මේ ඒ වසන්තයයි – 42

0
2233


වත්සලා පැවසූ කිසිවක් නොවැටහුනු බව නුරාන් පවසද්දී ඉසිනි යළි සෝමා ඇමතුවාය.

” අනේ ඒකිට පිස්සුද කොහෙද තාරා.. කොහොම හරි නැන්දා ගෙදර ඉන්නවා කිව්වා…”

නුරාන් ඇගේ  ජංගම දුරකතනය පසෙකට කරමින් කීවේ ඕ වෙත වඩා විමසිලිමත් බැල්මක් හෙලමිනි.

” එතකොට රෑට නොකා නිදාගන්නද මේ ලෑස්තිය ?…”

දිනය පුරාම දැනුන  නොසන්සුන් බව ක්‍රමයෙන් දියවී යන බව ඉසිනිට දැනෙන්නට ගත්තාය. එහෙත්  රාත්‍රී ආහාරය ගැන වගක්වත් නොවූ බවද, බලා උන්නේ ඔහුගේ ඇමතුමක් හෝ පණිවිඩයක් එන මඟ බවද නුරාන් සමඟ පවසන්නට ඇයට සිතුනේ නැත. ඕ කිසිත් නොපවසා උන්නාය.

” මොකෝ තාරා මේ ..”

නුරාන් ඇයට නොදොඬා සිටින්නට හැකි සීමාව වඩ වඩාත් පටු කලේය. දෑස් ඇය මතම රඳවා උන්නේය.

” ඇයි දවස  තිස්සේ සද්දයක්වත් නොකර උන්නේ ?…”

ඕ අවලාදය නැඟීම මැදකින් නවතා ගත්තාය. එහෙත් ඇගේ ස්වරයේ නුරාන්ට අවැසි සියල්ලම තිබුණි.

” ඔහෝ … මගේ ලස්සන  ගෑණු ළමයාට පාලු හිතිලා වගේ …”

නුරාන් එක්වරම නැවී ඇගේ කොපුලක් ඉම්බේය. පසුව ඕ පසෙකට කරමින් සෙටියේ මදක් එපිටට වී හිඳ ගත්තේය.

” ඔන්න ඔහොම අමුවෙන්  ඉන්නවා තාරා… ආසයි එතකොට .. දේවල් හංගන්න උත්සාහ කරන එකෙන් අපි දෙන්නාටම රිදෙනවා…”

” ඒත් .. නුරාන් …”

” ඒත් කියන්නෙපා තාරා..  අයියයි අක්කයි මගේ ඔලුව කනවා තාරා .. අද ඔයාගේ ඔලුවත් කාලා ඇති…”

” එහෙම නෑ ..”

ඉසිනි පැහැසරාගේ දෑස් සිහි කරමින් එලෙස කීවේ නුරාන්ගෙන් දෑස් ඉවතට ගනිමිනි. නුරාන් එය පිළි නොගන්නා බව අඟවමින් සිනහසුනේය. අක්කා සහ අයියා අද දවස තුල කල හැකි උපරිමයෙන් ඉසිනිව කඩා වට්ටවන බව නුරාන් දැන උන්නේය. සැලසුම් සහගතවම නිහඬව උන්නේ ඉසිනිට එය තනිව දරා ගන්නට ඉඩ දෙන්නටය.ඕ එය යම් තරමකින්ව දරාගෙන ඇති බවට හැඟෙන්නේ මේ හැසිරීමෙනි. එහෙත් යමක් සඟවාගන්නටද ඕ තනන  බව දැනෙන්නේය.

” අක්කාද අයියාද යුද ප්‍රකාශ කලේ ?…

” එහෙම අවුලක් නෑ ..”

” නෑ ?…”

” ම්හ් ….”

ඉසිනි එලෙසින් පවසා නුරාන් වෙත දයබර බැල්මක් පෑවාය.  

” ඔයාට මහන්සි ඇති නුරාන් … වොශ් එකක්වත් දාලා නැතුව නේ …”

“: ම්ම්ම් … මහන්සි නම් තමා .. ඒ වුනාට කමක් නෑ .. “

” ඔයා තව රෑ  වෙන්නේ නැතුව මෙහෙමම යමු  නේද  නුරාන් එහෙනම් ?   “

” මම රෑට මෙහෙ ඉන්නද ?”

නුරාන් ඉන්  පසුව විමසුවේ ඉසිනිගේ දෑස් නළලේ රඳවමිනි. සමාජය තුලින්ම සකසාගෙන ඇති නීති, සාම්ප්‍රදායන්  නිසා ඇතිවෙන්නට බැට කා උන් ඉසිනි නුරාන්ගේ යෝජනාව දුටුවේ සැහැල්ලු සිතින් නොවේ.  අනෙක් අතට මේ තමා සේවය කරන ප්‍රදේශය ප්‍රදේශය අනෙක් අතට නුරාව ප්‍රදේශයේ සියලුම දෙනා දන්නා කියන නමක් දෙනා ගත් පුද්ගලයෙකි. තමා පළමු විවාහයෙන් වෙන් වූ අයෙකු බව වැඩි දෙනෙක් දන්නේ නැති වුවද ඒ බව දන්නා අයද සිටියි. එලෙස තිබියදී තමා විසින් නොරහන්ව තම නිවසට ගෙන්වා ගැනීම එතරම් සුබ නිමිත්තක් ලෙසින් ඔවුන් නොදකින බව විසිනි මින් පෙර සිටම කල්පනා කර තිබුණි. යළි සැණින් ඇගේ සිතට ආවේ ධනුක සහ පැහැසරාය. නිවසට නොපැමිණෙද්දී ඔවුන් දෙදෙනා අනිවාර්යෙන් සැක කරන්නේ තමා ඔහු සමග සිටිනවා යයි කියාය.

පැහැසරාගේ හඬ ඇසෙන්නට ගත්තේය.

”  ඔයා මෙන්න මේක මතක තියාගන්න ඕන ඒඩී මිස්.. නුරාන් ගේ,  ධනුකගේ අම්මයි තාත්තයි කියන්නේ තමන්ගේ දරුවෝ දෙන්න වෙනුවෙන් ජීවිතයේ අප්‍රමාණ දුක් විඳපු දෙමව්පියෝ දෙන්නෙක්…  එච්චර දුක් විඳලා උස්මහත් කරපු කොල්ලෝ දෙන්නගෙන් එක් කෙනෙක්,  කෙල්ලෙක් නිසා මැරෙන්න යන එකත් ඒ අම්මයි තාත්තයි විද දරා ගත්තා. ආයෙම ඒ අම්මටයි තාත්තට තාත්තටයි ඒ දුක දෙන්න නම් සූදානම් වෙන්න එපා….. අනෙක් අතට අම්මගෙන්  තාත්තාගෙන්  නුරාන් ව වෙන්කරගෙන  ඔයගේ ජීව්තේ හදාගන්න  හිතාගෙන ඉන්නවා නම් ඒ පාප කර්මයෙන් නම් ආත්ම ගානකට මිදෙන්න වෙන්නේ නැති බවත් මතක තියාගන්න …”

ඉසිනි වහා දෑස් පියාගෙන සන්සුන් වන්නට උත්සාහ කළාය.  වහා නුරාන්  පිටත් කළ හැරිය යුතුය. රාත්‍රී කාලයේ ඔහු මහ මඟ යැවීම එතරම් ආරක්ෂාකාරී නොමැති බවද  සැණින් සිහිවිය.  ඉසිනි දෙසි  ඇසි පිය නොහෙලා බලා උන් නුරාන් ඇගේ වෙනස්කම් සියල්ල කියවූවේය
 
“තව රෑ වුණොත් අලි පාරට එන්නත් පුළුවන් නම් අනේ දැන් යනවද..?”
 
“මං ඇහුවේ අද මං ඉන්නද කියලා තාරා මට ඒකට උත්තරයක් දීලා ඉන්න….ඉන්නද එපාද?”
 
ඉසිනි  මදක් නුරාන්ගෙන් ඉවතට වන සේ  හිස ඇල කර තමා පවසන්නේ කුමක්දැයි තේරුම් ගන්නා ලෙස මුහුණෙහි රඳවා ගත් බැල්මකින් නුරාන් දෙස බලා උන්නාය. ඔහුගේ ඉලංදාරි  හිතුවක්කාරකම්  මේ ගමට ගැලපෙන්නේ නැත.
අනෙක් අතට එම හිතුවක්කාරකම් තමන් දෙදෙනා දැන් සිටින වයසට ගැලපෙන්නේද නැත. ඒ සියල්ල ගලපා ගත්තත් මේ හිතුවක්කාරකම තමා දැන් සිටින තත්ත්වයට නොගැලපෙන බව ඉසිනි සිතුවාය. සැමියා විසින් දික්කසාද කර දැමූ ගැහැණියකට ජීවිතයේ සිතෙන  පරිදි තීරණ ගැනීම පහසු නැත.
 
” මේ රෑ වෙන්න කලින් අද ගිහිල්ලා ආයේ දවසක එන්න නුරාන්…”
 
“ඒ කියන්නේ ඉන්න එපා කියන එකනේ නේද?”
 
නුරාන් යම් නොරිස්සුමක් සහ කෝපයක් සමඟ විමසුවේය. එහෙත් ඉසිනි එය තහවුරු නොකලාය.
 
” යාළුවෙක් ලවා වාහනයකුත් ගෙන්නගෙන ඒ වාහනේ මෙහෙට ආවේ, එන්නේ මං කියන නොපෙනෙන්න ඕන නිසයි තාරා… මම  කල්පනාවක් නැතුව විනාසකාරීව වැඩ කරන මිනිහෙක් නෙවෙයි තාරා…….මං කරන මොකක් හරි දෙයක් නිසා ඔයාට නපුරක් වෙයි කියලා හිතෙනවනම් මං ඒ දේ කීයටවත් කරන්නේ නැහැ….කොටින්ම මං සතුටු වෙන දෙයකින් ඔයාට දුකක් වෙනවනම්, මම සතුට කියන වචන ගැන  හිතන්නෙවත් නැහැ තාරා…
 
මං අම්මට කතා කරලා කිව්වා මං කොළඹ යනවා කියලා ශිපින් එකේ වැඩකට …අයියයි අක්කයි  සමහරවිට මං අද ඔයා එක්ක  ඉන්න ඇවිල්ලා කියලා  සැක කරනවා  ඇති.. දැනට මම ෆෝන් එක සයිලන්ට් දාලා තියෙන්නේ… එන මග දෙකට අයියායි අක්කයි එක දිගට කෝල් ගත්තා…  මං උත්තර දුන්නේ  නැහැ. ඒත් දැන් මම ආන්සර් කරලා මම ඉන්නවා  ඔයා එක්ක කියාලා  කියනවා ….. ඒකට මං ඉන්නද එපාද කියලා ඔයා කියන්ඩ ඕන….”
 
ඉසිනි කිසිත් සිතාගන්නට නොහැකිවම මෙන් අසුනෙන් නැගිට්ටාය. නුරාන්  අසලින් බිම දණ  ඔබාගත්තාය.
 
නුරාන්ගේ දෑතින්ම අල්ලා ගත්තාය.
 
” ඔයාට විශ්වාසයි නුරාන් අපි මේ කරන්නේ හරිම දේ කියලා…”
 
නුරාන් එය එසේ නොවන බව කියන්නට හිස සැළුවේය. ඉසිනි ඉම්  තවත් නොසන්සුන් සහ  වික්ශිප්ත භාවයට පත්වූවාය.
 
” හරිම දේද දන්නේ නැහැ තාරා. ඒත් මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ මේක කියලයි මට දැනෙන්නේ…….”
 
නුරන් පෙරළා ඇගේ දෑත ඔහුගේ දෑතට මැ මැදි කරගත්තේය. ඉන්පසුව එක් අතක් ලෙහා ගෙන හිස පිරි මැද්දේ.  කොපුලක් පිරිමැද්දේය.
 
” බයවෙන්න එපා තාරා ජීවිතේ කියන්නේ මේකට තමයි. ඒ ඒ වෙලාවල් වලදි හොඳයි කියන තීරණ අරගෙන අපට ඉස්සරහට යන්න වෙනවා. අවුරුදු ගානක් ගිහිල්ලා බලද්දී ඒ තීරණ කොච්චර වැරදියිද කියලා අපිට හිතෙන්න පුලුවන් ….. අපි ගන්න තීරණ අපට ඉඩ දෙනවා ජීව්තේ උස්සම් ඉස්සරට එන්න…. අපි ජීවිතයේ ඉස්සරහට එන්න නම් ඒ ඒ වෙලාවට ඒ ඒ තීරණ ගන්නම වෙනවා…..”
 
ඉසිනි ගේ දෑස් තෙත්ව යමින් තිබුණි.  නුරාන්  පවසන මේ කතා සියල්ල මහා ඇයට ගැලපෙන්නේ අය අතීතය ගත් තීරණය.
එහෙත් නුරාන් කියන්නා සේම ඒ කිසිදු තීරණයක් දැන් ආපස්සට හැරගිය නොහැක.  එලෙසින්ම ඒ ඒ වෙලාවේ ඒ ඒ තීරණ නොගත්තානම් ජීවිතය මේ අතට ගලා නොවෙන්නට ද තිබුණි.
 
” ඇඟ සෝද ගන්න නුරාන් මට ටවල්  එකක් දෙන්නම්…”
 
ඉසිනි නුරාන්ගේ එක් අතකින් මිදී නැගිට්ටාය. නුරාන් ඇගේ එක් අතක එල්ලී නැගිට්ටේය. ඉසිනි නාන කාමරය වෙතට යන්නට ඔහුට මග පෙන්නුවාය. නුවන් එතනම සිටියදී ඕ කාමරය තුළට ගොස් විසල්  ප්‍රමාණයේ  තුවායක් ගෙන  නුරාන්ගේ අතෙහි දැවටුවාය.
 
” කාර් එකේ බෑග් එකක් ඇති. ඒකෙ සරමකුයි කමිසකුයි ඇති….. ගිහින් ඒක අරගෙන එන්න….”
 
කුඩා මේසය මත තිබූ යතුර ඉසිනිට දෑසින් පෙන්වමින් නුරාන්  එලෙස පැවසුවේ මනමාල සිනහව මදි නොවන්නට ඉසිනි වෙත පා කරමිනි. ඉසිනි දෑස්  විසල් කර ගනිමින් නුරාන් දෙස  බලා හිඳ  ඉන්පසු ඔහුට පිටුපා නිවසෙන් පිටතට ගියාය.
 
ඉදිරිපස දොරෙන් මිදුලට බැසි පසු මෝටර් රථය වෙත යන අඩි කිහිපය ඇවිද ගියේ පාවෙමින් දැයි ඉසිනිට සැක හිතුණි. ජීවිතය මේ පෙරලන පිටු තමා කෙදිනක හෝ ප්‍රාර්ථනා කර තිබුවාදැයි ඇයට සැකය. මේ ලියවෙන්නට යන්නේ අත්හැර තිබූ ජීවිතයක නැවුම් පරිච්ඡේදයක්ය. නුරාම් මේ හුස්ම පිඹින්නට යන්නේ මිය යමින් තිබූ ආත්මයකටය.
 
අරුණෝදගෙන් දික්කසාදය ලබා නිවසට පැමිණීමෙන් පසු නුරාන් සිහිපත් කරමින් හඬා වැටුණු වාර ගණන ඉසිනිට මතකනැත.
 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here