මල් පිපුණිද හිම කැළයේ – 29

0
887

ගතව ගිය කාලය තුළ මේරි මර්ෆි චිකිත්සක ප්‍රතිකාර සඳහා කැමති කරවා ගන්නට නිලංගා සමත්වූවාය.මුලදී මුලදී දැඩි ලෙස ප්‍රතික්ෂේප කලද නිලංගා වක්‍ර මාර්ගයෙන් ඇය ඊට කැමති කරවා ගත්තාය.පෝලා, සිල්වියා හෝ ස්ටීව්, නිලංගා මේ හපන්කම කරනු ඇතැයි විශ්වාස නොකළෝය.ඕනෑම දෙයකට නම්මාගන්නට සමත් වුවද ව්‍යායාම ප්‍රතිකාර සහ ඇවිදීම සඳහා කීයටවත් මේරි මර්ෆී කැමති නොවනු ඇති බව ඔවුහු සිතා සිටියෝය.

“අනේ නෙළී, ඔයා මොන දේ කරත් ඕක නම් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි.මේරි මැඩම් ඇඳටම වෙලා හොර වෙලා හිටියේ.දැන් එයා ආයෙ එක්සසයිසස් කරන්න ගන්නවා කියන්නේ කීයටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි…ඔයා අන්තිමට dissapointed වෙනවා..ඒකයි මං කියන්නේ..”පෝලා එසේ පැවසුවාය.නෙලී කෙතරම් දක්ෂ වුවද..මේ දක්වා මේරි මර්ෆි කෙසේ හෝ නම්මා ගත්තද ඇයගේ ඇවිදීම යන්න නොහැක්කක් බව පෝලා විශ්වාස කළාය.

“පෝලා කියන දේ හරි..ඔයා දේවල් කරා තමයි..අමාරුවෙන් හරි අම්මව ගොඩාක් වෙනස්කළා..ඒත් මේ වෙලාවේ එයා ඇවිද්දවන්න යන එක කරන්න පුළුවන් දෙයක් කියලා මාත් විශ්වාස කරන්නේ නෑ.ආපහු සැරයක් අම්මට කේන්ති ගියොත්..ඔයා මේ කරපු ඔක්කොම දේවල් වතුරේ යනවා..ඒක නිසා ඔය අදහස අතහරින්න නෙළී..”
සිල්වියා ක්ලිෆර්ඩ් පෝලාගේ අදහස අනුමත කළේ එලෙසිනි.

“මිනිස්සුන්ට කරන්න පුළුවන් දේවලුත් තියෙනවා බැරි දේවලුත් තියෙනවා.ඔයා ආච්චිව හුඟක් දේවල් වලට කැමති කරවා ගත්ත තමයි.හැබැයි ඒක නිසා ඔයා හිතන්න එපා ඔයාට හැමදේම කරගන්න පුළුවන් කියලා.ඕවර් කන්ෆිඩන්ට් වෙන එකත් එච්චර හොඳ දෙයක් නෙමෙයි. අකමැත්තෙන් ඇවිද්දවන්න ගිහිල්ලා මොකක් හරි කම්ප්ලිකේෂන් එකක් ආවොත් ඒකටත් වග කියන්න වෙන්නේ ඔයාටම තමයි.”
අවසානයේ ස්ටීව් ක්ලිෆර්ඩ් ද සිය සෘනාත්මක අදහස ගෙනහැර පෑවේය.

නිලංගා අධෛර්යමත් වූවාය.එහෙත් බලාපොරොත්තු  අතහැරියේ නැත.

“මං අහන්නේ අපට බැරිද ෆිසියොතෙරපිස්ට් කෙනෙක් ගෙන්වලා චුට්ටක් එක්සයිසස් ටිකක් කරගන්න.ඊට පස්සේ එයාට ශක්තිය ආවට පස්සේ ඇවිද්දවන එක හිතන්න පුළුවන්නේ.”
අඩුතරමේ භෞත චිකිත්සකවරයා හා කතාබස්කොටගෙන මේරි මර්ෆි  ඇවිද්දවන්නට උත්සාහ දරන්නේ යයි නිලංගා සිතුවාය.
ඇයගේ ඒ අදහසට කිසිවෙක් අකමැති වූයේ නැත.ඇඳටම වී සිටීම නිසා මාංශ පේශීන්වල ශක්තිය අඩුව යෑම එදාකාර සංකූලතා මතුවන්නට හේතු වනු ඇතැයි වෛද්‍යවරයා පවා පැවසූ බව සියල්ලෝම පිළිගත්හ.

භෞත  චිකිත්සකවරයා නිවසට පැමිණි දා ස්ටීව් ද ඒ වෙනුවෙන් පැමිණ උන්නේය.භෞත චිකිත්සක ඩැනියෙල් ස්ටීව්ගේ මිතුරකු වීම එයට හේතුවිය.

” ස්ටීව්, මට හිතාගන්න බැරි වුණා මෙච්චර කාලයක් ගියාට පස්සේ ග්‍රැනි මේකට කැමති වෙච්ච එක.. එයා බලාගන්න කෙයාරර් නේද ග්‍රැනීව  කැමති කරවගත්ත කීවේ.එයාටත් පොඩ්ඩක් එන්න කියන්න. මොකද බේසික් එක්සසයිසස් ටික ග්‍රැනීට දිගටම කරවන්න වෙන්නේ එයාටනෙ…”
ඩැනියෙල් පැවසුවේය.ස්ටීව් පෝලා අමතා ඒ කාරණය පැවසුවේය.

“හෙලෝ මේරි, කොහොමද ඔයාට..මාව මතක ඇති නේද? මම ඩැනියෙල්..ස්ටීව් ගෙ යාලුවා..මතකද ඉස්සර මම නිතර මෙහෙ එනව..”
ඩැනියෙල් කතාබහ ඇරඹුවේ ව්‍යායාම කරන්නට පෙර සුහදත්වයක් ගොඩනඟා ගනු රිසියෙනි.නිලංගා කාමරයේ මේරිගේ ඇඳ අසලට විත් උන්නාය.ස්ටීව් කාමරයේ කෙළවරක වූ ජ්නේලය අසළට වී දෑත් ළය හරහා බැඳ බලා සිටියේය.

මේරි මොහොතක් නුරුස්සන සුළු බැල්මෙන් ඩැනියෙල් දෙස බලා උන්නාය.පළමු ප්‍රතිචාරය විය යුත්තේ ප්‍රතික්ෂේප කිරීම බව ඇය පළ පුරුද්දෙන්ම දැනවුන්නාය. ප්‍රතික්ෂේප කරන්නට මුව විවර කරන්නටද පෙර නෙලී ඇයගේ දෝතින් අල්ලා ගත් විට මේරි සිය උත්සාහය ඉබේම අතහැර දැම්මාය.කාලයත් සමඟින් නෙලී යනු තමාගේ ජීවිතයට බලපෑම් කළ හැකි එකම පුද්ගලයා බවට පත්වීම මේරි පිළිගෙන තිබිණි.

“හ්ම්..” ප්‍රතික්ෂේප කරන්නට සූදානම් කොටගෙන තිබුණු වචන පේළියම මුව තුළ ගොළු වී ගියා බඳුය.

“නෙලී..නේද ඔයාගෙ නම කීවෙ..? අයෑම් ඩැනියෙල්.”
ඩැනියෙල් නිලංගා දෙසට හැරුණාය.ජනේලය අසලට වී ඉවත බලාගෙන උන් ස්ටීව් වහා හැරී බැලුවේය.ඩැනියල් ඔහුට ඇසක් ඉඟිකොට නැවත නිලංගා දෙසට හැරුනේය.

” හෙලෝ ඩැනියෙල්..නයිස් ටු මීට් යූ..”
නිලංගා ආචාරශීලීව පැවසුවාය.

“මේරි , අද මම ආවෙ ඔයාව පොඩ්ඩක් බලන්න.දැන් ඔයා විල් චෙයා එකෙන් එළියට එහෙම යනවනේ. දැන් අපි පොඩ්ඩක් exercises ටිකක් කරොත් හොඳයි කියලා මේ නෙලීයි ස්ටීව් යි මට කිව්වා…මම ආවේ ඒකට..”
ඩැනියෙල් බොහෝ අර පරිස්සමින් වචන හසුරුවා මේරි මර්ෆි ඇමතුවේය.

“නෙලී..ස්ටීව්…ඇත්තද මේ කියන්නේ..නෑ මට ඕන නෑ එක්සසයිස් කරන්න..මට වීල් චෙයා එක තිබ්බම ඇති..”
ප්‍රතික්ෂේප කිරීම එකහෙලා පැමිණියේය.

“නෑ එහෙම නෙමෙයි..අහන්නකෝ මේරි මැඩම්..අපි දෙන්නා චුට්ටක් එක්සයිසස් එහෙම කරලා ඉන්න ඕනනේ.ඔයා කරනවනම් මමත් එනවා ඔයත් එක්ක exercises කරන්න.එතකොටනේ අපි හෙල්ති වෙලා ෆිට් වෙලා ඉන්නේ..”
නිලංගා සීරු මාරුවෙන් වචන හැසිරුවාය.ඇයගේ එවදන් අසා උන් ස්ටීව් “ඒ ටික ඇහුවම මටත් එක්සසයිස් කරන්න එන්න හිතෙනවා..”යැයි තමාටම කියා ගත්තේය. මැය නම්  සූක්‍ෂම ලෙස ආච්චීව දිනා ගන්නට සමත් වී ඇත.පසුගිය දිනවල තිබූ හිතේ කහටද ක්‍රම ක්‍රමයෙන් මැකී යමින් තිබුණි.

“ශී විල් ඩූ ඉට් ඩෙෆිනිට්ලි…මෙයා මාර දක්ෂයි ආච්චි වගේ කෙනෙක්ව කැමතිකරවගන්න…”
ඩැනියෙල් ස්ටීව් හට පසුව පැවසීය.

“හරි, ඔයත් එනවද මාත් එක්ක එක්සයිසස් කරන්න එහෙනම්.හැබැයි අමාරු ඒවා බැහැ.මං කැමති ඒවා විතරයි කරන්න පුළුවන්.”
කොන්දේසි රාශියක් ඉදිරිපත්විය.ඩැනියෙල් සහ ස්ටීව් ද, නෙලීද කැමැති වූ පසු ව්‍යායාම ප්‍රතිකාර ආරම්භ විය.ඉතා සරල ව්‍යායාම් මාලාවක් ඇදේ සිටම සහ පුටුවක සිට පුහුණු වන්නට භෞත චිකිත්සක වරයා කියාදුන්නේය.

“මම ලබන සතියේ එනකොට මේරි ඔයා නෙළි එක්ක  මේ ටික කරලා තියෙන්න ඕනෑ.එතකොට අපිට progress කරන්න පුළුවන්..ඕකේ නේද?”
ඩැනියෙල් ගේ වදන් නෑසුනාසේ මේරි ඉවත බලාගත්තාය.

“ඕකෙ දෙන්…ඔයාගෙ රෙස්පොන්සිබිලිටි එක තමයි ඩේලි එක්සසයිසස් ටික කරවන එක.මේ ටික කළොත් නෙක්ස්ට් වීක් අපිට එයාව පොඩ්ඩක් වෙලා හිටගෙන ඉන්න ට්‍රේනින් කරවන්න පුලුවන්…”
ඩැනියෙල් නිලංගා සමගින් පැවසුවේය. ඇය සුහදව ඔහු හා සිනාසී එයට එකඟතාවය පළ  කළාය.

“ශී ඉස් ඇමේසින්…ඔයාගේ ග්‍රැනීව එහෙම කැමති කරව ගන්න පුළුවන් උනා කියන්නේ..එයා නම් මාරයි..මතකද  ස්ටීව් කලින් කෙයාරර්ස්ලා උන්න දවස් වල මම ආවම ග්‍රැනී මට කාමරය ඇතුළටවත් එන්න දුන්නේ නැහැ.අඩු ගානේ කකුල් අල්ලන්නවත් දුන්නේ නැහැනේ..ඒ උනාට බලන්නකෝ දැන් අර ඔක්කොම එක්සසයිසස් ටික අර ගර්ල් එක්ක කලානේ..”
ඩැනියෙල් නොපැකිලවම ඇය පසසන්නට විය.ඒ කියන කරුණු සියල්ලම සත්‍ය වුවද ඩැනියෙල් දිගින් දිගටම නෙලී ගැන කතා කිරීම ස්ටීව්ට නුරුස්සන සුළු විය.

“හරි ඕකේ ඉතින්..දැන් ඔහොම උනාට ආච්චි ඕවා කරයිද කියලා ෂුවර් එකක් නැහැ.ඒ නිසා ඕනවට වඩා ක්‍රෙඩිට් දෙන්න වැඩක් නෑ.බලමුකෝ මේ සතිය කරලා.මම නම් හිතන්නෑ කරන්න පුළුවන් වෙයි කියලා. මම දන්නවනේ හැටි අපේ මේරිගෙ හැටි ඔක්කොටම වඩා හොඳට..”
ඩැනියෙල් සිය මිතුරාගේ හඬෙහි වූ නුරුස්සන සුළු ස්වභාවයට යටි සිතින් සිනහසුනේය.

“ග්‍රැනි විතරක් නෙමෙයි ඔය කෙල්ල තමනුත් වෙනස් කරලයි නවතින්නේ..මට අද ඒක තේරුණා..”
ඩැනියෙල් යටි සිතින් තමාටම කියා ගත්තේය.

සතියක ඇවෑමෙන් සිදුවූ වෙනස්කම ස්ටීව්හට පිළිනොගෙන ඉන්නට නොහැකි තරම් විය.ආච්චී ඉතා කැමැත්තෙන් ව්‍යායාමයන්හි නිරත වූවාය.නෙලී පෙනෙන්නට නැත්නම් පෝලා අත හෝ නියමිත වේලාවට පණිවුඩයක් යවා ව්‍යායාම කරන්නට තරම් ඇයගේ උනන්දුව වැඩිවිය.නෙලී විවිධාකාර උපක්‍රමයන් යොදා මේරිගේ ව්‍යායාම වල ඒකාකාරී බව දුරු කළාය. ඇතැම් විට ව්‍යායාමයන්ට ගැලපෙන්නට සංගීත ඛාණ්ඩයක් වාදනය වන්නට හරිමින්ද තවත් විටෙක ඇය හා එක්ව රංගනයක යෙදෙනාකාරයේ ව්‍යායාමයන්හි නිරතවෙමින් ද මේරිගේ උනන්දුව පවත්වාගෙන යන්නට ඇය සමත්වූවාය. ස්ටීව් සිය කැමරා පද්ධතිය ඔස්සේ මේ සියල්ල නිරීක්ෂණය කළේය.

කෙනෙකු හට මේ සා නොනැසෙන උනන්දුවක් අනෙකෙක්ගේ ජීවිතය වෙනුවෙන් පවත්වා ගෙන යන්නට හැකිදැයි ඔහු විශ්මයෙන් බලා ඉඳිමින් සිතීය. පිටස්තරම පුද්ගලයෙකු වූ ඇය ආච්චී , අම්මා ,පෝලා ඇතුලු ක්ලිෆර්ඩ් මන්දිරයේ සියල්ලන්ගේම ජීවිතවලට යමක් එක්කරමින් උන්නාය.ඔවුන්හට පමණක් නොව තමන්ටද ඇය මොකක්දෝ අලුතින් යමක් ජීවිතය දෙස බලන්නට එක්කරමින් ඉන්නා බව අකමැත්තෙන් වුව ඔහුට පිළිගන්නට සිදුව තිබුණි.

“වට් අ මාවලස් ඉම්පෲමන්ට්….ස්ටීව්…මේ කෙල්ල නම් යකඩ කෙල්ලෙක්.ඔයාගෙ ග්‍රැනීව මෙහෙම කැමති කරවාගත්ත කියන්නෙ ආයෙ මෙයා මගේ ප්ලෑන් එක හිතුවටත් වඩා ඉක්මන කරල දෙනවා ..”
දෙවන සතිය ආරම්භයේදී ඩැනියෙල් මවිත වූයේ මේරිගේ ව්‍යායාමයන්හි දියුණුව දැකය.
ස්ටීව් කිසිවක්ම නොකියා බලා සිටිද්දී ඩැනියෙල් නිලංගාහට ස්තුති කරමින් ඇය අගය කළාය.

“හරි හරි…ඔය තෑන්ක් කළා ඇති දැන්…ඊලඟ ස්ටෙප් එකට යන්න…”
ඩැනියෙල් හා නෙලී අතර සංවාදය තමාහට මෙතරම් නුරුස්සනා සුලුවූයේ මන්දැයි ස්ටීව්හට වටහා ගන්නට නොහැකිවිය.එහෙත් තමා සමගින් පමණක් දුරස්ථ භාවයක් ඇය පවත්වාගන්නේ තමාගේම චර්‍යාවේ ඇති දැඩි බව හේතුවෙනැයි ඔහුට පිළිගන්නට නොහැකිය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here