” තාත්තා කිව්වා ඔයා කවුද ගර්ල් කෙනෙක් එක්ක පොලිසියට ඇවිල්ල හිටියා කියලා. කවුද ධීර ඒ ? ”
ධීර ආපසු නිවසට පැමිණෙන විට රූපසිංහ ගින්න පත්තු කර තිබුණි. ගෙට ගොඩවී විනාඩි කිහිපයක් යන්නටත් මත්තෙන් මිෂෙල් ඒ ප්රශ්නය ඇසුවේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳවත් නොසිතා ය
” තාත්තා එච්චරද කිව්වේ ? අපේ තාත්තට වෙලා තියෙන ටික කිව්වෙ නැද්ද ? ”
ධීර ඇසුවේ ඇත්තටම කෝපයෙනි. තාදී ළඟ ඉන්නා විට දැනෙන හයිය මිෂෙල් හට කවදාවත් දිය නොහැක. ඇගේ මේ හැසිරීමෙන් පෙන්වන්නේ ඇයට තමාට තියා වෙන අයකුටවත් හොඳ සහකාරියක් විය නොහැකි බවයි.
” නෑ ඉතින් මං ඇහුවේ ඒ කවුද කියලා. තාත්ත නං කිව්වේ ඔයා කිව්ව කියලා යාළුවෙක්ලු ”
” මිෂෙල් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා විසඳගන්න ”
” හරි ඉතින් මං නිකං ඇහුවේ ”
” මං මේ ගෙට ගොඩ වුණා විතරයි. හුස්මක් කටක් ගන්න නොදී අහන්න ඕන ප්‍රශ්න නෙමෙයි මේවා. අනික මේ වෙලාවේ මේ ගෙදර ලොකු ප්‍රශ්නයක් තියෙනවා ”
ධීර තරයේම කියා තරප්පුව නැග්ගේය.මිෂෙල් බලා උන්නේ ලැජ්ජාවෙනි. ඒ ප්රශ්නය නොඅසා ඉන්නට තිබුනා යැයි ඇයට සිතුනි.ධීර කෙලින්ම ගියේ ජයමිණි ගෙත් වසන්තගෙ ත් කාමරයට ය. ජයමිණි ඒ වන විටත් කාමරයේ සිට කඳුළු සලමින් උන්නාය. කිසිවක් නොදැන මේ වහල යට ජීවත් වන තම මව ගැන ධීර ට දැනුනේ අප්‍රමාණ ශෝකයකි.
” අම්මා ”
ධීර ව දුටු සැණින් ජයමිණි ඇඳෙන් නැගිට ධීර වෙත ආවේ කලබලයෙනි. ධීර ඇගෙන් එවන් හැසිරීමක් බලාපොරොත්තු වූ නිසා පුදුම වූයේ නැත.
” මොකද පුතා උනේ ? ”
” තාත්තාට හවස ඇප ගන්න පුළුවන්. ඒකත් බොහොම අමාරුවෙන් දන්න කියන අයට කතා කරලා ශේප් කර ගත්තේ. හැබැයි කොස්තාට නං ලේසි වෙන්නේ නෑ. තාත්තාටම තමයි කොහොම හරි එයාව බේර ගන්න වෙන්නේ ”
” දෙයියනේ ඇති ඔයින් ගියා. මං බයේ හිටියේ මීට වඩා දෙයක් වෙයි කියලා. ”
ජයමිණි සැනසුම් සුසුම් හෙළුවාය. එහෙත් ධීර ගේ මුහුණේ තවත් මොකක්දෝ ප්‍රශ්නාර්ථයක් සටහන් වී තිබෙනු ජයමිණි දුටුවා ය.
” පුතාට තව මොකක් හරි කියන්න තියෙනවද ? ”
ජයමිණි ඇසුවේ ධීර දෙස බලාය. ඉවත බලා හුන් ධීර නැවත ජයමිණි දෙස බැලුවේ ඒ පැනය නිසා ය.
” ඔව් අම්මා ”
” මොකද්ද ? ”
” මං තාදී ව පොලිසියට එක්ක ගෙන ගියා “
ජයමිණි ගේ දෑස් පුදුමයෙන් විසල් විය. ධීර එවැන්නක් කලා යයි සිතා ගත නොහැකිය. අනෙක් අතට මෙය තවත් ප්‍රශ්න කිහිපයක ආරම්භයක් විය හැකිය.
” ඔයා ඇයි ඒ ළමයාව එක්ක ගෙන ගියේ ? මං කියන්නේ පොලිසිය කියන්නේ ගෑනු ළමයෙක්ට යන්න හොඳ තැනක් නෙමෙයිනේ පුතා ”
” මට ඒ වෙලාවේ තාදී ව ඕන උනා අම්මා. ඒත් ඒක නෙමෙයි ප්‍රශ්නෙ ”
” මොකක්ද ? ”
” ඒ වෙලාවේ රූපසිංහ අංකල් එතනට ආවා. එයා ඇහුවා තාදී කවුද කියලා. මං කිව්වා මගේ යාලුවෙක් කියලා. තාත්තා නම් මොකුත් ඇහුවෙ නෑ හැබැයි ”
මිෂෙල් කාමරයට එබුනේ එවිටමය. ධීරත් ජයමිණි ත් තවත් කිසිවක් නොකියා නිහඬ විය.
” මං පුෂ්පාට කිව්වා කෑම ලෑස්ති කරන්න කියලා. ආන්ටිත් කාලා නෑනේ. ගිහින් කමු ”
මිෂෙල් ජයමිණි ඇගේ දෑතින්ම අල්ලා ගත්තා ය. ඇගේ මේ ආදරය හදවතින්ම නැගෙනා එකක් දැයි ධීර හිතන්නට ගියේ නැත
” මම එද්දි කොෆි ශොප් එකකින් කොෆී එකක් බීලා ආවෙ. අම්මා ගිහින් කන්න ”
ධීර කාමරයෙන් එළියට ආවේය. මිෂෙල් ජයමිණි කැටුව කෑම මේසයට ගිය අතර ජයමිණි කෑම බෙදා ගන්නා තෙක් සිට මිෂෙල් මේසයෙන් නැගිට්ටා ය.
” මං ධීර කනකොට කන්නම් ආන්ටි. මං එයාව බලලා එන්නම් ”
ජයමිණි කිසිවක් කීවේ නැත. මිෂෙල් මොනවා කරත් ධීර ගේ සිත ඇත්තේ තාදී ළඟ බව දන්නා නිසා ජයමිණි නිහඬවම උන්නාය.
ධීර ගේ කාමරයේ දොර ඇර තිබුණු නිසා මිෂෙල් එයට ඇතුළු වූයේ අනවසරයෙනි. ධීර ඇඳට හේත්තු වී දෑස් පියාගෙන කල්පනා කරමින් සිටියේය. දොරකඩට වී මොහොතක් ඒ දෙස බලා හුන් මිෂෙල් පැමිණ ඇදේ කොනකින් වාඩි වූවා ය. ධීර ගැස්සි දෑස් හැර බලා කෙලින් වී වාඩි වූයේ ය. නිදහසේ මොහොතක් කල්පනා කරන්නට වත් නොදෙන මිෂෙල් කෙරෙහි ධීර ට ඇති වූයේ නොරිස්සුමකි. ඇරත් මේ ගෙවෙන්නේ තම සිත නොසන්සුන් වී ඇති වේලාවක් නිසා මිෂෙල් එය තේරුම් නොගන්නේ මන්දැයි ධීර කල්පනා කලේය.
” ඇයි ? ”
ධීර ඇසුවේ ඇත්තටම නොරිස්සුමෙනි.
” ඔයා මාත් එක්ක තරහෙන්ද ධීර ? ”
මිෂෙල් ඇසුවේ වරදකාරී හැඟීමකිනි. ආරම්භයේදීම ධීර ගේ සිත දිනා ගත්තේේ නැත්නම් ඉදිරියේ අපහසුවනු ඇතැයි සිතමින් මිෂෙල් තැවෙමින් උන්නාය
” මොකටද ? ”
” මං අර ගර්ල් ගැන ඇහුවට ”
” නෑ ”
” ඔයා කතා කරන්නේ තරහෙන් ධීර ”
” ඔයාම හිතලා බලන්න මිෂෙල් මේ වගේ වෙලාවක අහන්න ඕන ප්‍රශ්නයක්ද ඔයා ඒ ඇහුවේ කියලා ”
ධීර ඉවත බලා ගත්තේ ය. මේ ඉවසිය යුතුම වෙලාවකි. නැතහොත් එහි අවාසිය හිමිවන්නේ ද තමාටම ය.
” මං දන්නවා මං වැරදියි කියලා. තාත්තාගේ ප්රශ්නය නිසා ඔයා අවුලෙන් ඉන්නේ කියලත් මං දන්නවා. Im sorry ධීර ”
” මට පොඩ්ඩක් තනියම ඉන්න ඕනේ මිෂෙල්. මගේ ඔලුව අවුල් වෙලා ඉන්නේ ”
ධීර කලේ ඉල්ලීමකි. ඇත්තටම මේ මොහොතේ අවශ්‍ය වන්නේ තනිව කල්පනා කිරීමටය. තම පියා සිදු කර ඇත්තේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දෙයකි. කෝටි ගණනින් ලාභ ලබන හෝටල් ව්‍යාපාරයක් තිබියදී ඔහු නීති විරෝධී ව්‍යාපාරයකට අත ගසා ඇත්තේ මන්දැයි ධීර ඒ මොහොතෙත් කල්පනා කළේය. නිවස පුරා ආධිපත්‍ය පතුරවා ගෙන තමන්ගේත් තමන්ගේ මවගේත් ජීවිත වල සියලු තීරණ අරගනිමින් ගෘහ මූලිකයා ගේ චරිතය අපූරුවට රඟ දක්වන තම පියා අතින් මෙවැනි වරදක් සිදු වූයේ කෙසේ දැයි සිතාගත නොහැක. ඊටත් වඩා මේ මොහොතේ මිෂෙල් වරින් වර පැමිණ තමාට බාධා කිරීමද ඉවසිය නොහැක.
” ඔයා බය වෙන්න එපා ධීර. ඕනෙම ප්‍රශ්නෙකට මං ඔයා එක්ක ඉන්නවා. අපේ තාත්තා වුණත් කිව්වේ මේ ප්රශ්නය අපේ මැරේජ් එකට ප්‍රශ්නයක් කර ගන්න එපා කියලා.අපේ තාත්තා වසන්ත අන්කල්ව දන්නේ අදක ඊයේක නෙමෙයිනේ ”
” මට දැන් තියෙන එකම ප්‍රශ්නේ මැරේජ් එකක් නෙමෙයි මිෂෙල්. මෙතනින් එහාට අපේ බිස්නස් එක කරගෙන යන්නේ කොහොමද කියලා.මේ වෙනකොටත් හතර වටේම මිනිස්සු මේ ගැන දන්නවානේ ”
” අපි ඒ ප්‍රශ්න හෙමින් සැරේ විසඳගමු ධීර. මං කිව්වනේ ඕනම දේකට මං ඔයත් එක්ක ඉන්නවා කියලා ”
මේ මොහොතේ තාදී මෙතන උන්නා නම් ඉවසිය හැක. එහෙත් ඉවසිය නොහැක්කේ මිෂෙල් බලෙන් පැමිණ මේ පාන ඇගෑලුම් කමය.
” මට මේ ප්‍රශ්නෙ විසඳගන්න පුළුවන් මිෂෙල් . තාත්තත් ආවම එයත් එක්ක කතා කරලා මේ හැමදේම සෙට්ල් කර ගන්න පුළුවන්. ප්ලීස් මට පොඩ්ඩක් පාඩුවේ ඉන්න දෙන්න ”
ධීර නැවතත් ඉල්ලා සිටියේ ය. එහෙත් මිෂෙල් පරාජය බාර ගැනීමට සූදානම් වූයේ නැත. තමා ඇසුරු කර ඇති තරුණයන් බොහෝ දෙනෙකුට වඩා ධීර තුළ ඇත්තේ වෙනස්ම ගති ගුණය. මිෂෙල් ගේ හිත සොරා ගෙන ඇත්තේ ඒ ආඩම්බරය මුසු වූ ගතිගුණය. මිෂෙල් කාමරයෙන් පිට නොවන බව දැනුනු නිසා ධීර ඇඳෙන් නැගිට බැල්කනිය වෙත පැමිණියේ ය.මිෂෙල් ද ඒ අනුව නැගිට ධීර පසු පසින් බැල්කනිය වෙත පැමිණියාය. ධීර උන්නේ ඉවසීමේ සීමාවේත් කෙළවරකය.
” මං ඔයාට කෑම බෙදා ගෙන එන්නද ධීර ? ”
ReplyForwardAdd reaction |