මේ ඒ වසන්තයයි – 20

0
776

නුරාන් ඕ අතැර එක්වරම ආපසු හැරෙද්දීම ඉසිනිට යමක් දැනුනේය. ඔහුගේ හිතුවක්කාරකම්ද නිමක් නැත. ඕ වහා පිටුපසින් දිව ගොස් ඔහු ඉදිරියට ආවාය. ඔහුගේ දෑස් වල වූයේ ගින්දරමය.

” නුරාන් ..”

” පැත්තකට වෙනවා…”

” නුරාන් වහිනවා තාම.. අනෙක පාරේ අලි ඇති ..”

” ඉතින් .. අදාල නෑනේ ඒක ඔයාට ඉසිනි .. මටනේ වෙන්නේ .. යන්න දෙන්න ..”

” අනේ මට මෙහෙම කරන්න එපා දෙයියනේ… ඔයත් මට මෙහෙම කරන්න එපා …”

ඉසිනි ඔහුගේ දෑතේම එල්ලී ඇයැද්දාය. නුරාන් ඇයට ඉඩ දී බලා උන්නේය.

” අනේ මට ජීවත් වෙන්න දෙන්න නුරාන් … මම පහුගිය කාලේම මැරි මැරි ඉපදෙන ජීවිතයක් ගෙව්වේ …මගේ දුක හැමෝගෙන්ම හංගගෙන ..ලෝකෙටම පේන්න හිනාවීගෙන .. දොස්තර කෙනෙක්ගේ ආදරණීය බිරිඳක් විදියට, මම රඟපෑවා විතරයි නුරාන් .. අනේ .. මට ආයේ බැහැ .. මට මෙහෙම ඉන්න දෙන්න නුරාන් ..”

ඕ නුරාන් ඉදිරියේ දෑත් එක් කර වැන්දාය. නුරාන් ඇගේ දෑතින්ම අල්ලා ගත්තේය.

” ඒ හැම කතාවක්ම මට කියන්න … අපි දෙන්නම එකතු වෙලා මෙහෙ කොහේ හරි ඒ කතා ටික වල දාමූ ..ම්ම්ම්ම් ..ඊට පස්සේ බලන්න නුරාන්ට ඉඩ තියෙනවාද කියලා …”

නුරාන් යළි අසුනට වැටුනේය. එක උගුරටම පස් පංගුව වීදුරුව  ගිල දැම්මේය.

” මම මෙහෙම ඉන්නවා ..කාමරේට ගිහින් නිදාගන්න …”

” කවදා වෙනකල්ද නුරාන් ?.. කොච්චර දවස් ඉන්නද ඔහොම ඔයා ?… ධනුක අයියා, පැහැසරා මිස් මට සාප කරාවි නුරාන් .. ඒක තේරුම් ගන්න නුරාන් … මම හැමදේම වරද්දගත්තා … ඔයාව විනාසම කරලා දැම්මා මම .. ආයෙම ..ආයෙම මම ඒකම මේ කරන්න යන්නේ නුරාන් … වඳ ගෑණියෙක් ව ඔයාගේ ජීවිතේ ඉස්සරහට අරගෙන  , ඔයා මේ ඉන්නවට වඩා ගින්දරකට වැටෙන්නයි යන්නේ …”

ඉසිනිට ඉන් එහා කතා කරන්නට ඉඩක් වූයේ නැත. නුරාන් වීදුරුව කුඩු පට්ටම්ව යන්නට ඉවතට විසි කර දමන අතරේ නැගිට්ටේට.

” ඌට වඳ ඇති ..ඒත් මට වඳ නෑ .. මං ඉස්සරම නුරාන් නෙවෙයි ඉසිනි .. මට හරියට තරහා යනවා.. අමාරුවෙන් හරි මම ඒ තරහ පාලනය කරගන්නේ නුරාධ්‍යා ළඟයි අක්කා ළඟයි විතරයි ..ඔෆිස් කැබින් එකේ මම මට විතරක් කොටසක් තියාගෙන ඉන්නේ තරහ ගියාම ඇවිදින්න … .. ඒ නිසා මට පවු පුරවන වැඩ වලට හේතු වෙන කතන්දර කියන්න එපා …පින් සිද්ද වෙයි … ඌ හින්දා ඇති තරම් අඬන්න ඇති .. එව්වා මතක් කර කර ඉස්සරහටත් අඬන්න ..හැබැයි , මං නිසා අඬන්න තියාගන්න එපා ….”

නුරාන් මේ  ගොඩ නඟන මන්දිරය කුමක්දැයි ඉසිනිට එක්වරම වැටහෙන්නේද නැත. ඕ බලා උන්නාය.

” කෝ … පැත්තකට වෙන්න .. වීදුරු කටු ටික අයින් කරන්න ….”

අසල වූ පත්තරයකින් පිටුවක් ගත් නුරාන්, වීදුරු කටු කැබලි එය මතට දැම්මේය.

ඉසිනි කොස්ස සහ අපද්‍රව්‍ය එකතු කිරීමට භාවිතා කරන්නක් රැගෙන විත් උපකාර කලාය. නුරාන් යලි අසුනේ හිඳ ගත්තේය. වැස්සේ තෙමීම නිසාදෝ ගත තුළින් යම් අපහසුවක්ද  නැගෙන බව නුරාන්ට දැනෙන්නේය. එහෙත් ඒ සියල්ල පරදලන තරමේ හැඟීමක් ඔහු සතුය. ඒ නිසාම ඇය මෙහි දමා මේ මොහොතේ පිටත්ව යෑමක අවශ්‍යතාවයක් කිසිලෙසකින්වත් සිතෙන්නේ හෝ නැත.

දෙදෙනා එකිනෙකාට මුහුණ පෙනෙන දුරකින් හිඳ ගත්තෝය. වැස්ස අඩු නැත. ඉසිනි නුරාන් දෙස බැලුවාය. ඔහු සිටින්නේ නිවීමේ සැනසීමකින් බව පෙනෙයි. එහෙත් තමා තුළින් නැගෙන ගිණි දැල් වල රස්නයට ඉවසා ගන්නට නොහැකි බවද ඉසිනිට දැනෙයි. නුරාන්ව අතිශය අසාධාරණ ලෙසින් අත් හැරි තමාට නුරාන්ගේ මේ දයාබර දෑත කිසිලෙසකින්වත් හිමි නොවිය යුතු නොවේද ?

” අම්මලා කෝ ඉසිනි ?…”

” අක්කා ළඟ .. රට …”

” ඔයා මෙහෙ තනියම දාලා ….?”

” මමයි කිව්වේ මට තනියෙන් ඉන්න ඕනි කියලා…. අම්මලා තවම කියන්නේ මේ ඔක්කොම දාලා එහෙට එන්න කියලා.. එහෙන් ආයේ අලුතින් ජීවිතේ පටන් ගන්න කියලා…”

නුරාන් තිගැස්සුනේය. නොසන්සුන් වූවේය. විමසිය යුත්තේ කුමක්දැයි ගලපා ගන්නට නොහැකිව මෙන් බලා උන්නේය.

” මට එහෙ යන්න හිතෙන්නේ නෑ ….”

ඉසිනි ඉන් පසුව කීවේ නුරාන්ගෙන් දෑස් ඉවතට යන්නට දෙමිනු. නුරාන් අසුනේ හරි හරි හැසී හිඳගත්තේය.

” අම්මලා එක්ක මට තරහක් නෑ .. ඒත් මට ආයේ ඒගොල්ලෝ කියන කිසිම දේකට එකඟ වෙන්න හිතෙන්නේ නෑ … අම්මලා හැමවෙලේම හිතුවේ ඒගොල්ලන්ට සුවපහසු තීරණේ අපි ලවා ගන්න විදියක් ගැන .. මට ආර්ට්ස් කරන්න ඕනි වුන වෙලේ ඒක කරන්න නොදී බයෝ කරන්න කිව්වා… අන්තිමේ මම  නැවතුනේ මෙතන… මට ඌව වෙල්ලස්සේ ටී වැලියු ඇඩිශන් ඩිග්‍රී එකට යන්න ආසයි කිව්වම, විකාර නැතුව අක්කා කියන එකකට ඇප්ලයි කරන්න කිව්වා …. මං තනියෙන් ගෙයන් හදාගන්න හදනකොට, ඒක කරන්න දුන්නේ නැ.. ගෙයක් තියෙන මිනිහෙක්ට බන්දන්නේ මේ කිය කියා ඒක පස්සට ඇද්දා .. අන්තිමේ මාව ගෙදරින් එලියට ඇදලා දැම්මම මට හොටෙල් එකක ඉන්න සිද්ද වුනා …. මං කියපු කෙනාවම බැන්දා …. ඒ මිනිස්සු මාව මැරුවේ නැති එක විතරයි … ඒ හින්දා හරිගියත්, වැරදුනත් දැන් මම කරන්නේ, මට ඕනි දේම විතරයි .. එතකොට මට ඒකේ පසු ප්‍රතිපල ගැන නිදහසේ හිතලා සෝර්ට් අවුට් කරගන්න පුලුවන්.. දැනට මං විඳවන හැම වෙලාවකම අම්මලා එක්ක කලකිරීමක් දැනෙන හැඟීම එතකොට නැති වෙලා යයි …”

ඉසිනි එක හුස්මටම කියවාගෙන ගියාය.  ඇය මෙලෙස කියවන්නේ වසර ගණනාවකට ප්සුවය. මෙතරමින් විවෘ තව ජීවිතය කියවන්නට තරම් විශ්වසනීය බවක් ඇයට කිසිවෙකු ලඟ දැනී තිබුනේ නැත. නුරාන් ගැඹුරු සුසුමක් හෙලුවේය.

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here