මල්සර හී සර – 30

0
1599

සුමල් ව සප්තමීගෙ බඩු ලිස්ට් එකෙ තියෙන බඩු ටික අරගන්න යවල සමුද්‍ර සප්තමීවත් වාහනේ ඉස්සරහ සීට් එකේ දාගෙන සුරුස් ගාලා කොළඹ පැත්තට ගියේ යන ගමන් මොන මොනව හරි කතාකරන්න කියලා හිතාගෙන. ෆෝන් එකෙන් කොච්චර ඒව කතා කරල තිබ්බත් මෙහෙම ඇත්තටම හම්බුනාට පස්සෙ ඕනම කෙල්ලෙක්ගෙ හිතට එන ලැජ්ජාව ඒ විදියටම සප්තමීගෙ හිතටත් ඇවිත් තිබිච්ච හන්දම තමා ගෑණු සමුද්‍ර ඉන්න පැත්ත පලාත බලන්නෙ නැතුව කලු කරපු වීදුරු වලින් පේන එලිය දිහා බලාගෙන උන්නෙ.

මහ ලොකුවට කෙල්ලො ආශ්‍රය කරලා තිබ්බෙ නැතුවට කෙල්ලන්ගෙ එක එක විගඩම් ගැන දැනගෙන උන්න සමුද්‍රට සප්තමී ඔහොම අහක බලන් ඉන්නෙ ලැජ්ජාවට කියල තේරුම් ගන්න බැරිකමක් තිබ්බෙ නෑ. 

“මොකෝ කතාවක් නැත්තෙ?” කියල සප්තමිගේ උකුල උඩ රැඳිල තිබිච්ච අත අල්ලගන්න සමුද්‍ර දෙපාරක් නොහිතුවෙ ආන් ඒ ලැජ්ජාව පොඩ්ඩක් එහෙ මෙහෙ කරල ලැබිච්ච පොඩි වෙලාවෙන් ගොඩක් දේවල් කතාකරන්න කියල හිතාගෙන.

“නෑ නෑ මුකුත් නෑ” කියල සප්තමී කියද්දි තමයි සමුද්‍ර වාහනේ අරගෙන ගිහිල්ලා විහාරමහාදේවි පාක් එක අද්දර හෙවණ තැනකින් නැවැත්තුවෙ. 

“මුකුත්ම නැද්ද?” කියල සමුද්‍ර වාහනෙන් බැහැලා සප්තමීගෙ පැත්තට ඇවිත් ඒ පැත්තෙ දොර ඇරියා. සමුද්‍ර බලාපොරොත්තු වෙන්නෙ තමන් එක්ක විහාරමහාදේවි පාක් එකේ ඇවිදින්නද දන්නෙ නෑ කියන ප්‍රශ්නෙ එක්ක අනිත් පැත්තටම සප්තමීගෙ ඔලුවට ආව කාරණාව තමයි “අඳුරන කවුරුහරි දකීවිද?” කියන එක. සමුද්‍ර උන්නෙ සප්තමීගෙ මූණෙ ඇඳෙන රේඛාවලින් සප්තමී හිතන්නෙ මොකද්ද කියල තේරුම්ගන්න උත්සහ කරන ගමන්.

“එළියට බැහැල පාක් එකේ ඇවිදින්න ගියොත් කවුරුහරි දකීවි කියලනේ ඔය කල්පනා කරන්නෙ? පාක් එකේ ඇවිදින්න යන්න ඕන නෑ. අපි දෙන්න වාහනේ පිටිපස්සට ගිහින් කතාකරමුද? මට ඕන ඔයාව ලඟ තියන් කතාකරන්න” කියල සමුද්‍ර ආදරෙන් කියද්දි සප්තමී හිනා වුනේ ඇස් දෙක බිමට හරවලා. 

“මුලින්ම කෙල්ලව එලියට එක්කරගෙන ආව වෙලාවෙ මං ඔයාව මෙහෙම වාහනේක පිටිපස්සෙ තියන් කතා කරන්න අරන් ආව එකට ඔයා තරහද?” කියල සමුද්‍ර අහන්න පුලුවන් ලස්සන විදියට තමන් දිහාව බලාගෙන අහද්දි සප්තමී උන්නෙ ලැජ්ජාවට ඇස් දෙක උස්සල සමුද්‍ර දිහා බලන්න විදියක් නැතුව. ඒ ඇස් අස්සෙ තමන් ගිලිලා දියවෙලා යයි කියල හිතෙන තරමෙ ආදර ගංගාවක් ගලනව සප්තමී නොදැක්කා නෙවෙයි. 

“තරහා නෑ” කියල කටෙන් කියන්න වචන පැන්නෙ නැති හන්ද තමයි සප්තමී ඇස් දෙක නලවලා ඔලුව හොලවල තරහා නෑ කියල සමුද්‍රට කිව්වේ. එක ලපයක් වත් නැති ලස්සන හඳක් වගේ රවුම් මූණ අත් දෙකෙන්ම අල්ලල ඉඹින්න තිබ්බනම් හොඳයි කියල හිතුණත් එහෙම දෙයක් කරන්න තාම කල් වැඩි කියල හිත කිව්ව හන්දම සමුද්‍ර උන්නෙ පුලුවන් තරම් ඉවසගෙන. ඒත් ඔය ඉවසීම සප්තමීව දකින දකින වාරයක් පාසා දියවෙල දියවෙල යනව කියන එක දැනන් උන්නෙ ඉතින් සමුද්‍ර විතරමයි. 

“අම්මට කොහොමද දැන්?”

“තාම කකුලෙ අමාරුව තියෙනව. ඉදිමුම නම් ටික ටික අඩුවෙලා යනවා. බෙහෙත් එහෙම කරනව. අම්මල දන්නවනෙ ඔය වගෙ දෙයක් වෙච්ච ගමන් හිතන්නෙ සිංහල බෙහෙත් කරොත් විතරයි හොඳ වෙන්නෙ කියලනෙ. කියව කියව ඉන්නවා. තාත්තා තමා බැණල කරලා බෙහෙත් එහෙම දෙන්නෙ”

“මං ඔයාලගෙ තාත්තට මාර ආසයි. මාරම ජෙනුයින් මනුස්සයෙක්”

“මං හිතන්නෙ අපෙ තාත්තත් ඔයාට කැමතියි. එයා එහෙම ලේසියෙන් අම්මා එක්ක කාගෙවත් හොඳක් කියන්නෙ නෑ එයාට සෙට් වෙන්නෙ නැත්තම්. අම්මා මොනව කිව්වත් ඔයා ගැන තාත්තා සෑහෙන හොඳ පැත්තට තමා කතා කරනවා මට ඇහුනෙ”

“ඒ කියන්නෙ තාත්තා කැමති ඇති නේද දෝණියැන්දව මට දෙන්න?” කියල සමුද්‍ර ආය වතාවක් මනමාල හිනාව දාලා අහද්දි සප්තමී කලේ නියෙව්ව එක.

“එහෙම ඉතින් එකපාර කැමතිවෙන එකක් නැ. අපේ තාත්තලට එහෙම මාව මේ කොහෙවත් ඉන්න කොල්ලෙක්ට දීලා යන්න හදිසියක් නෑ”

“ආහ් දැන් මම කොහෙවත් ඉන්න කොල්ලෙක්ද? මම නම් වෙන විදියකට හිතාගෙන හිටියෙ මෙච්චර දවසක් කතාබස් කරද්දියි ෆෝන් එකෙන්, එදා කොළඹ එද්දි මගේ උකුලෙ උඩ නිදාගෙන එද්දියි” කියල උන්නු තැනින් තව ටිකක් ලංවෙලා සමුද්‍ර කතා කරද්දි සප්තමී පොඩ්ඩකට විතර අහක බලාගත්තෙ එච්චර ලඟට සමුද්‍රගෙ ලස්සන කලු පාට ඇස් දෙක දකින්න තරම් තාම හිත හයිය නැති හන්දා.

“මොකද්ද හිතාගෙන හිටියෙ?”

“මං හිතුවෙ මං ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා”

“ආහ් කවුද ඔයාට එහෙම දෙයක් කිව්වේ?”

“කවුරුත් කිව්වෙ නෑ ඉතින්, මං හිතුව ඉතින් අපි කතා කරපු ඒවයි හැටියට ඔයයි මමයි යාලුයි, අපි දෙන්නා ගර්ල් ෆ්‍රෙන්ඩ්, බෝයි ෆ්‍රෙන්ඩ් කියලා”

“ආහ් එහෙම ඉතින් මේ අපි අපේ මනුස්සකමට වචනයක් දෙකක් කතාකරා කියල ඔයාලා මේ අපි ඔයාලගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියල හිතන එක වැරදිනෙ. මනුස්සකමට වචනයක් දෙකක් කතාකරාම කොල්ලො කරේ නගින්න එනව කියල අර ෆේස් බුක් එකෙ එහෙම කියන්නෙ බොරුවට නෙවෙයි නේද?” කියල සප්තමී අහක බලාගෙන ඉන්න ගමන් ඇහුවට සප්තමී මූණ අස්සෙ හංගගන්න හදන හිනාව සමුද්‍ර නොදැක්කා නෙවෙයි. ඒ උනාට ඉතින් මේ වගේ මෙච්චර ලඟින් ඉඳගෙන, මෙහෙම කතාකරන්න චාන්ස් නිතරම එන්නෙ නැති හන්ද තමයි සමුද්‍රත් නිකන් ඒ විත්තියක් නොතේරෙන තාලෙට කතාකරන්න හිතුවෙ.  

“අනේ මට සමාවෙන්න. මං හිතුවෙ ඉතින් මේ ඉඳලා ඉඳලා කෙල්ලෙක් මාත් එක්ක කතාකරන්න පටන් ගත්ත එකේ මේ මට ආදරේ කරන්න තමා කතාකරන්නෙ කියල තමයි මං හිතුවෙ. ගැත්තාට සමාවෙන්න මහ රැජිණියනි.. කොහොමද මම මේ වරදට සමාව ගන්න ඕන?” කියල සමුද්‍ර ඇහුවෙ නාට්‍යානුසාරයෙන්.හිනායන්න ආවට සප්තමී බෝම අමාරුවෙන් ඒ හිනාව තද කරගෙන තමයි කතාව කන්ටිනිව් කරන්න හිතුවෙ.

“මෙහෙමයි හරිනම් මම එහෙම ලේසියෙන් මේ වගේ වරදකට සමාව දෙන්න ඕන නෑ. ඒ උනාට අර ඉතින් අපි හොඳට මනුස්සකම් දන්න මිනිස්සු හන්දා මේ වගේ දේවල්වලට අපි සමාව දෙනවා. කන්න අරන් දෙන්න ඕන හැබැයි ඉතින් සමාව සම්පූර්ණයෙන්ම අරගන්න ඕන නම්”

“කන්නද? අයියෝ කන්න අරන් දෙන්නම්කො මං ජීවිත කාලෙ උනත්. ඒකටනෙ කොහොමත්  මං මේ දත කන්නෙ”

“ආහ් ඔයා මේ මෙච්චර වෙලාවක් දාගෙන මාව හම්බුවෙන්න එන්නෙ, කෝල් කරන්නෙ මට කන්න දෙන්න බලාපොරොත්තුවෙන්ද?”

“ඔව් නැතුව? මං ඔයාට දෙවිදියකට කන්න දෙන්න ඉන්නෙ” කියල සමුද්‍ර ඇහැක් ගහලා මනමාල පාටටයි වනචර පාටටයි කියද්දි මේ සමුද්‍ර කියන්නෙ මොකක් හරි වනචර කතාවක් කියල සප්තමීට තේරුණේ නැත්තෙ නෑ. අන්න ඒ හන්දා තමා සප්තමී සමුද්‍රගෙ බාහුවට අතෙන් ගහලා “ඔයා නම් මහ නරකයි අනේ” කියල කිව්වා. ඒ කතාව අහගෙන සමුද්‍ර ඔලුව උස්සල හයියෙන් හිනාවෙද්දි සමුද්‍රගෙ ලස්සන දිග බෙල්ල වටේ අත් දෙක යවලා ඒ මූණට එබෙන්න හිත කියද්දි ඒ හැඟීම දරාගන්න බැරිම තැන තමයි සප්තමී ආයෙම වතාවක් අහක බලාගත්තෙ. හිත මේ කියන්නෙ “සමුද්‍ර ආදරේ කරපං කරපං” කියල දන්නවා උනාට ජීවිතේ පලවෙනි වතාවට හිතට දැනිච්ච ඒ හැඟීම කියන දේට එහෙමම එකඟ වෙන්න බයක්, තිගැස්මක් හිතේ තිබිච්ච විත්තිය දැනගෙන උන්නෙ සප්තමී විතරයි.

“හරි දැන් ජෝක්ස් අපාර්ට්, මට කියන්නකො ඔයා කැමති නැද්ද කියල ඉතින් මේ නරක මිනිහාට ආදරේ කරල හොඳ මාර්ගෙට ගන්න?” කියල සමුද්‍ර ඇහුවට සප්තමී උන්නෙ ඒකට උත්තර දෙන්න විදියක් හිතාගන්න බැරුව. ලැජ්ජාවෙන්. පොඩි ගැස්සීමකින්. සප්තමී ඒකට මුකුත් කිව්වෙ නැති හන්ද තමා සමුද්‍ර දිගටම කතාව කරගෙන ගියේ.

“විහිලුවට උනත් ඉතින් ඇත්තටම මම ඔයාගෙන් ඩිරෙක්ට්ලි කැමතිද කියල ඇහුවෙ නැති හන්දා ඔයා අපි දෙන්න කපල් එකක් නෙවෙයි කියල හිතන එක වැරදි නෑ. හැබැයි ඉතින් දැන් ආයෙ කැමතිද කියල ඇහුවත් මම ඒක අහන්නෙ ඔව් කියන උත්තරේ බලාගෙන මිසක් ඔය බලමු, ගෙදරින් අහල වගේ දෙයක් අහන්න බලාපොරොත්තුවෙන් නම් නෙවෙයි. ඒ උත්තර නම් මම දැන් කීයටවත් භාරගන්නෙ නෑ කෙල්ලෙ. 

හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනව. මම දෙයක් කරන්න ඔයා ඒකෙන් පස්සෙ පිළිගන්නවද අපි දෙන්න කපල් එකක්?” කියලා සමුද්‍ර අහද්දි ඒ අහන්නෙ මොකක් ගැනද කියල හිතාගන්න බැරි හන්දම තමයි සප්තමී ඔලුව හරවන ගමන් “මොකක් කරොත් ද?” කියල ඇහුවේ.

ආන් ඒ වචන සප්තමීගේ තොල් අස්සෙම හිරකරන ගමන් තමයි සමුද්‍ර ඒ ලා රෝස පාට නාදලු වගේ ලස්සන තොල් හරිම පරිස්සමට තමන්ගෙ තොල් අස්සෙ හිරකරගන්න ගන්න ගමන්ම “මෙහෙම කරොත්” කියලා කිව්වේ.

වාහනේ අස්සෙ තිබිච්ච ලැවැන්ඩර් මල් සුවඳ එක්ක පිරුණේ අලුත් ආදරේක උණුහුම.

ඒ උණුහුම අස්සෙ තමන්ගෙ ඉණ වටේ තදට ගිය සමුද්‍රගෙ හයිය අත් අස්සෙ සප්තමී ගුලිවුනේ ඒ උණුහුම දරාගන්න බැරි තරම් හීතලට දැනිච්ච හන්දා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here