සුහදිනී -71

“මමයි අම්මයි ඔයාට බෝධි පූජා තියන්න යන්නේ”

සකී එක්තරා උදෑසනක අහස්ව අවදි කළේ එසේ කියමිනි.තරගාවලිය ඇරඹෙන්නට වැඩි දවස් නොවේ.අහස්ගේ අම්මා සකීව ද ඇගේ බෝධි පූජා වෙනුවෙන් සහභාගි කරගන්නට තීරණය කර තිබුණා ය.

“ඔයා එන්න ඕන නෑ.ඔයා ගිහිල්ලා ප්‍රැක්‍ටිස් කරන්න.”

ඇය ඊළඟ තීරණය එසේ ලබා දුන්නා ය.කොහොමටත් මීට පෙර ඔහු වෙනුවෙන් ඇය ප්‍රාර්ථනා කළ දේ බොහෝ වේ.එය දැන් වෙනස් වන්නේ ඔහුගේ අම්මා සමඟ එවැනි ගමන් වලට එක් වන්නට සිදුවීම නිසා ය.

“කොහොමටත් මාව පන්සලක දැක්කොත් මඩ කරියන්ට හරි ෂෝක් වෙයි.”

අහස්ට තිබුණේ එවැනි පිළිතුරකි.ඔහුගේ ජීවිතය ඇත්තටම අසීරු එකක් බව එවැනි වචන වලින් පැහැදිලි වෙද්දී සකීට වේදනාවක් ඇති වේ.

“ප්‍රැක්ටිස් කරන මොකක් හරි වීඩියෝ කෑල්ලක් අල්ලන් කොච්චර වැඩ දැම්මත් උඹ ඉතිං මැච් එකේදී පිස්සු නටනව කියන උන් මම මල් වට්ටියකුත් අරන් පන්සලක ඉන්නව දැක්කොත් මොන කතා කියයිද?”

අහස්ගේ කටහඬ කළකිරීමෙන් පිරී ඇත.ඔවුන් සම්බන්ධයෙන් රසිකයන්ගේ ආදරය කාලගුණය වාගේයැයි සකී සිතුවා ය.ඇතැම් වේලාවට සකීට වඩා ආදරයක් රසිකයන් ඔහුට පිරිනමමින් හිඳින බව ඇයට වැටහේ.එහෙත් සමහර වෙලාවට ඔවුන් හන්දා අහස් රිදවා ගන්නා තරමත් බිඳී යන තරමත් පිළිසකර කිරීම සකීට ඉතා අසීරු දෙයකි.

“හැම මනුස්සයෙකුටම විශ්වාසයක් තියෙන්න පුළුවන්.ඒ විශ්වාසයට හැම දෙයක්ම බාර කරලා ඉන්න එක වැරදි වුණත් දේවල් විශ්වාස කරන එක වැරදි නෑ.”

සකීට කියන්නට තිබුණේ එහෙම කතාවකි.ඇය සූරියකාන්ත මලක් අඳිමින් අහස්ගේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන විට එය ඉටුවීම ගැන හේතු පැහැදිලි කරන්නට සකි නොදනී.නමුත් කුමක් හෝ දෙයක් සිදුවන බව පමණක් ඇය දැන සිටියා ය.අදහන ආගමට අනුව හිත සැනසෙන දේවල් කිරීමේ වරදක් ද නැත.ඒවාට අනෙක් අය බලහත්කාරයෙන් සහභාගී කර ගැනීම මිස තමන්ගේ සීමාවේ සිටිමින් දේවල් කිරීම කිසිම වරදක් නැති දෙයක් බව සකී විශ්වාස කරන්නී ය.

“අහස්ට මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන්නේ ඔයයි ආන්ටියිනෙ.ඔයාලා ගිහින් ප්‍රාර්ථනා කරන දේවල් වරදින් නෑ.ඒ නිසා මේ අවුරුද්ද අහස්ගේ අවුරුද්ද වෙයි.”

නිම්නා සහතික වූවා ය.වඩා සංවේදී වෙද්දී ඉතා ඉක්මනින් සරදමක් කර තත්ත්වය පාලනය කරන නිම්නා ඉන් අනතුරුව හිනා වෙන්නට කාරණාවක් සොයා ගත්තා ය.

“ඒ වුණාට අර රෙකෝඩ්ස් ටික හදා නොගත්තොත් නම් මං අනිවාර්යයෙන් අහස්ගෙ බෙල්ල කඩනව.”

සකී සිනාව වළක්වාගෙන නපුරු මුහුණක් මවා ගත්තා ය.

“මගේ සුදු මහත්තයගෙ බෙල්ල කඩන්න හිතුවා මදි.”

එහෙත් නිම්නාට ඒ තර්ජන වල ගණනක් නොවේ.

“අනේ උඹේ සුදු මහත්තය! බලපං ෆේස්බුක් ගිහින්.කෙල්ලො කීයක් නම් එස් අකුරට සී අකුර දාලා අහස්ට සුදු මහත්තයා කියලා ෆොටෝ අප්ලෝඩ් කරනවද? උඹේ ෆොටෝ එකට සමහරු ඇන්ග්‍රි රිඇක්ෂනුත් දාලා.අඬන ඉමෝජි දාපු උන්ගෙන් මම ගිහින් ඇහුව දුකද සුදු නෝනා කියලා.”

කොණ්ඩය පීරමින් සිටි සකීට උස් හඬින් සිනා නැඟේ.රන්මිණි නවාතැන අතැර ගොස් ටික කාලයකි.ඇය මෙතැන සිටියා නම් ඒ කපුටු පිහාටුව කපුටන් හතක් නොව විසි එකක් වන බව සකී දන්නී ය.එහෙත් නිම්නා කියන්නේ වේදනා පවා සරදමකින් මකා දමන මිතුරියකි.

“කෙල්ලො අහස්ට පිස්සු වැටුණම තමයි අහස් විකට්ස් දහයම ගත්තත් ඒ වුණාට උඹට විකට් පහළොවක් විතර ගන්න තිබ්බ දෙපාර දෙපාර අවුට් කරලා හරි කියලා කොල්ලො බනින්නෙ.කසාදෙන් පස්සෙවත් ඒ අහිංසකයට ඔය කොල්ලන්ගෙ වෛරෙ නැති වෙනවනම් හොඳයි.අපරාදෙ කියන්න බෑ මගේ මස්සිනා ලස්සනත් වැඩීනෙ.”

නිම්නා එසේ කියද්දී සකීට කියන්නට තිබුණේ සංවේදී කාරණාවකි.

“මං වැඩිය නොහිත හිටියට අහස්ලගෙ අම්මලා වෙඩින් එකට ලෑස්ති වෙනව තමයි නිම්.”

එහි නොසිතා ඉන්නට දෙයක් නිම්නාට නොවේ.ඇයට ඒ සිහිනයක් බඳු විවාහ මංගල්‍යය ගැන සිතීම පවා මිහිරකි.සහෝදරියක හා සම වෙන මිතුරිය ඉලංගසිංහ මහත්මිය වීමෙන් පසු උසස් සහ ධනවත් සමාජ ස්ථරයකට හිමිකම් කියන බව නිම්නා දනියි.නමුත් රන්මිණි කළාක් මෙන් ඒවාට ඊර්ෂ්‍යා කිරීම වෙනුවට ඒ ගැන සිතමින් දින ගණන් සන්තෝස වීම නිම්නාගේ සිරිත ය.

“අයිපීඑල් වලින් කෝටි ගණන් හොයන කොල්ලෙක් සෙට් වුණෙ සකීට.ලස්සෙට කොඩි දැම්මෙ නිම්නා.”

සරසවි මිතුරියන් එසේ කියන්නේ සරදම පිණිසම නොවේ.ඊර්ෂ්‍යාව නිසා ද බව නිම්නා දනියි.නමුත් අහස් සකීට දෙන මිලාධික සුවඳ විලවුන් වර්ග වැනි ත්‍යාගවල නිම්නාගේ කොටසට නිම්නාගේ ලෝබකමක් නොවේ.ඉලංගසිංහ මහත්මිය වී සකී ඇයව සම්පූර්ණයෙන් ම අමතක කළ ද ගැටළුවක් නැත.සුන්දරම කාරණාව සකීට ඇගේ සංසාරගත ප්‍රේමය හිමි වීම ය.

“ඔයා තාම බඳින්න බයෙන්ද?”

නිම්නා එසේ ඇසුවා ය.සකී තිගැස්මෙන් නම් ඒ තිගැස්ම නැති කිරීම තමන්ගේ පරම යුතුකම බව ඇය සිතයි.

“ඒ ලෙවල්ස් ඉවර කරලා කැම්පස් ආවා.දැන් මෙහෙමම මැරි කරනව.මම අම්මලගෙන් ඈත් වුණා ඉක්මන් වැඩී කියල මට හිතෙනව.”

සකීගේ ඇස කඳුලක් උනා තිබිණ.පවුලේ එකම දියණිය ලෙස දෙමාපියන්ගෙන් ඈත් වීම පහසු හැඟීමක් නොවේ.

“මට අම්මලා එක්ක ඉන්න් පුලුවන් කියල මං දන්නව.අහස් වැඩිය රටෙත් නොඉන්න නිසා මම නුවරයි කොළඹයි මාරු වෙවී ඉඳිවී.ඒත් මං තවදුරටත් අම්මලාට අයිති නෑ වගේ හැඟීමක් එනකොට හරිම අමාරුයි.”

විවාහ වන තීරණයට එළඹියේ නම් මේ තරමට බොළඳ වීම ඵල රහිත බව සකී හොඳින්ම දන්නී ය.නමුත් ඇයට අමුතුම හිස් බවක් ද තිගැස්මක් ද දැනේ.ඒ හැඟීම තෝරා ගන්නට පවා ඇය අපොහොසත් ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles