අම්මාගෙන් දෝණිට -7

ආදරණීය මල් පෙත්ත,

රටේ හැමෝම කලබල වෙලා. ලෝකය පුරා වසංගතයක් පැතිරීගෙන යන කාලයක කිසිම කෙනෙකුට වෙනදා වගේ සැහැල්ලුවෙන් සතුටෙන් ඉන්න බැහැ තමයි. බය වෙනවාට වඩා ආරක්ෂා වීම වැදගත් වුණත් බය නොවී ඉන්නත් පුලුවන් ද?

ලෝකය පුරා පැතිරෙන නපුර ගැන කිසිම දෙයක් නොදැන ඔයා විතරක් දකින සුරංගනා ලෝකේ එක්ක හිනා වෙන මගේ දූ ගැන මට බයයි. ඔයා ගැන විතරක් නෙවෙයි. ඔයා වගේ හැම පුංචි මලක් ගැනම අම්මාට බයයි. මේ රෝග තත්වය ඉක්මනින්ම පාලනය වේවි.ඒත් මේ වගේ කරදර කාල ඉස්සරහට එන එකක් නෑ කියලා අපි කොහොම කියන්න ද?

වෛරය පැතිරෙන ලෝකයක , සොබා දහම විනාශ කරමින් හැමදෙයක්ම මුදල් කරන්න හදන ලෝකයක පැවැත්ම ගැන වැඩි විශ්වාසයක් තියන්න අමාරුයි. මේ හැම නරකකටම දඬුවම් සොබා දහමෙන් ලැබෙනවා. ඔව්! අපි දැන හෝ නොදැන පැතිරවූ නරකට අපි වන්දි ගෙවමින් ඉන්නවා.

මගේ මල් පෙත්ත,

ලෝකය ආයෙමත් යහපත් තැනක් කරන්න ඔයාලාගේ පරම්පරාව ආයේම පටන් ගනීවි කියලා අම්මා විශ්වාස කරන්නේ. මේ නරක නපුරු ලෝකයේ හැම නපුරම අතුගාලා දාන්න ඔයාලාට පුලුවන්. ඉක්මනින් ලොකු වෙන්න.

වෛරයට වඩා ආදරය පැතිරවීම පහසු බව විනාශ වෙමින් යන ලෝකයට කියා දෙන්න.

මම ඔයාගේ අම්මා..

 

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles