තාදී – 10

0
1144

තාදී ” Clothez ” වෙත එන විට ධීර ඔහුගේ වාහනයෙන් තාදී පසුපස ආවේ තව ටික වෙලාවක් හෝ තාදී සමඟ ගත කරන්නට ඇති කැමැත්ත නිසා ය. 

” ඔයාට හොටෙල් එකේ වැඩ නැද්ද ඇත්තටම ?”

තාදී ධීර ගෙන් ඇසුවේ ඇගේ අසුනෙන් වාඩි වන අතරේ ය.

” තාත්තා ඉන්නවා. මං වැඩකට යනවා කියලා එලියට පැන ගත්තේ තාදී ” 

ධීර මේසය මත තිබූ කටු සටහන් ගෙන ඒ මේ අත හරවා බැලුවේ ය.

ජයමිණි ගජනායක රැගත් රථය Clothez ඉදිරිපිට නවත්වන විටම ඇය එහි නවතා තිබූ ධීර ගේ රථය දුටුවා ය. මොහොතක් ඒ දෙස බලා සිටි ජයමිණි වාහනයෙන් බැස ආවාය. ජයමිණි Clothez වෙත ඇතුලු වන විට ගයාත්‍රි ට ඉබේටම බැලුනේ තාදී ගේ කාර්‍යාල කාමරය දෙසය. ජයමිණි දෙනෙත් සිසාරා අවට බැලුවත් ධීර පෙනෙන්නට නොසිටි නිසා ඇය ඉන් අනතුරුව බැලුවේ කාර්‍යාල කාමරය දෙසය. එහෙත් එහි සිටින්නෙ කවුරුන් දැයි ජයමිණි පැහැදිලිව දුටුවේ නැත.

” මිසිස් ගජනායක. ජැකට් එකක් මහන්නද ? ” 

ගයත්‍රි ඇසුවේ බැරිම තැනය. ඇය මේ අවට බලමින් සොයන්නේ තම පුත්‍රයාව බව ගයත්‍රි දැන හුන් නමුත් ඒ මොහොතේ කළ යුත්තේ කුමක්දැයි ගයත්‍රී ගේ සිහියට ආවේ නැත.

” ඔව්.එහෙම වැඩකට තමයි මං ආවේ. තාදී ඉන්නවද ?” 

ජයමිණි වදන් පිට කළේ අඩමානයටය. තමා පෙර දිනයක ධීර ව මෙහි එව්වත් , නැවත මෙහි ඒම සඳහා ධීර ට තිබෙන උවමනාව කුමක්දැයි ජයමිණි කල්පනා කළා ය.

” මිස් ඔෆිස් රූම් එකේ. මිසිස් ගජනායක වාඩි වෙන්න. මං මිස්ට කතා කරන්නම් ” 

ගයාත්‍රී සූදානම් වූයේ කාර්යාල කාමරය වෙත යාමටය. එහෙත් ඊට පෙර එහි දොර ඇරගෙන පිටතට පැමිණියේ ධීර සහ තාදී ය. 

ජයමිණිව මුලින්ම දුටුවෙ ධීර ය. කිසිසේත්ම නොසිතූ මොහොතක තම මව මෙහි සිටීම පුදුමයක් වුවත් ධීර වෙනසක් පෙන්වූයේ නැත.

” අම්මා ඔයා මෙහෙ ? ” 

ධීර ඉදිරියට ආවේය. ජයමිණිද වෙනසක් පෙන්වූයේ හෝ පුදුම වූ බවක් පෙන්වූයේ හෝ නැත. තාදී පුරුදු සිනාමුසු මුහුණින් ජයමිණි වෙත ආවේ ධීර පසු කර ගෙනය.

” මං ආවේ වැඩකට තාදී ” 

” එන්න මිසිස් ගජනායක ” 

තාදී එසේ කියද්දි ජයමිණි බැලුවේ තවදුරටත් තමා දෙස බලා සිටින තම පුත්‍රයා දෙසය.

” මං ඔයාව ගෙදරදි හම්බවෙන්නම් පුතා. ඔයා දැන් හොටෙල් එකට යනවද ? ” 

ජයමිණි ඇසුවේ කිසිවක් සිදුවූ නැති ලෙසය. තම මව ස්වභාවයෙන්ම නිවුණු කාන්තාවක් නිසා ධීර ද ඒ ගැන පුදුම වූයේ නැත. තාදී සහ තමා අතර ඇති හිතවත්කම නිවි සැනසිල්ලේ මවට කියන්නට ධීර සිතා ගත්තේ ඉන් අනතුරුවය.

” මං හවස් වෙලා එන්නම් අම්මා. තාදී මං ගිහින් එන්නම් ” 

ධීර Clothez හි ප්‍රධාන දොරටුවෙන් පිටව යද්දිත් ජයමිණි ඒ දෙස බලා උන්නාය. තාදී බලා සිටියේ ඊළඟට සිදුවන්නට යන්නේ කුමක්දැයි කියාය. ජයමිණි අසනා ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දීමට සූදානමින් තාදී සිටියත් ජයමිණි වචනයකුදු හෝ ඇසුවේ නැත.

” අම්මෝ මම බය වුනා මිස් ” 

ගයාත්‍රි සැනසුම් සුසුම් හෙළුවේ ජයමිණි පිටව ගිය පසුවය.

” මොකට බය වෙන්නද ළමයෝ ? කවුරුත් වැරැද්දක් කරලා නෑනෙ මෙතන ” 

තාදී හිටියේ සන්සුන්වය. ජීවිතයේ බොහෝ දේවල් වලට මුහුණ දුන් පසුව මෙය ඉතා කුඩා සිදුවීමක් පමණක් බව තාදී සිතා ගත්තා ය.

ධීර නිවසට පැමිණියේ හවස හතට පමණය.තවත් වැඩ කටයුත්තකට යාමට සිදු වූ නිසා ගජනායක ඒ වන විටත් නිවසට පැමිණ උන්නේ නැත. ජයමිණි බලා උන්නේ ධීර පැමිණෙන තුරුය. කාමරයේ සඳළුතලයේ සිට නිවසට ඇතුළ වන තම පුත්‍රයා දෙස බලා සිටි ජයමිණි කාමරයටම වී මොහොතක් ගත කළාය. ඒ ධීර ඔහුගේ කාමරයට යනතුරුය.

” පුතා ” 

ජයමිණි ධීර ගේ කාමරයට ගියේ තේ එකකුත් රැගෙනය.එය කණ්නාඩි මේසේ මත තැබූ ජයමිණි ධීර දෙසට හැරුනාය.

” ඔයාට මට මොනව හරි කියන්නන තියෙනවද පුතා ? ” 

ජයමිණි ඇසුවේ සන්සුන් හඬිනි. 

” අම්මා ඔය අහන්න හදන්නේ තාදී ගැන නේ ? ” 

” හ්ම් ” 

” අම්මා මාව එතනට යවන්න කලින් මං තාදී ව දන්නවා”

ජයමිණි පුදුම වූයේ ධීර ගේ එවදන් වලට ය. එසේ නම් මෙය අදක ඊයේක පටන් ගත් හිතවත්කමක් නොවේ.

” අම්මට මතකද මං ඇක්සිඩන්ට් එකක් වෙච්ච ගෑනු ළමයෙක්ව හොස්පිට්ල් අරන් ගියා කියලා කිව්වා ? මං හොටෙල් එකේ වැඩට ගිය පළවෙනි දවසේ ? ” 

” ඉතින් ? ” 

” ඒ තාදී ” 

ජයමිණි කිසිවක් කීවේ නැත. යමක් කියන්නට පෙර සියල්ලටම සාවදානව සවන් දිය යුතුය.

” ඒත් මං එයාව දන්නේ ඊටත් කලින්. මට එයාව සුපර්මාකට් එකකදී ඊට කලින් හම්බ වෙලා තියෙනවා ” 

ධීර එපමණක් කියා නතර කළේය. 

” හරි එතකොට ඇයි ඔයා අද ඒ ළමයාගේ ශොප් එකට ගියේ ? හරි නම් ඔයා ඒ වෙලාවෙ ඉන්න ඕනෙ හොටෙල් එකේනේ  ” 

” මං ගියේ ඇත්තටම තාදිව හම්බවෙන්න උවමනාවක් මට තිබුණ නිසා ” 

” මොකක්ද උවමනාව ? ” 

” මට ඒක කියන්න තේරෙන්නේ නෑ අම්මා ” 

ධීර තේ එක ගෙන ඇඳ මතින් වාඩි වූයේය. ජයමිණි ද ගොස් ධීර අසලින් වාඩි වූයේ මේ කතාව මෙතනින් නතර නොකළ යුතු එකක් බව සිතමිනි. 

” ඒ කියන්නේ ඔයාගේ හිතේ තාදී ගැන අදහසක් තියෙනවද පුතා ? ” 

ජයමිණි කෙලින්ම ඇසුවාය. මෙතුවක් කාලයකට ධීර කිසිවක් තමාගෙන් හංගා නැත. පාසල් වියේ පටන් තිබූ ප්‍රේම සබඳතා පිළිබඳව සියලු තොරතුරු ජයමිණි දැන හුන් අතර ජයමිණිට උවමනා වූයේ තාදී සහ ධීර අතරේ එවැන්නක් ඇති දැයි දැන ගැනීමටය. බැලූ බැල්මට තාදී යනු නරක කෙල්ලක නොවේ. ඒ කෙසේ වුවත් මෙය සිහි කල්පනාවෙන් කටයුතු කළ යුතු වේලාවක් බව ජයමිණි සිතුවාය.

” මං දන්නෙ නෑ අම්මා. ඒත් තාදී කියන්නේ නරක කෙල්ලෙක් නෙමෙයි. මනුස්සයෙකුට ජීවිත කාලෙම සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් ගතිගුණ තාදී ගාව තියෙනවා. මං දන්නේ එච්චරයි “

” පුතා ? ” 

” අම්මා දවසක එයා එක්ක කතා කරල බැලුවොත් එයා මොන වගේ කෙනෙක්ද කියල තේරුම් ගන්න අම්මට පුළුවන් වෙයි. අම්මා අපේ තාත්තා එක්ක ජීවත් වෙනවා වගේ නැතුව , මට මං වෙලා ජීවත් වෙන්න පුලුවන් වෙන්නේ එහෙම කෙනෙක් මගේ ජීවිතේට ආවොත් තමයි 

” 

ධීර තම හදවතේ ඇති දෙය විවෘතව ජයමිණි වෙත කියා පෑවේය. 

” පුතා මට කියන්නේ තාදී එක්ක කතා කරන්න කියලද ? ” 

ජයමිණි ඇසුවාය. ඒත් ධීර උත්තර දුන්නේ නැත.

වසන්ත ගජනායක නිවසට ආවේ ඔය අතරය. නිශ්ශබ්දතාවයේ ගිලී තිබූ නිවසේ වෙනදා මෙන් තමා එනතුරු ජයමිණි මග බලා නොසිටීම ගජනායකට ගෙන ආවේ පුදුමයකි. කාමරයේ කතාබහ කරමින් හුන් ධීරට වත් , ජයමිණිට වත් ගජනායක තරප්පුව නගින හඬවත් ඇසුණේ නැත.

” අම්මයි පුතයි අද ලොකු කතාවක් වගේ ” 

ගජනායක ධීරගේ කාමරයට ඇතුලු වූයේ අනවසරයෙනි.

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here