සඳක් කළ සක්මන් -32

මේ හැබෑවක් ද නැත්නම් හීනයක් ද කියා හිතන්නට මට ඕන වුණේ ය. මම නෙරංජලා ට නො පෙනෙන සේ යන්තම් මගේ අතක් කොනිත්තා බැලුවෙමි. අත රිදුණේ ය. ඒ නිසා මේ සිහිනයක් නොවේ යි මම සිතා ගතිමි.

“ආ පූජා…ඔයාගෙ අකමැත්තක් නෑ නේද පුතේ…ඕනෙනං මං ඔයාගෙ අම්ම තාත්තා එක්කත් අද ම කතා කරන්නං”

“අනේ ආන්ටි…”

මා හිස නගා ඈ දෙස බැලුවේ එසේ කියා ගෙන ය. සොරොව් හැරියා සේ මගේ ඇස් වලින් කඳුළු කඩා හැලෙන්නට ගති. දුකට සේ ම සතුටටත්, පුදුමයටත් ගැහැනු ඇස් වලින් කඩා හැලෙන කඳුළු!

නෙරංජලා මා තුරුලු කොට වැළඳ ගත්තා ය. 

“දුවෙක් නැති මට ඕනෙ ලේලි කෙනෙක් නෙවෙයි පුතේ. දුවෙක්”

නෙරංජලා ගුරුගේ ගේ ඇසින් වට කඳුළක් මගේ හිස් මුදුනෙහි සීතලට දිය වී යනවා මට දැනිණ.

“අම්…ම…”

මම නුහුරට තොල් මතුළෙමි. ඇය කොයි තරම් වෙලාවක් මා තුරුලු කොට ගෙන සිටියා දැයි නිනව් නැත. ඈ මා මුදා ලත්දී, ආරුක්කුවට හේත්තු වී අත් දෙක පපුවෙහි බැඳ ආකාශ් අප දෙස බලා උන්නේ ය.

“පූජා කැමතියි අපේ දුව වෙලා මෙහෙට එන්න”

නෙරංජලා කඳුළු අතරින් සිනහ වෙමින් ආකාශ් ට කීවේ ය.

“ඔයාගෙං අහන්න දෙයක් නෑ කියල මං දන්නව. මේ කෙල්ලව එදා අර බිග් ගර්ල් පාටි එකේදි දැක්ක වෙලාවෙ ඉඳලම ඔයාගෙ ඇස් හෙව්වෙ මෙයාවයි කියල මං දන්නවනෙ”

“මේක මාර කතාවක්නෙ”

ආකාශ් ඇස් නළලේ හිඳුවා බලා සිටියදී නෙරංජලා එතැනින් නික්ම ගියා ය. ආකාශ් හෙමිහිට මට සමීප වූයේ ය.

“එග්සෑම් පාස් වුණාට අම්මගෙං ගිෆ්ට් එකක් ලැබිල වගේ…”

ඒ හඬෙහි සේ ම ඇස් වල ද ආදරය දෙගොඩ තලා යමින් තිබිණ.

“මාව ඇයි දෙයියනේ ඕගොල්ලන්ට මෙච්චර වටින්නෙ…ලොකු ළමයෙක් වෙච්ච වෙලාවෙවත් රත්තරං කරාබු දෙකක් තරං දෙයක් කනට වැටෙන්න පිණක් නොතිබුණ මට…ඕගොල්ලො…”

“පූජා…නංගි…”

මට හඬන්නට ඕන වුණේ ය. ඉකි ලලා හඬන්නට ඕන වුණේ ය. ආකාශ් මා සිය ළයෙහි හොවා ගෙන ඊට සුවැති නවාතැනක් තනා දුන්නේ ය. 

“සමහර බැඳීම් වලට හේතු අරං එන්නෙ සංසාරෙන් කියල ඔයාමනෙ කිව්වෙ…”

“මං කොහොම වුණත්…මගෙ දුප්පත් අම්මයි තාත්තයි මෙහෙම දෙයක් දරා ගන්නෙ කොහොමද අයියෙ…”

ඒ රාත්‍රිය මගේ ජීවිතයෙහි හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් කළේ ය. අම්මා ට හා තාත්තා ටත්  රාත්‍රී ආහාරය සඳහා ගුරුගේ මැදුරට ඇරයුම් කෙරිණි. නෙරංජලා ගුරුගේ මා ගැන අදහස ඉදිරිපත් කළ වෙලේ තාත්තා ගේ ඇස් වලට කඳුළක් පුරා ආවේ ය.

“අපෙං අහන්න දෙයක් නෑ මැඩම්. ලොක්කි එක්ක කතා කරගෙන ඕන දෙයක්…”

තාත්තා ඉවත බලාගෙන, අසරණ සිනහවකින් කීවේ ය. මට ඔහු ට තුරුලු වී හඬන්නට තරම් සිත් වූයේ ය.

“එහෙම කියන්න එපා රංජි. ඔය දෙන්න තමයි මේ වගේ දරුවෙක් හදපු දෙමව්පියො. ඒ ගෞරවේ හැමදාම ඔය දෙන්නට තියෙනව”

“අපි ඉතිං මේ වගේ තැන් එක්ක පෑහෙන්න පුළුවන් මිනිස්සු නෙවෙයි කියල ආනන්ද සර් දන්නවනෙ”

“රංජී…මිනස්සු පෑහෙන්න ඕන මනුස්සකං අතිං. රංජි ඔය ආස්සරේ කරන සමාජෙත් එක්ක නීති විරෝධී සහ පවුලක දියුණුවට අහිතකරයි කියල පිළිගන්න දේවල් එක්ක ගනු දෙනු කිරීමනෙ ප්‍රශ්නෙ. එහෙම නැත්තං රංජි කියන්නෙ හොඳ හදවතක් තියෙන මනුස්සයෙක්. ඕන කෙනෙක්ගෙ ඕන දේකට බැහැලම උදව් පදව් කරන මනුස්සයෙක්. රංජි හම්බ කරල තියෙන වත්කම තමයි ඒ. අවුල තියෙන්නෙ රංජි ඒ දේවල් භාවිතා කරපු විදිහෙයි. ඒව හදා ගන්න බැරි දේවල් නෙවෙයි රංජි”

තාත්තා ගැන මා හිතා ගෙන උන්නාටත් වඩා ධනාත්මක ලෙස ගුරුගේ ලා සිතීම, මගේ හිතට සැනසීමක් දැනවී ය. නංගී ට යවන ලෙස නෙරංජලා මට බත් මුලක් ඔතා දුන්නා ය. මම එය තාත්තා අතේ ඇය වෙත හැරියෙමි.

“හරිම පුදුමයි නේද…”

ගෙදර ආ අම්මා කීවා ය. ජීවිතයෙහි වන අභිරහස ඔවුන් ඒ දුටුවා ම ය. හැමදාමත් ජරාජීර්ණ ජීවිතයක සුන් බුන් අස්සේ හිර වී ගෙන උන් ඔවුන්, උරුමය කියා සිතුවේ එය ය. මුල සිට ම එය කරුමයක් සේ පෙනුණේ මට ය. ඒ නිසා ම ඉන් මිදී යාමේ වෙර දැරුවේ මා ය. ඒ ජීවිතය ට එපිටින් වන යමක් සිහිනයෙන් හෝ නොදුටු නිසා ද මන්දා ඇතැම් විට අම්මා සේ ම තාත්තා ද මට සිනහ වූහ. සමච්චල් කළහ. 

“පුදුමයි නේන්නං ඕයි. කොහොමත් ලොක්කි කියන්නෙ අපේ පවුලට ලැබෙන්න තිබුණ ළමයෙක් නෙවෙයි. ලොක්කි පොඩි කාලෙ ඉඳලම ජීවත් වුණෙත් අපේ පවුලෙ නෙවෙයි වගේනෙ. ලොක්කි ට උරුම තැන තමයි ඒ. අපිට තියෙන්නෙ  ලොක්කිව ඒ මිනිස්සුන්ට බාර දීල පැත්කකට වෙලා ඉන්න. ඒක තමයි සුමිත්‍රා අපෙං වෙන්න ඕන දේ”

මම කාමරයේ සිට අසා සිටියෙමි. තාත්තා කතා කළේ වේදනාවකිනි. අම්මා ඉඳ හිට හ්ම් මිටි තැබුවා පමණකි. මේ වගේ තත්වයක් ගැන කතා කරන්න ට තරම් හෝ සමාජ අවබෝධයක් අම්මා ට වේ යයි මම නො සිතමි. නමුත් අනාගතයේ දිනෙක වෛදවරියක ලෙස ලෝකය ඉදිරියට පිය නගන දියණියක, ඔවුහු ලෝකයට දායාද කළහ.

පසු දා මා ආකාශ් ගේ රියට නැගුණේ ලෝකය ම නො දන්නා රහසක්, ඔහු ගේ පෙම්වතිය ය යන රහස සඟවා ගෙන නොවේ. ඔහු ගේ ජීවිතයේ පසෙකින් ඇවිද යන්නට දෙපස මා පිය ආශිර්වාදය ලද සාඩම්බර පෙම්වතියක සේ ය. රිය පණ ගන්වන්නට පෙර ආකාශ් තත්පර කිහිපයක් මදෙස බලා ගෙන ම සිටියේ ය.

“මො…කද…”

මම සිනහ වෙවී ඇහුවෙමි. ඒ දෙතොල් පෙති අතරේ සිනහ මල් විලක් පිපිණි.

“නෑ…නුවරත් පැද්දනෙ මං මෙයාව බලන්න කියල මතක් වුණා”

ඔහු රිය පෙරට ගත්තේ ය. මම සුසුමක් හෙළුවෙමි. කවදත් මේ ජීවිතයට මම ආදරය කළෙමි. ජීවිතය වූ කලී මිහිරිවට තාල නැගූ ගීතයක් බව මම දැන උන්නෙමි. නමුත් මේ වන තුරු මට අත්විඳින්නට වූ ජීවිතය කටුක එකකි. විටෙක මම ළය පාරන වේදනාවෙන් හඬා වැටී ඇත්තෙමි. නමුත් ජීවිතය හැර යන්නට කිසි දා මම සිතා නැත්තෙමි. ඒ වෙනුවට ජීවිතයේ අභිරහස් ප්‍රීතිය දිනෙක නිරාවරණය වන තුරා බලා සිටියෙමි.

“මොනාද කල්පනා කරන්නෙ…ම්..”

ආකාශ් මගේ සුරත සිය වමතින් අල්ලා ගත්තේ ය. මම ඒ අත මගේ දෝතින් ම තුරුලු කොට ගතිමි.

“මගෙ ජීවිතේදි මං දැක්කෙ මහ නරකාදි පිරිමි කිව්වට වැරදි නෑ අයියෙ. කොණ්ඩ රැවුල් පිස්සො වගේ වවාගෙන…කරාබු දාගෙන…සිගරට් හරි අරක්කු හරි වෙන  ඩ්‍රග්ස් ජාතියක් හරි බීගෙන…අප්පිරිය හිතෙන ඇස් දෙකකිං ගෑනු දිහා බලන…ඉඩක් ලැබුණ ගමං ගෑනු රවට්ටගන්න…ගෙනියන්න පුළුවන් තැනකට අරං ගිහිං ගෑනු ශරීර වලිං විඳින්න පුළුවන් සතුටක් විඳල උංව හපයක් වගේ පැත්තකට විසි කරල දාන…ගෑනු රේප් කරල ඔහේ නැගිටල යන පිරිමි. අපි අතරෙම හිටපු ගෑනු ළමයි ඕන තරං ඒ වගේ පිරිමිත් එක්ක සම්බන්දකං ඇති කරං හිටිය. මට නං හිතා ගන්නවත් පුළුවන් වුණෙ නෑ කෙල්ලෙක්ට එහෙම පිරිමියෙක් ගෙං ලැබෙන ආදරේ මොකද්ද කියල. සමහරු මට හිනා වුණා මං හිතං ඉන්න විදිහෙ හොඳ පිරිමි මේ කාලෙනං මේ ලෝකෙ නෑ කියල. ඒ වුණා ට මගෙ හිතේ ජීවත් වුණ ආදරණීය පිරිමියව මං කවදාවත් අවිශ්වාස කළේ නෑ. සැක කළේ නෑ. අප්‍රමාණ නරක පිරිමි ඇස් දෙකෙං දැකල තියෙන මට…ඔයා කොහොමද ඔහොම හොඳ වුණේ කියල අහන්න ඕන නෑ…මොකද අර මගෙ හිතේ ඉන්න පිරිමියව ප්‍රශ්න කරන්න මට ඕන නැති නිසා. ඒත් මේ ලෝකෙ හුඟක් ගෑනු ප්‍රශ්න කරනව අයියෙ…කොහෙද හොඳ පිරිමි ඉන්නෙ කියල..”

ආකාශ් සුසුමක් මුදා හරිමින් මගේ අතින් සිය අත මුදා ගෙන සුක්කානම අල්ලා ගත්තේ ය. ඔහු තත්පර කිහිපයක නිහඬ කල්පනාවකට වැටෙන බවක් පෙනිණ. මම නිසොල්මනේ සිටියෙමි. ආකාශ් මඳ වෙලාවකින් හිස යන්තම් හරවා මදෙස බලමින් කතා කළේ ය.

“අපි කවුරුවත් සම්පූර්ණයෙන් ම හොඳ මිනිස්සුවත් සම්පූර්ණයෙන් ම නරක මිනිස්සුවත් නෙවෙයි පූජා. නමුත් වැඩිපුර හොඳ ගතිගුණ තියා ගන්න එක තමයි වැදගත්. ඔයාගෙ තාත්ත ළඟ වුණත් හොඳ ගතිගුණ නැතුව නෙවෙයි. හැබැයි අර නරක ආස්සරේ නිසා නරක දේවල් ඉස්මතු වෙනව වැඩියි”

කෙතරම් සරල ජීවිතාවබෝධයක් ඔවුන් සතු වන්නේ ද? රෝහල වෙත යනු වෙනුවට ආකාශ් මා කැටිව ගියේ උසස් පෙළ පන්ති පැවැත්වෙන ආයතනයක් වෙත ය. පුනරීක්ෂණ පන්ති සඳහා මම ලියා පදිංචි වුණෙමි. විභාගය වෙනුවෙන් තව වැඩි කාලයක් ඉතිරි වී තිබුණේ නැත. පාඩම් වැඩ සඳහා අවශ්‍ය කරන නිවාඩු ලබා ගන්නා ලෙස ආකාශ් යළි යළිත් මට මතක් කළේ ය.

මම මුළු වෙර යොදා පාඩම් පුනරීක්ෂණය කරන්න ට පටන් ගතිමි. වැඩ කරන ගමන් ම පන්ති ගියෙමි. රෝහලේ වැඩ ද උපරිමයෙන් සොයා බලා කළෙමි. දොස්තර විනූ මා කෙරේ නො රිස්සුම්  සහගත වන බවක් පෙනුණේ ය. ඇය මගේ වැරදි ම දුටුවා ය. නො කළ දේ ට පවා සමාව ඉල්ලී ද ඇය මා හා පැටලෙන්නට ම බලා සිටියා ය. ඉවසා ගන්නට බැරි බොහෝ තැන් වලදී ද මම ඉවසා සිටියෙමි.

“ඔයාට පුළුවන්නං පන්ති යන්නයි අරකටයි මේකටයි ඔක්කොම ඔෆිස් ටයිම් එකේදි නිවාඩු ගන්න…ඇයි අනිත් අයට ඒ චාන්ස් එක නැත්තෙ…”

දවසක් ඇය මගේ මූණට ම ඇසුවා ය. මා ආයතනයේ සේවය කරන අය පිළිබඳව ගුරුගේ ලා ට කේළාම් කියනවායි අදහසක් ද ඇය වෙත වන බව ඇය මට අඟවා තිබුණා ය.

“ඩොක්ටර්…මැඩම් මාව මෙතනට ගන්නකොටම කිව්ව ස්ටඩීස් වලට මෙතන වැඩ කිසිම ප්‍රශ්නයක් කර ගන්න එපයි කියල. ඒත් ඒක අනිත් අයට ගැටළුවක් වෙලා නං…මං අයිං වෙන්න ලෑස්තියි”

විනූ ගැන යමක් ආකාශ් සමගින් පවසන්න ට මගේ හිත ඉඩ දුන්නේ නැත. කේළාම් කීම කොහොමටත් මගේ ස්වභාවයක් නො විණි. විශේෂයෙන් ම විනූ ගැන මෙවැනි චෝදනාවක් ඉදිරිපත් කරන විට මා ඈ ගැන ඊර්ෂ්‍යාවෙන් එසේ කරතැයි ආකාශ් වුව සිතන්නට බැරි ද? අප කාගේත් ජීවිත වල කළු සුදු ලක්ෂණ මිශ්‍ර ව පවතින බව කීවේ ඔහු ම ය. 

ඒ නිසා ම මම පාඩම් වැඩ නිසා රැනියාවෙන් ඉවත් වීම ගැන පමණක් ආකාශ් සමගින් කතා කළෙමි.

“කවුරු හරි කිව්වද ඔයාට පන්ති යනවනං මෙහෙ වැඩ කරන්න බෑ කියල”

ඔහු කෙළින් ම ඇසුවේ ය.

“නෑ එහෙම නෙවෙයි ඉතිං…මට විතරක් අනිත් අයට නැති පහසුකම් තියෙන්න බෑනෙ…නේද…එහෙම වුණාම අනිත් අයට ප්‍රශ්න කරන්න අයිතිය තියෙනව”

“කවුද දැං ඔයාගෙං ප්‍රශ්න කළේ…විනූ ද…”

“ඔය ඉතිං….ඔයාට මුකුත් කියන්න බෑ. ඩොක්ටර් විනූගෙං ඔයා ඔය ගැන මුකුත් අහන්න බෑ ඔන්න. හරි මං වැඩට එන ගමංම ක්ලාස් යනව”

 මා වූ කලී අබ මල් රේණුවක කිළිටක් කහටක් හිතේ නැති මුණිවර කුළයේ කෙල්ලක නො වෙමි. නමුත් ආකාශ් නිසාවෙන් තවත් ගැහැනියක සමග නොහොඳ නෝක්කාඩු ඇති කර ගැනීම ඉමහත් ලැජ්ජාවක් සේ මට දැනෙන්නට වූයේ ය. නමුත් එදා හැන්දෑවේ විනූ නෙරංජලා ගුරුගේ  ට කතා කොට මා ගැන කේළාම් කියා තිබුණා ය.

“මට පේන්නෙ ඩොක්ටර් විනූ අපේ කෙල්ලට ඊරිසියා කරන්න අරං”

ඇය මට එසේ කීවේ සිනහ වෙවී ය. 

“පූජා හදන්නෙ ආකාශ් ගෙ ඇඟේ එල්ලෙන්න වගෙයි කියල අනුකම්පාවෙන් වගෙයි විනූ මට කතා කළේ”

මම බිම බලා ගතිමි. නෙරංජලා මට දුන් ජීවිතය මහ මෙරකටත් වැඩි ය. වචනයකිනුදු ඇගෙන් වෙන යමක් ඉල්ලා සිටින්නට මට උවමනා නැත.

“මං කිව්ව පූජා කියන්නෙ ආකාශ් මැරි කරන්න ඉන්න ගෑනු ළමයයි කියල. ඩොක්ටට කට උත්තර නැති වුණා”

මට මා ගැන මහත් ආඩම්බරයක් ඇති වුණා නොවේ. විනූ ආකාශ් ගැන හිතන්නට පටන් ගෙන ඇත්නම් ඒ ප්‍රේමයට නිගරු කරන්නට මට උවමනා නැත.

“උගත්කම කියන්නෙ පොත් පත් පාඩං කරලවත් විභාග පාස් වෙලාවත් විතරක් ලබන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන එක තමයි විනූ ඔප්පු කරල පෙන්නුවෙ. ආකාශ් ට ඔයා වගේ ගෑනු ළමයෙක්ව තෝර ගන්න ලැබිච්ච එක ගැන මං හුඟක් සතුටු වෙනව පූජා”

මා නෙරංජලා සමග කතා කරමින් සිටියදී අම්මා “ලොක්කී, ලොක්කී” කියා කෑ ගසන හඬ ඇසිණ. ඒ කළබලකාරී බවට හේතුව කුමක් වන්නට ඇත්දැයි මම ගැහෙන සිතින් යුතු ව සිතුවෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles