ආදරේ අහඹුවක් – දෙවන කොටස

0
919

“මේ කටයුත්තවත් කැමති කොරගන්න ඇහැක් උනෝතින් ලොකු දෙයක් නේද හාමිනේ?”

කුකුලත් අතින් අරන් ගෙට ගොඩවෙච්ච ගුණේරිස් කපුවා අම්ම එක්කල එහෙම දෙඩුවෙ එව්ජිනා අතට ගෙනිහිල්ල දුන්නු හකුරු කෑල්ල ලෑටි ගගා කහට කෝප්පෙ සුරුස් සුරුස් ගගා බොන ගමන්.

“උඩ පහල හක්මන් කොරලම දැන් මටත් හොඳටෝම හති මැණිකෙ” කියල උන්දැ ආයම දෙඩුවෙ අම්ම කළින් කිව්ව දේටවත් මක්කවත් කිව්වෙ නැති හන්දා වෙන්නැති.

“අකමැති වෙන්නෙ ඉතින් අපිටත් වඩා ඒ කාණ්ඩෙ නෙව බං”

මහ හයියෙන් හුස්මක් පිට කොරන ගමං අම්ම හිස් කොරන්න තැනුවෙ පපුව පුරා මහමේරුව හේ පිරිච්ච බයයි, කණස්සල්ලයි වෙන්නැති. මැහුං කාමරේ ජනෙලෙන් බලද්දි ඉස්තෝප්පුවෙ වෙන ඔක්කොම කාරණා හොඳාකාරවම ඇහෙනවයි පේනවයි හන්දා තමා වැඩිහරියක්ම ගුණේරිස් කපුවා ආහම මැහුං කාමරේට එන්නෙ.

ඔක්කොම විස්තර කියාන ආවට මොකෝ මට මං ගැන හරිහමනැක්කෙ මක්කවත් කියන්න උනේ නෑනෙව තාම. 

මං ලාලනී. ලාලනී ඉන්ද්‍රලතා මැණිකේ. ලාලනී කිව්වට මගේ නං එහෙම ලාලිත්තයක් නෑ. ආං ඒ කාරණාව හන්දම තමා අපෙ තාත්තා උන්නු ලොකු ඉස්කෝලෙ මහත්තැන් කෙනෙක් වෙලත් මට තාම මේ අවුරුදු තිහ පනිනකංම කටයුත්තක් කොරගන්න පුලුහන් උනේ නැත්තෙ.

අපෙ අම්මට ඔක්කොටම වඩා හිත් අමාරුව වෙලා තිබුනෙ දෑවැද්ද මොන තරං දෙනවය කිව්ව උනත් මට පෑහෙන තැනකින් කටයුත්තක් කොරගන්න බැරි වෙච්ච එකටත් වඩා මං ගෙයි ලැගල ඉන්න හන්දා අපෙ නගාටවත් කටයුත්තක් එකලාසයක් කොරල දෙන්න විදිහක් නැති හන්දා. මිනිස්සු නං නංගිටහරි කටයුත්තක් සූජානං කොරන්නය කියල කිව්වට මොකෝ “ලොකු ලමයා ඉන්දැද්දි පොඩි එව්න් දීග යවල හරියනවය” කියල අම්ම නං කොයිවෙලේත් හීල්ලුව.

ඔක්කොටම වඩා හෙනේත තිබ්බෙ මගෙ මූණෙ වම් පැත්තෙ කම්මුල වහං පැතිරිල තිබිච්ච මහ විසාල උපන්ලපේ. මං පුංචි කාලෙදිනං ඒක ඒ හැටි පුරස්නයක් නොවුනට මොකෝ, ඩිංග ඩිංග උස් මහත් වෙද්දි, කටයුත්තක් කතා කොරගත්තම එන කාන්ඩෙ උනත් උපන්ලපේ දිහා වපරෙට බලද්දි මං හිතං උන්නට වඩා ඒ උපන්ලපේ තිබ්බ කලු පාට මගෙ ජීවිතේ පුරාවටම පැතිරිච්ච විත්තිය මට තේරුං ගියා.

“ලපී…ලපී” ඉස්කෝලේ යද්දි මට කොල්ලො කුරුට්ටු විහිලු තහලු කොරන එව්ව ගැන මං ඒ හැටි විස්සෝප උනේ, තැකුවෙ නැත්තෙ ඒ දවස්වල ඔය කාරනා ගැන මං ඒ හැටි හිතුවෙ නැති හන්දා.

ඒත් ජ්‍යේශ්ටෙට යද්දි අපෙ පංතිවල උන්නු කොල්ලො නංගි ගැන අහල තුණ්ඩු එවද්දි, නෑයො ගෙදෙට්ට ආහම නංගිගෙ නිකටෙන් අල්ලල හොල්ලල “මේකිවනං දෑවැදි මක්කවත් නැතිව දෙතෑකි” කියල හීන් සැරේ ඇස් අග්ගිස්සෙන් මං දිහාව බලද්දි මං හිතාන උන්නට වඩා උපන් ලපේ විසාල විත්තිය මට තේරුණා.

අවුරුදු විස්සෙන් විසි දෙකෙන් හේ කතා කොරන්න පටන් ගත්ත කටයුතු අවුරුදු තිහක් වෙනකංම ඇඳුණෙ ආං ඒ උපන්ලපේ හන්දා.

අවුරුදු තිහෙන් පස්සෙ ඉතින් ගෑණීයෙක්ට මොන කාරණා කටයුතුද? මං නං මං ගැන හිතාන උන්නෙ ඒ විදිහටමයි. අම්ම ගුණේරිස් කපුව ලව්ව කාරණා කතාකොරන එකටත් වඩා මං අමනාප උනේ මනමාලයො එන එන පාරට සාරි ඔසරි ඇඳ පැලඳගෙන බුලත් හෙප්පු උස්සන් උන්දැල දිහාවට යන්න වෙච්ච එක. මොන විගඩමක්ද මේ කියල මටම හිතෙන තරමට මට එපාවෙලා උන්නෙ ආං ඒ රාජකාරිය.

ඒත් ඉතින් ඇවිල්ල කාල බීල ගොහිල්ල, “ඒ ලමයගෙ මූනෙ තියෙන ලපේ හන්ද අපෙ ලමය මනාප නෑ” කියල එවනෙක තමා ආපු හැම කාණ්ඩෙම හේ කොරේ. සමහරු නං එච්චරක්වත් නෑ. අර කෙල්ලෙක් කසාද බන්දෝල දෙන්න පස්සෙන් යන්නෝන හන්ද ඒ උත්තර එව්වෙ නැති මිනිස්සුන්ගෙන් ඒ විත්තිය ඇහැව්වෙ නැතුවට අපි නොදන්නව නෙවි හේතුව මක්කද කියල.

ඔක්කොටම වඩා මට එපාමකොරපු කාරණාව තමා “ලපේ හන්ද මනාප නැත” කියන එක විඩෙන් විඩේ එක එක උන්දැලගෙන් අහන්න වෙච්චි එක. මනුස්සය වෙනස් උනාට ඉතින් එකම කාරණාව නෙව කටවල් කීපෙකින් අහන්න වෙන්නෙ.

මං නං ඔය කාරනාවක් හරි යාය කියන හිතිවිල්ල හිතෙන් අතෑරල බෝම කල්. ඔය මැහුමක් ගෙතුමක් කොරාගෙන, වත්ත පිටිය බලාන නිස්කාංසුවෙ ඉන්න ඇත්තං මොනතරං අපූරුද? අනිත් අතට නංගිගෙත් හිත මනාප නෑ මට කටයුත්තක් හරියනකං එයැයිල ගැන අම්මල නොසොයනවය කියල. එයැයි දැන් ආරච්චිලැයි ගෙදර හිච්චි මහත්තය එක්කල පූට්ටු වෙලා සෑහෙන කල්. මං නං කියන්නෙ අපෙ අම්මල ඔය මට මගුල් හෙවිල්ල අතෑරල දාලා නංගිව එකලාසයක් කොරානං අහවරයි. නැත්තං එයැයිගෙ තියෙන දාංගලේ හැටියට ඉස්මන් වෙලා හඳපානෙවත් ගියෝතින් නව නිංගිරාව අපෙ අම්මලට විතරක් නෙවි මටත් හොඳටෝම බැණුම් අහන්න වෙනව ගම්මුන්ගෙන් ගෙදෙට්ට වෙලා ඉඳියය කියල මේ ලපයක් හන්දා.

“ලොකු මැණිකෙ ඉන්දැද්දි පුංචි මැණිකෙට කාරණාවක් කතා කොරානං නරකද හාමිනේ” කියල ගුණේරිස් කපුවත් කීප වංගියක්ම ඇහැව්වෙ ඒ හන්දා වෙන්නැති.

“ලොකු ලමය ඉන්දැද්දි පොඩි එකී දීග දෙන සිරිතක් තියෙනවද” කියල අම්ම ඇහුවට මොකෝ අම්මටත් කවදකහරිම තේරෙන්නෙ නැතෑ ඒ කතාව හැබෑව විත්තිය.

නංගියි මායි එක කුසේ උපන්න උනාට මොකෝ නංගි හැබෑවටම ලස්සනයි. ලාලනී කියල නම දාන්න තිබ්බෙ එයැයිට අර මක්කෙයි කියන්නෙ එයැයි හැබෑවටම හැඩ හන්දා. මගෙ ඉතින් දණිහෙන් පල්ලෙහට කොන්ඩෙ තිබ්බට, ඇඟ හීන්දෑරි උනාට, මූන වහං එක පලක පිහිටපු ලපේ හෙනහුරා හේ ඉන්නව නෙව.

“මොන මනුස්සයද මනාප මූන වහගත්තු ලපියෙන් එක්කල දීග කන්න” කියල නංගි දවසක් හොඳටෝම අම්මල එක්කල රන්ඩු වෙච්ච දවසක කිව්වමනං බොරු කියන්නෙ මොකෝ මගෙ හිත හොඳටෝම රිදුනා. ඒත් පස්සෙන් පහු කල්පනා කොරල බලද්දි ඒ ඇත්ති උනත් මනාප ඇති නෙව හිච්චි මහත්තය එක්කල දීග ගොහිල්ල පවුලක් පන්සලක් වෙන්න කියල හිතල තමා මං හිත සනසෝගත්තෙ.

ගෙයි උයන පිහින වැඩ, වත්ත පිටියෙ වැඩ ඔක්කොම අහවර කොරල, ළිඳට ගොහිල්ල නාලා, හැන්දෑවෙ පන්සල දිහාවෙ ගොහිල්ල මලක් පහනක් පූජ කොරල එන ජීවිතේට මං හැබෑවටම මනාපයි. හිච්චි කාලෙ ඉඳල තිබිච්ච ලපේ හන්දද මන්දා මට කවමදාකවත් ඔය මනුස්සයෙක් එක්කල පූට්ටු වෙන්න ඕනය කියල හිතුනෙම නෑනෙ.

ඊලඟ සල්පිල දවසට විකුණන්න බලාන එම්බ්‍රොයිඩර් කොරාපු රෝස පාට රේන්ද සාරිය ආයම වතාවක් ඇඳ උඩ දිගෑරගෙන ඇද කුද බලන ගමන් තමා මං ඕන් ඔව්ව කල්පනා කොරේ. 

හෙට සල්පිලේ කවි කියන්නත් අර හාදයා උන්නොතින් අපූරුයි කියල මට හිතුනෙ සාරියෙ ලස්සන දැක්කයින් පස්සෙ. මොන මනුස්සයද මේ තරං අපූරු සාරියක් අයිතිකොරගන්න මනාප නැත්තෙ?

දැනටමත් ගමේ බවලත් උදවිය එනව යනව ඔය ඇඳුම් කැඩුම් හෙම හදාගන්න මට කියල. ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම මැහුං ගෙතුං වලට දස්ස හන්දා තාත්තා ගෙනැල්ල දුන්නු මැසිමෙ ගාන වගේ තුන් හතර ගුණයක් මේ අවුරුදු කීපෙට මං හොයාන ඇති ගමේ බවලතියන්ටම ඇඳුම් කඩුම හරිගස්සල දීලා. ඒ සල්ලි ඉතින් තාත්තා ගන්න එකක් කියලය. එහෙම් පිටිං පාස් පොතට යනව මිසක්කා. ඔය ඇඳුමක් කැඩුමක් හදාගන්න, මැහුමක් හෙම කොරන්න බඩු භාන්ඩ හෙම ගන්නෝන උනාම ඒකෙන් කීයක් හරි ගත්තොත් මිසක්ක වෙන වියදමක් මට ඇත්තෙත් නැති තරං නෙව.

කවියක් දෙකක් කියල අර හාදයා මේන් මේ සාරියත් විකුනල දුන්නොතින් පන්සලේ කඨිනෙට ආදාරයක් කොරන්න පුලුහන්.

සාරිය නවල කොරල, පත්තර පිටුවකින් ඔතල කොරල පන් පෙට්ටියෙ අතුරෝල අල්මාරිය උඩින් තිබ්බෙ මං හෙට උදේම පන්සලට ගොහිල්ල දෙන්න.

සල්පිල තියෙන්නෙ හැන්දෑවෙ හන්දා උදේ භාරදුන්නම ඇති සල්පිලට දමන කොරන බඩු භාන්ඩ.

-උදතාරී-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here