සුසුවඳ සූත්‍ර – 21

0
7194

දෙසවන් පිරී තිබෙනුයේ නො කඩවා වහින වැස්සේ හඬිනි. වැහි වැටෙන්නේ දිය බින්දු වශයෙන් ද නැත්නම් මහ දිය කඳවල් වශයෙන් දැයි සිතා ගත නො හැකි තරමට වැස්ස තද ය. දැඩි ය. ප්‍රචණ්ඩ ය.

අන්තරා කෝපි හලට ගොඩ වී සැලකිය යුතු වෙලාවක් ගෙවී ගොස් තිබේ. එතකොට තිබුණේ පොද වැස්සකි. එය මේ තරම් රළු ලෙස මෝරා වැඩෙනු ඇතැයි ඇය ට සිතුණේ ම නැත.

පෙර දින රාත්‍රියේත් දිගට ම වැසි වැටිණ. නමුත් අලුයම දීප්තිමත් එළියක් පොළොව මත පතිත වූයේ වැස්ස අමතක කළ ගාණට ය. හිතේ වූ පැහැදිලි කරගත නො හැකි නො සන්සුන් බව සමග පොරබදන්නට බැරි නිසා අන්තරා වස්සානයේ ම මගට බැස්සා ය.

“තාත්ත එනකොට අම්මගෙ යාළුවො වගයක් ගෙදර ඇවිත් හිටියද…”

උදේ නූපුර ඇසුවේ ය. දක්ෂිණ එසැනෙන් කේළම ඔහු ගේ කනේ තියා ඇති බැව් අන්තරා සිතුවේ කලකිරීමෙනි. ඔහු එය කියන්නට ඇත්තේත් නූපුර තුළ අම්මා ගැන කලකිරීමක් ඇති වන සේ ය. කාලයක් තිස්සේ වරදේ බැඳී සිටිනා ඔහු දැන් ඇය වැරදිකාරිය කිරීමේ අශෝභන උත්සාහයක් දරමින් හිඳී.

අන්තරා පුස්තකාලයට ආවේ පොත් කියවන්නට තරම් මානසික නිරවුල් බවක් ඇති හින්දා නොවේ. ගෙදරට වී එක ම දෙයක් ගැන සිතමින් සිටිනවාට වඩා, මගට බැස යත්දී සිතිවිලි ලිහිල් වී ඒවා බැහැරට ඉගිළ යන නිසා ය. එතකොට, දැනෙන්නා වූ පීඩනය අපටත් නො දැනී තුනී වී යයි. එසේ නොකොට ඒ පීඩනයත් සමග සිටින්නේ වී නම්, දැනෙන්නා වූ අසහනකාරී බව ජීවිතය තොර කරගන්නට හිතෙනා තරමට බලපෑම් කරන බැව් අන්තරා දනී.

දෙවන තේ කෝප්පය ද හිස් වී යමින් තිබේ. අන්තරා අත් ඔරලෝසුව දෙසත් පාර දෙසත් මාරුවෙන් මාරුවට බැලුවා ය. තව දුරටත් කෝපි හලෙහි රැඳී සිටීම ගැන ඈ තුළ වැඩෙනුවේ අපහසුවකි.

“මිස්ට අද යන්න වෙන්නෑ වගේ නේ…”

රොක් වී දුරකතනයට එබී උන් කෝපි හලේ තරුණයන්ගෙන් කෙනෙකු අන්තරා ට කීවේ ය. ඇය මුදු මඳහසක් පෑවා ය.

“ඒකනෙ. මං ඉන්නෙක ඕගොල්ලොන්ටත් කරදරයක් නේ…”

“අනේ නෑ මිස්. මිස් මේ කොෆී ශොප් එකට පුරුදු නැති කෙනෙක් නෙවේනෙ. පායනකල් ඉඳල යන්න”

මිනිසුන් කරුණාවන්ත වෙත්දී හදවතට සැනසුමක් දැනේ. උණුහුමක් දැනේ. දැන හැඳිනුම්කම් නැත ද එහෙව් සුවපහසු කලාප වල මඳක් ඉසිඹු ලිය හැක. අන්තරා ලොකු හුස්මකින් පෙනහළු පුරවාගත්දී ම ය මේසය මත වූ දුරකතනය එළිය වී යුගාත්ම ගේ නමින් හැඬවෙන්නට ගත්තේ. කතරක අතරමං වී හසරක් සොයමින් සිටි කෙනෙකු වාගේ අන්තරා ඉක්මනින් ඊට පිළිතුරු දුන්නා ය.

“මං හිතුව විතරයි ඔය දෙන්නවත් හිටියනං කියල”

“ඇයි… ඔයා කොහෙද ඉන්නෙ…”

“පබ්ලික් ලයිබ්‍රරි එක ළඟ කොෆී ශොප් එකේ”

“හරි. මං ෆයිව් මිනිට්ස් වලින් ඔතන”

“ඕගොල්ලො කොහෙද…”

කියා අසන්නටත් පෙර ම යුගාත්ම ගේ දුරකතන සම්බන්ධය බිඳිණි. එතෙක් දැනෙමින් තිබුණා වූ පාළු හුදෙකලාව වාෂ්ප වී ගියා සේ අන්තරා ට දැනිණ.

යුගාත්ම හිටියේ රොස්මිඩ් පෙදෙසේ ය. වැස්සට කොළඹ පාරවල් පිහිනුම් තටාක වල තත්වයට පත් වී ඇත. ඔහු ඒ දිය කඳ දෙබෑ කරගෙන රිය පැද ආවේ ය. දොරකඩ මල් බාල්දි තබා ඇති මල් සාප්පුවක්, වැස්ස අතරින් ම නෙත ගැටුණ එකත් පුදුම ය. යුගාත්ම කුඩය ඉහළාගෙන ගොස් ඒරම් ලිලී මල් පොකුරක් මිල දී ගත්තේ ය. මල් දකිත්දී අන්තරා ගේ දෑස් දිළුණයුරු ඔහු ට මතක ය. ඒ එළිය නැවත නැවත දකිනා දොළක් පහළ වූයේ මල් සාප්පුව දුටු බැවිනි. සාප්පුවේ කෙල්ලෝ උනුන්ට රහස් කොඳුරාගත්හ. මේ ධාරානිපාත වැස්සේ මේ කඩවසම් පිරිමියා ලිලී මල් පොකුරක් ගෙන බලන්නට යන ස්ත්‍රිය කවුරුන් විය හැකි ද? යුගාත්ම නම් ඔවුන්ගේ මුහුණු හෝ නොදුටු තරම් ය. ඔහු සිටියේ පුදුම හදිසියකයි. ඉතිරි මුදල් පවා අමතක වී ඔහු හැරුණේ ය. කෙල්ලක බලයෙන් ම ඔහු ට ඒ දුන්නා ය.

යුගාත්ම ගේ රිය කෝපි හල ඉදිරියෙහි හෙමිහිට නතර වන විට අන්තරා ගේ රතදර අතරෙහි මඳහස් රේඛා සරැලි නගමින් තිබිණ. ලොකු වර්ණ කුඩය යටින් ඔහු ඇතුළට එන විට ම ඇය ප්‍රශ්නය සූදානම් කරගෙන සිටියා ය.

“කෝ පාරින්දි…”

“එයා ශොප් එකේ වැඩ ඇති. මට හම්බුන්නෑ. අද මං කොල්ලුපිටිය බ්‍රාන්ච් එකට ගියෙත් නෑ”

“මං හිතුවෙ ඔය දෙන්නම එනව ඇත්තෙ කියල”

“කෙල්ලො දෙන්නව බලන්න ඉස්කෝලෙ ළඟට ගියා ඉස්කෝලෙ ඇරෙන වෙලාව නිසා”

යුගාත්ම ගේ දෑස් මත ශෝකී දුහුල් වලාවක් පා වෙමින් තිබිණ. ඊට මත්තෙන් ඔහු සිනහවක් පෑවේ ය.

“වැස්සනෙ ඉතිං…”

“වැස්සයි පෑව්වයි කියල වෙනසක් නෑ අන්තරා”

ඔහු මහා බර සුසුමක් අතැර දැමුවේ ය.

“උං දෙන්න මාත් එක්ක කතා කරන්නෙවත් නෑ. බලෙං කතා කරන්න බයයි එතන ඉස්කෝලෙ ළඟ නිසා. ඒක දන්න නිසාම උං දෙන්න මාව දැක්ක ගමන් ඉක්මනට වෑන් එකට දුවනව. අඩු ගානෙ බලලවත් එන්න මං යනව ඉතිං”

“අනේ”

“එහම තමයි. එක දවසකුත් මං ඔයාට කිව්ව වගේ… දික්කසාදයක් නිසා වෙන නරකම දේ තමයි දරුවො නැති වෙන එක”

“ඉතිං ඔයාට එයාලව තියාගන්න දවසක් දීල නැද්ද…”

“දුන්න. මුලිංම එහෙම සැරයක් දෙකක් මං ඒ දෙන්නව ගෙනාවත්. ඒත් පස්සෙ ඒගොල්ලො ආවෙ නෑ. කවින්ද්‍යා බ්‍රේන්වොශ් කළා. දැන් ඒගොල්ලො ෆෝන් කෝල් එකකට ආන්සර් කරන්නෙත් නැති තරමයි”

“මන්නං පුතාට හැමතිස්සෙම කියන්නෙ ඒ තාත්ත කියනෙක අමතක කරන්නෙපා කියල. මොන ප්‍රශ්න තිබුණත් දරුවොයි දෙමව්පියොයි අතරෙ සම්බන්ධෙ ආරක්ෂා වෙන්න ඕනෙ. ඒක හැමදාම පවතින්න ඕනෙ”

“හැම ගෑනියෙක්ම ඔයා වගේ හිතන්නෑ”

“මට තේරෙනව ඔයාට දුකයි කියල”

යුගාත්ම ගේ දෑස් හි තෙතමනයක් දිළිසිණ.

“අපි බලමු මොකද්ද කරන්න පුළුවන් කියල. ඒ දෙන්නව යාළු කරගන්න බලමු”

ඒ මොහොතෙහි අන්තරා වෙතින් කලඑළි බසිනා ලද්දේ ඇගේ මාතෘත්වයයි. ඈ යුගාත්ම ආමන්ත්‍රණය කළේ ද දරුවෙකු සේ ය. ඔහු එසැනෙන් නැගිට කැපචිනෝ ඇනවුම් කළේ ය.

“මේ වැස්සෙ ලයිබ්‍රරි ආවෙ පිස්සුද ආ…”

අන්තරා කුඩා දැරියක සේ සිනහ වූවා ය.

“සමහර දේවල් හැන්ඩ්ල් කරන එක ටිකක් අමුතුයි වගේ. අද උදේ වරුවෙ මට ගෙදර ඉන්නම බෑ කියල දැනුණ. ගෙදර හිටියනං ඇත්තමයි මට පිස්සු හැදෙයි. වැස්සට කොටු වෙලා මෙතන හිටියත් ඒ මෙන්ටලිටි එක ටික ටික දිය වෙලා ගියා”

“ඉතිං කෝල් එකක් දෙන්නෙපැයි”

“බෑනෙ කරදර කරන්න. ඔය දෙන්න වැඩනෙ ඉතිං. අපි පාරිට කෝල් එකක් ගමුද…”

“එපා එපා”

එය හදිසි වැළැක්වීමකි. දුරකතනය අතට ගන්නට ගිය අන්තරා වහා අත ඉවතට ගත්තා ය. නමුත් ඇගේ ඇස් වල ප්‍රශ්නාර්ථය විය. යුගාත්ම වහා නිදහසට කාරණා සොයාගත්තේ ය.

“අද ඉඳං බ්‍රාන්ච් මැනේජර් නෑනෙ. පාරින්දි ශොප් එකේ ඉන්න ඕනෙ”

අන්තරා ඔවුන්ගේ වෘත්තීය ජීවිතයට අතපොවන්නට නොගොස් සන්සුන් වූවා ය.

යුගාත්ම වෙත වූයේ අන්තරා සමග තනි වෙන උවමනාවකට වඩා පාරින්දි මගහරින උවමනාවකි. ඈ ඔහුව වරදවා වටහාගනිමින් සිටිනවා ද යන ප්‍රශ්නය අවස්ථා කිහිපයකදී ම ඔහු තුළින් නැගී තිබේ. මිතුරියකගේ සීමාවෙන් පිටතට ඇය ගෙන්වාගන්නට ඔහු කවර මොහොතකවත් හිතුවේ නැත. නමුත් දක්ෂිණ ඉදිරියේ ඔහු සිය පෙම්වතා වශයෙන් ඈ කළ ප්‍රකාශය ගැන තවමත් ඔහු ට පහන් හැඟීමක් නො දැනේ. අන්තරා වුව එය එසේයි සිතනවාට ඔහු ගේ කැමැත්තක් නැත. නමුත් ඒ ගැන ඍජුව ඇය හා කතා කිරීමට ඔහු ඉදිරිපත් වූයේ නැත. එ්, පාරින්දි වූ කලී ඔවුන් දෙදෙනා ගේ ම මිතුරියක වන බැවිනි.

කෝපි කෝප්පයෙන් උණුහුම් වෙන අතරේ දී අන්තරා උත්සාහ කළේ, දික්කසාදය නමැති අලුත් තත්වයට මුහුණ දීම සඳහා යුගාත්ම ගේ අත්දැකීම් විමර්ශනය කිරීමටයි. දක්ෂිණ කාලයක් තිස්සේ සම්පතී සමගින් ජීවත් වූව ද නිල වශයෙන් අන්තරා ඔහු ගේ බිරිය වූවා ය. ඒ තනතුරින් ඉවත් වීම මුල් තත්වයට වඩා වෙනස් බව ඇයට දැනෙමින් තිබේ. එතකොට නමට හෝ සැමියෙකු නොමැති වන්නේ ය. නමට හෝ ජීවිතයේ පිරිමියෙකු හිඳීම තුළ අල්පමාත්‍ර වූ හෝ සමාජ රැකවරණයක් සැලසේ. ඉදිරියේදී ඇය සමාජගත විය යුත්තේ සැමියෙකුගේ රැකවරණය නොමැති ගැහැනියක වශයෙනි. ඇතැම් විට මානසිකත්වයන් හි සමානකම් ඇත ද දික්කසාද වූ පිරිමියෙකුට හා ගැහැනියකට මුහුණ දෙන්නට සිදු වන අත්දැකිම් සපුරා වෙනස් වනු ඇත.

“අපි යන ගමං කතා කරමු. ඔයා ගොඩක් වෙලා මෙතන හිටියං දැන් යන එක හොඳයිනෙ නේද…”

කෝපි කෝප්පය අවසාන වීමෙන් පසු යුගාත්ම අසුනෙන් නැගී සිටියේ ය. ඔහු ලොකු පාට කුඩය ඉහළාගත් අතර අන්තරා කුඩා මල් කුඩය දිගැරගත්තා ය. දෙන්නා දෙපැත්තෙන් රියට ගොඩ වූහ.

ලිලී මල් පොකුර තිබුණේ අසුන් දෙක අතරේ ය. අන්තරා ගේ නෙතු ඒ මත නතර වෙන එක වැළකිය නො හැකි වූයේ ය.

“එන ගමං ෆ්ලවර් ශොප් එකක් දැක්කහම ගන්න හිතුණ. ඔයාට තව වාස් එකකට දාගන්න පුළුවන්”

යුගාන්ත මල් පොකුර ඇය වෙත පෑවේ ය. අන්තරා සිනහවෙන් විකසිත වූවා ය.

“අනේ මටද… තෑන්කූ යූ මාව මතක් වුණාට. අද උදේ මට දැනුණෙ මහ නරකම දවසක් වගේ. එහෙම දවසක වුණත් මල් පොකුරක් ලැබෙන තරං හොඳම දෙයක් වෙන්න පුළුවන් නේ… ඉවසීමෙන් ඒ මොහොතට ෆේස් කරන්න තමයි ඕනෙ”

අසුභ දින වල ද සුභ පැතුම් පැමිණිය හැකි යයි ඇය නිතර ම හිතට ඒත්තු ගැන්වීමට උත්සාහ කරන්නී ය. නරක ම හීනයක් දැකීමෙන් පසු ද අපි අවදි වන්නෙමු. අඳුරු ම රැයක් වුව පහන් වන්නේ ය. ගෙදරට වී නොසිට මේ අනෝරා වැස්සේ පුස්තකාලයට පැමිණීම කෙතරම් හොඳ දැයි ඇයට සිතිණ.

“ඩිවෝස් එක තාමත් ලැබුණෙ නැති නිසා මට ලොකුවට වෙනසක් දැනෙන්නෑ. ඒත් මේක වෙනස් වෙනව කියල මං දන්නව. ඕන්නං අම්මල ළඟට යන්න පුළුවන්. පුතා ළඟට යන්නත් පුළුවන්. ඒ කොතනට ගියත් කවුරු ළඟ හිටියත් මාව පරිස්සමෙන් ආයෙ ගොඩනගන්න ඕනෙ මංමයි කියලත් මං දන්නව”

“බිඳිච්ච භාජනයක් කියන්නෙ කිසිම වටිනාකමක් නැති දෙයක් කියන එකයි සාමාන්‍ය අදහස. හැබැයි අන්තරා ඒ බිඳිච්ච භාජනේ අපිට රත්තරං වලින් පිරියම් කරන්නත් පුළුවන්. එතකොට බිඳෙන්න කලින් තිබුණටත් වැඩිය ඒක වටින භාජනයක්. පිරියම් කරන්න අපි තෝරගන්නෙ මොනාද කියන එකයි වැදගත්. අලුතෙන් ගොඩනගන ඔයාගෙ වටිනාකම වැඩි කරගන්න පුළුවන් කොහොමද කියල හිතන්න. ඔයා සතුටෙන්ම හිටිය කාලෙ තිබුණටත් වඩා ඔයාට වටිනාකමක් දීගන්න එකයි කරන්න ඕනෙ”

“මට ඉස්සරහ ගැන කිසිම අදහසක් නෑ යුගාත්ම. කොතනින් කොහොමද පටන් ගන්න ඕන කියලත් මං තාම දන්නෑ. හැබැයි මටත් පාරක් ඇති. මාත් කොහේහරි යයි. සොබාදහම මාවත් එක්කගෙන යයි කියල මං හිතනව”

“කලබල වෙන්න ඕන නෑ තමයි. හැබැයි අවුල් නැතුව ඉන්න. හිතක් නිරවුල් වෙලා පෑදෙන තරමට තමයි අලුත් හිතිවිලි එන්නෙ. වෙච්ච දේවල් ගැන කොච්චර හිතුවත් වැඩක් නැති එකේ… ඒව හිත හිත ඔයාව බ්ලොක් කරගන්න එපා. කාලෙට ඉඩ දෙන්න. මුකුත් නොවී තියෙන්නෙ නෑ අන්තරා. ඩිවෝස් එක කියන්නෙ ජීවිතේක අවසානෙ නෙවෙයි. එතනින් දේවල් සිද්ධ වෙලා ඉවර වෙන්නෙ නෑ. කිසිම දෙයක් එන්ඩ් එක නෙවෙයි. හැම වෙලේම දේවල් සිද්ධ වෙනව. අපි ඉවරයි කියල හිතන තැන් වලින් ආයෙ පටං ගන්නව. ඒකට තමයි ජීවිතේ කියන්නෙ. ජීවත් වෙනව කියන්නෙ. ඩිවෝස් වුණාට අපිට තව ජීවිතේ ඉතුරුයිනෙ. ඒ ටිකෙත් මොනා මොනාහරි වෙයි”

“දෙන දෙයක් කාල වෙන දෙයක් බලං ඉමු එහෙනං”

අන්තරා සැහැල්ලු ලෙස සිනහ වූවා ය. යුගාත්ම ඊට උස් සිනහවකින් එක් වූයේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here