තාදී – 27

0
3002

වසන්ත ගජනායක සතියක් පමණ යනතුරු නිවසින් එළියට වත් බැස්සේ නැත. අත්‍යවශ්‍යම දුරකථන ඇමතුම් වලට හැර ඔහු දුරකථන ඇමතුම් වලට පිළිතුරු දුන්නේ ද නැත. වසන්ත සහ ජයමිණි අතරද අත්‍යවශ්‍යම දෙයකට හැර කතා බහක් සිදු වූයේ නැති අතර ජයමිණි බොහෝ විට වසන්තව මඟ හැර සිටීමට උත්සාහ කළා ය. ධීර නිවසට පැමිණෙන විට රෑ බෝ වන නිසා ඔහුද වැඩිපුරම වසන්තම මග හැර උන්නේ ය.

මිෂෙල් පැමිණියේ සිකුරාදා දිනයක හවස් වරුවේ ය. ජයමිණි වැරන්ඩාවේ වාඩිවී පොතක් කියවමින් හුන් අතර මිෂෙල් ගේ පැමිණීම ඇයව පුදුමයට පත් කළේ නැත.මිෂෙල් වාහනයෙන් බැස ආවේ සිනාමසු මුහුණිනි.

” ආන්ටි.. කොහොමද ? ” 

ජයමිණි වාඩිවී හුන් පුටුවට යාබද පුටුවේ මිෂෙල් අසුන් ගත්තා ය.

” ඉන්නවා දුව. මොකද හදිසියේම මේ පැත්තේ?”

” ධීර ඉන්නවද කියලා බලන්න ආවේ. මං එයාට කීප සැරයක්ම කෝල් කරා. එයා ෆෝන් එක ගන්නෙ නෑ ” 

” පුතාට මේ ටිකේ ටිකක් වැඩ වැඩියි. අංකලුත් ගෙදරනේ ඉන්නේ ” 

ධීර දුරකථනයට පිළිතුරු නොදෙන හේතුව දන්නා නමුත් ජයමිණි එවැනි පිළිතුරක් දුන්නේ ගැලවීම පිණිසය. ධීර ගේ රථය මිදුලට ඇතුල් වූයේ එවිටමය.මිෂෙල් ගේ රථය මිදුලේ නවතා තිබෙනු දුටු ධීර ට වෙනදාට කලින් නිවසට පැමිණිම අපරාධයක් ලෙස හැඟුනි.

” ආ. ඔය එන්නේ. මෙයාව අල්ල ගන්න තමයි මං ආවේ ” 

මිෂෙල් කීවේ සඟවා ගත් නොරිස්සුමකින් බව හඳුනා ගන්නට ජයමිණිට අපහසු වූයේ නැත.ජයමිණි කියවමින් සිටි පොත වසා පුටුවෙන් නැගිට්ටාය.

” මං බොන්න මොනව හරි හදා ගෙන එන්නම් ” 

ජයමිණි ගෙතුලට ගියේ ධීර දෙස බලමිනි. 

” ඇයි මගේ කෝල්ස් වලට ආන්සර් කරන්නේ නැත්තේ ධීර ? ” 

මිෂෙල් ඇසුවේ ධීර ඉඳ ගන්නටත් පෙරය. 

” මට හුස්මක් කටක් ගන්න බැරි තරම් වැඩ ” 

” ඔයාට තිබ්බනෙ ෆ්‍රී වෙලාවක මට කෝල් බැක් කරන්න ” 

මිෂෙල් එවර කීවේ කෝපයෙනි. 

” හරි දැන් ඔයා මොකටද කෝල් කරේ ? ” 

” ඩිනර් අවුට් එකකට යන්ද අහන්න. අද ෆ්‍රයිඩේ නයිට් නේ ” 

” එච්චරයි මට දැන් අඩු වෙලා තියෙන්නේ ” 

” මොකද්ද ධීර? ඔයා දන්නේ නැද්ද ලයිෆ් එක එන්ජෝයි කරන්නේ කොහොමද කියලා ? ” 

මිෂෙල් ඇසුවේ ධීර අතේ එල්ලෙන අතරේ ය. මෙවැනි හැසිරීම් ධීර ගේ හිතට ගෙන ආවේ විශාල බරකි. එහෙත් ඔහු හැකිතාක් සන්සුන් වීමට වෙර දරමින් උන්නේ ය.

” නෑ “

ධීර දුන්නේ සෘජු පිළිතුරකි. 

” අපෝ.යන්න යන්න. ගිහින් ලෑස්ති වෙලා එන්නකෝ ” 

” අනේ අද බෑ මිෂෙල්. මට මහන්සියි. ඔයා ගෙදර යන්න  ” 

ධීර පුටුවෙන් නැගිට ගෙතුලට ගියේ ඇත්තටම වෙහෙසිනි. මිෂෙල් කෝපයෙන් දැවෙමින් වාහනයට නැගුනේ ජයමිණිට වත් නොකියාමය.

සිදු වූ සිදුවීම දෙගුණ තෙගුණ කර රූපසිංහ ට කියන්නට මිෂෙල් වැඩි වේලාවක් ගත්තේ නැත. ඇය හඬාගෙන නිවසට ගියේ ධීර තමාව හිතා මතාම මඟ හරින බව කියමිනි. රූපසිංහ කෝපයට පත් වූයේ මිෂෙල් ගේ හැඬුම දැකය. ඔහු දෙවරක් නොසිතා වසන්තට ඇමතුමක් ගත්තේ ය.

” මොකක්ද වසන්ත මේකේ තේරුම ? ” 

රූපසිංහ කතා කළේ උස් හඬිනි. පසුබිමින් මිෂෙල් හඬන හඬ ද වසන්තට යන්තමින් මෙන් ඇසුනි

” ඇයි රූපසිංහ මොකද වෙලා තියෙන්නෙ ? ” 

” මං මේවට වැඩිය කතා කළේ නැත්තේ පහුගිය දවස් වල ඔයාට වෙච්ච ප්‍රශ්නය නිසා. ඒ උනාට ඉතින් දිගින් දිගටම මෙහෙම වෙන්න දෙන්න බැහැනේ වසන්ත ” 

” දැන් මොකක්ද වෙලා තියෙන්නේ? ” 

” අපේ කෙල්ල දැන් කීප සැරයක්ම ධීර එක්ක කතා කරන්නයි හම්බ වෙන්නයි ට්‍රයි කරලා තියෙනවා. ඒ උනාට ඒ හැම වෙලාවකම ධීර මොනවා හරි කියලා කෙල්ලව මග අරිනවා. මේ දැනුත් කෙල්ල ඔහේ ඉඳලා අඬා ගෙන ගෙදර ආවේ. මේක දිගටම මෙහෙම වෙනවනම් අපි මේ කටයුත්ත අතෑරලා දාමු වසන්ත ” 

වසන්ත කෝපයට පත් වූයේ ධීර සමග ය. අතටම ආ අවස්ථාව ගිලිහෙන්නට දීමට නොහැකිය. ඇරත් මේ තරම් ප්‍රශ්නයක් ඇති වී තිබියදීත් රූපසිංහ ගෙන ආ යෝජනාවත් මග හැරීමට දිය නොහැක.

” මේ දවස් ටිකේ මට පුතා එක්ක කතා කරන්න බැරි වුණා රූපසිංහ හරියට. දන්නවනේ මගේ ප්‍රශ්නය නිසා එයත් පොඩ්ඩක් අවුලෙන් ඉන්නේ. මං හොටෙල් එකට ගියේ නැති නිසා එයාට වැඩ ටිකක් වැඩියි. මං පුතාගෙන් අහල බලන්නම්කො මොකක්ද ප්‍රශ්නේ කියලා. ඔයා කලබල නොවී ඉන්න. දුවටත් කියන්නකෝ ” 

වසන්ත ජීවිතයේ කිසි දිනක කිසිවෙකු ඉදිරියේ මේ ආකාරයට බැගෑපත් වී තිබුණේ නැත. තවත් විනාඩි කිහිපයක් රූපසිංහ සමග ඔහුගේ හිත හැදෙන ආකාරයට කතා කර වසන්ත දුරකථන ඇමතුම අවසන් කළේ කෝපයෙනි.

” ජයමිණි ” 

වසන්ත කාමරයේ සිට කෑ ගැසුවේය.දින ගණනාවකට පසුව වසන්තගේ උස් හඬ නිවස තුළ ඇසුණේ පළමු වතාවට ය. ජයමිණි උන්නේ රෑ කෑම සඳහා වසන්තට කතා කිරීමට තරප්පුව නගිමිනි. වසන්ත ගේ කෑ ගැසීම ඇසී ජයමිණි පය ඉක්මන් කර කාමරයට පැමිණියා ය.

” ඇයි වසන්ත ? ” 

” කෝ අපේ හරකා ? ” 

වසන්ත කෝපයෙන් කාමරයේ එහා මෙහා ගියේ ය. කුමක් හෝ සිදුවී ඇති බවත් වසන්ත කෝපයෙන් සිටින්නේ ධීර සමග බවත් ජයමිණි තේරුම් ගත්තා ය.

” ඇයි වසන්ත ? ” 

” මං මේ ගෙදරට වෙලා හිටියට ඌට ඕන විදිහට නටන්න දීලා පැත්තකට වෙලා ඉන්නෙ නෑ කියලා කියන්න. මගේ අතින් වරදක් උනා. හැබැයි එහෙමයි කියලා මං වෙනුවට ඌ මේ ගෙදර මහා ඒකා වෙන්නේ නෑ ” 

” මොනාද වසන්ත ඔයා මේ කියවන්නේ ? ” 

” මට දැන් රූපසිංහ කෝල් කරා “

” ඉතින් ? ” 

” මිෂෙල් දැන් මෙහෙ ඉඳලද ගියේ ? ” 

” ඔව් ” 

” ඒකනේ. මිෂෙල් ගෙදර ගිහින් තියෙන්නේ අඬාගෙන. ධීර මග අරිනවා කියලා. රූපසිංහ කියනවා මේවා මෙහෙම වෙනවනම් මේ කටයුත්ත අතෑරලා දාමු කියලා ” 

ජයමිණි කිසිවක් කීවේ නැත. එක අතකට එය එහෙම වෙනවා නම් හොඳ බව ඇය සිතුවා ය. 

” දැන් කෝ ධීර ? ” 

වසන්ත ආයෙම ඇසුවේ ය.

” නානවා මං හිතන්නේ ” 

” නානවා තමයි. මීට වඩා හොඳ කටයුත්තක් එයාට හොයා ගන්න හම්බ වෙන්නේ නෑ.ඔයා එයාට ඒක තේරුම් කරලා දෙන්න ” 

” මිෂෙල් ට අඬන්න තරං දෙයක් උනේ නෑ වසන්ත. රූපසිංහ ඒක ලොකුවට අරගෙන ඇති. මිෂෙල් ඉතින් පොඩි දේටත් කලබල වෙන ළමයෙක් නේ  ” 

ජයමිණි කීවේ බැනුම් අසන්නට වන බව දැනගෙනමය. එහෙත් ජයමිණි සිතුවේ මිෂෙල් ගේ මේ හැසිරීම සැබවින්ම ඕනෑවට වඩා වැඩි බවය.

” ලොකු දෙයක් උනත් පොඩි දෙයක් උනත් මෙහෙම දේවල් වෙන්න බැහැ ජයමිණි. අපි දැන් හැමදේම කතා කරගෙන ඉවරයි නේ. මොනාද මේ අපේ මිනිහා නටන විකාර? ” 

” මං පුතා එක කතා කරන්නම් වසන්ත ” 

” මේකත් හොඳට අහ ගෙන එයාට ගිහින් කියන්න ජයමිණි . එයා මිෂෙල් ව මග ඇරලා අපෙත් ඇස් වහල වෙන මොකක් හරි නාඩගමක් නටනවා නං ඒවට මේ ගේ ඇතුලෙ ඉඩ නෑ. එයා දැනටමත් කොහෙන් හරි නැටිච්චියෙක් කරේ එල්ලගෙන නං එයාට මගෙන් කිසි දෙයක් හම්බ වෙන්නේ නෑ.අනික මේ කටයුත්ත කෙරෙන්නේ නැත්නම් මං මට පුතෙක් නෑ කියලා හිත හදා ගන්නවා කියලාත් ගිහින් කියන්න ” 

වසන්ත අවසාන තීරණය දුන්නේ ය.ජයමිණි ඒවා දැන් අසා උන්නේ කම්පාවෙනි.

” තේරුනාද ? ඔයත් මේවට සම්බන්ධයි නං ඔයාටත් මේ වහල යට ඉඩක් නෑ කියලා මතක තියා ගන්න ” 

වසන්ත කීවේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ කතාවකි. 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here