තාදී – 3

0
4962

” දන්නවද ගල්කිස්සේ Hotel Sea View ?  ඒකෙ අයිතිකාරයා ගේ වයිෆ් ඔය. ලේසි පහසු මිනිස්සු නෙමෙයි තාදී ඒගොල්ලෝ . විසි කරන්න තරම් සල්ලි තියෙනවා ඔය මිනිස්සුන්ට. ඔයාට හොඳයි ඉතින් එයා දිගටම මෙහෙට ආවොත් වැඩ කර ගන්න ” 

කාන්තාව කියාගෙන ගියාය. ජයමිණි ධනවත් කාන්තාකැයි සිතාගෙන සිටියද ඇය මේතරම් ධනවත් ව්‍යාපාරිකයකුගේ බිරිඳකැයි තාදී දැනගත්තේ දැන් ය.

කාන්තාව මසා නිමකළ ගවුම රැගෙන Clothez හී දොරෙන් පිටත් වූ සැණින්ම ගයාත්‍රී හැරුණේ තාදී වෙතය.

” ඔය හොටෙල් එකේ තිබ්බ වෙඩින් එකකට මං ගිහින් තියෙනවා මිස්. ලොකු හොටෙල් එකක්. ඒ ලේඩිට නම් හොඳට සල්ලි ඇති ඇත්තටම  ” 

” අනේ අපිට මොකද ළමයෝ. අපි ඒ මනුස්සයාගේ වැඩේ කරලා දුන්නා නේ හරියට ” 

” එයා කතා කරලා ගිය විදියෙන් නම් ආපහු මෙහාටම එයි කියලා මට හිතෙනවා මිස්. එහෙම වුනොත් හොඳයි ඉතින් අර කිව්වත් වගේ ”  

ගයාත්‍රී පැවසූ දේ පිළිබඳව කල්පනා කරන්නට තාදී නැවතුනේ නැත. ” සෙවණ ” ට යා යුතු හෙයින් විය යුතු සියල්ල ගයාත්‍රී ඇතුළු පිරිසට පවරා තාදී අත් බෑගය සහ වාහනයේ යතුර අතට ගෙන පිට වන්නට සූදානම් වූවාය.

තාදී Clothez හී ප්‍රධාන දොරටුව ඇර පිටවන්නට සූදානම් වෙද්දී කකුල පැටලී වැටෙන්න ගියේ අහඹු ලෙසය. 

” අනේ මිස් ” 

ගයාත්‍රී දිව ආවේ එසැණිනි. තාදී ඇයව අල්ලා ගෙන නතර වූවාය.

” අනේ ටිකක් ඉඳලා යන්න මිස්. බාධාවක්නේ උනේ ? ” 

” මොන විකාරද ළමයෝ ඕවා ? මට පරක්කු වෙනවා . අරහේ නැනෝ අම්මා බලාගෙන ඇති මම එනකන් ” 

තාදී ගයාත්‍රිගේ පිටට තට්ටුවක් දමා ආදරයෙන් එසේ කියා වාහනයට නැග පිට වූවාය. එහෙත් ගයාත්‍රි ගේ සිතට දැනුනේ බියක් සහ නොසන්සුන් බවකි.

ගජනායකගේ කීමට අනුව ධීර Hotel Sea View වෙත යමින් උන්නේය. උදෑසන දහය වන විට එහි පැමිණෙන ලෙස ගජනායක උදෑසන ගෙදරින් පිට වෙද්දී පවසා තිබුණත් ධීර උන්නේ මාර්ග තදබදය නිසා අතර මග සිරවීය. 

” ශිට්. දැන් ඉතින් තාත්තාගෙන් ඉන්න හම්බවෙන්නෙ නෑ ” 

ධීර එසේ සිතමින් සුක්කානමට පහරක් ගැසුවේ කෝපයෙනි. නියමිත වේලාවට වැඩ නොකිරීම සම්බන්ධයෙන් ඉතා විශාල දේශනයක් දැන් තාත්තාගෙන් ලැබෙනු ඇතැයි සිතමින් ධීර වාහනයෙන් බැස්සේ ඉදිරියේ කුමක් හෝ කලබලයක් සිදුවෙමින් පවතින බව දුටු නිසාවෙනි.

” ඇක්සිඩන්ට් එකක් මහත්තයා. අද යන්න හම්බ වෙන්නෙ නෑ. බස් දෙකක් රේස් ගිහින් කාර් එකක හැප්පිලා ” 

එසේ කීවේ ධීර ගේ වාහනයට ඉදිරියෙන් සිටි ත්‍රී රෝද රථ රියදුරාය. ධීර තවත් ඉදිරියට ගියේ එවදන් අසමිනි. එක් බසයක් ඉස්සර කරන්නට යාමේදී තවත් බසයක් අනෙක් පසින් පැමිණි ඇක්වා රියක ගැටී තිබුණු අතර බසයට එතරම් හානි නොවූ වත් ඇක්වා රියෙහි රියදුරු අසුන අසල කොටසට දැඩි ලෙස හානි වී තිබෙනු දක්නට ලැබුනි.

බස් රථයේ රියදුරාව අවට සිටියවුන් අල්ලා ගෙන තිබුනේ පොලිසිය එනතුරුය.

” මේ බස් කාරයෝ රේස් යනවා අනික් මිනිස්සු ගැන හිතන් නැතුව ” 

” අර  කෙල්ලව හොස්පිට්ල් ගෙනියන්න කෙනෙක් නැති හැටි ” 

අනතුර සිදුවූ ස්ථානයේ මිනිසුන් වටවී සිටියද ඇක්වා රියෙහි ගමන් කල අයව රෝහල වෙත රැගෙන යාම සඳහා කිසිවකු ඉදිරිපත් නොවූහ.

ධීර පිරිස අතරින් ඉදිරියට පැමිණ තැලී තිබූ වාහනයේ දොර සියලු වෙර යොදා ඇරගත්තේ තවත් කිහිප දෙනෙකුගේ උදව්වෙනි. රිය පැදවූ කාන්තාව සිහිසුන්ව සුක්කානම මත හිස තබා සිටි අතර ඇය හැඳ සිටි කහ පැහැ ගවුම ලෙයින් තෙත් වී තිබුණි.

ධීර එම තරුණියව ඔසවා එලියට ගන්නට සූදානම් වූයේ රෝහල වෙත රැගෙන යාම සඳහා ය.

” Oh my god ” 

ධීරට කෑගැසුනේ තුවාල ලබා සිහිසුන් වී සිටින්නේ තාදී බව දුටු විටය. ඔහු එසැනින් තාදී ව දෝතට ඔසවා ගෙන ඔහුගේ රථය වෙත දිව යන්නට විය. ඒ සමගම තවත් අයෙක් වාහනයේ තිබූ තාදීගේ අත් බෑගය රැගෙන ධීර පසුපස දිව ගොස් එය ධීරගේ අවුඩි රථයට දමා පසුපස දොර විවෘත කර දුන්නේ තාදීව රථයට දමා ගැනීම සඳහා ය.

තාදීව රෝහලට රැගෙන යාම සඳහා පිරිස ඉඩ දුන්නේ කඩිමුඩියේය. ධීර කෙදිනකවත් රිය නොපැදවූ තරමේ වේගයකින් කළුබෝවිල රෝහල වෙත රථය ධාවනය කළේය. හදිසි අනතුරු ඒකකය අසල වාහනය නැවැත්වූ ධීර වාහනයෙන් බැස කෑගසද්දී හෙදියන් සහ තවත් කිහිප දෙනෙක් යුහුසුළුව පැමිණ තාදීව ප්‍රතිකාර සඳහා රැගෙන ගියහ.

ඒ සමඟම ධීරගේ දුරකථනය නාද වන්නට විය.ඇමතුම ගජනායක ගෙනි.

” කොහෙද ඉන්නෙ ධීර ? වෙලාව කීයද දැන්? ” 

ගජනායක කෝපය සඟවාගෙන කතා කළේය.

” තාත්තා මං හොස්පිට්ල් එකේ ” 

ධීර ඇත්තම කියා දැම්මේ ඕනෑ එකක් වන්නට හැරය.

” හොස්පිට්ල් එකෙ ? ඇයි ? ” 

” නුගේගොඩ කිට්ටුව ඇක්සිඩන්ට් එකක් වෙලා තිබ්බා. ඒ ගර්ල්ව හොස්පිටල් ගෙනියන්න කවුරුත් හිටියේ නෑ එතන. ඇරත් මිනිස්සු බයයිනේ ඒ වගේ දේකට ඉන්වෝල් වෙන්න. මම ඒ ගර්ල්ව හොස්පිටල් ගෙනාවා. මේ ආව විතරයි තාත්තා හොස්පිට්ල් එකට ” 

සිදුවී ඇත්තේ හදිසි අනතුරක් වුවත් ගජනායක පුදුම වූයේ නැත. කුඩා කල පටන්ම අන් අයට උදව් කිරීමේ පුරුද්ද සහ අන් අය කෙරෙහි ඇති අනුකම්පා කිරීමේ ගුණය ධීරට පැමිණ තිබුණේ ජයමිණිගෙන් බව ගජනායක ඒ මොහොතේදීත් සිතුවේය. 

” මේ පේශන්ට් ගේ විස්තර ඕනේ අපිට ” 

හෙදියක් පැමිණ ධීරට කී විට ධීර වාහනය කරා ගොස් කවුදෝ එයට දැමූ තාදී ගේ අත් බෑගය හැර බැලුවේය. එහි මුදල් පසුම්බියක් වූ අතර එහි වූ ඇගේ ජාතික හැඳුනුම්පත ධීර අතට ගත්තේය.

” තාදී වර්ණකුලසූරිය ” ලෙස එහි සටහන්ව තිබූ අතර පදිංචිය ලෙස එහි සටහන්ව තිබුනේ ළමා නිවාසයක නමකි. 

ධීර ගේ හදවත කඩා වැටුනේ එය දුටු විටය. තාදී ගැන සිතා සිටි ආකාරය සම්පූර්ණයෙන්ම වැරදි බව ඔහු වටහා ගත්තේ එවිටය. එසේ නම් ඇය අනාථ නිවාසයක හැදී වැඩුණු තරුණියක් බව ධීර අවබෝධ කර ගත්තේය.

අවශ්‍ය තොරතුරු රෝහල වෙත ලබා දුන් පසුව ධීර රෝහල් කොරිඩෝවෙහි වාඩිවී සිටියේ ඒ වන විටත් තාදී සිහිසුන්ව සිටින බව හෙදියක් දැනුම් දුන් නිසාවෙනි. 

තාදීගේ අත් බෑගයේ තිබූ දුරකථනයේ නාද වූයේ ඔය අතරය. එය ඇසුණු පසු ධීර අත් බෑගයට අත දමා දුරකථනය ගෙන එය පරීක්ෂා කළේය. තිරයෙහි සඳහන් වූයේ ” Home ” ලෙසිනි. අනාථ නිවාසයක හැදී වැඩුණා නම් ඇයට නිවසක් කොහෙන්දැයි සිතමින් ධීර ඇමතුම සම්බන්ධ කර ගත්තේය.

” කොහෙද නෝනා ඉන්නේ? එන්න තව පරක්කු වෙනවද ? ” 

අනෙක් පසින් ඇසුණේ නැනෝ අම්මාගේ කටහඬ වුවත් ඇයට හා තාදීට ඇති සම්බන්ධය වටහා ගැනීමට ධීරට ඒ මොහොතෙහි හැකි නොවූයේ හිතෙහි තිබූ නොසන්සුන් බව නිසාය.

” හෙලෝ.. මේ තාදී ගේ ගෙදරින්ද ? ” 

ධීර ඇසුවේ , අසන්නට වෙන යමක් සිතාගත නොහැකිවූ නිසාය.

” ක.. කවුද මේ ? ” 

නැනෝ අම්මා නැවත ඇසුයේ තාදී ගේ දුරකථනයෙන් පිරිමි කටහඬක් ඇසුණ නිසාය.

” කලබල වෙන්න එපා.තාදීට පොඩි ඇක්සිඩන්ට් එකක් උනා. එයා hospital එකේ ඉන්නේ ” 

ධීර කියා දැම්මේ කිව යුතු නිසාවෙනි. නැනෝ අම්මා කෑගසා හඬන හඬ ඇසුනේ ඉන් අනතුරුවය.

” අනේ මහත්තයෝ අපේ නෝනාට අමාරුද ? ” 

නැනෝ අම්මා ඇසූයේ හැඬුම් අතරේය. සමහර විට මේ තාදීගේ මෙහෙකාරිය හෝ වෙනත් කවුරුන් හෝ විය හැකි බව ධීර අනුමාන කලේය.

” නෑ ලොකු අවුලක් නෑ.ඔයාලා කාට හරි එන්න පුළුවන් නම් හොදයි කළුබෝවිල හොස්පිට්ල් එකට ” 

නැනෝ අම්මා හඬමින් ම තවත් විස්තර අසා දැනගෙන දුරකථන ඇමතුම විසන්ධි කළාය. ඇය හෝ වෙනත් කවුරුන් හෝ පැමිණෙන තුරු සිටීමට සිදුවන නිසා ධීර නැවතත් කොරිඩෝවෙහි වාඩි වී ආයුශ් ට ඇමතුමක් ගත්තේ ය.

” මචං උඹට පුළුවන්ද කළුබෝවිල හොස්පිටල් එකට එන්න ? ” 

ආයුශ් ඇමතුමට සම්බන්ධ වූ සැණින් ධීර ඇසුවේය.

” මචං ඇයි ? ” 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here