ම හදාගන්නෙ පිට්ටු මිශ්‍රණේ. එතකොට මේ පිට්ටු මිශ්‍රණේ හදාගන්න වෙන්නෙ අතින් තමයි. ඒ නිසා අත හොඳට හෝදල වේලගෙන පිට්ටු මිශ්‍රණේ හදාගන්න ඔබට පුළුවන්.
දැන් මේ පිටි මිශ්‍රණේට අතින් වතුර ටික ටික එකතු කරල චූටී / හීනි පිටි බෝල හැදෙනකන් බොහොම ඉවසීමෙන් කලවම් කරන්න ඕන.
අපේ වැඩිහිටියො පිටි කලවම් කරද්දි අතේ ඇඟිලි ටික භාජනේ අඩියෙ වැදෙන විදිහට අතේ ඇඟිලි යට පැත්තට හිටින්නයි කලවම් කරන්නෙ. එතකොට ලොකු කැට මැදට ඉතිරි වෙන නිසා ඒ කැට කඩාගන්න පහසුයි කියලයි ඔවුන් කියන්නෙ.
දැන් මේ පිට්ටු මිශ්‍රණේ පිට්ටු බම්බුවක හරි රෙද්දක් අතුරපු තට්ටුවක දාල ස්ටීමර් එකක හරි තම්බාගන්න ඕන.
පිට්ටු වල ගානට පාට වෙනස් වෙලා පිට්ටු මිශ්‍රණය තැම්බුනාට පස්සෙ හෙමීට හැන්ඳක් ආධාරයෙන් පිට්ටු ටික මුලින්ම තිබ්බ වගේ පොඩි පොඩි බෝල වෙන් වෙනකන් පරිස්සමට කුඩු කරගන්න ඕන.
දැන් මේ විදිහට හදාගත්ත පිට්ටු මිශ්‍රණේ පැත්‍තකින් තියල පැණි මිශ්‍රණය හදාගන්න ලෑස්ති වෙමු.
භාජනයක් ලිපේ තියල ඒ භාජනේට අපි ගත්ත සීනි වලින් අඬු කෝප්ප 02 ක් විතර එකතු කරගෙන හෙමීට රත්කරගන්න ඕන.
සීනි ටික රත්වෙලා රන්වන් පාටට හුරු තද දුඹුරු පැහැයක් ඇති පැණි මිශ්‍රණයක් හැදුනට පස්සෙ අපි වතුර අඬු කෝප්පයක් විතර එකතු කරගන්න ඕන.
ඊට පස්සෙ මේ පැණි ටිකයි වතුර ටිකයි හොඳින් කලවම් කරගත්තට පස්සෙ ඉතුරු සීනි ටිකත් ටිකෙන් ටික එකතු කරල සීනි සම්පූර්ණයෙන් දියවෙනකන් හැඳිගාගන්න ඕන.
ඊට පස්සෙ එනසාල් ටිකත් මේ පැණි මිශ්‍රණයටම එකතු කරල පැණි වල බුබුළු නටනකන් රත්කර ගන්න ඕන.
දැන් මේ පැණි වලට ගාගත්ත පොල් ටික කොටස් දෙකකට විතර එකතු කරල හොඳට කලවම් කරගන්න ඕන.
ඊට විනාඩි දෙකකට විතර පස්සෙ අපි හදාගත්ත පිට්ටු මිශ්‍රණයත් ටික ටික මේ පැණි වලටම එකතු කරල කලවම් කරගන්න ඕන.
තෙත ගතිය ඉවත් වෙච්ච මෘදු මිශ්‍රණයක් ලැබෙනකන් මේ විදිහට කලවම් කරගෙන මේ මිශ්‍රණය ලිපෙන් ඉවත් කරල ඉටි කොළයක් හෝ කෙසෙල් කොළයක් එලාගත්‍ත පැතලි මතුපිටක ඔබ කැමති උසකට තවත් කෙසෙල් කොළ කෑල්ලකින් තුනී කරගෙන අතුරාගන්න එක තමයි ඊළඟ පියවර.
ඊළඟට පිරිසිදු වියළි පිහියකින් ඔබ කැමති හැඩයේ ප්‍රමාණයේ කෑලි වලට කපාගන්න පුළුවන්.
එහෙනම්, මේ විදිහට වැලිතලප හදල බලන්නකෝ.