තාදී උන්නේ කාර්යාල කාමරයට වී ඇඳුම් නිර්මාණයක කටු සටහනක් අඳිමිනි. වෙනදා මෙවැන්නකට මේ තරම් වේලාවක් ගත වූයේ නැතත් තාදී මේ කටු සටහන අඳින්නේ දැන් පැයක පමණ සිටය.
” කෙල්ලෙක් වෙන්න ඕනෙ ඔයා වගේ තාදී “
පෙර දින රාත්රියේ ධීර කියූ වදන් තාදීගේ මනසේ හොල්මන් කරන්නට විය. කෙනෙක් ඔය තරම් තදින් හිතට වදින්නට තමාව කියවා ඇත්තේ ප්රථම වතාවටය. මේ දින කිහිපයට ධීර එසේ වූයේ කෙසේ දැයි සිතාගැනීමට නොහැකිව තාදී අඳිමින් සිටි කටු සටහන පසෙකින් තබා කල්පනා කළාය
” මිස් මොකක් හරි ප්රශ්නෙකද ඉන්නේ ? ”
ගයාත්රී කාර්යාල කාමරයට පැමිණ ඇසුවාය.
” නෑ ගයාත්රී. ඇයි එහෙම ඇහුවේ ? ”
” මිස් උදේ ඉඳන් මොකක්දෝ ලොකු කල්පනාවක ඉන්නවා දැක්කා. මේ.. තාම කෝපි එක බීලත් නෑ ”
පැය භාගයකට පමණ පෙර ගයාත්රී ගෙනවිත් දුන් කෝපි කෝප්පය මේසය මතම නිවී ගොස් ඇති ආකාරය තාදී දුටුවේ එවිටය. මොහොතක් කල්පනා කළ තාදී අත්බෑගය සහ වාහනයේ යතුර ගෙන නැගිට්ටාය.
” මං පොඩ්ඩක් නැනෝ අම්මාව හම්බවෙලා එන්නම් ගයාත්රි. වැඩ ටික චුට්ටක් බලන්න ”
ගයාත්රී කිසිවක් කියන්නටත් පෙර තාදී පිටවූවාය. නුගේගොඩ සිට නාරහෙන්පිට ට පැමිණෙන්නට තාදීට ඒ හැටි වෙලාවක් ගත වූයේ නැත.
” ඇයි නෝනා මේ ? ”
තාදී කතා බහකින් තොරව කෑම මේසයේ පුටුවක් ඇද වාඩි වූ විට නැනෝ අම්මා තාදී දෙස බැලුවේ විමසිල්ලෙනි.
” මං ආවෙ නැනෝ අම්මා එක්ක ටිකක් කතා කරන්න ”
තාදී පෙරදින රැයේ ධීර තමා වෙත ලබාදුන් දුරකථන ඇමතුම ගැන එක හුස්මට නැනෝ අම්මාට කියා දැම්මාය.
” නෝනා ට තිබුණේ මුලින්ම වැඩි විස්තර ඒ මහත්තයාට නොකියා ඉන්න. එයාගේ එහෙම නරක පාටක් නම් මං දැක්කේ නෑ.ඒත් මොනා උනත් පිටස්තරයෙක් නෙ. මොකට එනවද කවුද දන්නේ? “
නැනෝ අම්මා කෝපි කෝප්පය තාදී අතට දුන්නාය. පිටුපස මිදුලේ අනෙකුත් සේවිකාවන් සමඟ දරුවන් සෙල්ලම් කරන ආකාරය තාදී දුටුවේ ජනේලයෙනි. වෙනදා නම් ඔය සෙල්ලමට තාදී එකතු වන්නේ ඉතා කැමැත්තෙන් වුවත් මේ මොහොතේ තාදී උන්නේ කියාගත නොහැකි කුමක්දෝ අවුලකිනි.
” මගේ ගොඩක් විස්තර ධීර දැනගෙන තිබුණේ මගේ ඇක්සිඩන්ට් එක වෙලාවේ නැනෝ අම්මා. මට කියන්න ඉතුරු වෙලා තිබුණේ පොඩි පොඩි දේවල් ටිකක් විතරයි. අනික එයාගේ අම්මා උනත් හරි වැදගත් මනුස්සයෙක් ”
” නෝනා කොහොමද ඒ අම්මව දන්නේ ? ”
” එයාගේ අම්මා ඇඳුම් මහන්නේ මගෙන් ”
නැනෝ අම්මා කල්පනාවට වැටුනේ තාදීගේ පිළිතුර අනුවය. කුඩා කල සිටම තම සෙවණේ හැදී වැඩුණු තාදී තරුණයෙකු ගැන තමා සමග කතා කරන්නේ ප්රථම වතාවටය. ඒ ගැන බිය විය යුතු දැයි සන්තෝස විය යුතු දැයි නැනෝ අම්මාට ඒ මොහොතේ වැටහුනේ නැත.
” නෝනා ඕක ගැන වැඩිය හිතන්න යන්න එපා. අනික නෝනා කරදරේ වැටුන වෙලාවෙ ඒ මහත්තයා උදව් කරපු එකේ ඒ මහත්තයා නරක කෙනෙක් වෙන්න බෑනේ. ජීවිතේට කෙනෙක් එන්න හදනවා නම් එන්න දෙන්න නෝනා. ”
නැනෝ අම්මා අවසානයට කියූ වදන් පෙළ ගැන තාදී නිහඬවම කල්පනා කළාය. ඒ අතරේ පියදාස දිව ආවේ කලබලයෙනි.
” ඇයි පියදාස ? ”
තාදී ඇසුවේ අවසන් කළ කෝපි කෝප්පය මේසය මත තබමිනි
” ඊයේ නෝනත් එක්ක ආපු මහත්තයා ඇවිල්ලා නෝනාව අහනවා ”
” ධීර ”
තාදීට කියවිනි.
” මං ගේට්ටුව ඇරියේ නැහැ ”
පියදාස යළිත් කීවේය.
” ගේට්ටුව අරින්න පියදාස ”
තාදී අවසර දුන් පසු පියදාස පිටව ගියේය. තාදීට ඉබේටම බැලුනේ නැනෝ අම්මා දෙසය.
” මං ගිහින් කතා කරන්නද නෝනේ ? “
” එපා නැනෝ අම්මා. බලමුකො ”
තාදී ආලින්දය වෙත ගියාය. ධීර වාහනයෙන් බැස ආවේ එතකොටය.
” මං ශොප් එකට ගියා. ඔයා මේ පැත්තට ආවා කිව්ව නිසා මං නිකං ඔළුව දාලා යන්න ආවේ. කොහොමද නැනෝ අම්මේ ? ”
” හොඳින් ඉන්නවා මහත්තයා. ඉන්න මං මහත්තයාටත් කෝපි එකක් හදාගෙන එන්නම්”
නැනෝ අම්මා මුළුතැන්ගෙය දෙසට යන ආකාරය බලා සිටි ධීර ආලින්දයේ වූයේය පුටුවකට බර වූයේය. තාදී කිසිවක් නොකියා උළුවස්සට හේතු වී සිටියේ කුමක් කියන්නදැයි සිතා ගත නොහැකිවය.
” මට සමාවෙන්න තාදී ”
ධීර එකවරම කීවේය. තාදී ඔහු දෙස බැලුවේ පුදුමයෙනි.
” මං ඊයෙ රෑ බීලා කෝල් කරාට මට සමාවෙන්න. මොනවා කිව්වද කියලා මට ලොකුවට මතක නෑ. ඒ නිසා ඔයාව හම්බවෙලා සමාව ගන්නකන් මගේ හිතට නිවනක් තිබුණේ නෑ තාදී .හොටෙල් එකේ වැඩ එහෙ මෙහෙ වෙනකං ඉඳලා මං මේ ආවේ ඒකටමයි ”
ධීර එක හුස්මට කියාගෙන ගොස් නතර කළේය.
” මං මොනා කිව්වත් කිව්වේ ඇත්ත කියලනම් මතක තියාගන්න. මොකද බිව්වට පස්සේ මිනිස්සු කියවන්නේ හිතේ තියෙන දේවල් ”
ධීර එවදන් කිවූයේ කට කොණකට සිනහවක් නගා ගෙනය.
” ඔයා ඔය ටික කියපු එක හොඳයි ”
තාදී පිළිතුරු දුන් පසු ධීර හිස හරවා ඇය දෙස බැලුවේය. තාදී උන්නේ ඉදිරිපස දොරෙන් මිදුල දෙස බලාගෙනය.
” ඇයි ? ”
” මං ඊයේ රෑ හිතා ගත්තා ආපහු බීපු මිනිසුන්ගේ කෝල් ආන්සර් කරන්නේ නෑ කියලා ”
තාදී කීවේ මදහසක් ඇතිවය. ඇගේ හිතේ තරහවක් නැති බව ධීර හඳුනා ගත්තේය. ඇත්තටම ධීර පැවසූ දේවල් වලට අමනාපයක් ඇති කර ගත යුතු නැතැයි තාදී සිතා ගත්තේ ධීර පැමිණි මොහොතේය. අහම්බෙන් මුණ ගැසුණු මේ අපූරු තරුණයා මේ තරම් ඉක්මනින් තමාව කියවා ගැනීම ම පුදුමාකාර බව තාදී නිහඬවම සිතුවාය. දෙදෙනා අතර වූයේ කෙටි නිහඬතාවයකි. ඒ නිහඬතාවය අවසන් වූයේ නැනෝ අම්මා කෝපි කෝප්පය රැගෙන ආලින්දය වෙත ආ පසුය.
” මහත්තයා එද්දි අපි කතා කර කර හිටියේ මහත්තයා ගැන තමයි ”
ධීර ට සිනහා පහල වූයේත් තාදී තරවටු බැල්මකින් නැනෝ අම්මා දෙස බැලුවේත් එක විටමය. නැනෝ අම්මා සිනහව සඟවා ගෙන නැවතත් මුළුතැන්ගෙය දෙසට ඇදුනේ තාදී දෙස හොරහින් බලමිනි.
” එයා යනවා ගින්න පත්තු කරලා තියලා ”
තාදී ඇහෙන නෑහෙන ගානට කීවාය. ධීර තාදී දෙස බැලුවේ ජයග්රාහී ලීලාවකිනි. ඒ නිසාම තාදී ඔහුගේ දෑස් මඟ ඇරියාය.
” මං ගැනත් කතා වෙනව නේද එහෙනම් ? “
” වැඩේමයි ”
” මං හිතන්නේ නෑ අතර වයසක නැනෝ අම්මා බොරු කියයි කියලා. මොනාද ඉතින් මං ගැන කතා වුණේ ? ”
ධීර කෝපි උගුරක් තොල ගෑවේ සිනාසෙමිනි.ඒ සිනාවෙහි වූයේ සැහැල්ලුවකි.
තමා තරුණියක් ඉදිරියෙහි මෙතරම් සැහැල්ලුවෙන් ඉන්නෙ ප්රථම වතාවට බව ධීර සිතුවේය. මීට පෙර පෙම්වතියන් කිහිප දෙනෙක් සිට ඇතත් , කෙටි සබඳතා කිහිපයක් තිබී ඇතත් ඒ කිසිවෙකු ඉදිරියෙහි නොවූ සතුටක් සහ සැහැල්ලුවක් දැන් තමා අත්විඳින බව තාදී ට කියන්න ධීර ට උවමනා විය.
” ඒ කියන්නේ මං ගැන කතා කරන්න තරම් ඔයාට මාව මතක් වෙනවා කියන එකද ? ”
ධීර ට ඇත්තටම අසන්නට උවමනා වූයේ එය නොවේ. තාදීගේ හිතේ තමන්ට ඇත්තෙ කුමන තැනක් දැයි කියා ය.එහෙත් එය වචන වලට පෙරලන්නට ධීර ඉක්මන් නොවූයේ ය. තමා ගේ හිතේ තාදී ගැන ඇත්තේ පෙර කිසි කෙනෙකු කෙරෙහි නොවූ විශේෂ හැඟීමක් බව පමණක් ධීර පිළිගනිමින් උන්නේය.
” නෑ ඉතින් ඔයා ඊයේ ආවනේ මෙහේ. නැනෝ අම්ම නිකමට ඒ ගැන ඇහුවා. වෙන විශේෂ දෙයක් නෑ ”
ඇත්ත එය නොවන නිසා තාදී පිළිතුරු දුන්නේ ධීර ගේ මුහුණ මග හැරය.
” විශේෂ දෙයක් ඇත්තෙම නැද්ද තාදී ? ”
ධීර හිඳගෙන හුන් තැනින් නැගිට්ටේ ය.