ආදරේ අහඹුවක් – පළමු කොටස

0
1930

“රන් පැහැ නූලකින් හැඩ කොට මසා ඇතී

හතර කොණේ මල් හතරක් ගොතා ඇතී

සුදු හාමිනේගේ දෑතින් නිමා ඇතී

මල් මල් මේස රෙදි ගන්නා අයට තුතී”

රුපියල් එකයි පණහක් වියදං වෙච්ච මල් එම්බ්‍රොයිඩර් කරපු මේස රෙද්දයි, අතුරණයි පළවෙනි කට්ටලේ රුපියල් හතරකට විකුණගන්න ඇහැක් උනේ කවි මඩුවෙ මූලාසනේ අරගෙන වගේ කවි කියෝ කියෝ උන්නු හාදය හන්දා

“තරුණ පහේ කොලුවෙක් උනාට මොකෝ අපූරුයි නේද හිටිවන කවි කියෝනවා?” කියල සල්පිලෙ ඉඳල ගම දිහාවට යන අතරවාරෙ ගම්මු, වැඩිහරියක්ම බවලතියො කියෝගෙන ගියා.

ඒ කතාව නං හැබැයි හැබෑව. වෙනදට ඔය කවුරුහරි වයසක ඇත්තෙක් තමා හිටිවන කවි කියවන්න හාංදුරුවො දාන්නෙ. මෙදා පාර මේ තරුණ පහේ කොලුවෙක්ව දැම්මෙ මක්කටද දන්නෙ නෑ.

මොනා උනත් ආය මක්කටෙයි බොරු කියන්නෙ, ඒ ළමයා හින්දයින් තමා මෙදා පාර සල්පිල වෙනදට වැඩියෙන් බොහොම අපූරුවට, කිසි කම්මැලි කමක් කොරං යන්නෙ. සතිය පුරාවටම එනවද දන්නෙ නෑ කවි කියෝල යන්න?

මේ ළඟපාත උදවිය නං වෙන්න බෑ මොකෝ මේ පුබුදුපුරේ ඉඳල අහල පහල තියෙන්ද් ගං දෙක තුනෙන් ආ මිනිස්සුවත් ඒ ඇත්ත කවුද කින්ද මන්ද කොයිබ ඉඳන් ආවද කියන්න නං දැන උන්නෙ නෑ. කවි කණ්ඩායම ගෙන්නල තිබ්බෙ සිදාදියෙන් හන්දා බාගදා එයැයිතුත් එහෙ ඉඳන් ආව වෙන්න බැරිය.

පෙනුමෙනුත් කොහොමත් සැපට හැදිච්චි පාටක් තමා තියෙන්නෙ.

“රාජ් කපූර් වගේ නේද පැත්තට?” කියල ගමේ පොඩි කෙල්ලො කීපදෙනෙක්ම ඈත ඉඳන් උන්දැ එක්කල මුකුළු කොරන ගමන් කියනව මං අහගෙන. අනේ ඒ ඇත්ත නං නෙවි මේ කෙල්ලො එක්කල ඇයි හොඳැයි කියන්න ආවෙ ඒත්. කෙල්ලො ඉතින් රූපෙ ලස්සන කොල්ලෙක් දැක්කම කොහොමත් තියෙන මායං ඔක්කොම දානව නෙව. දැන් හැදෙන එකියො කොහොමත් ඔය අපි වගේ ලැජ්ජ බයට හැදිච්ච උන් නෙවෙයි නෙව.

අනිත් අතට ඉතින් ඔය කොලුව පැත්තට රාජ් කපූර් වගේද කියල කියන්න මං දන්නෙ නෑ නෙව? මං ඔය චිත්තරපටි බලන්න ගොහිල්ල නෑ නෙව. රාජ් කපූර් නං බොහොම අපූරු හැඩවැඩ තියන මනුස්සයෙක් විත්තිය ඔය පත්තරවල දාන පින්තූරවලින් දැකල තිබ්බට මොකෝ ඒ හැම පින්තූරෙම රාජ් කපූර් උන්නෙ ඉස්සරහ බලාන හන්දා මේ කොලුව පැත්තට ඒ වගේද කියන්න දන්නෙ නෑ මං.

කෝම කෝමින්හරි මේ මනුස්සය හන්දා මං වෙහෙස මාන්සි වෙලා අතේ එම්බ්‍රොයිඩර් කොරාපු මේස රෙදියි අතුරණයි වැඩි ගාණට විකුණගන්න හම්බුණා. 

මං දැක්කා ඒක අරගත්තු කොස්ගොඩ බවලතී උජාරුවට යන විත්තිය. හෙය සල්පිලට දාන්න නං මං එම්බ්‍රොයිඩර් කොරේ ලා රෝස පාට සාරියක්. බීරළු රේන්ද වාටියට අල්ලාපු සුදු පාට මල් එම්බ්‍රොයිඩර් කොරාපු සාරියක්.රුපියල් හතයි පණහක්වත් වටිනවා. හෙටත් මුන්දැ උන්නොතින් ඒකත් හොඳ ගාණකට විකුණගන්න ඇහැක් වෙයි කියල හිත හිත තමයි මං බීක්කු ආරාමේ ඉඳල ගම දිහාවට පල්ලං බැස්සෙ.

ගමේ පන්සලේ සල්පිල අපෙ සීයලගෙ කාලෙ හිට තිබිච්ච එකක්. අපෙ සීයට ආච්චි මුණ ගැහිල තියෙන්නෙත් ඔය පං වලින් හදාපු මල් වට්ටියක් විකුණන්න දැම්මයින්ලුනෙ. පුබුදුපුර, මානෙල්ගම, නෝනාගම කියන ගං තුනෙන්ම විසාලෙට සරුසාරෙට කොරන සල්පිලක් තිබ්බෙ අපෙ ගමේ, ඒ කිව්වෙ පුබුදුපුරේ බීක්කු ආරාමෙ විතරයි. බීක්කු ආරාමේ කිව්වට මොකෝ පන්සලේ හැබෑ නම පුබුදුපුර රජමහා විහාරය. බීක්කු ආරාමෙ කියල වැටිල තියෙන්නෙ පන්සල හතරවටේට බීක්කු හැඩේට හදල තුයෙන සිමෙන්ති වැට හන්දා.

සීය ගමේ ගම්මුලාදෑනියා වෙච්චි. ආච්චි බාලයිලු සීයට වඩා අවුරුදු පාළොහක්. ආච්චි මානෙල්ගම මුල්ගුරුතුමාගෙ ලොකු කෙලී වෙච්චි බීක්කු ආරාමෙ සල්පිලට ආවයින් තමා සීය දැකල පයිණ්ඩෙ යවල තියෙන්නෙ එහා ගමට

සල්පිල්වල ඉතින් ඔව්වද හිඟ?

ගමේ පන්සලේ සල්පිලෙන් දැනටම කී දෙනෙක් නං කටයුතු කොරගත්තද?

සල්පිල තියන කාලෙට ඔක්කොටම වඩා විනෝදෙන් ඉන්නෙ ගමේ කෙල්ලොයි කොල්ලොයි තමා. ලේසියෙන් ඔය අම්මල එලියකට පහලියකට බහින්න ඉඩ දෙන්නෙ නැති කෙල්ලන්ට පවා මේ කාලෙට රජ මගුල්. පන්සලේ තියෙන හන්දා අම්මල අප්පල බය නැතුව ළමයින්ව එවනවත් එක්කලනෙ. 

හඳපානෙ පැනල ගිය එව්වොත් නැතුවාම නෙවෙයි. කෝම කෝමහරි ඉතින් ඔක්කොම එව්වයි වැරැද්ද පැටවෙන්නෙ හඳපානට.

බීක්කු පන්සල තිබ්බෙ කන්දක් උඩ. පන්සලේ බුදු ගෙට ඉහළින් වහළයක් තියෙන එක ගමට  කරදර කාල පහුකොරන්න හේතු වෙනවය කියල මිනිස්සු අතරෙ කතාවක් තිබිච්ච හන්දා ගමේ තියෙන උඩම තැන තමා පන්සල හදෝලා තිබ්බෙ. ගමේ ඉඳල ඉතින් විනාඩි හතලිස් පහක් විතර ඇවිදන් එන්නෝන පන්සලට එන්න.

හුලු අතු එලියෙන් ඉස්මන් කොරල ගමට යාගන්න ඕන හන්ද තමා මං පඩි බැහැං බැහැං පල්ලං බැස්සෙ.

තනියක් නැතිඋනාට මොකෝ ඉතින් ගොහිල්ල කොරන්න වැඩ රාජකාරිද නැත්තෙ මට ගෙයි?

සුදේ අක්කල එක්කල කතා කොරන ගමන්ම මං ගම දිහාවට පඩි බැස්සෙ ඕන් ඔව්ව හිත හිත

-උදතාරී-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here