සැරිසරන්නී – 24 වන කොටස

නංගී ගේ මුහුණේ වූයේ සමච්චල් සිනහවක් ද කියා මට සිතිණ. සමච්චලයක් වුණත් එය සංකේතාත්මක එකක් පමණක් වන බව මම දනිමි. ඇයත් මා ත් දෙ ආකාර ය. නමුත් එහෙම ය කියා අපේ සහෝදර බැඳීමේ කිසිදු අඩුවක් නැත. සමච්චල් සිනහවක් මේ මොහොතේ ඇය වෙත ටවනවා නම් ඊට හේතුව මේ මොහොතට අදාල විය යුතු අතර, මා වෙනුවෙන් හෝ මට අදාල එම සමස්ත ක්‍රියාවලිය වෙනුවෙන් උපන්නක් නො විය යුුතු බව මම ඉඳුරා දනිමි.

මේ මහා පවුලේ සාමාජිකයන් ඉදිරියේ, නංගී ට කිසිත් කියන්නට තරම් මම දිරිමත් නො වුණෙමි. ඒ ඇගේ කටට තිරිංග නොවන බව දන්නා නිසා ය.

තාත්තා හා රවීන් පසෙකට වී කතා බහකට වැටී සිටියේ ය. ලොකු අයියා ද වරින් වර ඊට සම්බන්ධ වූයේ ය. ඒ අතරේ එක එක්කෙනා සින්දු කීවෝ ය. මම අප ඉදිරියෙන් වන ගල් තලාවත් ඊට ඔබ්බෙන් වන වන අරණත් දෙසට මගේ නෙතු යොමු කර ගෙන ඔහේ බලා සිටියෙමි. මට දැනුණේ වනාන්තරය කතා කරන්නා සේ ය. ඒ වූ කලී ආත්මීය ආමන්ත්‍රණයකි. මෝහනයට පත් වූ කෙනෙක් ඒ තත්වය ට ඔහු ව පත් කළ තැනැත්තා ඉල්ලා සිටින ඕනෑ ම දෙයක් කරන්නා සේ, මා ද වනාකාරයේ පැතිර පැවතියා වූ අසීමිත සොබා දහම ඉල්ලා සිටින ඕනෑ ම දෙයක් කරන සූදානමකට හදවතින් පත් ව සිටියෙමි.

හැන්දෑව කුර ගගා ආවේ ය. අලි බලන්නට ඕනෑ කියමින් පිරිමි ළමයින් පිටත රැඳෙන්නට උත්සාහ කළ ද තාත්තා ඒ කිසි කෙනෙකුට ඉඩ දුන්නේ නැත.

“මේක කොල්ලො ටිකක් ආපු වීර චාරිකාවක්  නෙවෙයි. මෙතන වයස අය ගෑනු අය ලෙඩ්ඩු ඔක්කොමල ඉන්නව. එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගෙ වීර කමක් හින්ද ඒ හැමෝගෙම ජීවිත අවදානමකට දාන්න බෑ”

තාත්තා කිසිවෙකුට පිටත රැඳෙන්නට දුන්නේ නැත. නවාතැනෙහි ඇතුළත වුව වැඩිපුර උස් කට හඬවල් ඇති වන්නට නො දෙනා ලෙස මුරකරු ඉල්ලා සිටියේ ය. ජනේල හැර තිබුණොත් අලියා හොඬවැල ඇතුලට දමා කෑම සෙවිය හැකි බව ද පැවසිණ. ඒ ඇසෙත්දී නම් මගේ ඇඟ වෙව්ලා ගියේ ය.

“එහෙනං ඉතිං අද රෑට ගෑනු පිරිමි මල් පළතුරු කරන්න තමයි වෙන්නෙ”

මල්ලී කෙනෙක් අපේක්ෂා භංගත්වයට පැමිණ කීවේ ය. ළමයින් යළිත් දුරකකන වලට මූණු ඔබා ගත් අතර සංඥා ප්‍රශ්න නිසා මූණු ඇඹුල් කර ගත්හ. සමහරු කලින් බා ගත කර ගත් චිත්‍රපට නැරඹූහ.

ගැහැනු අය උයත්දී මම අත් උදව් දෙන්නට ගියෙමි. ලොකු අයියා හා රවීන් මා පොල් ගානා තැනට විත් කියවමින් සිටි අතර ඒ දුටු කොල්ලෙක් කෑ ගසන්නට වූයේ ය.

“ලැජ්ජ නැද්ද හලෝ කුස්සයට රිංගං ඉන්නෙ…කොල්ලෙක් නේද…සනූ කොතනද තමුසෙ එතන නේ…”

ඒ සරදම ලොකු අයියා ට ය. අප පොඩි කාලේ සිට ම පවුලේ බොහෝ අය ඔය විහිළුව කළ නිසා මට සේ ම ලොකු අයියාට ද එහි එතරම් නැවුම් බවක් වන්නේ නැත. ඒ යල් පැන ගිය විහිළුවකි. අප දෙදෙනා දිනෙක විවාහ වනු ඇත කියා ද නැන්දලා අතරේ කසු කුසුවක් තිබිණි. නමුත් එය සිදු වන දෙයක් නො වන බව නැන් ඔවුහු ප්‍රත්‍යක්ෂ කොට ගෙන සිටිති.

“යකෝ අපි මෙතන මේ ගෑනු කට්ටියගෙ පරිස්සමට ඉන්නෙ. අලියා ආවොත් මොකද කරන්නෙ…තොපි වගේ නෙවෙයි අපි ඒව හිතනව”

ලොකු අයියා ද කෑ ගෑවේ ය.

“ෂ්..”

කුස්සිය දෙසින් කාන්තාවන් කිහිප දෙනෙකු ගේ ම සංඥාව එක වර ඇසිණ.

“නම කිය කිය කෑ ගහන්න එපා ළමයො”

ඒ අනතුරු ඇඟවීම අලියා ගේ නම කියන්නට එපා කියා ය. සාමාන්‍ය ආකාරයට ඉන්නා උත්සාහයක් ගනිමින් සිටියා ට බොහෝ දෙනෙකු ගේ හිත් වල වූයේ අලියා ගැන වන බියයි. එය සාධාරණ බියකි. හස්තියෙකු ගේ දේහ ශක්තිය ඉදිරියේ මිනිසා කදෝ කිමියෙකි.

ඉක්මනින් මේ රැය පහන් කර ගන්නට හැම කෙනෙකුට ම ඕනෑ වී තිබිණි.

“මළා වගේ නිදියන්නෙ නැතුව සද්දයක් ආවොත් පොඩ්ඩක් කන් දීලා බලන්න ඕනෙ”

නිදන්නට පෙර ආච්චා පොදුවේ කාටත් මතක් කිරීමක් කළා ය. මරණ බය කියන දේ වඩා හොඳින් විඳ ගත හැකි වන්නේ එය මුහුණට මුහුණ හමු වූ විට ය!

පහන් වූ උදය, මගේ මෙතෙක් දිවියේ මා අවදි වූ ලස්සන ම උදය කීවාට අතිශයෝක්තියක් නොවන බව කියමි. කුරුලු පාරාදීසයක් මැද්දේ මා නිදමින් සිටිනවා දැයි කියා සිතෙන තරමට, කුරුලු කූජන මා වට කොට ගෙන තිබිණි. මා නෙතු හැරියේ ම සිනහ වී ගෙන ය.

සොබා දහම මා අමතමින් තිබේ!

මම ඉක්මනින් මුව දොවා ගෙන පිටතට ගියෙමි. බලන බලන අත පරිසරය ය! සොබා දහමේ සජීවී බව අඩු නැතිව විඳ ගත හැකි වන්නේ එහෙව් පරිසරයකදී ය.

මම දෑත් පපුවේ බැඳ ගෙන හිස මඳක් ඉහළට හරවා ගෙන එක තැන වටයක් කැරකුණෙමි. සොබා දහමේ අංශුවක් වීමේ සතුට හදවත පුරා විඳ ගතිමි.

“ගුඩ් මෝනිං”

රවීන්!

මම දෙතොල් තද කොට සිනහවක් ඔහු ට තිලිණ කළෙමි. ඇස් වඩාත් කුඩා කොට හෙතෙම බලා සිටියේ දැරියක ගේ දඟකම් නිසා සතුටු වන වැඩිහිටියෙකු වාගේ ය.

“පායන ගමං ඉර වගේ”

මට සිනහා නැගිණි.

“ඇයි හිනා වෙන්නෙ…”

“නෑ. ඒක අලුත් උපමාවක් වගේ දැනුණ. සාමාන්‍යයෙන් ගෑනු ළමයෙක්ව උපමා කරන්නෙ හඳටනෙ…ඉරට නෙවේනෙ…”

“ඉර කියන්නෙ අනුන්ගෙ එළියකින් බබළනව වෙනුවට තමන්ට ම කියල බැබළීමක් තියෙන කෙනෙකුටනෙ”

තත්පර කිහිපයක් මම ඔහු දෙස ම බලා සිටියෙමි. අපේ අයගේ ඇස් බොහොමයක් අප වෙත දැල්වී තිබිය හැකි බව සිහි වූයේ ඉනික්බිති ය.

“දෙයක් නැති වෙන්න ඕන ඒ දේ අගේ දැනෙන්න කියලනෙ කතාවට කියන්නෙ. ඒත් මට දැන් හිතෙනව…දෙයක් නැති වෙන්න ඕන ඊට වැඩිය හොඳ දෙයක් අපේ ජීවිත වලට එන්න කියල. එහෙම වාසනාවක් ලැබීමක් තියෙනවනං සොබා දහම අපිට කොයි විදිහකින් හරි ඒ ඉඩ හදල දෙනව ඇති”

“මට සතුටුයි”

කුඩා කල අලුත් බෝනික්කෙකු අත පත් දාක වූ සතුටකින් මම මිමිණුවෙමි. රවීන් ඇයි කියා ඇසුවේ ඇස් වලිනි.

“තාත්තා ඔයාට කැමතියි වගේ. එයත් ආස කපුගේගෙ සින්දු වලටනෙ”

එවර ඔහු තරමක් හඬ නැගෙන සේ සිනහ වූයේ ය.

“එක සමාන කමක් තිබුණයි කියල ඒකෙන් අදහස් වෙන්නෙ නෑ එයා මට එයාගෙ ඇස් දෙක වුණත් දෙනවයි කියල…”

කට්ටිය බස් රියට නැගෙන්නට වූයෙන් අපි ද ඒ දෙසට ගියෙමු. මේ සුවිශේෂ වූ පරිසරයෙන් නික්ම යන්නට වීම හිතේ ඇති කොට තිබුණේ තරමක දොම්නසකි. නමුත් ආවොත් යා යුතුමය යන සොබා දහමේ නියතයට අප නතු විය යුතු ම ය.

“එහෙමත් හාමුදුරුවරු ඉන්නව නේ…”

නැන්දා කෙනෙකු කියනු ඇසිණ.

“ඒ අතරෙ වැඩිපුර ඉන්නෙ කොයි වෙලේ කසාදයක් බැඳ ගන්නද කියල බලං ඉන්න චීවර ධාරියොනෙ”

ඒ ඇනුම් පදය වෙන කිසිදු හේතුවක් නිසා නොව තනිකර ම ශෙහාරා ඉලක්ක කොට ගත්තක් බව මම ඉඳුරා දනිමි. ශෙහාරා ගේ මූණ අඳුරු වී ගියේ ය. නමුත් ඕ සිය බැල්ම හෝ වෙනස් නොකර, ඇතැම් විට ඒ කතාව නෑසුණ සෙයින් වීදුරු කවුළුවෙන් පිටත බලා සිටියා ය. මගේ ළයෙන් බර හුස්මක් පිට විණි.

“ඇයි..ශෙහාරා ගැන අප්සට් ගියා ද…”

මගේ මිතුරා සුනෙත් හරියට ම මා තේරුම් ගත්තේ ය. ඒ වගේ කෙනෙක් ජීවිතය පසෙකින් සිටීම සැබවින් සැනසිල්ලකි.

“මිනිස්සු ඇයි සුනෙත්  තමන්ට කිසි ප්‍රයෝජනයක් නැතත් අනිත් මිනිහෙකුට රිද්දල සතුටු වෙන්න හිතන්නෙ…අපි ඉන්න රාමුව ඇතුළෙ හැම මිනිහෙක්ම ඉන්න ඕන කියල හිතන එක කොච්චර නැරෝ මයින්ඩඩ්ද…දැං සද්ද නැතුව අහක බලං හිටියට අර කෙල්ලට කොච්චර රිදෙන්න ඇද්ද…”

මගේ හඬ බිඳී ගියේ උගුර රිදවමිනි. මා හිතන්නටත් පෙර ඇස් ද තෙත් වී ආවේ ය.

“ඒයි…අඬනවද ඔය…උඹ මාර හොඳයි සනූ. අනිත් එකෙක් වෙනුවෙන් හිත රිද්දගෙන ඇහැට කඳුළක් ගන්න පුළුවන් එවුන් මේ කාලෙ හරි අඩුයි බං”

ශෙහාරා රිදුම් ලබා ඇත්තේ යම් සේ ද මම ද එසේ ම රිදුණේ වෙමි. එය ඈ වෙනුවෙන් පමණක් ඇති වූ රිදුමක් ම නොවේ. මා ද ඇතුළු හැම ගැහැනියක වෙනුවෙන් ම හැම මිනිසෙකු වෙනුවෙන් ම උපන්නා වූ රිදුමකි. අප මිනිසුන් වශයෙන් ඉපදුණේ ඉතා කෙටි ජීවිතයක් මිට මොලවා ගෙන බව බොහෝ විට අපට අමතක වන්නේ ය. ඒ ජීවිතය තුළ උපරිමය ජීවත් වී මිය යනු විනා, අනුන් ගේ ජීවිත පාලනය කිරීමේ හැකියාවක් අප සතු නොවන බව අපි අමතක කරමු. නැත්නම් ඒ බවක් නො දැන ඉමු. අනුන් ගේ ජීවිත වල පාලනය අප රිසි පරිදි කරන්නට වෙහෙස වී, අන්තිමට බොහෝ දෙනෙකු මිය යන්නේ සිය ජීවිතය උපරිමයෙන් ගත නොකොට ය.

එදා රාත්‍රිය වන විට අපි චාරිකාව නිමා කොට ගෙවල් වලට සේන්දු වුණෙමු. ඒ තෙදින තුළ මා රවීන් ට තව දුරටත් බැඳුණා ය යන්න පිළි ගත යුතු ය. ගෙදර විත් දිය නා කාමරයේ යහන් ගත ව විවේක ගනිමින් සිටියදී නංගී මා කොහෙත් ම අපේක්ෂා නො කළ ප්‍රශ්නයක් ඇසුවා ය.

“දැං ඔය ගින්දරට පනින්න හදන්නෙ පිච්චෙනව කියල නොදැනද…”

මම වහා හිස හරවා ඇදෙස බැලුවෙමි. ඇය අදහස් කරන්නේ රවීන් ගැන ද? අප අතරේ පෙම් සබඳකමක් ඇති ව තිබෙනවා යි ඇය නිශ්චය කොට ගෙන ද? නැත්නම් ඇය ට තියෙන්නේ සැකයක් පමණක් ද?

“ඔව් මං කියන්නෙත් ඔයා හිතන කෙනා ගැන තමයි”

ඇය ඔහු ගේ නම නො කීම ගැන මම දෙවියන් ට පින් දුනිමි. බිත්ති වලටත් කන් තිබිය හැකි බැවිනි.

“පිච්චෙයි නංගි. කරන්න දෙයක් නෑ…”

මම උගුර යටින්, හඬ පිට වෙන නො වෙන තරම් පහළ ස්වරයකින් කීවෙමි.

“අක්…කෙ…”

“මට එයා ඕනෙ නංගි”

“ඉඳල ඉඳල නැවතිච්ච තැන. මට ඔයා ගැන බයයි ඕයි. අනික තාත්තා…තමුසෙව මරයි. මරල ගඟකට දායි මාළුන්ට කන්න”

“තාත්තා එහෙම නෑ”

“එහෙම නැතිවෙයි රටේ ලෝකෙ අනිත් අයට..ඒත් එයාගෙ දුව කසාද බැඳපු මිනිහෙක් එක්ක යාළු වුණා කියල දැන ගත්තහම අනේ කමක් නෑ එයාගෙ කැමැත්තනෙ කියල කියන්න තරං විසාල හදවතක් එයාට ඇති කියල හිතන්න පුළුවන් ද…”

නංගී දෙයක් දිහා බලන්නේ තර්කානුකූලව ය. නීතීඥ නෙතකිනි. නමුත් මම හැම දාමත් හදවතින් තීරණ ගත්තියක වීමි.

“කෑ ගහන්න එපා. එළියට ඇහෙයි”

මම කෙඳිරුවෙමි. මගේ හඬ ඉතා ම දුර්වල තත්වයක වූයේ ය.

“යක්කුන්ට බයේ ද සොහොනෙ ගෙවල් හදන්න යන්නෙ”

ඇය අවඥාවෙන් ඇසුවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles