මල්සර හී සර – 49

0
2728

පොලිසියෙ මිනිස්සුන්ව ප්‍රශ්න කරන කාමරේ තිබ්බ ලයිට් එකේ කහපාට මූසල එලිය කමරේ පැත්තක තිබිච්ච මේසෙ උඩට වැටිලා තිබ්බා. පොලිස් ඔෆිසර් අරවින්ද වාඩිවෙලා උන්නේ ඒ මේසෙ එක පැත්තක. අරවින්දට අමතරව තව පොලිස් ඔෆිසර්ස්ල දෙන්නෙක් වගේම සුමල් එහෙමත් ඒ කාමරේ උන්නා. අරවින්දට ඉස්සරහින් මාංචු දාපු අත් දෙකකින් වැඳගෙන අරවින්ද දිහා බලාගෙන උන්නේ වෙන කවුරුවත් නෙවෙයි සප්තමීව බයිසිකලෙන් ඇවිල්ල හප්පල දාපු බයික් කාරයා.

බයික් කාරයා උන්නෙ මාංචු දාපු අත දෙක බැඳගෙන වැඳගෙන වගේ අරවින්ද දිහා “ගහන්න එපා බුදු සර්” කියන බැල්මකින් බලාගෙන. අරවින්දට එහා පැත්තෙ හිටගෙන උන්නා අනික් පොලිස් ඔෆිසර් කෙනෙක්ගෙ අතේ තිබ්බෙ සිද්දිය වෙලාවෙයි ඉන් පැය කීපෙකට පස්සෙයි ඉස්සරහයි ඔය බයිසිකල් එකේ හැසිරීම රෙකෝඩ් වෙලා තිබිච්ච සීසිටිවි කැමරා එකක ස්ටිල්ස් වගයක්. පොලිස් ඔෆිසර් ඒ ස්ටිල්ස් තිබ්බ ෆයිල් එක තමන්ගෙ අතට දෙද්දි උනත් අරවින්ද නෙවෙයි එක තප්පරේකට තමන්ගෙ ඇස් බැල්ම අර බයික් කාරයගෙන් එහාට අරගත්තෙ.

“මෙහෙමයි තමුසෙ ඉතින් කොච්චර තමුසෙ නෙවෙයි කියලා කිව්වත් මේ ෆොටෝ වල වැදිලා තියෙන්නෙ තමුසෙගෙ බයිසිකල් එක කියන එක අපි දන්නවා. එක්කො තව බොරු නොකර ඇත්ත පිළීගන්නවා. එහෙම නැත්තම් ඉතින් ඇත්ත වමාරගන්න විදිය අපි නොදන්නවා නෙවෙයි” කියලා අරවින්ද කිණ්ඩි හිනාවක් දාගෙන සුමල් එහෙම දිහා බලද්දි සුමල් උනත් කරේ ඒකට කිණ්ඩියටම වගේ හිනාවෙච්ච එක.

“අපි ගාව මේ සීසීටිවි වීඩියෝ එකත් තියෙනවා. තමුසෙ ඇක්සිඩන්ට් එක කරලා සෑහෙන දුරක් ගිහිල්ලා එච්චර වෙලා ගලවන් උන්නු නම්බර් ප්ලේට් එක ආයෙ ෆික්ස් කරගන්න එක හොඳට මේ රෙකෝඩින් එකේ වැදිලා තියෙනවා. ඒ නිසා පුතෝ තව නම් අපිට බොරු කරන්න හදන්න එපා.

හක්කෙ තියලා සෙම අරින්නෙ අන්න ඒක මතක තියාගනිං” කියල අරවින්ද පුටුවෙන් නැගිටලා මේසෙට අත් දෙක තියලා තමන් දිහාවට නැමිලා හෙමින් සැරේ කියද්දි බොරු කියන එකෙන් වෙන්නෙ මේ වැඩේ තව අමාරු වෙන එක විතරයි කියලා බයිසිකල් කාරයා වෙච්ච රොහාන්ට නොතේරුනා නෙවෙයි.

“ උඹ පිළිගන්නවද නැද්ද මේ ඉන්නෙ උඹ කියලා?” අරවින්ද ආයෙ වතාවක් අර ෆොටෝ ටික පෙන්නල රොහාන්ගෙන් අහද්දි මිනිහා අර වාහනවල ඩෑශ් බෝඩ් එකේ අලවල තියෙන බෙල්ල හොල්ලන ඩැල්මේශන් බල්ලෙක් වගේ තමයි බෙල්ල හෙල්ලුවෙ කියල සුමල්ට හිතුනෙ තව හෙල්ලුව නම් ඕකගෙ බෙල්ල ගැලවිලා යනව කියල මිනිහට හිතිච්ච හන්දා.

“බෙල්ල හොල්ලන්නෙ මොකද? කට හොල්ලලා උත්තර දීපන් මේ ඉන්නෙ උඹද නැද්ද?” කියල අරවින්ද ආයෙ අහද්දි රොහාන් ඒ වතාවෙනම් කටෙන්ම උත්තර දුන්නා.

“ඔව් සර් මං තමයි”

“ඒ කියන්නෙ උඹ පිළිගන්නවා නේද ආනන්ද මාවතේදි කඩ පිලක උන්නල කෙල්ලෙක්ව හප්පලා මාරුවෙලා ගියේ උඹ කියලා?”

“ඒක ඇක්සිඩන්ට් එකක් සර්” කියලා මූ ආයෙ වතාවක් බේරිලා යන්න උත්සහ කරද්දි නම් නහුතෙටම මල පැන්නට මොකෝ අරවින්ද ඒක ඉවසගත්තෙ නිකන් චාටර් වෙන්න ඕන නෑ කියල හිතිච්ච හන්දමයි.

“ආහ් එහෙමද? ඇක්සිඩන්ඩ් එකක්? තමුසෙලා දැන් ඇක්සිඩන්ට් වලට එන්නෙ එතකොට නම්බර් ප්ලේට්ස් එහෙම ගලවගෙන වෙන්නැති නේද?

කවුරු කියල හිතාගෙනද මල්ලි මේ බොරු කරන්නෙ? උඹ හිතන්නෙ මේ වෙච්ච දේ දන්නෙ නැතුව අපි උඹෙන් ඔක්කොම අහගන්න හදනව කියලද? කවුරු විදියට ඈ අපිව පේන්නෙ?” කියල අරවින්ද අත උස්සද්දි තමා ඕන්න රොහාන්ගෙ ටෘ කලර්ස් එලියට එන්න පටන් ගත්තෙ.

“අනේ මම දන්නෙ නෑ සර්. මං කිව්වෙ මට කරන්න කිව්ව දේ විතරයි. මට සල්ලි දුන්න මේක කරන්න කියලා. ඔය වත්තල සමන්තයියගෙ ගැන්සියට මම සෙට් උනෙත් ලඟදි. මේක තමයි මට දුන්න පළවෙනිම වැඩේ” කියලා ඒ කොල්ලා ගැහි ගැහි කියද්දි මුගෙන් නම් ඇත්ත වමාරගන්න ටොක්කක්වත් අනින්න ඕන නැ කියන එක වගේම තමන් හිතුවා වගේම මූ මේ වගේ වැඩවලට අලුත් ඩයල් එකක් කියන එකත් අරවින්දට ආයෙ වතාවක් තේරුම් ගියා.

“වසන්තගෙන් ද උඹට වැඩේ සෙට් උනේ?”

“ඔව්”

“වැඩේ සෙට් කරපු කෙනා ඩිරෙක්ට්ලි කතා කරේ නැද්ද?” කියලා අරවින්ද තමන්ගෙ ඇස් දෙක දිහාම බලාගෙන අහද්දි තමන් ඒ ප්‍රශ්නෙට දෙන්න ඕන ඇත්ත උත්තරයක්ද එහෙම නැත්තම් බොරුවක්ද කියන එක රොහාන් ආයෙ කල්පනා කරා. රොහාන්ගෙ කල්පනාව අස්සෙ තියෙන්නෙ මොන වගේ කතාවක්ද කියන එක මෙච්චර අවුරුදු ගාණක් පොලිසියෙ තෙම්පරාදු වෙච්ච අරවින්දට තේරුම් ගන්න බැරි උනේ නෑ. ඒ නිසාම තමයි අරවින්ද යාප්පුවෙන් ඔක්කොම අහගන්න වගේ රොහාන්ට කිව්වේ.

“බය නැතුව අපිට ඇත්ත කියන්න. ඇත්ත කිව්වොත් එලියෙ ඉන්න මෝරා කොච්චර ලොකු එකෙක් උනත් උඹලා අපි කොහොමහරි බේරන්නම්” කියලා.

“වසන්ත අයියා හරහා තමයි වැඩේ සෙට් වෙලා තිබ්බෙ.  පස්සෙ ඔය වැඩේට යන දවසෙ ඒ හප්පන්න කියල මට කියල තිබ්බ මිස් යන එන වෙලාවක් එහෙම හරියටම කියන්න ඒ වසන්ත අයියට වැඩේ සෙට් කරලා තිබ්බ කෙනා මට කෙලින්ම කෝල් කරා.

එයාට ඕන උනේ ඒ හැප්පිච්ච නෝනව ආයෙ නිකන් ඇවිදින්න බැරිවෙන්න වගේ කකුලක් එහෙම කඩල දාන ලෙවල් එකකට වැඩේ පත්තු කරන්න. ඒ උනාට ඒ නෝන උන්න තැන එක්ක මට එච්චර දෙයක් කරගන්න පුලුවන් උනේ නෑ සර්. මං හිතල කරපු දෙයක් තමයි. ඒ උනාට මගෙ උවමනාවට වෙච්ච දෙයක් නෙවෙයි. සල්ලි වලට කරේ සර්.” කියල ඒ මිනිහා ආයෙ නාහෙන් අඬන්න තියාගත්තම අරවින්ද කලේ මෙච්චර වෙලා වාඩිවෙලා උන්න මේසෙන් නැගිටල කාමරෙ ඇතුලෙ එහෙට මෙහෙට වට දෙකක් තුනක් ඇවිදපු එක.

“වැඩේට උඹට කීයක් ගෙවනවා කිව්වද?”

“දෙකහමාරක් දෙනවා කිව්වා වැඩේ හරියටම කරොත්. මට එක හමාරයි. ඉතුරු ටික වසන්ත අයියට. ඒ උනාට වැඩේ හරියටම වෙච්ච නැති හන්ද මට කෝල් කරලා බැණලා සල්ලි අඩුවෙන් තමයි දැම්මේ. ආයෙ දවසක ඒ විදියටම හරි වෙන විදියකට හරි වැඩේ හරියට කලාම සම්පූර්ණ ගාන දෙන්නම් කියල තමයි කිව්වේ”

“කෝල් කරලද කිව්වේ?”

“ඔව් සර්”

“තමුසෙ ඒ කෙනාව හම්බුවෙලා නැද්ද? ඒ කිව්වෙ දැකලා නැද්ද?”

“නෑ”

“සල්ලි දුන්නෙ කොහොමද?”

“බෑන්ක් ට්‍රාන්සර් එකක් තමයි දැම්මේ”

“ඒ බෑන්ක් ට්‍රාන්සර් එකක් කරපු විස්තර එහෙම තමුසෙ ගාව තියෙනවද?”

“ඔව් සර්”

“තමුසෙ ගාව ඒ කෝල් එක ආව නම්බර් එක ෆෝන් එකේ සේව් වෙලා තියෙනවද?”

“ඔව් සර්”

“හරි එහෙනම් ආයෙ කෝල් එක ගන්නවා” කියල කියන ගමන් අරවින්ද මාරුවෙන් මාරුවට සුමල්ගෙයි එතන උන්නු අනිත් ඔෆිසර්ස්ලගෙයි මූණු ටික බැලුවා. ඒ හැම මූණකම ඇඳිලා තිබිච්ච එකම කතාව තේරුම්ගන්න අරවින්දට එච්චර අමාරු උනේ නෑ.

හැබැයි අරවින්ද “හරි එහෙනම් ආයෙ කෝල් එක ගන්නවා” කියලා කිව්ව නම් රොහාන්ගෙ මූණ පොඩ්ඩක් විතර දෙල් උනේ ඒ වගේ දෙයක් කරලා ආයෙ කවදහරි දවසක හිරෙන් නිදහස් වෙලා ගෙදර ගියත් වසන්ත අයියගෙන් නම් නිදහස් වෙලා ඉන්න හම්බුවෙන්නෙ නෑ කියල මතක් වෙච්ච හන්දා.

“තමුසෙලට පව් කරද්දි නම් ආතල්. ඒව ආයෙ වමාරද්දි තමා නේද අමාරුව දැනෙන්නෙ. ෆෝන් එකේ නම්බර් එක සේව් වෙලා තියෙනව කිව්වනෙ. ගනින් දැන් කෝල් එක. පොලිසියෙ ඉන්නෙ කියන්න එපා. නෝමල් එකේ කතා කරපං. සල්ලි හදිස්සියක් තියෙනවා ඒ හන්දා ආයෙ ඔය කොන්ත්‍රාත්තුව සෙට් කරගන්න පුලුවන් කවද්ද කියල අහපං.

බොරු මරිසි දාලා අපිව මාට්ටු කරන්න හිතන්න එපා. බය නැතුව නෝමල් කතා කරන විදියට කතාකරපං” කියල අරවින්ද කියද්දි රොහාන් ෆෝන් එකෙන් තමන්ට කෝල් කරලා මේ වැඩේ විස්තර දුන්න මනුස්සයගෙ නම්බර් එක ඩයල් කරා.

ෆෝන් එක දෙපාරක් රින්ග් උනා.

ඉන්පස්සෙ ආවෙ අරවින්ද වගේම සුමල් එහෙමත් හොඳට දන්න වොයිස් එකක්.

ඒ වොයිස් එක හරිම හීනි කටහඬකින් තමයි “ඇයි මට ආයෙ කෝල් කරන්නෙ?” කියලා රොහාන්ගෙන් ඇහුවෙ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here