මේ ඒ වසන්තයයි – 21

0
3221

සෝමා පැමිණෙන්නට පෙර යා යුතු වග පවසා නුරාන් පිටව යන්නට සූදානම් වූයේ, ඇයට ඇමතුමක් දෙන්නට පොරොන්දු වීමෙන් පසුවය.

” නම්බර් එක ඒකමද ?…”

ඕ හිස සැලුවාය. නුරාන් එය පිළිගෙන සිනාසුනේය. ඉසිනි නිවෙස තුළ වූ කලු පැහැ සෙරෙප්පු ජෝඩුවක් රැගෙන විත් නුරාන් ඉදිරියෙන් තැබුවේය. නුරාන් එය පයෙහි ලාගෙන ඉසිනි වෙත හැරුනේය.

” අද ඔෆිස් යනවාද ?..”

” ඔව් .. යන්න ඕනි …”

” දැන් ඔක්කොම බර බිමින් තියලා සැහැල්ලුවෙන් වැඩ කරගන්න … අපේ ගෙදර අය ගැන හිතන එකත් නවත්තගන්න …. මම ඒ ඔක්කොම බලාගන්නම් .. අනිවාර්‍යෙන් ඒ හැම කෙනෙක්ටම ඔයා ලඟට එන්න වෙන්නේ මාව පහු කරගෙන … ඒ හින්දා කිසි දෙයක් ඔලුවට අරගෙන කල්පනා කරන්න යන්න එපා …”

නුරාන් ඉසිනිගේ හිස මතින් අත තබා කීවේය. ඇය නැඟුණු ඉකිය පිටවෙන්නට දුන්නාය.

” ජීවිතේ ඒ ඒ වෙලාවල  ගන්න තීරණ ගැන අපි හැමදාම පසුතැවෙන්න ඕනි නැහැ ඉසිනි … අපි වෙන්වෙලා යන්න තිබුනා නම් ඒක අනිවාර්‍යෙන්ම වෙනවා .. ඒක වුනා…. ඒක ඔයා හින්දාද වුනේ, මම හින්දාද වුනේ කියන එක අදාල නැහැ .. ඒ ගැන හිතන්නත් එපා.. ඒක තේරුමක්වත් නෑ … වැදගත්ම දේ ආයේ අපි හම්බෙලා තියෙන එක .. කිසිම බාධාවක් අපි ඉස්සරහින් නැතිව අපි හම්බෙලා තියෙන එක ….. ඔයා ඒ ජීවිතේ උන්නේ සන්තෝසෙන් නෙවෙයි කියලා මට හැමදාම මොකක්ම හරි හේතුවක් නිසා දැනුනා ඉසිනි … ඔයා එදා සද්දෙන් කෑ ගහලා ඔයාලා ඉන්නේ සන්තෝසෙන් කියලා කියනකල්ම, මම ඒක විශ්වාස කලා .. ඔයාට මොකක්ම හරි වැරදීමක්, පැටලීමක් වෙලා ඇති කියලා මට හිතුණා.. ඒත් මට එන්න විදියක් තිබුනේ නෑ .. නෑ එක්කෝ .. එන්න පුලුවන්කම තිබ්බත්, මම නෑවිත් ඉන්න තීරනය කලා ඉසිනි ..  වෙන මිනිහෙක් නීතියෙන් ලියාගෙන ඉන්න ගෑණියෙක් ඔයා කියලා මම නිතරම හිතුවා …. ඒ නිසා අපි ඈතින් උන්න කාලේ වෙනුවෙන් අපි දෙන්නාටම අඩු වැඩි වගකීම් තියෙනවා ඉසිනි ….  ඒවා දරාගමූ … මේ ගෙවිච්ච පැය ගානෙන් මට ආයේ අවුරුදු පනහක් ජීවත් වෙන්න තරම් බලාපොරොත්තුවක් හැදුනා .. ඉතින්, මට ඒක කරන්න ඕනි …”

නුරාන් සමුදුන්නේය. නිවසට ගොස් එහෙමම ඇඳට වැටුනේය. අක්කා එවා තිබූ හඬ පණිවිඩ් ආවලට සවන් දෙන්නට කල්පනා වී වහාම ඒවා ඇසුවේය. ඔවුන් උදෑසන කටුනායකින් පිටත්වන බව පවසා ඇත.

” නින්ද ගියා අක්කේ.. දැන් ඇහැරුනේ … එද්දී කෝල් එකක් දෙන්න …”

ඔහු නින්දට වැටුනේය.

ඉසිනි නාන කාමරය තුල වූ නුරාන්ගේ දෙපා වලින් ඇඳුණු මඩ පැල්ලම් මතින් දෙපා තබාගෙන උන්නාය.

” ඇයි ඔයා මට ඉසිනි කියලා කතා කලේ ?….  මං ඔයාගේ තාරා නෙවෙයිද නුරාන් ?…”

ඕ කණ්ණාඩියෙන් විමසුවාය. එහෙත් ඇයට පිළිතුරු ලැබුනේ නැත.

” කිසිදෙයක් අමතක නැති ඔයාට, මම ඔයාගේ තාරා වෙලා උන්නා කියලා අමතක වුනේ කොහොමද ?.. ඔයා ඉසිනි ඉසිනි කියලා කතා කරන වාරයක් ගානේ මට දැනෙන්නේ දරාගන්න බැරි තරමේ නුහුරක් නුරාන් …”

ඕ සියල්ල අමතක කර අයිතිවාසිකම් උදෙසා වන තරඟයකට වැටී උන්නාය. එහෙත් කණ්ණාඩියෙන් ඇයට සැබෑ ස්වභාවය සිහි කර දුන්නේය.

” තාරා .. නොකීව එකද දැන් ඔයාට තියෙන අවුල ඉසිනි … හොඳට කල්පනා කරලා බලන්න ඒකද දැන් තියෙන අවුල කියලා ඔයාට ..  ඔයා තව කොයි තරම් ආත්මාර්තකාමි වෙන්නද යන්නේ ?…. නුරාන් පිළිවෙලට ගොඩනඟාගෙන තියෙන එයාගේ ජීවිතේ, ඒ ජීවිතේ එක්ක බැඳිලා ඉන්න මිනිස්සුන්ව සෙල්ලමක් වගේ පේනවාද ඔයාට ?.. ඔයා ඒ කොල්ලාට කලේ මොකක්ද කියලා ඔයාට දැන් අමතක කරන්න පුලුවන් වුනාට රටේ ලෝකේ මිනිස්සු ඒක අමතක කරන එකක් නෑ ඉසිනි .. ඒ ගෙවල් වල මිනිස්සු, නුරාන්ගේ යාලුවෝ ඒ දේවල් අමතක කරන්න ලෑස්ති වෙන එකක් නෑ .. මම නම් කියන්නේ, එහෙම අමතක කල යුතුත් නෑ ….නුරාන් උන්නේ උඹට වඩා සෑහේන්නම තරමේ පහල පන්තියක වීම නේද උඹලාට ප්‍රශ්නේ වුනේ ඉසිනි … ඒක නේද පවුලක් විදියට උඹලාට නුරාන්ව පාගලා දාන්න හේතුව වුනේ… දැන් උන් බලාපොරොත්තු නොවුන තරමේ මට්ටමක් හදාගෙන තියෙන්නේ ඉසිනි .. ඒක නොපෙනෙනවා වෙන්න බෑ .. දැන් නුරාන්ට ඔයාලාගේ තත්වේට පෑහෙන්න පුලුවන් වුනාට, ඔයාට නුරාන් ඉන්න තත්වේට පෑහෙන්න බෑ … දික්කසාද ගෑණියෙක් කියන්නේ වැරදි මැහුම් පාරවල් නිසා පැත්තකට  දාන ඇඳුමක් වගේ ….  අඳින්න බෑ.. ඒත් වෙන වෙන දේවල් වලට පාවිච්චි කරන්න පුලුවන් … නුරාන් තවම උගේ ජීවිතේ ආදරේ, කසාදේ කියන තීරණ අරගෙන නැහැ …. ඒ තීරණ වල අනෙක් පාර්ශවය වෙන්න හීනෙකින්වත් හිතනවා නම්, ඒ පාප කර්මේ නම් උඹට ගෙවලා ඉවර කරන්නම වෙන්නේ නෑ ඉසිනි …. “

ඉසිනි මුහුණට වතුර දෝතක් දමා ගත්තාය. යළි යළි වතුරෙන් තෙමී යන්නට දුන්නාය.

” නෑ නුරාන් .. අපිට ආයේ එකට ගමනක් නෑ …”

ඕ  නිවසින් පිටත් වූයේ ඒ තීරණය තමාටම පවසාගෙනය. ධනුක සහ පැහැසරා දෙදෙනාම අද දිනයේ නිවාඩු වීම ඇයට සැහැල්ලුවක් සේ දැනුණි. කොහොමටත් අද ඔවුන් දෙදෙනාට කිසිලෙසකින්වත් මුහුණ දිය හැකි නොවන බව දැනෙන්නේය.

පෙර දිනයේ වර්ෂාව නිසා හානි වී තිබූ කුඹුරු ඉඩම් පිළිබඳව වන වාර්තාව ඉසිනිට ලැබුනේ දහවල් ය. ඕ ඒ තොරතුරු දන්වා යවන මෙන් විෂය භාර නිලධාරිනියට දැනුවත් කලාය.

” මේ වහින කාලයකුත් නෙවෙයිනේ ඒ ඩී මිස් …. මේක නම් පුදුම අබුද්දස්ස කාලයක්…”

” හැමදේම  සිද්ද වෙන්නේ පෙර සැලසුම් වලට නෙවිනේ කාන්ති මිස් .. අපිට ඒ ඒ වෙලාවට මුහුන දෙන්න වෙනවා… මේ මිනිස්සු ඔක්කොම කන්න රැස්වීම් තීරණ වලට එකඟව වගා කරලා තියෙන අය නිසා වන්දි දෙන වැඩේ කෙරේවි නේ….”

” ඔව් ඒඩී මිස් .. මම ඩී ඕ ට කතා කලා … අර ගොවි රක්ෂණ කරලා තියෙනෙ එකෙන් අද එන කතාවක් කියලා තිබුනා…”

“: හරි.. අපේ කට්ටියටත් තක්සේරු කමිටුවට  එන්න කිව්වොත් යමු …. මේක වැස්සෙන් නිසා සමහරවිට ඒගොල්ලොම වැඩේ කරගනිවි ..”

ඉසිනි නිළධාරිනියට සමුදුන්නේ ජංගම දුරකතන තිරය මතට වට අංකයක් නිසාය. එය නුහුරු නැත. තමාට ඒ අංකය තවම මතක තියෙන්නේ කෙලෙසින්දැයි සිතා ගන්නට නොහැකිව ගල් ගැසී ගිය නිසාවෙන් ඉසිනිට පලමු ඇමතුම මංග හැරුනි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here