සඳ කත් මිණි ඇස් -17

පුද්ගලික රෝහලක සුවපහසු යහනාවක් සහිත සුඛෝපභෝගී කාමරයක නේවාසික වී ප්‍රතිකාර ලැබුවාට චාන්දනී ගේ හිතේ කිසිදු සුව පහසුවක් වූයේ නැත. ප්‍රවීන් ඇගේ හිත ගිනි තියා තිබුණේ ය. ආලෝක ජර්මනියේ ප්‍රදර්ශනයට ගියේ සූර්යා සමගින් ය යන පුවතත්, ඔවුන් එතැනින් ප්‍රංශයේ සංචාරයකට ගිය බවත් ප්‍රවීන් චාන්දනී ට කීවේ ඔහු ළඟ කොහොමටත් ඇති ලුණු ඇඹුල් යහමින් දමා ය.

තමන්ට කිසිදු ලාභ ප්‍රයෝජනයක් නැතත් අනුන් ට දෙයක් ලැබෙනවාට හෝ අනුන් සතුටෙන් හිඳිනවාට නො කැමති මිනිස්සු සිටිති. ඔවුන් ගේ විනෝදාංශය කේලාම් කියමින් යාම ය. ඔවුන් ගේ සතුට හිත් බිඳවීම ය. තමන් ගේ දුරකතනයෙන් මුදල් වියදම කර ගෙන හතර වටේට කේලාම් කියමින් ඔවුන් ලබා ගන්නා එක ම දේ දෙලොවටම පලක් නැති ඒ කුරිරු සතුට විතර ය. 

ප්‍රවීන් ද එහෙම මිනිසෙකි. ආලෝක නිසා සූර්යා ගැන ඔහු හිතා ගෙන සිටි දේවල් වලට සමීප වීමේ හෝ අවස්ථාවක් උදා වූයේ නැත. අනිත් අතට සූර්යා ඔහු නො සිතූ තරම් සාඩම්බර ගැහැනියක වූවා ය. ඔහු හිතූ තරම් පහසුවෙන් ඈ නම්මා ගත හැකි වූයේ නැත. ඊටත් වඩා ඇය එල්ල කළ කම්මුල් පහර ඔහු ගේ අභිමානයට මහත් කැළලක් වූයේ ය. මේ සියල්ල එක් කොට ගත් කල, අන්තිම මොහොතේ ආලෝක කළ අභියෝගය, අම්මා ට ගිහින් කියන්න ය යන අවමානය ද සමග ගත් කල ඔහු ට මේ කේළම නො කියා සිටිය නො හැකි වූයේ ය. 

චාන්දනී ගේ පපුවෙහි ඇවිලීමක් ආවේ ඒ ආරංචිය දැන ගැනීමත් එක්ක ය. ඇය පපුව අල්ලා ගෙන පුටුවක් මතට වැටුණා මිස සේවකයෙකුට හෝ කතා නො කළා ය. සිය පුත්‍රයා සම්බන්ධයෙන් මේ වාගේ දූෂමාණ ආරංචි සවන් වැකෙතැයි ඇය කිසි දා සිතා තිබුණේ නැත. පෙරදිග රටවල චින්තන ක්‍රමය හා සමාජ සම්ප්‍රදායන් අනුව අම්මලා සිය දරුවන් සම්බන්ධයෙන් මේ වාගේ කතා අහන්නට සූදානම් නැත. විශේෂයෙන් ම ආලෝක වාගේ, අම්මා කෙනෙකු ගේ තනි මහන්සියක ප්‍රතිඵලයක් ලෙස සමාජයේ ඉහළ ස්ථරයකට පිය නැගි පුතෙකු ගේ අම්මා කෙනෙකු ගැන කවර කතා ද?

සේවිකාව වේදනාවෙන් පෙළෙනා සිය ස්වාමි දියණිය නොදුටුවා නම් චාන්දනී ගේ මේ අත් භවයේ ඉරණම ඒ පුටුව මත ම විසඳෙන්නට තිබිණි.

“ඒ වෙලාවෙ මං මැරිල ගියා නං හොඳයි..තවත් මේව නෑහෙන්න නොපෙනෙන්න…”

ඇය කිහිප වරක් තනිව එසේ කියවූවා ය. 

වෛද්‍යවරුන් ගේ වෙහෙස මත, චාන්දනී ගේ ජීවිත අනතුර පහ ව ගිය ද ඇය බරපතල හිසේ අමාරුවකින් පෙළෙන්නට ගත්තා ය. ආලෝක මේ විදිහට හැසිරෙන්නේ කොහොමද කියා සිතා ගත නො හැකි වීම ඇගේ මනස ඒ සා ව්‍යාකූල වන්නට හේතුව විය.

” ඕව ගැන ඕනවට වඩා හිතන්න එපා. ආලෝක කියන්නෙ අවුරුදු දහ අටක විස්සක පොඩි එකෙක් නෙවෙයිනෙ”

ගාමන්ට් රස්සාවේ දී හැඳින ගත්, තවමත් මිතුරියක සේ ඇසුරු කරන ඉන්ද්‍රාණි චාන්දනී ගේ හිත හදන්නට උත්සාහ කළා ය.

“මේ මෝඩය ඒ ගෑනිවත් අරං රට ගියා කියන එක දරා ගන්නෙ කොහොමද ඉන්ද්‍රා…කසාද බැඳල ඩිවෝස් වුණ කෙනෙක් නිසා මේකා ගෙ හිතත් විකාර කරන්න ඇති. නැත්තං ආලෝක ඔහොම දේවල් කරන ළමයෙක් නෙවෙයි”

සිය දරුවා හැරෙන්නට අනිත් හැම ළමයෙක් ම වැරදියි කියා හිතනා අම්මලා ව ඉන්ද්‍රාණි ඕනෑ තරම් දැක තිබේ. චාන්දනී ද එසේ වත්දී ඕ නො රිස්සුම් වූවා ය.

“අනේ නිකං මේ ඉන්න චාන්දනී. ඔය කොයි පුතණ්ඩියත් අම්මල ළඟදි තමයි බබාල..හැබැයි ඒ පුතාලගෙ තරම දැන ගන්නනං උන්දැලගෙ ජීවිත වලට ලං වුණ ගෑනු පරාණ එක්ක කතා කරල බලන්න ඕන”

“ආලෝක නරක ළමයෙක් නෙවෙයි”

“නරකක් නෙවෙයි මං කියන්නෙ..කොල්ලංව ඒ තරං සුද්දවන්තයො විදිහට හිතං ඉන්න එපා කියලයි මං කියන්නෙ. අපි දන්නෙත් දකින්නෙත් උං පුතාල විදිහට අපි ඉස්සරහ ගෙවන ජීවිතේ විතරයි. හැබැයි ඇත්ත ජීවිතේදි උන් එච්චර බබාල නෙවෙයි. අම්මල විදිහට අපි ඒක තේරුං ගන්න ඕන”

චාන්දනී ඇස් දෙක තද කොට පියා ගත්තා ය. ඇය මෙතෙක් කල් කම්පා වූයේ ආලෝක විවාහයක් කර නො ගැනීම ගැන ය. ඈ නැති දාක ඔහු තනි වෙන එක ගැන ය..මොන තරම් මිල මුදල් හා සැප සම්පත් උපයා ගෙන තිබුණ ද හිතේ තනියට හෝ ගතේ වාරුවට තමන්ගේ ම කියා කෙනෙක් නැති වීම කෙතරම් ශාපයක් දැයි චාන්දනී හොඳින් අත් විඳ තිබේ. ඇය ට ආලෝකත් ආලෝක ට ඇයත් හිඳිනා තාක් කල් ඒ තනි කම බරපතල ලෙස නො දැනෙනු ඇත. 

“මං කොච්චර උත්සාහ කළාද ගැළපෙන තැනකින් කටයුත්තක් කරල දෙන්න..කෝ…කැමති වුණෙ නෑනෙ…”

“එහෙම තමයි චානදනී. අපිට තනියම මොනාත් කරන්න බෑ. උඩ ඉන්නවනෙ එක්කෙනෙක්. එයාට ඕන විදිහට තමයි හැම දේම ප්ලෑන් කරල තියෙන්නෙ. අපිට තියෙන්නෙ එයා ට ඕන හැටියට දේවල් සිද්ද වෙන හැටි බලං ඉන්න එක තමයි. අපේ ජීවිතේවත් අපිටයි කියල අයිති නැති කොට…අපේ දරුවො ගැන එහෙම හිතන්නෙ කොහොමද…මං හැමදාම කිව්වනෙ සිල් සමාදන් වෙන්න යමු කියල..ඔන්න මේ පෝයටනං චාන්දනී එන්න ඕන සිල් ගන්න. අපි ධර්මායතනයට යමු”

ඉන්ද්‍රාණි නිතර මතක් කළත් චාන්දනී තවමත් පසළොස්වක පෝයට සිල් සමාදම් වීම ගැන සිතුවේ නැත.

“මං කොහෙ සිල් ගන්නද…මං තාම දරුවන්ගෙ බරින් නිදහස් වෙලා නෑනෙ”

ඈ නිතර කීවේ එහෙම ය. නමුත් ඇත්තට ම තිබුණේ බර බිමින් තබන්නට ඇගේ වූ ලෝභී විතිවිල්ලයි. ඇය තව දුරටත් ආලෝක ගැන බැඳීම ලිහිල් කරනු නොහී සිටියා ය. දේශප්‍රේමියා ව අමතක කොට ඉක්මනින් හිත හයිය ගෙන ආලෝක ගේ බර හිසින් ගත්තා ට, තවමත් ඇයට ඔහු බිමින් තබා ගත නො හැකි ව හිඳී.

ආලෝක කෙළින් ම ආවේ රෝහලට ය. ඔහුත් සමග ගිලන් කුටිය තුළට පැමිණිම සූර්යා ප්‍රතික්ෂේප කළා ය.

“හාට් ඇටෑක් එකක්නෙ ඇවිත් තිබුණෙ. මාව එක පාරටම දැක්කහම අමම ආයෙ සෆර් කරන්න පුළුවන්. මං පස්සෙ වෙලාවක අම්ම බලන්න එන්නං. ඔයා දැන් යන්න”

ඈ ඉතාම නිවැරදි ව තත්වය ගැන අවබෝධයෙන් කටයුතු කළා ය. ආලෝක හිටියේ පොඩි දරුවෙකු වාගේ අම්මා ගැන බියට පත්ව ය. අම්මා විසින්, තාත්තා කෙනෙකු ගේ ඇල්ම බැල්මෙන් තොර ව කාලයක් තිස්සේ හදා වඩා ගනු ලැබූ පුතෙකු ගේ ත් එවන් අම්මා කෙනෙකු ගේ ත් මානසිකත්වය ගැන හිතා ගන්නට බැරි කමක් සූර්යා ට තිබුණේ නැත. කොහොමටත් ඇය ලෝකය ගැන දැනුම් තේරුම් ඇති සහ සියල්ල සාධාරණීකරණය කර බලනා පුරුද්දක් වර්ධනය කර ගෙන සිටියා ය.

ආලෝක ව දුටු ගමන් චාන්දනී කළේ ඉවත බලා ගන්නා එකයි. ඔහු අම්මා ළඟට ම ගොස් ඇඳ පුටුවෙහි අසුන් ගත්තේ සුසුමක් හෙළමිනි.

“දැන් කොහොමද අම්මෙ…”

“ඇයි…අපරාදෙ මැරිල නෑනෙ කියල හිතුනද…”

“මොනාද අම්මෙ මේ කියන්නෙ..”

ආලෝක ගේ ස්වරයේ මඳ කේන්තියක් ද තැවරී තිබුණේ ය. චාන්දනී කේන්තියෙන් පුපුරමින් සිටියා ය.

“අම්ම ඔහොම කේන්ති ගන්න එපා. අම්මට හාට් ඇටෑක් එකක් ඇවිත් තියෙන්නෙ”

“කේන්ති නොගෙන සතුටු වෙන්න පුළුවන් දේවල්නෙ මේ සිද්ද වෙන්නෙ”

“හරි හරි…අපි පස්සෙ කතා කරමුකො. අම්ම දැං විවේක ගන්න”

ආලෝක චාන්දනී ගේ හිස අත ගාන්නට හැදුවේ ය. චාන්දනී පුතා ගේ අත පසෙකට තල්ලු කොට දැමුවා ය. ආලෝක සුසුමක් හෙළමින් අසුනින් නැගිට ගත්තේ ය. 

අම්මා කෙනෙකු ට පුතෙක් සම්බන්ධයෙන් වන අයිතිය මේ අයුරින් අයථා ලෙස භාවිතා කිරීම යනු මාතෘත්වයට තරම් නොවන්නකි. එසේ සිතුණත් ආලෝක ට ඒ වෙනුවෙන් හඬක් නැගිය නො හැකි විණි. ඒ, ඇය ඔහු ගේ අම්මා නිසා ය. ඔහු ව අද සිටිනා තැනට ගෙන එන්නට ඈ හෙළු දහඩිය කඳුළු ඔහු ට කිසි දා අමතක කළ නො හැකි හින්දා ය.

රෝහලේ සිට කෙළින් ම ප්‍රවීන් හමු වන්න යන්නට ආලෝක උත්සාහ කළ මුත් සූර්යා ඒ ගමන වැළකුවා ය.

“ප්‍රවීන් කියන්නෙ කවුද කියල දැන් අපි හොඳට දන්නවනෙ. ඔයා තවත් කරදර පටලෝ ගන්නැතුව ඉන්න. සමහර විට ඒ මනුස්සයට දැන් ඕන කරල තියෙන්නෙම ඔයාව පටලෝ ගන්න වෙන්න ඇති. අපි එයාගෙ අවශ්‍යතාව ඉෂ්ට කරල දෙන්න ඕන නෑනෙ”

ජීවිතය පසෙකින් ආදරය කියන හැඟීම අපමණ බෙදා දෙන ගමන් සගයෙකු හිඳීම තරම් ජීවිතය පහසු කරනා තවත් යමක් නැති තරම් ය. ඇය වචන වලින් වුව මුදු ලෙස ඔහු ගේ හිස පිරිමැද්දා ය. හිත ද පිරිමැද්දා ය. ගින්නකට අවැසි වන්නේ වතුර මිස පිදුරු නොවේ. සූර්යා ආලෝක ගේ ගිනි ගත් සිත් සතන් අස සිහිල් දිය දහරක් ම වූවා ය.

“ඔයා රෑට අපාට්මන්ට් එකට එන්න එපා. අම්ම ළඟින් ඉන්න..එතකොට ටිකක් හරි එයාගෙ හිත හැදෙයි”

සමුගත්දී ඈ එසේ කියන්නට තරම් පුළුල් මනසකින් හෙබියේ වූවා ය. ආලෝක ඈ තදින් වැළඳ ගෙන විනාඩි ගණනාවක් ගත කළේ ය.

“බය වෙන්න එපා. අපිට මේක විසඳගන්න පුළුවන්”

ඇය මුදු ලෙස මිමිණුවා ය. 

“අම්ම කියන ඒව ගණං ගන්නත් එපා. අමමල එහෙම තමයි. අම්ම කියන නම ඇතුළෙ ඔය වගේ හුඟාක් දේවල් තියෙනව”

ආලෝක එදා අම්මා ළඟ නො නිදා රැය පහන් කළේ ය. අවිවේකී විදෙස් සංචාරයක වෙහෙස ද දරා ගෙන ඔහු ඇතැම් විටෙක නිදි කිරණවා චාන්දනී දුටුවා ය.

“නිදියන්න. ඕන වුණොත් මං කතා කරන්නං”

ඇය කීවේ යටපත් කරන්නට හෝ කේන්තියෙන් දවා ලන්නට නො හැකි දාරක ස්නේහයෙනි. රැය පහන් වන විට චාන්දනී ගේ කේන්තිය ද මඳ පමණින් තුනී වී තිබිණි. 

“ඇයි දරුවො ඔයා මෙහෙම නාස්ති වෙන්න හදන්නෙ…ඔයා මොන තරං හොඳට හැදුණ ළමයෙක්ද…ඔයා මොන තරං වටින කෙනෙක්ද…”

කෝප නොගෙන ආදරයෙන් කතා කොට මේ පටලැවිල්ලෙන් ආලෝක ගලවා ගන්නට, කේන්තිය නිවුණු සිතින් ඇය සිතුවා ය. ආලෝක කට කොනකට සිනහවක් නගා ගත්තේ ය.

“අම්ම දන්නවද ඇයි මං එහෙම වටින මනුස්සයෙක් වුණේ කියල…කොහොමද මං එහෙම මනුස්සයෙක් වුණේ කියල…ඒකට හේතුව මට එදා සූර්යා නැති වෙලා ගිය එක.  එයා වගේ වටින කෙනෙක් ලබා ගන්නනං මාත් වටින මනුස්සයෙක් වෙන්න ඕනයි කියල හිතේ පතුලටම මුල් බැහැපු හිතිවිල්ල…”

චාන්දනී නිහඬ වූවා ය. නමුත් ඉන් අදහස් වූයේ ඈ සිය විරෝධය මුලුමනින් හකුළා ගත්තා ය කියන එක නොවේ. 

සූර්යා තේ ප්‍රදර්ශනය සඳහා ආලෝක සමගින් ජර්මනියට ගිය බව දැන ගෙන විශ්මයට පත් නටාෂා ඈ එනතුරු බලා සිටියේ නො ඉවසිල්ලෙනි. ප්‍රවීන් ඇතුළු පිරිස යළි දිවයිනට ආවත්, සූර්යා ආලෝක සමගින් ප්‍රංශයට පියාසර කළ බව දැනගන්නට ලැබිණි. දුරකතන ඇමතුමක් නොදී ඇය බලා ගෙන සිටියේ සූර්යා ලංකාවට එන තුරු ය. ඇගේ මූණ දෙස බලා ගෙන මේ අරුම පුදුමය ගැන කතා කරන්නට ය.

“ඇත්තටම බය හිතුණෙ නැද්ද…”

නටාෂා සූර්යා අභිමුව අත්හළ ප්‍රථම පැනය වූයේ එයයි.

“මොකටද…”

“නෑ ඉතිං…හොරෙං ඔය වගේ අෆෙයාස් ඕන තරං තියෙනව. ඒක ඇත්ත. ඒත් මේ විදිහට ඕපන් එකේ සුමන් එක්ක අබ්‍රෝඩ් යනකොට…මං කියන්නෙ අනිත් අය මොනා කියයිද කියල බය හිතුණෙ නැද්ද…ඒගොල්ලන්ට ෆේස් කරන්නෙ කොහොමද කියල බය හිතුණෙ නැද්ද…”

“නෑහ්”

“සූර්යා කට කොනකට සිනහවක් නගා ගත්තා ය.

“හොරෙන් දේවල් කරන්නයි බය වෙන්න ඕනෙ. එළිපිට කරන දෙයක් ගැන බය වෙන්නෙ මොකටද…කවුරුවත් වැරදි දෙයක්නං එළිපිට කරන්නෙ නෑනෙ”

“බට් සූර්යා…දැන් කවුද නොදන්නෙ ඔයා ආලෝක එක්ක ජීවත් වෙනවයි කියල..”

නටාෂා ගේ ඇස් මත වූයේ ඇය ගැන ලෝකය එවැන්නක් දැන ගත්තා බඳු ලැජ්ජාශීලී අපහසුතාවකි.

“සෝ…අපි පොඩි ළමයි නෙවෙයිනෙ. ඒක අපි දෙන්නගෙ පර්සනල් ලයිෆ් එක…ඒක කාටවත් ප්‍රොබ්ලම් එකක් වෙන්න බෑනෙ නටාෂා”

ඇය ඩග්ලස් ට රහසේ ඔහු ගේ මිතුරෙකු ඇසුරු කළ දවස් නටාෂා ට සිහි විය. ඩග්ලස් ගේ චර්යාවන් ගැන දැන සිටියත් නටාෂා ඔහු ගේ මිතුරා ව හමු වූයේ ඉතා රහසිගත ව ය. ඩග්ලස් ටත් වඩා ඇය බිය වූයේ ලෝකයා ට ය. සූර්යා ඒ අතින් කෙතරම් නිදහස් ද?

” ඒත් ආලෝක ගෙ අම්ම හරිම ට්‍රැඩිශනල් ලේඩි කෙනෙක් කියල ප්‍රවීන් මට කිව්ව..එයා ඔයාව කවදාවත් ඒ ගෙදරට වද්ද ගන්නෙ නෑලු”

ඇය ව ගෙදරට වද්දා නොගත්තත් ආලෝක අපාට්මන්ට් එකට යන එක නතර කළ නො හැකි බව චාන්දනී වටහා ගත්තේ සූර්යා ඇය බලන්නට රෝහලට ආ වෙලාවේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles