යුගාත්ම කාශ්මීර අමුණුගම ගේ හද සන්තානය සන්සුන් වෙරළක් සේ පැවතිණ. සිතිවිලි නමැති සුදු පෙණ පොකුරු විත් සිත් ඉවුරේ හැපී බිඳී යන අයුරු ඔහු නිසලව බලා සිටියේ ය. කුණාටු සුළි සුළං නැත. උදම් රළ හෝ වඩදිය නොමැත. අධික වර්ෂාපතනයක් ද නැත. සියල්ල සාමකාමී ය.
අන්තරා ගැන වන හැම මතක කැබලිත්තක් ම සන්සුන් ය. සියුමැළි ය. මඳ සුළඟක් සේ ය. පොද වැස්සක් සේ ය. සිතිවිල්ලකටවත් බලපෑමක් කරන්නේ නැත. නමුත් තවමත් ඈ ඔහුට නො විසඳුනු සොඳුරු හරස්පද ප්රහේළිකාවකි. කලබල නොවී හෙමිහිට ඒ පේළි අතරේ ඇවිද යන්නට යුගාත්ම කැමති ය.
අන්තරා පියානෝව ඉදිරියෙහි අසුන්ගත්තේ, යතුරු පුවරුව මත අතැඟිලි හැසිරවූයේ ඉතාම හුරුබුහුටි භාවයකිනි. පළපුරුදු වාද්‍ය ශිල්පිණියක සේ ය. එලෙස පියානෝව හැසිරවීමේ ජානමය හුරුවක් ඇත්තේ ඉහළ පාන්තික රසවතුන්ට ය. සැබවින් ම අන්තරා කියන්නේ කවුරුන් ද?
සුවඳ විලවුනක සංයුතියෙහි ටොප් නෝට්ස්, මිඩ්ල් නෝට්ස් හා බේස් නෝට්ස් ලෙස කාණ්ඩ තුනක් වේ. ටොප් නෝට්ස් යනු විලවුනක් ගැල්වූ ගමන් අවකාශයට විසිර යන සුවඳයි. මේ සුවඳ වැඩි වේලාවක් පවතින්නේ නැත. නමුත් බොහෝ අය ආකර්ෂණය වනුයේ ටොප් නෝට්ස් වලට අයිති වහා දැනෙන සුවඳටයි. මිඩ්ල් නෝට්ස් යනු විලවුන් සුවඳෙහි හදවත කියා පැවසිය හැක. සාමාන්‍යයෙන් දවස පුරා අපට දැනෙමින් අප හා රැඳී හිඳිනුයේ මෙකී සුවඳයි. බේස් නෝට්ස් යනු දීර්ඝ ම වශයෙන් පවත්නා විලවුන් සුවඳයි. දවස අවසානයේත් අප වෙතින් හමනා අවසාන සුවඳ බිඳ අයිති බේස් නෝට්ස් වලටයි. ඒ ඒ අවස්ථා වලදී සුවඳ ඉහිරවන සගන්ධ තෙල් වර්ග විවිධ අනුපාත වලින් මුහු කිරීමෙන් සුවිශේෂ විලවුන් සුවඳ වර්ග නිර්මාණය වේ. විලවුනක මෙකී රහසිගත සුවඳ සූත්‍රයක් වාගේ ය යුගාත්මට අන්තරා දැනෙනුයේ. ඇය නිර්මාණය වී ඇති සූත්‍රය හැඳින ගන්නට කලබල වී බැරි බව ඔහු ට දැනේ. එය වූ කලී ප්‍රවේසමෙන් හා ඉවසීමෙන් කළ යුතු වන ගවේෂණයකි.
දක්ෂිණ විතානගේ අනපේක්ෂිත ලෙස හිත රිදවාගෙන සිටියේ ය. ප්‍රථම නඩු වාරය වනතුරුත් ඔහු ට මේ ඇත්තක් කියා ලොකුවට දැනුණේ නැති තරමි. කොයියම් මොහොතක හෝ අන්තරා වෙනස් වනු ඇතැයි ඔහු බලාපොරොත්තුවකින් සිටියේ ය. නමුත් ප්‍රථම නඩු වාරය ඔහුව උස්සා පොළොවේ ගැසුවේ ය. දක්ෂිණ ගේ දෛනික ජීවිතය බලා සිටියදී වෙනස් වෙන්නට පටන්ගෙන තිබේ. අත්‍යවශ්‍ය නිසා දිවා කාලයේ නැටුම් පන්ති ටික පවත්වන හෙතෙම, හැන්දෑ වන විට දිගුකාලීන බේබද්දෙකු සේ හැසිරෙන්නට පටන්ගෙන ය.
“දෙයියංගෙ නාමෙට ඔයාට මොනාද මේ වෙලා තියෙන්නෙ… අන්තරාව ඔච්චරම ඕනෙනං ඔයා මොකටද මේ පැත්තක හිටපු මාව මේ කුණුගොඩට පටලවගත්තෙ…”
බලා ඉන්නට බැරි ම තැන සම්පතී හඬා වැටෙමින් දක්ෂිණ විමසුවා ය. ඇයට හැඬුණේ දුකට පමණක් නොවේ. දරාගන්නට බැරි කේන්තියටත් එක්ක ය.
ඒ ප්‍රශ්නයට වාචික පිළිතුරක් දෙන්නට දක්ෂිණ අසමත් ය. ඔහු සම්පතී ගේ දෑස් මගහරිනුයේ එබැවිනි. පාලනය නොකළ පිරිමි හැඟීම් නිසා සම්පතී ඇතුළුව තවත් ස්ත්‍රීන් කිහිප දෙනෙකු සමග ම විවිධ මට්ටම් වලින් සබඳතා පැවැත්වී ද දක්ෂිණ ගේ ලෝකයට ඉහළින් පෑයූ පුරා සඳ අන්තරා ය. පරිවාර ස්ත්‍රීන් වනාහි පුංචි එළි විහිදුවන කුඩා තාරුකා බඳු ය. ලෝකය ඉදිරියෙහි ඔහු ගේ බිරිඳ අන්තරා ස්වරාවී ගාන්ධාරා ය. ඇය මුතුමුදලි මාස්ටර් ගේ දියණිය යයි ඔහු ලෝකය ඉදිරියේ පවසනුයේ රජෙකුගේ ආඩම්බරයෙනි. ඔහු ගේ රජ කිරුළ ඇයයි. ඈ වූ කලී ඔහු ට අමතර වටිනාකමක්, බැබළීමක් එක් කළ දියමන්තියකි.
අන්තරා සමග සටනින් දිනුවා කියා සිතුවාට, සම්පතී නිරන්තර පරාජිත හැඟීමක දුක්වින්දා ය. දරුවන් දෙදෙනෙකු, සුවපහසු නිවසක් හා වාහනයක් ද ලබා දී තිබුණාට, මාසයෙන් වැඩි දින ගණනක් ඇගේ නිවසෙහි දක්ෂිණ ජීවත් වූවාට, ලෝකය අභියස ඇය ඔහුගේ කවුරුන්වත් නොවන බව සම්පතී දැන සිටියා ය. මහා සමාජය ඕනෑම ප්‍රසිද්ධ ස්ථානයකදී ඔහු හඳුන්වනුයේ අන්තරා ගේ සැමියා ලෙසට ය. කවුරු ඔවුන් ගේ අනියම් සබඳකම ගැන දැන සිටියත් කිසිවෙකු ප්‍රසිද්ධියේ ඒ ගැන කතා කළේ නැත. එතැන්හිදී ප්‍රසිද්ධියේ දක්ෂිණ ඇගේ සැමියා යි හඳුන්වාදීමේ අවස්ථාව සම්පතී ට අහිමි වී ගියේ ය. නීත්‍යානුකූල නොවන බිරිඳක පුරුෂයෙකු වෙනුවෙන් කවර කැපකිරීමක් සිදු කළ ද ඇයට ඒ ගෞරවය හිමි වන්නේ නැත. සමාජය ඉදිරියෙහි දී ඔහු ගේ ලෝකයේ වටිනාකමක් හිමිවන්නේ නැත. අනුන්ගේ සැමියෙකු සමගින් ජීවත් වනවා යන ලැජ්ජාව තමන් කරා එළඹෙන නිසා, සම්පතී ට සිය සැමියා කවුදැයි කිසි දාක ලෝකය ඉදිරියේ පැවසිය නො හැකි විය. කවුරුන් ඒ බව දැන සිටිය ද, කෙතරම් ප්‍රසිද්ධ රහසක් වී ද අවමානයක් මිස ඒ කිසිදාක අභිමානයක් වූයේ ද නැත. ඉතින් සම්පතී ට මේ මාහැඟි අවස්ථාවකි. දක්ෂිණ ගේ බිරිඳ ලෙස මහා සමාජය ඉදිරියට යාමට ලැබෙන අගනා ම අවස්ථාවයි. නමුත් දක්ෂිණ ඒ ගැන හදවතින් ම කම්පා වෙයි.
“රත්තරං ඔටුන්නක් ගලවල ලෝකඩ ඔටුන්නක් දාගන්න මට ඕන නෑ”
ඔහු ගේ යටිහිත කෑගසා කියයි. යම් යම් හේතු මත ඔහු සම්පතී සමගින් අඹු සැමි ඇසුරක් ඇති කරගත් බැව් සැබවි. නමුත් එය මේ තරම් දුර දිග ගියේ සම්පතී ගේ කපටි ප්‍රයෝග නිසා යයි දක්ෂිණ ට විශ්වාස ය.
“උඹ මාව උගුලකට අහු කළා. උඹ මට ගෙදර යන්න දෙන්නැතුව මෙහෙ තියාගත්ත. උඹේ කන්දොස්කිරියාවත් එක්ක වැඩ කරන්න බැරිවෙන නිසා මාත් හිටිය. අන්තිමට මොකද්ද වුණේ… අන්තරාගෙන් ඩිවෝස් වෙන්න මට කවදාවත් ඕන වුණේ නෑ යකුනේ”
ඔහු බීමතින් ඩෙඟා නැටුවේ ය. සම්පතී මහත් ඉච්ඡා භංගත්වයක් අත්විඳින්නට වූවා ය. සැනසීමක් කියා දෙයක් ඇගේ හදවතට දැනුණේ ම නැත.
පළමු නඩුවාරයෙන් පසු අන්තරා ද කුණාටු සයුරක් තරණය කළා ය. ඇයට ඕනෑ වූයේ කෙසේ හෝ පිහිනා සන්සුන් වෙරළකට අවතීර්ණ වන්නටයි. හිතිවිලි ඉබාගාතේ සරණා එක වළකනු වස් ඇය යුගාත්ම ට හා පාරින්දි ට දිවා ආහාරය සඳහා ඇරයුම් කළා ය.
යුගාත්ම පැමිණියේ කහපාට රෝස, ඩේසි හා නම නො දන්නා තවත් කුඩා කහ හා සුදු මල් වර්ග කිහිපයක් මිශ්‍ර කළ විශාල මල් කළඹක් රැගෙනයි. එය දෝතින් ගත් අන්තරා තුළ අප්‍රමාණ සතුටක් ඇති විය. නූපුර බිහි වූ දවසේ දක්ෂිණ ඇය බලන්නට රෝහලට එන විට රතු රෝස මල් කළඹක් ගෙන ආවේ ය. ඉනික්බිති කිසිදාක කිසිවෙකු ඇයට මලක් දුන් බවට මතකයක් අන්තරා ට නැත. නමුත් ඇය මල් වලට ආත්මීයව ඇලුම් කළා ය. දක්ෂිණට පවා අමතකව ගිය ඇගේ උපන්දින වලදී, අන්තරා මල් සාප්පුවකට ගොස් ඈ වෙනුවෙන් ඇය කැමති මල් වලින් මල් කළඹක් මිල දී ගත්තා ය. මල් වලින් ඇයට ම සංග්‍රහ කරගන්නට හිතුණ ඕනෑ ම අවස්ථාවක එසේ කළා ය. ඒ මල්, වීදුරු බඳුන් වල බහා ගෙදර නොයෙක් තැන් අලංකාරවත් කළා ය. ඒ මල් බඳුන් දෙස අනන්ත වාරයක් බලමින් ඇගේ හදවතට සතුට කාන්දු වෙන්නට හැරියා ය. වෙනත් කෙනෙකු ඈ ප්‍රීතිමත් කරනා තුරු බලා නොසිට, ඇයට ඒ සතුට හිමි කොට දුන්නා ය.
ජීවිතයේ ප්‍රථම වතාවට පිටස්තර පුද්ගලයෙකු ඈ වෙනුවෙන් මල් මිලදීගෙන තිබේ. එය සාමාන්‍ය මල් කළඹකට වඩා අතිවිශාල ය. මල් කළඹ තුන හතරක මල් එකට එකතු කළා වැනි ය. එහෙම මල් මිටියක උරුමකාරිය වත්දී අන්තරා ගේ හිත සතුටෙන් වාං දමනා එක පුදුමයක් නොවේ. ඇය එය විශාල චීන පෝසිලේන් මල් බඳුනක බහා, බරාඳයෙහි කළුවර කනප්පුව මතින් ඒ තැබුවා ය.
“අන්තරාගෙ ගේ ලස්සනයි”
යුගාත්ම ගේ නෙතු ඒ නිවහන සිසාරා දිව්වේ ය. උදෑසන දැල්වූ හඳුන්කූරු වල ද, සුවඳ දුම් වල ද සුවඳ තවමත් ගෙතුළ රැඳී පවතී. ලැවෙන්ඩර්, පැඟිරි, කුරුඳු, කරාබුනැටි ආදී සගන්ධ තෙල් මුසු පහනකින් ගෙතුළ වායු අංශු වලට නැවුම් සුවඳක් එක් වෙයි. ඒ සුවඳ වර්ග වෙන වෙනම හැඳිනගන්නට යුගාත්ම ගේ ආඝ්රාණ ඉන්ද්රිය සියුම් ලෙස ඉව කළේ ය.
“පිළිවෙලයි. සුවඳයි. ගෙදරකට ඇතුල් වුණාම ගෙදර ඉන්න අයගෙ ආත්මය ඇස් දෙකට දකින්න පුළුවන්. ඒ නැතත් ඒක ඇට මස් ලේ නහර පසාරු කරගෙන දැනෙන දෙයක්”
අන්තරා මඳහසකින් ස්තූති කළා විතර ය. නූපුරගේ ද ඔහු ගේ පාසලේ විශේෂ අවස්ථා කිහිපයකදී දක්ෂිණ හා අන්තරා සමග නූපුර හිඳ ලබාගත් ඡායාරූප කිහිපයක් ද ආලින්දයෙහි විය.
“මේ අර ඩාන්සර් නේද…”
කියා කනට කොට ඇසුවේ පාරින්දි ය. අන්තරා ඊටත් මඳහස පෑවා විතර ය.
“ඊයෙ කෝට්ස් ගිහිං ආවට පස්සෙ හිත ටිකක් අවුල්. ඒ අවුලත් එක්ක තනිවෙන්න බය හිතුන නිසාමයි මං ඕගොල්ලොන්ට එන්න කිව්වෙ”
මඳ සිනහවක් පිපී තිබුණාට ඇගේ ස්වරය වෙව්ලා ගියේ ය. ඇස් වලට තෙතමනයක් කාන්දු වී දිළිසෙන්නට ගති. යුගාත්ම වහා ඉවත බලාගත්තේ ය. පාරින්දි අන්තරා ගේ ගෙල වැළඳගත්තා ය.
“අපි ජොලියක් දාමු. කෝ බලමු මොනාද ඉව්වෙ කියල. සුවඳෙ බෑ”
මුළුතැන්ගෙහි ව්‍යාංජන කිහිපයක් ම පිසී අහවර ව තිබිණ. උඳුන මත තවත් කිහිපයක් පිසෙමින් තිබිණ.
“වෙඩින් එකකට වගේ උයලනෙ”
“ඕගොල්ලො එන පළවෙනි දවසනෙ ඉතිං”
අලුත් මිතුරන් වෙනුවෙන් සිහිලැති ලෙමන් හා මිංචි පානයක් පිරිනමා, ඇය ඔවුන් සමගින් බරාඳයෙහි සාමීචියෙහි යෙදුණා ය. වෙනදාට වැඩියෙන් අන්තරා ගේ වදන් අතරේ රිදුම් බිඳුම් කැබලි විය. කඳුළු කැට ද නො තිබුණා ම නොවේ. සියල්ල නැත ද යන්තම් ඒ හැඟීම් එකක් දෙකක් හෝ බෙදාගත හැකි වීම, ඇය යම් බරකින් නිදහස් කරන්නට හේතු විය.
“අපේ ජීවිත වල සිද්ධ වෙච්ච සමහර සිදුවීම් අපිටත් නොදැනී අමතක වෙලා යනව අන්තරා. හැබැයි සමහර දේවල් කාලයක්ම ගතවුණත් මතකේ තියනව. ඒ අපේ යටි හිතටම කිඳාබැහැපු සිදුවීම්”
යුගාන්ත සංවේදී ම ජීවන දර්ශනයකට අත තැබුවේ ය.
“සමහර දේවල් තියනව අපිට අමතක කරන්නම ඕන කියල හිතෙන. දැන් අන්තරාටත් එහෙම තැන් ඕනතරං ඇති. ඔයා ඒව අමතක කරන්න තදින්ම මහන්සි වෙනවත් ඇති. අවාසනාවකට ඒව ආයෙ ආයෙම මතක් වෙවී හිතට වද දෙනවත් ඇති. ඒක සාමාන්‍යයෙන් එහෙමයි අන්තරා. ඒක අපේ මනසෙ හැටියක්. අපි ඒකට තදින් දෙන්න හදන දේවල් තදින්ම අල්ලගන්නව. අපිට ඕන ඒකයි කියල හිතල ඒකම ඒකම අපිට ලැබෙන්න සලස්සනව. අපි අමතක කරන්න කියල හිතට බලකරන දේවල් ගැන වුණත් ගන්නෙ එහෙමයි. අමතක කරන්න කියන වචනෙ එයාට අදාල නෑ. එයා ගන්නෙ අර ඔයාගෙ මතකෙ ඉන්න කෙනාව. එයා එක්ක බැඳුණු සිදුවීම්. මහන්සි වෙලා අමතක කරන්න හදන දේවල් අමතක වෙනව වෙනුවට වැඩි වැඩියෙන් අපිට මතක් වෙන්නෙ මනසෙ ඔන්න ඔය ගතිය නිසා. හරියට පොඩි ළමයි කරන්න එපා කියන දේවල් වැඩි වැඩියෙන් කරනව වගේ. ඒක නිසා වැදගත් වෙන්නෙ කිසි දෙයක් බලෙන් අමතක කරන්න මහන්සි නොවී… ඒව හයිලයිට් නොකර ඔහේ ඉන්න එක. මතක් වෙන වෙලාවට හිතට එයි. ඒත් ඔයා කරදර වෙන්නෙපා ඒ ගැන. සාමාන්‍ය විදිහට වැඩ කරගෙන ඉන්න. අලුතෙන් ජීවිතේට එකතු වෙන අත්දැකීම් එක්ක ජීවත් වෙන්න. එතකොට හෙමි හිමිහිට අර අමතක කරන්න ඕන වුණ දේවල් හිතේ ඈතකට යයි. මේක හරියට නරකයි කියල අපි හොඳටම දන්න ඇබ්බැහියකින් මිදෙන්න හදනව වගේ වැඩක්. ලේසි නෑ. හැබැයි කරන්න ඕනම නිසා කරන්නම ඕනෙ”
අන්තරා සාවධානව සිටියා ය. ඇගේ දෑස් ගැඹුරෙහි හැඟුමන් කෝටි ගණනක සම්මිශ්රනයක් විණි. කාලයක් තිස්සේ පත්ලෙහි මිදී තිබූ කළල් යළි කැළඹී තිබේ. ඒවා පත්ලෙහි තැන්පත් වී දිය පැහැදිලි වන්නට මඳ කාලයක් අවැසි වනු ඇත.