සුසුවඳ සූත්‍ර – 26

0
3783

රක්ත වර්ණ ගෝලයක් සේ හිරු අවපස අහසෙහි පල්ලම් බසිමින් තිබිණ. දවල් දවස පුරා වෙහෙස වූ හිරු ගිලගෙන, සිය ඇකයෙහි හොවා සනහන්නට සිතිජ මායිමෙහි සයුර ඇඟිලි ගනිමින් සිටියේ ය. වියළි මිරිස් බැද තෙම්පරාදුවෙහි දැවටූ තැම්බූ කඩල ඇට සපමින් මිතුරෝ තිදෙන වෙරළ දිග මන්දගාමී සක්මනෙහි නිරතව සිටියහ. ඔවුන් ගේ දිගු සෙවණැලි වෙරළෙහි සිට ගොඩබිම දෙසට විහිදී ගියේ ය.

“මං දන්නෑ මං වැරදිද කියල. ආයෙ කවදාවත් එයා ළඟ අඬනව කියල මං හිතන් හිටියෙ නෑ. එයාට මං වෙනුවෙන් අඬන්න කඳුළු ඇති කියලවත් කඳුළු එන්න තරං හැඟීමක් ඇති කියලවත් මං දැනං හිටියෙත් නෑ. ඇත්තටම ඒ මොහොත හීනයක් වගෙයි. තාමත් මගෙ පපුව රිදෙනව වගෙයි”

අන්තරා ගේ වචන නැගී ආවේ ආත්මයෙන් ම ය. ඇගේ දෑස් පත්ලෙහි කැළඹීමක් වූ අතර, එය පිටතට පෙනුණේ මහා විප්‍රයෝගී සංවේගයක් ලෙසිනි. යුගාත්ම යන්තම් හිස හරවාගෙන ඇදෙස බලාගෙන ම සිටියේ ය.

“නෑ. මං හිතන්නෑ ඔයාවත් එයාවත් වරදක් කළයි කියල”

අන්තරා සැනෙකින් සිය හෘද සාක්ෂිය නිදොස් කොට නිදහස් කරගත්තා ය. ඕනෑ ම තත්වයක් යටතේ කොන්දේසි විරහිතව තමන්ගේ පැත්තේ හිටගන්නා මිතුරෙකු කියන්නේ සම්පතකි.

“ඔය දෙන්නට දෙන්නා එහෙම ඕපන් වුණ එක හොඳයි. හුඟාක් ඩිවෝස්ඩ් කපල්ස් වල තියන ගැටළුව තමයි හරිහමන් කමියුනිකේශන් එකක් නැති වීම. හිත් වල තියන දේවල් විවෘතව කතා කරන්නෑ. හිත් වල හිරකරගෙන ම වෙන්වෙලා යනව. ඊට පස්සෙ වෛරක්කාරයො වගේ. අපේ ගෑනු පිරිමි හුඟක් අය හිතන්නෙ ඩිවෝස් එක කියන්නෙ බෝඩර් එක කියල. එතනිං එහාට ගියාට පස්‍සෙ… එච්චරකල් ජීවිතේ බෙදාගත්ත… එක ඇඳ බෙදාගත්ත ගෑනි හරි මිනිහ හරි තමයි ලෝකෙ ඉන්න ලොකුම හතුරා කියල. එහෙම වෙන්න ඕන නෑනෙ. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විදිහට එක ගමනක් යන්න බැරි තත්වයක් තිබුණට මනුස්සයො විදිහට සම්බන්ධතා පවත්වන්න බැරි නෑනෙ අන්තරා. ඕනනං යාළුවො විදිහට කතා බහ කරන්න වුණත් පුළුවන්. දරුවන්ගෙ දේවලදි කතා කරල එකට තීරණ ගන්න පුළුවන්. එහෙම කොච්චර හොඳද… එහෙම වෙනවනං මට මගෙ කෙල්ලො දෙන්න නැති වුණා වගේ ගොඩක් දෙමව්පියොන්ට ඩිවෝස් එකත් එක්ක දරුවො නැතිවෙන්නෑ”

අන්තරා ගේ ඇතුළු හද ගැබ තුවාලය තවමත් රිදුම් දෙයි. ඇයට දැනෙන්නා වූ දුක තවමත් නිමා වී නැත. දක්ෂිණ වෙතින් වෙන් වීමට ඇය කාලයක් තිස්සේ ම සූදානම් වූවා ය. ටික ටික ඊට ශක්තිය එකතු කළා ය. නූපුර වැඩිහිටි තරුණයෙකු වන තුරු ඉවසුවා ය. මේ, සිදුවෙන බව ඈ ඉඳුරා දැන සිටි දෙයකි. නමුත් ඒ සමුගන්නා මොහොත ඒ සා සංවේදී වනු ඇතැයි ඈ සිතුවේ නැත. දක්ෂිණ ඇය ගැන ඒ තරම් සිතන්නට ඇතැයි සිතුවේ ම නැත.

“ඩිවෝස් එකක් යද්දි අන්තිමට මාස තුනක් දෙනව සෙට්ල් වෙන්න කැමතිනං එහෙම වෙන්න. ඒ කියන්නෙ ඕනම දේකට දෙවනි අවස්ථාවක් තියනව කියන එකයි අන්තරා. ඔය දෙන්නට වුණත් හිතෙනවනං වෙච්ච අතපසුවීම් අමතක කරල ඒවට සමාව දීල ආයෙ පවුලක් විදිහට එකට ජීවත් වෙනව කියල… මං හිතන්නෙ ඒක තමයි හොඳම”

පාරින්දි නෙත් කොනෙන් යුගාත්ම දෙස බැලුවා ය. අන්තරා ගෙන් සුසුමක් ගිලිහිණ.

“එහෙම කරන්න බැරි තරං දුරකට එයා ගිහින්නෙ යුගාත්ම. අඩු ගානෙ එතන දරුවො හැදිල නොතිබුණානං එහෙම කරන්න තිබුණ. එතන දරුවො දෙන්නෙක් එක්ක පවුලක් ඉද්දි…මේ විදිහට සදහටම ජීවත් වෙන්න බෑ දෙයියනේ”

ඔවුහු වෙරළබඩ එළිමහන් අවන්හලකට ගොඩවූහ. යුගාත්ම හා පාරින්දි එක්ව බොජුන්පත පිරික්සා ඇනවුම ලබාදුන්හ.

“ආයෙ එකතු නොවුණත් දැන් ඔය දෙන්නට හිතේ කහටක් නැතුව ඉස්සරහට යන්න පුළුවන්නෙ. ඒක ලොකු දෙයක්”

“මන්දා. මටනං අන්තරා වගේ වෙන්න හිතන්නවත් බෑ. ඇයි ඒ ගෑනිට දිනුම දෙන්නෙ… හරිනං ඩිවෝස් එක නොදීම ඉන්නයි තිබුණෙ”

පාරින්දි මූණ නෝක්කාඩු කරගෙන කීවා ය. අන්තරා මුව මඳහසක් පෑවා ය. යුගාත්ම ගේ තොල් කොනක ද සඟවන්නට හදන හසරැල්ලක සරැලි විය.

“ඇත්තටම ඔයාට ආයෙ එයා එක්කම සෙට්ල් වෙන්නයි තියෙන්නෙ අන්තරා”

“දැන් අපි ආපහු හැරෙන්න දුර ගියා වැඩී පාරි”

“මං ඔයාගෙන් දෙයක් අහන්න ඇත්තම කියනවද…”

“අහන්න පාරි”

“ඔයා තාම එයාට ආදරෙයිද…”

අන්තරා ගේ හදවත මැද ම විද්‍යුත් ස්ඵන්දනයක් සිදු විය. යුගාත්ම වහා ඇදෙස බැලුවේ ය. ඒ ඔහු ගේ ද සිතේ වූ පැනයකි. නමුත් අන්තරා ගේ මූණ බලාගෙන එය අසන්නට තරම් ඔහුට ධෛර්ය වඩවාගත හැකි වූයේ නැත.

අන්තරා හෙමිහිට පෙනහලු පිරෙන්නට හුස්මක් ගත්තා ය.

“දැං ඉන්න එයාට මගෙ චූටි හැඟීමක්වත් නෑ. ඒත් ඉස්සර හිටිය එයාට තාමත් මං ආදරෙයි”

අන්තරා ඒ කියාගත්තේ අසීරුවෙනි. ගැහෙන ස්වර අතරිනි. නමුත් ඒ ඇත්ත ම ඇත්තයි. ඈ පපුව මැද අතැඟිලි තබා රිදුමක් පිරිමැදගත්තා ය. යුගාත්ම නෙතු පිය නොසලා මේ අපූර්ව පෞරුෂයකින් හෙබි ගැහැනිය දෙස බලා සිටියේ ය. ඈ වූ කලී සුලබ ව්‍යාජයක් නොවේ. විරල සත්‍යයි.

“හරි අපි මෙහෙම හිතමු. අර ලේඩිගෙයි බබාලගෙයි ප්‍රශ්නෙ කොහොමහරි විසඳගන්න පුළුවන් කියල… එහෙම වුණොත් ඔයා එයා එක්ක රීසෙට් වෙයිද…”

“ඒ හැමදේම එහෙමම තියෙද්දි එතනිං නැගිටල යන්නයි මට ඕනෙ පාරි. ආයෙ එයා ගැන විශ්වාසයක් මගෙ හිතේ ගොඩනැගෙන්නෙ නෑ. එයා මගෙ හිතේ ස්පොයිල් වුණා වැඩී. ගොඩක් අය රංඩු වෙවී එකට ඉන්නෙ ඔය ලෝබකම නිසා වෙන්නැති. එයාටත් මාව ඩිවෝස් නොකර තියාගන්න ඕනවුණේ ලෝබකම නිසා වෙන්නැති. හැබැයි ලෝබකම කියන්නෙ ආදරේට නෙවෙයි”

හිරු මුහුදේ ගිලී ගියේ කොයි මොහොතක දැයි කිසිවෙක් නො දත්හ. නමුත් බටහිර අහසේ පහළ කොටසෙහි රතු තැඹිලි වර්ණ පදාසයක් පමණක් ඉතිරි කොට තබා හිරු නික්ම ගොස් තිබිණ. තවත් ටික වෙලාවකින් අවන්හල සීමාවේ වැටකේ පඳුරු වල ද, සයුර දෙසට බර ව වැඩුණු පොල් ගස් කඳන් වට ද ඔතා තිබූ, කහ පාට මන්ද්‍ර එළියකින් යුත් විදුලි බුබුළු වැල් දැල්වෙන්නට ගති. වෙරළ තීරය දිගට අවන්හල් ගණනාවකි. ලා අඳුරේ නෙකාකාර විදුලි බුබුළු දැල්වී වෙනස් ම චමත්කාරයක් නංවාලී ය.

“සමහර දේවල්… හරියටම ඒවයෙ හැඩේ තේරුංගන්න බැරි තරමට සංකීර්ණයි. තේරුං ගන්න බැරි දේවල් අමාරුවෙන් තේරුං ගන්න ගියාම තමයි ජීවත් වෙන්නත් එපා වෙන්නෙ. ඒ කියන්නෙ ඇයි එයා එහෙම කළේ කියල දිගට දිගට හිත හිත ඉන්න ගියොත් අපි පිස්සු වැටෙන එකයි වෙන්නෙ. ඒක නිසා හොඳම දේ ගෝ විත් ද ෆ්ලෝ කියල ඉස්සරහට යන එක. ඉස්සරහටත් තව ඕනතරං දේවල් වෙන්න නියමිතයි කියල දැනගෙන යන එක. වෙච්ච දේවල් වල ඇලිල ඇයි එහෙම වුණේ කියල හිත හිත ඉන්න ගියොත් කවදාවත් අපිට ගැලවීමක් නෑ”

“ඒකෙනං ඇත්තක් තියනව යුගාත්ම. මගෙ එක්ස් වෙන ගර්ල් කෙනෙක් එක්ක පැටළුණ වෙලාවෙත් මං පිස්සියක් වුණේ ඇයි එයා මට එහෙම කළේ මං මොන වරදක් කරපු නිසාද කියල දිගින් දිගටම හිතපු නිසයි. එහෙම හිතන්න ගියාම කොටි වලිගෙ අල්ලගත්ත වගේ තමයි. ඉවරයක් නෑ”

ඔවුන් තම තමන්ගේ රිදුම් පිරිමැදගත්තා කීවොත් නිවැරදි ය. ඔවුන් ට වෙන වෙන ම තම තමන්ගේ වූ ජීවන අත්දැකීම් තිබිණ. ඒවා අනෙකා ගේ රිදුම් මත සමපාත කොට බැලිය හැකි විය. රිදුණු බිඳුණු මිනිසුන් වී ද අනෙකා ගේ රිදුම් පිරිමැදීම තුළ පරණ තුවාල වලට සහනයක්  දැනිණ.

අන්තරා එන තුරු ජිතේන්ද්‍ර පෙරමග බලා සිටියේ ය. හැන්දෑව අඳුරට හැරෙත්දී ඔහු වඩ වඩාත් නො සන්සුන් ව ගෙතුළට ගියේ ය. වෙලාව බැලුවේ ය. යළිත් මිදුලට එබුණේ ය. කිශෝරි ට ඇසෙන සේ ගතු කියෙව්වේ ය.

“කෝ මේ සුදු නෝනා තාම නෑනෙ. එනවනං පොළොවට කළුවර වැටෙන්න කලින් එන්න එපැයි”

“ධාරා දැන් පොඩි ළමයෙක් නෙවෙයි ජිතේ. ඉලන්දාරියෙක්ගෙ අම්ම කෙනෙක්. අනික එයා කාලයක් තිස්සෙම තනියම ජීවත් වෙලා පුරුදු ගෑනියෙක්. එයා එයි”

“ඒ වුණාට…”

අන්තරා පැමිණි ත්‍රිරෝද රිය නතර වූයේ ඒ වෙලාවේ ම ය. මහ ගෙදර නතර වෙන්නට ආවාට ඈ අත වූයේ ඇඳුම් කිහිපයක් දැමූ කුඩා මල්ලක් පමණකි. අම්මා අප්පච්චි ගේ දෑස් මත වූ ප්‍රශ්නයට දිගු පිළිතුරක් සැපයිය යුතු වන නිසාවෙන්, අන්තරා ගෙදර ඔප්පුව සහිත ෆයිල් එක ජිතේන්ද්‍ර වෙත පෑවා ය.

“ඇති එහෙමවත් යුතුකං ඉෂ්ට කරන්න දැනං හිටිය”

 එය පරීක්ෂාකොට බැලීමෙන් පසු ඔහු ගේ අදහස වූයේ එයයි.

“ඒ ගෙදර සුවඳට පවා මං හරි ආදරෙයි අම්ම. ඒ අපේ මතක සුවඳ. මගෙ හිතේ ලොකු අදහසක් තියනව අප්පච්චි. ඒකට මං ගෙදර ඉන්න ඕනෙ. රෑට වුණත් තනියම එහේ ඉඳල දැන් මට පුරුදුයි තමයි. ඒත් මං එහෙයි මෙහෙයි දෙකේම ඉන්නං”

ජිතේන්ද්‍ර ගේ හිත නොහොඳ වී ඇති බැව් කිශෝරි හැඳින්නා ය. යහනේ වැතිරී ඔහු ගේ අත මතින් හිස තබාගන්නා අතරේ ඈ සැමියා ගේ හිත හදන්නට උත්සාහ කළා ය.

“මොන තරං වස්තුව දේපළ තිබුණත්… මං හැදුණු වැඩුණු තැන වුණත්… මට දැං මහ ගෙදර ගිහිං ඉන්න පුළුවන්ද… එක රැයක් ගත කරන්නෙත් කොච්චර අමාරුවෙන්ද කියල ඔයා දන්නවනෙ… මෙහෙ දුවං එන්නමයි හිතෙන්නෙ. මගෙ කියල දැනෙන්නෙ මෙතන. ගෑනියෙකුට අප්පගෙ ගෙදරට වැඩිය මහත්තයගෙ ගෙදර එකතු වෙන මතක හරි ස්ට්‍රෝං. අපි ධාරාට කාලෙ දෙමු ජිතේ. එයා හෙමිහිට අලුත් ධාරා කෙනෙක් වෙලා උපදියි. ඒ ළමයටත් එයාගෙම කියල හීන ඇතිනෙ. මොකක්දෝ අදහසක් ඔළුවෙ තියනව කියලත් කියනවනෙ. එයාට අපිව ඕන වෙන හැම වෙලේම අපි ඉන්නව කියල දැනුණහම ඇති. එයාගෙ ජීවිතේට අපි වුණත් ඕනනැති විදිහට ඉන්ටෆියර් වෙන්නැතුව ඉමු. ඒක එයාට කරදරයක් වගේ දැනෙයි”

ඒ සත්‍යය පිළිගන්නට ජිතේන්ද්‍ර ගේ පපුව කැමති වූයේ නැත. නමුත් බිරිඳ කියනවා නම් ගලක් වුව මැණිකක් ලෙස පිළිගන්නට කාලයක් තිස්සේ ඔහු මනාප ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here