CHAT WITH STAR – ප්‍රවීණ රංගන ශිල්පිණි කුමාරි මුණසිංහ

ඇය කලාකාරියක්…
රටක ලොවක් දන්නා කලාකාරියක්…
සුන්දර සිනහවකට හිමිකම් කියන ඇය කුමාරිමුණසිංහ යි…ජැක්සන් ඇන්තනීගේ ආදරණීය බිරිඳ වුණු, මාධවී, අකිල, සජිතගේ ආදරණීය අම්මා වුණු ඇය සැබෑම ආදරණීය කාන්තාවක්.අද chat with star කතා බහ ඇය සමගයි

කොවිඩ් වසංගතය අපි හැමෝගෙම ජීවිතවලට ලොකු බලපෑමක් ඇති කළා. ඔබේ දරුවන් දෙදෙනාත් කොවිඩ් ආසාදිතයන් වුණා. අම්මා කෙනෙක් හැටියට එදා ඔය හිතට දැනුණ දේ….?

මම මව් කිරි දීලා දරුවන් හදපු අම්මා කෙනෙක්. මම රැකියාව කලත්, කොයිතරම් කාර්ය්‍යබහුල වුණත් මගේ දරුවෝ පුංචි කාලේදි මම ඒ අයට පිටි කිරි දුන්නේ නැහැ. ඒ වගේම මම මගේ දරුවෝ තුන්දෙනාම හැදුවේ මේ පරිසරයට අවනතවයි.  සමහර අම්මලා දරුවන්ට වැලි අල්ලන්න එපා, මඩ අල්ලන්න එපා කියලා මැසිවිලි නගනවා. අපි එහෙම කලේ නෑ. මේ දරුවන් තුන්දෙනාම හැදුනේ මේ පරිසරයත් එක්කයි. ඒ අයට මේ රෝගය වැලදුනත් ඒවාට ඔරොත්තු දීමේ ශක්තියක්, රෝගයට මුහුණ දීමේ ප්‍රතිශක්තිකරණයක් ඒ අය ලඟ තියෙනවා කියල මම විශ්වාස කලා.ඒ නිසා මේ රෝගයේදී දරුවන්ගේ ජීවිත අවදානමක් ගැන මම බය වුණේ නෑ. ඒ අයට කොවිඩ් ලක්ෂණ වුණත් ගොඩාක් පහළ වුණේ නෑ. ඒ නිසා ඒ කාලයේදී මම ඒ ගැන විමසිල්ලෙන් හිටියා. වෛරසයේ කාල සීමාව පහුකලාට පසුව මගේ දරුවෝ සුවපත් වුණා.

රටක් ආදරය කරන දරුවන් තුන්දෙනෙක්  උස්මහත් කරපු අම්මා කෙනෙක්. අද ඒ දරුවෝ ගැන මොකද හිතෙන්නේ…?

මේක තමයි අපි බලාපොරොත්තු වුණ දේ. ජැක්සනුත් මමත් කසාද බඳින්නට පෙර සිටම කලාවට ආදරේ කරන මෙවැනි දරුවන් බලාපොරොත්තු වුණා. අපි මුලින්ම දුවෙක් පැතුවා. අපිට දුවෙක් ලැබුණා. දෙවනියට අපි පුතෙක් පැතුවා. අපිට පුතෙක් ලැබුණා. චූටි පුතා ඉපදෙද්දීත් අපි බලාපොරොත්තු වුණේ පුතෙක්වයි. අපේ ඒ බලාපොරොත්තුවත් ඉටු වුණා. උගත්, බුද්ධිමත්, ගුණවත්, කලාකරුවන් ටිකක් හදන්න අපිට ඕන වුණා. අපි ඒ දරුවන්ගෙන් බලාපොරොත්තු වුණ දේ අපේ දරුවන් අපිට ලබලා දුන්නා. ඉතින් වෙන සතුටක් මොකටද…?

අද ජීවිතේ යම් ස්ථාවරත්වයක් ගොඩනඟා ගෙන හිටියත් මාධවී ඔබේ කැදැල්ලට එකතු වෙද්දී මේ ස්ථාවරත්වය තිබුණේ නැහැ. එහෙම නේද…?

ඔව්…ජැක්සනුයි මමයි ජීවිතය පටන් ගත්තේ කුලී ගෙදරකිනුයි. කුලී ගෙවල් කීපයකම අපි මේ දරුවන් එක්ක ජීවත් වුණා. එකම ලොකු ඇඳේ අපි පස්දෙනාම එකට නිදා ගත්තු කාලයක් තිබුණා. පොඩි වළං ඇතිලිවල කෑම හදලා ජීවිතේ පටන් ගත්තු ඒ අතීතය හරි සුන්දරයි. මම රැකියාව කලේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ.මට තාම මතකයි ඒ කාලේ  මම මාධවී වත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට එක්කගෙන ගියා. ඒ කාලේ අකිල ඉපදිලා නෑ. ඉතින් මම වැඩ කරලා ඉවර වනතුරු දුව පුටුවක් උඩට වෙලා වාඩි වෙලා හිටියා. සමහර වෙලාවට වැඩ කරන කෙනෙක් එක්ක ඇවිද්දා. හැමෝම දුවට ආදරෙයි. ඒ කාලේ පුටුවේ නින්ද ගියපු දවස් ඕනතරම් තිබුණා. හවසට සෙනඟ පිරිච්ච 154 බස් එකක නැගල ගෙදර ගියා. මම ටිකක් වේගෙන් ඇවිදින කෙනෙක්. අනේ අර පුංචි කෙල්ලත් හරි හරියට මාත් එක්ක ඇවිද්දා. ඇත්තම කිව්වොත් ඇවිදිනවාට වඩා දූ ආවේ දුවගෙනයි. දුවව වඩාගෙන යන්නත් බැහැ. අපි දෙන්නා ගෙදර යන්නේ ගෙදරට අවශ්‍ය කලමනාත් අරගෙනයි.ඒ නිසා ලොකු මල්ලක් එක්ක මට දුවව වඩාගෙන යන්නත් බැහැ. 

අද නම් යන්න තමන්ටම කියල වාහන තියෙනවා. මතකද ජැක්සන් එක්ක ගියපු බයිසිකල් ගමන…?

මොකද අමතක. හොඳට මතකයි. ඉස්සර ජැක්සන්ට තිබුණේ බයිසිකලයක් විතරයි. මට තාම මතකයි අපි හතර දෙනාම ඒ බයිසිකලේ නැගලා ගියා. එතකොට සජිත ඉපදිලා තිබුණේ නෑ. පිටිපස්සේ මාත් එක්ක අකිල යද්දී මාධවී බයිසිකලේ ටැංකිය උඩ ඉඳගෙන තමයි ගමන් බිමන් ගියේ. හුළං පාරට දූට නින්දත් යනවා. ඒ වෙලාවට ජැක්සන් එයාව පපුවට තුරුළු කරගෙන තමයි බයිසිකලේ පැද්දේ. ඒ කාලේ හරි සුන්දරයි. මගේ දරුවන් තුන්දෙනාම රජයේ රෝහල් වල සාමාන්‍ය දරුඋපත් වලින් තමයි ඉපදුනේ. ඉපදෙද්දී අම්මා කෙනෙක් වෙන වේදනවන් මම වින්දා. හැබැයි ඒ තුන්දෙනාගේම මුල්ම උණුහුම් මට දැනෙද්දී ඒ වේදනා සියල්ලම අමතකයි.

කුලී ගෙවල් වල ඉදගෙන ජීවිතය පටන් ගෙන අද මේ සුන්දර නිවහනේ ඉදිද්දී ඇත්තටම මොකද හිතෙන්නේ?

ලැබුණු දේවල් ගැන උදම් අනන්න දැන් අපිට වෙලාවක් නැහැ. මම කවදාවත් ඒ ගෙවුණු අතීතය අමතක කරන්නේ නැහැ. රජයේ රැකියාවක් කල නිසා මට බැංකුවකින් ලෝන් එකක් ගන්න පුලුවන් වුණා. ඒකෙන් අපි ඉඩම් කෑල්ලක් අරගෙන හෙමි හෙමීට මේ ගේ හැදුවා. ජීවිතේ අපි අඩියෙන් අඩිය හෙමීට නැගිට්ට කලාකරුවන්. ජැක්සනුත් මමත් කලාකරුවන් විදිහට බොහෝ මහන්සි වුණු දෙන්නෙක් දුර බැහැර වේදිකා නාට්‍යවලට ගිහින් අපි බොහෝ කැපකිරීම් කලා.අද ඒ හැම කැපකිරීමකින්ම ලැබුණු ප්‍රතිඵලයක් ගැන සතුටුයි.

අම්මගේ හඬ හරි අපූරුවට දියණියත් ලැබිලා තියෙනවා. ඇගේ මේ හැකියාවන් මුලින්ම හඳුනා ගත්තේ ඔබයි. එහෙම නේද…?

ඔව්. මම හිතන්නේ අද මටත් වඩා හරි අපූරුවට දූ ගීත ගායනා කරනවා. ඒ හඬ හරි අපූරුයි. එයාගේ ඒ හැකියාවන් එයාට බහතෝරන කාලයේදීම මම දැක්කා. මම දරු නැළවිලි ගී ගායනා කරලා එයාව නලවද්දී එයා ඒවාට හොදට ප්‍රතිචාර දැක්වුවා. මම ගායනා කරද්දී එයාගේ භාෂාවෙන් මාත් එක්ක ගායනා කලා.
 ටික දවසක් යද්දි අප්පච්චි, අම්මා, ආත්තම්මා, සීයාතාත්තා, වගේ පොඩි පොඩි වචන කියන්න පුළුවන් වෙද්දී එයා ඇහෙන තාලෙට හරි ලස්සනට තාල තිබ්බා. දූ මගේ කුසේ මාස අටක් ඉදිද්දීත් මම වේදිකා නාට්‍ය වල රඟපෑවා. කුසේ හිටපු එයාට වේදිකා නාට්‍ය හඬ ඇහෙන්න ඇති. දැන් අකිලගේ චූටි දූත් හරි ලස්සනට තාල තියෙනවා. එයාත් පුංචි වයසට හරි ලස්සනට සිංදු කියනවා. ඇත්තටම ආත්තම්මා කෙනෙක් හැටියට ඊලග පරපුරේ දරු පැටියා ගැන තියෙන්නේ ලොකු සතුටක්.

මාධවී…අකිල…සජිත.තුන්දෙනාගෙන්ම දඟ කවුද…?

තුන්දෙනාම හරි දඟයි. එක දවසක් මාලු ටැංකියක් එක්ක වැටිලා තුවාල වෙලා චූටි පුතාව ඉස්පිරිතාලේ පවා ගෙවිච්චා.පුංචි කාලේ අයියයි මල්ලියි සුරතල් මසුන් ඇති කලා. අකිල ඒ කාලේ එයාගේ යාලුවන්ට ඔය සුරතල් මසුන් විකිණුවා. කොච්චර දඟ වුණත් ජැක්සන්වත් මමවත් මේ තුන්දෙනාව ගෙයි තියාගෙන හිරකරගෙන හිටියේ නෑ. ළමා කාලය උපරිමයෙන්ම විඳින්න ඒ තුන්දෙනාටම ඉඩ දුන්නා.

කුමාරි මුණසිංහ කියන්නේ මේ ගහකොළට ආදරය කරන කලාකාරියක්. තාමත් අර අඹ ගස්වල රහ අඹ පිරෙනවද…?

ඔව්…ඔව්…අඹ වාරෙට ඒ අඹ ගස්වල ගෙඩි පිරෙනවා. මට ගහකොළට පුදුම ආදරයක් තියෙන කෙනෙක්. ගහ කොළං මගේ ජීවිතේ ලස්සන කලා. ඒ ගහකොළං වලට ඇවිත් කතා කරන්න පුලුවන්නම් ඒ අයට මම කොච්චර ආදරේද කියල ඒ අයම කියාවි.කාගේ හරි වත්තක ගහකොළ කපද්දී ,ගහක් මැරිල තියෙද්දී මගේ ඇස් වලට කදුළු එනවා. ඒ ගහ කාගේ වත්තකද තියෙන්නේ කියලා මට අදාලම නැහැ. අදටත් මම සීගිරියේ මගේ වත්තට යනවා. සීගිරියේ වගා කරනවා. මම අඹ ගස් දෙසීය විස්සක් පැල කලා. ඒ ගස්වල පලදාව දැන් ලැබෙනවා. ගස්වලට සාත්තු කරද්දී ,ගස් එක්ක ඉදිද්දී හිතට පුදුමාකාර සැනසීමක් ලැබෙනවා.

රැකියාවත්, කලාකටයුතුත් කරනා අතරේ දරුවන් තුන්දෙනෙක් හදනවා කියන්නේත් ලේසි කටයුත්තක් නෙමෙයිද මේ වෙනුවෙන් දරපු මහන්සිය ,කැපවීම ගැන අද හිතද්දී…?

ඒක කැපවීමෙන් කරන්න පුළුවන්. ඔය දරුවන් කිසිම කෙනෙක් ඉබේ හැදිච්ච දරුවන් නෙමෙයි. මායි ජැක්සනුයි මේ දරුවන් මගේ කුසේ පිළිසිඳ ගන්නටත් කලින් සිටම ඒ දරු උපත් වෙනුවෙන් සූදානම් වුණා. දරුවන්ගේ නිරෝගී භාවය ගැන මුලින්ම  හිතුවා.  ඊට පස්සේ ඒ දරුවන්ගේ බුද්ධිය ගැන හිතුවා. අද අයඩින් ලුණු තිබුණත් දූ මගේ කුසේ ඉන්න කාලේ අයඩින් ලුණු වෙළද පොලේ තිබුණේ නැහැ.ඒ කාලේ මම කියවපු ලිපියක ගර්භනී කාලයේදී අයඩින් ඌනතාවය නිසා දරුවන්ගේ බුද්ධිය නිවැරදිව ලැබෙන්නේ නැහැ කියලා සඳහන් වෙලා තිබුණා. ඊට පස්සේ මම ෆාමසියෙන් අයඩීන් මිලදීගෙන ඒවා ගත්තා. දරුවන් ඉපදෙන්නට පෙර සිටම අපි දරුවන්ගේ නිරෝගීකම,බුද්ධිය, දක්ෂතාවය ගැන හිතුවා.

අම්මාට වගේම දියණියටත් හරි රසට කෑම පිසින්න පුලුවන්. මේ අත්ගුණේ ගැන මොකද හිතෙන්නේ…?

මම දූට කිසිම දවසක උයන්න බල කලේ නෑ. උවමනාවක් තියෙනවානම් ඕනෑම කෙනෙකුට රහට ආහාර පිසින්න පුලුවන්. මගේ අම්මා මම පොඩි කාලේදී  ” දුවේ කිසිම දෙයක් ‘බැහැ ‘ කියන්න එපා. එහෙම කිව්වොත් ඔයා අසාර්ථකයි..” කියලා කිව්වා. ඒ නිසා උත්සාහ කලොත් අපිට ඕනෑම දෙයක් කරන්න පුලුවන්. පුලුවන් තරම් හැකියාවන් එකතු කර ගන්න කියලයි අපි දරුවන්ට කිව්වේ. එතකොට තමයි මනුස්සයෙක් පරිපූර්ණ වෙන්නේ. මාධවීට හරි රසට උයන්න පුලුවන්. අදටත් එයා ඉගෙන ගන්නවා. මාධවී හැකියාවන් බොහෝමයක් තියෙන දරුවෙක්. නර්තනය, ගායනය, රංගනය,නිවේදනය විතරක් නෙවෙයි එයා හොදටම අධ්‍යාපනය ලබපු දරුවෙක්. තාමත් එයා ඉගෙන ගන්නවා. එයාගේ youtube චැනල් එකේ සංස්කරණ කටයුතු කරන්න මේ කොවිඩ් කාලයේදී කෙනෙක් නැතිව එයාම ඒකත් ඉගෙන ගත්තා. දැන් ඒ හැම දෙයක්ම කරන්නේ එයයි. මේ දවස්‌වල මාධවී චිත්‍ර අදිනවා. ඒක එයාගේ අප්පච්චිගෙන් ලැබුණු දායාදයක්. මම මගේ දරුවන් ගැන ගොඩාක් සතුටු වෙන අම්මා කෙනෙක්.දැන් ඒ තුන්දෙනාම විවාහ වෙලා. අපේ පවුලට එකතු වුණු ඒ දරුවෝ තුන්දෙනාත් හරි හොඳ දරුවෝ . ඉතින් දැන් මම දුවලා තුන්දෙනෙක්, පුතාලා තුන්දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්. ඒ විතරක් නෙවෙයි දැන් මම චූටි මිණිපිරියක් ඉන්න ආත්තම්මා කෙනෙක්….

Related Articles

Don't Miss


Latest Articles