නරක ඇසුර

උත්තරා ව්‍යාපාර කටයුතු වලට අදාළ ලියවිල්ලක් සකස් කරමින් ලැප්ටොප් එකට මූණ ඔබාගෙන ඉන්නකොට ගේට්ටුවේ සීනුව නාද උනා . ඉක්මනින් ගේට්ටුව ගාවට ගිය උත්තරා ගේට්ටුව විවෘත කරනකොට එතන හිටියේ නිම්මි. නිම්මි කියන්නේ උත්තරා කලින් වැඩ කරපු ඔෆිස් එකේ වැඩ කරපු කෙනෙක් . උත්තරා එතනින් ඉල්ලා අස් වෙනකොට නිම්මි උත්තරා එක්ක ඒ තරම් හිත හොඳින් නෙමෙයි හිටියේ .ඒකට හේතුව උනේ නිම්මිගේම වැඩ. හැමදේම උනේ අවුරුදු තුනකට කලින්

” එන්න නිම්මි “

උත්තරා කිසිම වෙනසක් නොපෙන්වා නිම්මිට ගේ ඇතුලට ආරාධනා කරා. මනාව සකස් කරපු ගෙමිදුලත් ,ගේ ඉස්සරහ නතර කරලා තියෙන පුංචි කාර් එකත් දැක්කහම නිම්මිට මොකක්දෝ පසුතැවීමක් දැනුනා. අඩිය තියන්න ලෝබ හිතෙන තරම් දිලිසෙන පොළවක් තියෙන උත්තරාගේ ගෙදර මාලිගාවක් වගේ කියලා නිම්මි ට හිතුනා .

” ඔයාගේ ගේ හරිම ලස්සනයි උත්තරා .ලඟදි ද හැදුවේ ? “

” ඔව් නිම්මි. දැන් අවුරුද්දක් විතර ඇති වැඩ ඉවර කරලා. ඒක නෙමෙයි. ඔයා කොහොමද ගේ හොයාගත්තේ ? “

” ඔෆිස් එකේ වැඩ කරපු උපේක්ශා ගෙන් මං පාර අහගත්තා.අද ඔයාගෙ හස්බන්ඩ් ගෙදරද ? “

” නෑ.. එයා ඔෆිස් ගියා “

” මිදුලේ වාහනේ තිබුන නිසා ඇහුවේ “

“ආ.. ඒ මගේ කාර් එක නිම්මි “

නිම්මි මොහොතකට නිහඬ වුණා . මේ අවුරුදු තුනට උත්තරා මොන තරම් දියුණු වෙලාද . ඒ කාලේ තමන් කරපු කියපු කිසිම දෙයක් ගණන් නොගත්ත උත්තරා තමන්ගේ ජීවිතේ දියුණුව වෙනුවෙන් සෑහෙන දේවල් කරගෙන.

” ඔයා හදිසියේම ආවේ ? “

” ඔයාගෙන් සමාව ගන්න “

නිම්මිගේ මුහුණේ පසුතැවීමක සලකුණු සටහන් වෙලා තියෙනවා උත්තරා දැක්කා.

” ඒ කාලේ මම ඔයාට ගොඩක් නපුරුකම් කළා . ඇත්තම කිව්වොත් මට ඒවා නොකර බැරි වුණා “

” දැන් ඒවා වැඩක් නෑ නිම්මි. මම ඔෆිස් එකෙන් අයින් වෙලත් අවුරුදු තුනකට වැඩියිනේ . මම ඕවා හිතේ තියාගෙන ඉන්නේ නැහැ “

” ඒත් ඔයාගෙන් සමාව ගන්නකන් මගෙ හිතට හරි නෑ. ඒකයි මම මේ අද ආවේ “

” යන්කො අපි තේකක් බොන්න “

උත්තරා නිම්මි ව කුස්සියට එක්කගෙන ගියා . නවීන පන්නයට නිමවා තිබුණ කුස්සිය දැක්කම නිම්මි ට ලෝබ හිතුනා .උත්තරා කුස්සියෙ තිබුන පුංචි කෑම මේසයේ පුටුවක් එලියට ඇද්දා “

” වාඩිවෙන්න “

” මට පහුගිය කාලේ කරදර පිට කරදර සිද්ධ වුණා උත්තරා . මම ඔයාව හොයාගෙන එන්න හේතුවත් ඒක “

උත්තරා තේ හදන අතරේ නිම්මි ට ඇහුම්කන් දුන්නා .

” අපේ ඩිපාර්ට්මන්ට් එකට අලුතෙන් ආව අයේෂා ,මට ඔයා ගැන ගොඩක් දේවල් කිව්වා. ඇත්තම කිව්වොත් කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව මම ඒවා විශ්වාස කළා “

” මොනවද අයේෂා ඔයාට කිව්වේ ? “

උත්තරාගේ මුහුණ ඇඳිලා තිබුණෙ මද හිනාවක්. කපටි පෙනුමක් තියෙන , හැම වෙලාවෙම අනිත් මිනිසුන්ගේ ඇදයක් හොයන අයේශාව උත්තරාට හොඳට මතක තිබුණා .

” ඔයා ඔෆිස් ටයිම් එකෙන් පස්සෙත් ඔෆිස් එකේ ඉඳගෙන වැඩ කලානෙ සමහර දවස් වල. ඔයා එහෙම ඉන්නේ බොස්ට කේලම් කියන්න කියලා ඔයා නැති දවස් වලට අයේශා ඩිපාර්ට්මන්ට් එකේ හැමෝටම කිව්වා “

” ඉතින් “

” ඒ කතාව අපි විශ්වාස කරන්න හේතුව වුණේ බොස් අපේ වැඩ ගැන ඕනාවට වඩා හොයලා බලන්න පටන් ගත්තට පස්සේ “

උත්තරා තේ එකකුත් ,තවත් රස කැවිලි පිගානකුත් නිම්මි ඉස්සරහින් තිබ්බා .

” එතකොට ඒ දවස් වල මම බොස් එක්ක යාලුයි කියලා ඔයාලා මට හින්ට් ගැහුවෙත් ඒ නිසාද ? “

” අයේෂා ඊට පස්සේ අපිට කිව්වේ ඔයා ඒ විදිහට පහමාර හය පහුවෙලාත් ඔෆිස් එකේ ඉන්නේ බොස් එක්ක රවුම් ගහන්න යන්න කියලා “

” ඔයාලා මාත් එක්ක එක බත් එක බෙදාගෙන කාපු අය නිම්මි . ඔයාලට තිබුන මේ දේවල් කෙළින්ම මගෙන් අහන්න “

” ඇත්තටම අයේශා ඇහින් දැක්කා වගේ කිව්ව දේවල් වලට අපි රැවටුණා උත්තරා “

” හරි ඉතින් ඊට පස්සේ “

” ඔයා ඔෆිස් එකෙන් අයින් වෙලා සෑහෙන කාලයක් ගියාට පස්සේත් අපි ඔයා ගැන හිතාගෙන හිටියේ ඒ විදිහටමයි. ඒවා එහෙමමයි කියන්න අයේෂා අපිට තව තව දේවල් කිව්වා “

උත්තරා මේ හැමදේම අහගෙන හිටියේ උපේක්ෂා සහගතව. අනිත් අයගේ හිත දිනාගන්න මිනිස්සුන්ට මොන තරම් පහත් තත්ත්වයකට වැටෙන්න පුළුවන්ද කියලා උත්තරා කල්පනා කළා . ඒත් ඒ දේවල් වලින් අයේශාට ලැබුණේ මොනවද ? උත්තරාගේ හිතේ ප්‍රශ්නාර්ථයක් ඉතුරු වුණා .

” ඔයාට කියන්න උත්තරා, ඊට පස්සේ මගේ හොඳම යාලුවා වුනේ අයේෂා . මං මගේ personal ප්‍රශ්න පවා හැමදේම කිව්වේ අයේශාට “

” ඉතින් “

” මම ඒ තරම් අයේශාව විශ්වාස කළා.මම හිතාගෙන හිටියේ එයා හොඳ යාළුවෙක් කියලා .ටික කාලෙකට පස්සෙ අයේශා ඔෆිස් එකෙන් අයින් උනත් අපේ යාළුකම එහෙමම තිබුණා . කොටින්ම අයේෂා මට දවසට දෙතුන් සැරයක්ම කතා කළා “

” අයේශා අපේ ඩිපාර්ට්මන්ට් එකට ආව දවසේ ඉඳලම මට එයා ගැන පැහැදීමක් තිබුණෙ නැහැ නිම්මි. එයාගෙ තිබුණෙම හරි කපටි පෙනුමක් “

” ඒක තේරුම් ගන්න මට සෑහෙන කල් ගියා උත්තරා “

නිම්මි සහ අයේශා එක්ව කාර්යාලයේ දී තමන්ව දැඩි මානසික පීඩාවට පත් කළ හැටිත් , කාර්යාලයට යන එක එපා වෙන තරමටම ඒ මානසික පීඩාව දවසින් දවස වැඩි උන හැටිත් උත්තරාට මතක් උනා. දවසින් දවස අලුත් වෙන කේලම් සහ චෝදනා මධ්‍යයේ තමන් රැකියාව කළේ මොනතරම් අපහසුවෙන් ද කියලා නිම්මි ට කියන්න ඕන වුණත් උත්තරා නිහඬ වුණා .

” ඔය අතරේ මට ආරංචි වුණා අයේෂා මගේ යාළුවෙක් එක්ක මට බැනලා කියලා .මම ඒ ගැන අයේශාගෙන් අහපු වෙලාවේ අපි දෙන්නා අතර පොඩි argument එකක් ගියා “

නිම්මි ලොකු සුසුමක් පිට කලා. නරක ආශ්‍රය නිසා මිනිසුන්ගේ ජීවිතවල මොනතරම් වෙනස්කම් වෙන්න පුලුවන්ද ? ඒ වගේ මිනිස්සුන්ගෙන් ඈත් වෙලා තමන්ගේම කියලා ව්‍යාපාරයක් ගොඩනගා ගෙන ඒක හොඳින් දියුණු කරගෙන අද වෙද්දි ඇවිල්ල තියෙන දුර ගැන උත්තරා හදවතින්ම සතුටු වුණා .

” එයා කළ වැරැද්ද මම දැනගත්ත නිසාත් , මා එක්ක තරහටත් මම කවදාවත් හිතපු නැති දෙයක් එයා මට කලා උත්තරා “

” ඒ මොකක්ද නිම්මි ? “

” මායි හස්බනුයි අතර ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවේ ඒ ගැන මම අයේශාට කියපු screenshot වගයක් අයේශා හස්බන්ට එවලා තිබුණා . ඇත්තටම ඒවයෙ තිබුණේ ඒ වෙලාවේ කේන්තියට මම හස්බන්ට බැනපු දේවල් ටිකක් “

” දෙයියනේ..ඉතින් ? “

” ඒව දැකල හස්බන්ට හොඳටම තරහ ගියා . ඒ තරහ සාධාරණයි උත්තරා . තමුන්ගේ වයිෆ් පිට ගෑනියෙක් එක්ක තමුන්ට බැනලා තියෙන කොට මොන හස්බන්ට ද ඉවසන්න පුළුවන් ? “

” දැන් අයේෂා ඔයත් එක්ක තරහයි ද ?”

” මම ඊට පස්සේ අයේශාට කතා කළේ නෑ උත්තරා .මම සෑහෙන්න කල්පනා කළාට පස්සෙයි මට තේරුනේ හැමදාම කළේ මගේ ඔලුව විස වලින් පුරවපු එක කියලා “

” ඒත් ඔයාට ඒකෙන් වුන හානිය සුළුපටු එකක් නෙමෙයි නේද නිම්මි ? “

” එදා අයේෂා කරපු දේට මාත් එක්ක හොදටම රණ්ඩු උනාට පස්සේ ,හස්බන් මාත් එක්ක දවස් ගානක් යනකම් කතා කළේ නෑ උත්තරා . අපේ ගෙදර බතක් වත් ඉදුනේ නැහැ “

” අපි හිතුවට නිම්මි සමහර මිනිස්සු ඇත්තටම අපිට හිතවත් කියලා ,සමහර තැන් වලදී අපි වැරදි වෙන්න පුළුවන් . ඒක අපි තේරුම් ගන්න කොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි “

” අයේශා ඔෆිස් එකෙන් අයින් වුණාට පස්සේ ගොඩක් දෙනා කතා වුණා අයේෂා ඔයා ගැන කියපු ගොඩක් දේවල් බොරු කියලා. එහෙම වෙලත් මම අයේශාවම විශ්වාස කරගෙන හිටියා. තව ටිකෙන් අයේෂා නිසා මට ඩිවෝස් වෙන්නයි වෙන්නේ “

” පහුවෙලා හරි ඔයාට ඇත්ත තේරුණා නම් ඒකම ලොකු දෙයක් නිම්මි “

” ඒ සිද්ධියෙන් පස්සේ මගේ හිතේ ලොකු පසුතැවීමක් තිබුණා උත්තරා . සෑහෙන කාලයක් ගියත් ඔෆිස් එකේදි ඔයාට කළ වෙනස්කම් මට අමතක කරන්න බැරි වුණා . ඒ නිසා ඔයා ගෙන් සමාව ගන්නම ඕනේ කියලා මට හිතුණා “

මිනිසුන්ගේ හිත් වල ඇතිවන නරක සිතුවිලි වලට ජීවිත ගණනාවක් විනාශ කරලා දාන්න පුළුවන් . ඒත් අපි ආශ්‍රය කරන මිනිස්සු හොඳද නරකද කියලා මැනලා බලන්නේ කොහොමද ? ඒ විතරක් නෙමෙයි පහුවෙලා හරි නිම්මි ට තමන් අතින් වුන වැරදි තේරුම් ගිය එක කොයි තරම් හොඳ දෙයක්ද ? නිම්මිගේ ඇස් දෙකෙන් ගිලිහුන කඳුළු කම්මුල්වල තැවරිලා තියනවා දැක්කම උත්තරාට ඇය ගැන ඇති උනේ අසීමිත අනුකම්පාවක් . නරක ඇසුර ! මේ හැමදේටම මුල ඒක .

More Stories

Don't Miss


Latest Articles