හසරැලි වැස්සේ -13

ප්‍රේමය ඉතා කුඩා ගිනි පුලිඟුවක්ව මගේ හදවතේ හට ගන්නට ඇත.එය ඉනික්බිතිව මහා ගින්නක් වන තුරුම මම ඒකපාර්ශවික ප්‍රේමයකින් ඇවිලෙමින් සිටියෙමි.මගේ හදවත ඔහුට මිස කිසිවෙකුට විවර නොවන බව මට සහතික ය.එය එසේ වන්නට හේතුව කුමක්දැයි අසන්නෙකුට දෙන්නට පිළිතුරක් පවා මට නොතිබිණ.

ප්‍රේමය! මා දවමින් අළු කරමින් තිබියදී පවා මම ඒ හැඟීමෙහි ඇලෙමින් ගැලෙමින් සිටියෙමි.

“වසියක්වත් දීලද අර යකා..ඩොටේ ඩෑල්ලෙකනෙ..”

යෙත්මි මට එසේ බැන වැදුණා ය.වශිය ඔහුගේ දෑස ය.එහි ලියැවෙන කවි වැනි බැල්ම ය.මා ඔහුගේ දීප්තිමත් දෑසේ ගිලෙමින් කිමිදෙමින් ප්‍රේමය එකතු කරන බව ඔහු නොදැන සිටීම පවා මිහිරක් විණ.

“ඇත්තටම පිස්සුවෙන් ලව් කරන්න මිනිහට මොනවද අප්ප තියෙන්නෙ..”

මිතුරියන්ට දැන ගන්නට ඕනෑ වූ කාරණාව එය විණ.එය ඔහුගේ ජීවිතයට මා අනුකම්පා කිරීමක් බවට ඔවුන් කැට තබා පැවසී ය.ඔහුගේ ජීවිතය ආලෝකමත් කරන උමතුවක මා පැටලී සිටින බව යෙත්මි තදබල අනාවැකි පැවසුවා ය.

“සචිර අයියා කියන්නේ තව ටික දවසකින් ඉන්ජිනියර් කෙනෙක්.අම්මා ඒජී ඔෆිසර් කෙනෙක්.පවුලේ එකම ළමයා.අර සාගරේ වගේ ගේ එයාගේ.අනික ඔයාට එයාගේ ජීවිතේ හදන්න කිසිම දෙයක් නෑ.අඩුම තරමේ ඒ කොල්ලගෙ ස්ටයිල් එකක්වත් වෙනස් කරන්න ඕන නෑ..ඔයා එයා එක්ක යාලු වුණොත් රණ්ඩු වෙවී විකාර නටන්නෙත් නෑ සචිර අයියා.ඒ ආන්ටිලා ඔයාට අකමැති වෙන්නෙවත් අනෝමා ආන්ටිලා සචිර අයියට අකමැති වෙන්නෙවත් නෑ..ලස්සන වෙඩින් එකක් තියෙයි.ඔයාලා මෙහෙ හරි වෙන රටක හරි හොඳින් ඉඳී..ලස්සන බබාලා හම්බෙයි..හැමදේම ෆෙයරි ටේල් එකක් වගේ වෙයි..”

එය එසේ නොවන්නට හේතුවක් නැතැයි මට සිතිණ.අප මහා ලොකු සල්ලිකාරයන් නොවුණ ද මගේ අධ්‍යාපන දිශානතිය මට විශ්වාස ය.එය වෛද්‍ය විද්‍යාලයෙන් මෙපිට නැවතීමේ ඉඩක් නොවේ.මා යහපත් දැරියක බව සචිර අයියාගේ දෙමාපියන් නොදන්නවා නොවේ.මා සචිර අයියාගේ තෝරා ගැනීම නම් ඔවුන් මා තෝරා ගන්නේ ඉත සිතිනි.

“කොළඹ ඉස්කෝලෙක ඉගෙන ගෙන අමාරු ඩිග්‍රි එකක් කරාට,රට යන්න බලාගෙන හිටියට දෙනෙත් කියන්නෙ දුප්පත් ළමයෙක්.ඒ ළමයගෙ අම්මා මෙහෙන් ඩිවෝස්වත් නොවී වෙන රටක මිනිහෙක් එක්ක පවුල් කනව.දෙනෙත්ගේ ඇටිටියුඩ්ස්වල මාර අවුල් තියනවා.පර්සනැලිටි අවුල් තියනවා.තමන්ගෙ යාලුවා කියලා ඒ මනුස්සයාට ඔයාව දෙන් නෑ හසරැල් අයියා.අනික දෙනෙත් කියන්නෙ මහ නීතිකාර මනුස්සයෙක්.ඔයාට මේ ගෙවන ජීවිතේ ලැබෙන් නෑ.රස්සාවත් කරලා කුස්සි අම්මෙකුත් වෙන්න වෙනවමයි..සුරංගනා ලෝකේ පෙනි පෙනී අපාය තෝරා ගන්නෙ ඇයි කියලයි මට නොතේරෙන්නෙ..”

යෙත්මිට පොහොර දැමූයේ උවනි ය.සුරංගනා ලෝකය සහ අපායක වෙනස මට නොදැනේ.මගේ ඒකපාර්ශ්වික ප්‍රේමය වේදනාවක් බව සැබෑවකි.නමුත් ඔහු මා අපායකට රැගෙන යන බව මගේ මිතුරියන්ට සිතීම ගැන මට ඇති වන්නේ කෝපයකි.කෝපයකට වඩා ශෝකයකි.

“ඔයා මේකෙන් ගොඩ එන්න ඕන හසී..අපිත් ඉස්කෝලෙ යද්දී ඔයාට ඕකට ජෝක් කරපු එක හරි වැරදී..මට ඒක දැනුයි හිතෙන්නේ..”

යෙත්මි තීන්දුවක් ලබා දුන්නා ය.එය එසේ පිළිගන්නට මට ඕනෑ වූයේ නැත.ආදරයක් එසේ එක් නියෝගයකින් නවතන්නට මා රොබෝවකු නොවේ. කිසිත් නොකියා සිටිය ද මගේ දෑසේ ඇති කඳුළු හන්දාම තීරණයක් ගන්නට උවනි සිතන්නට ඇත.

“මං දෙනෙත් එක්ක කතා කරනවා.යෙතූ මොනව කීවත් මට ආයේ හිතෙනව දෙනෙත්ට හසීට අකමැති වෙන්න හේතුවක් නෑ කියලා.බලමු..එයා ඔයාට කැමති වෙලා ඔයාලා ආදරේ කරන්න ගත්තොත් ඔයාලට ප්‍රශ්න එයි හසී..ඒවට විසඳුම් හොයා ගන්න..”

ඇය එසේ කියද්දී පවා යෙත්මි එයට එරෙහි වූවා ය.නමුත් උවනි කියන්නේ බිය නොහඳුනන කෙල්ලකි.ඇය ගැටළු විසඳන අපූරු හැකියාවකින් ද යුතු යුවතියකි. මේ මගේ ආකර්ෂණයක් නොව ප්‍රේමයක් බව වැටහුණු දවසේ පටන් එය දෙනෙත් හා විසඳා ගත යුතු බව කීවේ ඇය ය.

“මං එයා එක්ක කතා කරනකම් ඔයා පොඩ්ඩක් සචිර අයියා එක්කත් ගාණකට ඉන්නකො..සචිර අයියට ඔයාව ලබා ගන්න දීලා ඒ මනුස්සය පැත්තකට වෙනව නම් ඒත් පව්නෙ..”

උවනි එසේ කියද්දී මට සිහි වූයේ දෙනෙත් සචිර අයියාගේ නිවසේ දරුවෙකු මෙන් ඇතිදැඩි වන ආකාරය ය.එය සචිර අයියාගේ දෙමාපියන්ට මහ බරක් වන කාරණාවක් නොවේ.විශාල දරුවන් ප්‍රමාණයකට ඉගෙනීමට පමණක් නොව ජීවිතය පවත්වාගෙන යාමට පවා ඔවුන් උදව් කරන බව මම දැන සිටියෙමි.වතුකරයේ සහ දුෂ්කර ගම්මාන වල දරුවන් ඒ උපකාර නිසා ජීවිතය ඉහළට ඔසවා ගනිද්දී ආන්ටි බොහෝ සන්තෘෂ්ඨියට පත් වූවා ය.නමුත් දෙනෙත්ගේ තත්ත්වය ඊට වඩා වෙනස් ය.ඔහු දැන් වසර ගණනාවක් තිස්සේ සචිර අයියාගේ ජීව විද්‍යාත්මක නොවන සහෝදරයා මට්ටමට පැමිණ හිඳින්නෙකි.ඈත දුෂ්කර ගමක මුල් ගලවා දමමින් ජීවත් වීම දෙනෙත්ට පහසු වන්නට හේතුව ද එයම වන්නට ඇත.

“මූ කෙල්ලන්ට බූට් තියනව.අපේ අම්මට ඒ කෙල්ලන්ගෙ අම්මලා කතා කරනවා පුතාගේ වැඩ කියන්න..අම්මා මට මුලින් බැනලා තමයි ඇත්ත හොයලා බලන්නෙ.බලනකොට අම්මාගෙ බූරු පුතා නෙවෙයි සුදු පුතා තමයි චූදිතයා..”

තමන්ගේ නිවසේ තමන්ගේ තැන දෙනෙත් අබිබවා යමින් සිටීම පවා සචිර අයියාට සාමාන්‍ය සංසිද්ධියක් විය.එහෙත් ඔහු මට ප්‍රේම කරමින් එය කියන්නට අවස්ථාව එළඹෙනතුරු සිටිනවානම් කිසිවක් පෙර තිබූ අයුරින් සිදු නොවන බව සහතික ය.මට මේවා දරා ගන්නට අසීරු බව සිතෙන්නේ ද ඒ නිසා ය.

“දෙනෙත්ට ඉන්න තැනකුත් නැතිවෙයිද?”

මා වේදනාවෙන් අසද්දී යෙත්මි මදෙස බැලුවේ සරදමට හුරු බැල්මකිනි.

“සොරි මෙහෙම කියනවට හසරැලි..මිනිස්සු ගැන එච්චර නරකට හිතන්නත් එපා..”

මගේ සිතීමේ රටාව පවා වෙනස් කරවූ උමතු ප්‍රේමය උවනි මට ගෙනවිත් දේදැයි සිතමින් මා ඉතිරි දවස් ගෙවා දමන්නට පටන් ගතිමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss





Latest Articles

හසරැලි වැස්සේ -36

"මෝඩ විදියට හැසිරුණු කාලේ නම් හැදෙයිද කියලා අපි ඉවසගන බලාගෙන හිටිය.ඒ උනාට දැන් වැඩ කරන්නේ මහම මහ ගොබ්බ විදියට.."

(අ)හිමි සිහින -19

සංසාරගත බැඳීමක් බව සිතූ ප්‍රේමය හැරදා පැමිණි පසු මම අසංකට ආදරය කළාද කියලා ඔයාලාට හිතෙනවා ඇති.අම්මට තාත්තට අසංක සැලකීම ගැන ඇතිවෙන්න තරම්...

සඳ කත් මිණි ඇස් 15

සූර්යා දැන් භුක්ති විඳිනා නිදහස ඇගේ යෞවනයේ දී නො ලැබුණ එකකි. ඇය දෙමව්පියන් ගේ දැඩි නීති රීති හා පාලනය යටතේ හැදුණ වැඩුණ...

හසරැලි වැස්සේ – 35

"මම්මේ…."රෝහල් කාමරයේ ඇත්තේ පාළු ස්වභාවයකි.මට මම්මා සමග එක්වී අතීතය දිග ඇවිද යාමට සිත් විය.මා වෙනුවෙන් තේ සාදමින් සිටි...

(අ)හිමි සිහින -18

යුද්ධය නිසා ජීවිතය අහිමි විය හැකි, ආබාධිතයකු බවට පත් විය හැකි, තමන්ගෙ මහන්සියෙන් උපයා ගත් දෙයක් මිසක ඒ තරමට දේපල නැති සුදාරක...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content