දරු දුක

දුරකථනයට මුහුණ ඔබාගෙනම ටෙක්ලා කාර්යාලයට ඇතුළු වුණා.අප්‍රසන්න දෙයක් දැක්කා වැනි හැඟීමක් ඇගේ මුහුණේ පේන්නට තිබුණා

” ඔයා දැක්කද චාරුනීගේ බබාගේ birthday party එකේ photos ? “

ටෙක්ලා හඬ අවදි කළේ ඒ වෙනකොට කාර්යාලයට ඇවිල්ලා හිටපු කුමුදුට ඇහෙන්න

” අනේ ඔව් හරිම ලස්සනයි නේද ටෙක්ලා. පාටි එක ලස්සනට ඕගනයිස් කරලා තිබුන නේද ? “

කුමුදු ටෙක්ලා දිහාවට හැරුනේ චාරුනීගේ කුඩා පුතුගේ උපන්දින සාදය කාලෙකින් දැකපු ලස්සනම උපන් දින සාදයක් වුන නිසා

” එයාගෙ බබා ටිකක් කළුයි නේද ? “

ටෙක්ලා එහෙම අහනකොට කුමුදුගේ මුහුණේ තිබුණු සතුට පලා ගියා

” පාට නම් ටිකක් අඩුයි තමයි.ඒ උනාට හරි සිරියාවන්ත දරුවෙක් “

” සිරියාවන්ත වුණාට වැඩක් තියෙනවද කුමුදු ? ළමයි ලොකු වෙනකොට ඔයිට වඩා පාට අඩු වෙනවා. එතකොට කොහොමද අනේ තැනකටවත් අරගෙන යන්නේ ? “

ටෙක්ලාගේ මුහුණේ අර අප්‍රසන්න හැඟීම ආයෙමත් මතු වුණා.එතකොටම චාරුනී කාර්යාලයට ඇතුළු වුණ නිසා ටෙක්ලා තවදුරටත් කියන්න ගිය දේවල් නතර කර ගත්තා

” ඔයාලා ආවෙ නැහැනේ බබාගේ බර්ත්ඩේ එකට.මම ඔයාලට කේක් අරගෙන ආවා “

චාරුණී අත්බෑගයේ තිබුණ පෙට්ටියක් අරගෙන තියෙන විවෘත කළා

” අනේ චාරුනියෝ හස්බන්ඩ්ගේ අම්මා හදිසියේ අසනීප වෙලා අපිට එහෙ යන්න උනා නේ.පාටි එක නිසා ඔයා බිසී ඇති කියලා හිතලා මම ඔයාට ඒක කියන්න කෝල් කලේ නැත්තෙ “

තමන්ගේ නොපැමිණීමට හේතුව කුමුදු පැහැදිලි කළේ පසුතැවීමෙන් වගේ

” weekend එකේ මම හස්බන්ඩ් එක්ක අවුට් එකකට ගියා අනේ ලක්ශරි හොටෙල් එකක.එයාට නිවාඩු ගන්න එක ලේසි නැහැනේ ඉතින්.ඒකයි ආවේ නැත්තේ. ඔයා කොහොමත් ඔෆිස් එනවනේ මම එතකොට කියන්න හිටියේ “

ටෙක්ලා ගරු සරුවක් නැතිව එහෙම කියද්දි චාරුනී බොහොම සන්සුන්ව ටෙක්ලාටත් කේක් පිළිගැන්වූවා.

” පාටි එක හරිම ලස්සනට arrange කරලා තිබුණා චාරුණි.ෆොටෝස් දැක්කම මට හිතුනා අපරාදේ එන්න තිබුණා නම් කියලා කොහොම හරි “

ෆේස්බුක් එකේ පළ කරලා තිබුණ චාරුනීගේ පුතුගේ උපන් දින සාදයේ ඡායාරූප ආයෙමත් බලන ගමන් කුමුදු කිවුවා

” ඔයාගේ බබා හස්බන් වගේ නේද චාරුණි ? “

ටෙක්ලා ඇහුවෙ නළල රැලි කරගෙන

” ඔව් අනේ ගොඩක් අය කියනවා බබා හස්බන්ඩ් වගේ කියලා “

චාරුනී පිළිතුරු දුන්නේ තමන්ගේ කුඩා පුතු සැමියාගේ හැඩරුව ගැනීම පිළිබඳව මහත් සතුටකින්

” ඒක තමයි එයාගෙ පාට අඩු “

ටෙක්ලා එහෙම කියලා ඇගේ පරිගණකය දිහාවට හැරුණා.ඒ නිසා චාරුනීගේ මුහුණ අඳුරු වෙන විලාසය ඇය දැක්කේ නැහැ

” හැම අම්මටම තමන්ගේ දරුවා තමයි ලෝකෙ ඉන්න ලස්සනම හොඳම දරුවා .ඒක කවද හරි ඔයත් අම්මා අම්මා කෙනෙක් උන දවසට තේරෙයි ටෙක්ලා “

චාරුනී කාර්යාල කාමරයෙන් එළියට ගිය වෙලාවේ ටෙක්ලා ළඟට ගිය කුමුදු තරමක් තදින් කිව්වා.

” ටෙක්ලාට තාම හරියට අත්දැකීම් නැහැ චාරුණි ජීවිතේ ගැන.බැන්දෙත් මේ ලඟදි නේ.එයා කියන ඒවා එච්චර හිතන්න එපා “

දවල් කෑම වෙලාව අතරතුරදී නිහඬවම කෑම ගන්න චාරුනී ලඟින් කුමුදු වාඩි උනේ එහෙම කියාගෙන.

” නොතේරුම් කමනේ කුමුදු. ලස්සනට ඇඳල පැලඳල ඉන්න හැම මනුස්සයාගේම හිත ලස්සන නැහැනේ “

” ඔයා ඉතින් දන්නවනේ එයාගේ හැටි. හැමදේකම කැත ලස්සන හොයනවනේ. ඕවා එච්චර හිතට ගන්න දේවල් නෙමෙයි.ඔයාට කොච්චර ලස්සන පවුලක් තියෙනවද ? ඒ ගැන සතුටු වෙන්න චාරුණි “

කුමුදුගෙ වචන චාරුනීගේ පෑරුණු හිත සුවපත් කළා.ඒ නිසා වෙනදා වගේම ටෙක්ලා එක්ක හිනාවෙලා කතා කතාබහ කරලා ඉන්න චාරුනී ට පුළුවන් වුණා.

” ටෙක්ලා අදත් වැඩට එන්නේ නැහැ වගේ නේද ? අන්තිමට ආවා දවස් කිහිපයේ එයා එච්චර හොදින් නෙමෙයි වගේ හිටියේ “

හදිසියේම දවසක ටෙක්ලා නිවාඩු දාලා තිබුනත් ඒ ගැන කිසිවක් හොයලා බලපු නැති කාර්යාලයේ අය ඒ ගැන උනන්දු වුණේ දෙවෙනි දවසේ

” එයා හිටපු ගමන් හස්බන්ඩ් එක්ක කොහේ හරි යනවා නේද ? “

චාරුනී ඇහුවෙ කුමුදුගෙන්

” ඒක එහෙම නං තමයි.හැබැයි ඉතින් එහෙම යනවනම් වාහනේට නැග්ග වෙලාවේ ඉදන් ෆොටෝ අප්ලෝඩ් කරන එකනේ එයාගේ වැඩේ. ඒත් එහෙම කිසිම දෙයක් දැක්කේ නැහැ මම නම් “

” මම එයාට කෝල් කලා ආන්සර් කලේ නෑ “

සාමාන්‍යයෙන් නිවාඩු නොගන්න ටෙක්ලා ගැන කාර්යාලයේ හැමදෙනාම වගේ කතා වුණා.දවස් තුනක් ම නිවාඩු ගත්ත ටෙක්ලා ඊලග දවසෙ කාර්යාලයට ආවේ මැලවිච්ච මුහුණින් යුතුව

” ඔයා අසනීපෙන්ද ටෙක්ලා ? “

කාටත් කරුණාව දක්වන කුමුදු ඇහුවේ ටෙක්ලාගේ උරහිසට අත තියෙන ගමන්

” මම ප්‍රෙග්නන්ට් කුමුදු “

ටෙක්ලා කිව්වේ ඇහෙන නෑහෙන ගානට.ඒ ආරංචියෙන් කුමුදු ගේ මුහුණ ප්‍රීතියෙන් පිබිදුණා

” අනේ දෙවියනේ කොච්චර හොඳ ආරංචියක් ද උදේ පාන්දරම “

” ආරංචිය කොච්චර හොද උනත් මට හරි අමාරුයි කුමුදු. ඒකයි මම ආවෙ නැත්තෙ.අද ආවෙත් නෑවිත් බැරිකමට අනේ. “

” එහෙම තමයි කෙල්ලේ මුල් දවස් වල .ඕක ටික දවසකින් ඇරිලා යනවා.අනික ඉතින් අපි හැමෝම ඉන්නවා නේ ඔයාව බලාගන්න “

කිව්වා වගේම කුමුදු ඇතුළු හැමෝම ටෙක්ලා වෙනුවෙන් අවධානය යොමු කළේ ටෙක්ලා මුහුණ දෙන්නේ අලුත්ම අත්දැකීමකට නිසා.ඉතා වටිනා මෙන්ම ලස්සන ඇඳුම් වලින් සැරසිලා ,මේකප් වලින් හැඩවෙලා ප්‍රබෝධයෙන් හිටපු ටෙක්ලා දවසින් දවස මැලවිලා යන හැටි ඇගේ ළඟම හිටපු යෙහෙළියන් උන කුමුදු සහ චාරුනි දැක්කා

” ඩොක්ටර් මට විටමින් ජාති කීපයක්ම දුන්නා. කන්න ඕන කෑම ජාති ගැනත් කිව්වා. මම ටිකක් වීක් නේ කොහොමත් “

ටෙක්ලා කතා කලේ දුකෙන්.අලුතෙන් මව් පදවියට සූදානම් වෙන ටෙක්ලා අපහසුවෙන් ගෙවන මුල් මාස කීපයම ඇය එක්ක හැම වෙලාවෙම ඉන්න කුමුදු වගේම චාරුනීත් වග බලාගත්තා.

නොහිතපු වෙලාවක ආයෙමත් ආයෙමත් දවස් කිහිපයක් ටෙක්ලා කාර්යාලයෙන් නිවාඩු ගත්තා.ඇගේ කිරි සිහිනය රතු පැල්ලමක හේදිලා ගිය වග දැනගන්න ලැබුනම කුමුදු සහ චාරුනී ඇතුළු කාර්යාලයේ බොහෝ දෙනා කම්පාවට පත්වුණා.යථා තත්ත්වයට පත්වෙලා සතියක් විතර ගත උනාට පස්සෙ දවසක ටෙක්ලා කාර්යාලයට ආපහු ආවා

” අපි හෙමින් සීරුවෙ වැඩ පටන් ගමු “

ටෙක්ලා ලොකු කල්පනාවක ගිහිල්ලා ඉන්න බව දැක්ක නිසා කුමුදු ඇයට කිවේ ආදරෙන්. චාරුනී පුරුදු හිනාවෙන් ටෙක්ලා ළඟට ආවේ එකේ හිත සන්සුන් කළ යුතුම බව හිතාගෙන

” ඔයාගේ බබා ගැන කියලා මම ඔයාගේ හිත රිද්දුවා චාරුනී. ඒ නිසා මට මෙහෙම වුණා ද කියලා හිතෙනවා. නූපන් දරුවෙක් ගැන හිතලා මම මෙච්චර දුක් වෙනවා නම් ඔයාගේ දරුවා ගැන මම එහෙම කිව්වම ඔයාට කොච්චර දුක ඇතිද ?”

ටෙක්ලා කතා කළේ දෑස් වල කඳුළු කඳුලු පුරවගෙන.චාරුනී ටෙක්ලාගේ දෑත් තද කරලා අල්ල ගත්තා

” කවදාවත් එහෙම හිතන්න එපා. මේක ඒ බබාට ඔයා ලඟට එන්න වෙලාව නෙමේ වෙන්න ඇති .හරි වෙලාව ආවාම එයා ආපහු ඔයා ලඟට එයි “

චාරුනී බොහොම සන්සුන් හඬින් කිව්වේ ටෙක්ලාගෙ ඇස් අග එකතුවුන කඳුළු බිංදු එකින් එක කම්මුල මත පතිත වෙද්දී

More Stories

Don't Miss


Latest Articles