“ප්‍යාර් හුආ ඉකරාර් හුආ හේ – ප්‍යාර් සෙ පිර් ක්‍යුන් ඩර්තා හේ දිල්
කෙහෙතා හේ දිල් රාස්තා මුශ්කිල් – මාලූම් නහී කහාන් හේ මන්සිල්”
“ඔයා දන්නවද ඒ සිංදුව තියෙන චිත්තරපටියෙ රඟපාන්නෙ රාජ් කපූර්. ඔයා බලන්න ගිහින් තියෙනවද චිත්තරපටි?” කියල එයැයි ඇහුවට මට නං ඉතින් කියන්න තිබ්බෙ මං ඔය චිත්තරපටි බලන්න ගොහිල්ල නැතෙයි කියල තමා. ගමේ ඉස්කෝල කොරන නාට්ටි කන්ඩායම් කොරන නාට්ටි බලල තිබ්බට මොකෝ චිත්තරපටි නං පෙන්නල නෑ.
ටවුමට ගියානං චිත්තරපටි බලන්න ඇහැක් උනාට, ඔය මේ කඳු පල්ලං බැහැං චිත්තරපටි බලන්න ටවුමට යන්න ඇහැක් කාටද?
“මක්කද ඒ සිංදුවෙන් කියන්නෙ?”
“ඒකෙන් කියන්නෙ ආදරේ ගැන”
“ආදරේ ගැන මක්කද?”
“ආදරේ තියෙන බව තේරුං ගිහිල්ල තිබුනත් හිත තාමත් බයෙන් ඇයි කියල තමයි අහන්නෙ”
“ඉතින් හැබෑටම ඇයි බයෙන් ඉන්නෙ?”
“හිත කියනව මේ යන්න හදන පාර ටිකක් අමාරු, දුස්කර පාරක් විත්තිය, ඒ වගේම යන්නෙ කොහෙද කියල හරිහැටි නොදන්න විත්තිය, අන්න ඒ නිසා තමයි බයෙන් ඉන්නෙ”
ආදරේ කියන්නෙ හැබෑවටම යන මග නොදැන යන පාරක්ද කියල මට ජීවිතේ මුල්වතාවට හිතුනෙ එදා.ලස්සන ලස්සන හීන ගැන හිත හිත, බලාපොරොත්තු හිතේ තියාන පටන්ගත්ත උනාට හැබෑවටම ආදරේ මුල්කරගෙන අපි යන්න හදන පාර මොන වගේ වේද, ඒ පාරෙ කෙලෝර මොන වගේද කියන කාරණාව දැනගෙන කාටවත් ආදරයක් පටන්ගන්න පුලුහන් කමක් නෑ නෙව.
අපි එක්කල එකටම ඉගෙන ගත්ත කෙල්ලො කී දෙනෙක් නං ඉස්කෝලෙ යන සන්දියෙ කොල්ලො එක්කල ඇයි හොඳැයි තිබ්බද? ඒ කාලෙ ඉස්කෝලෙ ගුරුවරු මුල්වෙලා ඔව්ව නතර කොරන්න තැනුවට ඒ දවස්වල එවුන් ඒ සම්බන්දකං ගැන හිතුවෙ කවදහරි මරනෙන් කෙලෝර වෙනකං පවත්තං යන්න ඇහැකි වේය කියල. අන්තිමේ සමහර එව්ව ඉස්කෝලෙ ඉද්දිම නතර උනා එක එක කාරණා මුල් කොරගෙන. සමහර එව්ව ඉස්කෝලෙ ගොහිල්ල අහවර වෙද්දි අහවර වුනා. එහෙමත් එකක් දෙකක් තමා කසාදෙන් කෙලෝර උනේ. ඒව උනත් අවුරුදු ගානක් තිස්සෙ දැන ඇඳුනුකං තියාගත්ත මිනිස්සු එක්කල දීග ගියා උනත් සන්තෝසෙන් ඉන්නෙ කීයෙන් කී දෙනාද?
“පේමතෝ ජායතී සෝකෝ – පේමතෝ ජායතී බයං
පේමතෝ විප්පමුත්තස්ස – නත්හි සෝකෝ කුතෝ බයං”
ආදරේ අන්දා සෝකය ඇතිවෙන විත්තියත්, බය වෙන්න වෙන විත්තියත්, ආදරේ ඇති නොවිච්ච තැන බයක්, දුකක් ඇති නොවෙන විත්තියත් කිව්වට අපි හැමෝම මනාපයි නෙව අර දුක, විස්සෝප, බය ජීවිතේට ලංකොරගන්න.ඒ හන්දා එලියක් දැක්කම ඒ දිහාවට ඇදෙන මෙරුවෙක් හේ ආදරේට බැඳිල දුක් විඳිනව.
නිතර නිතර පන්සලට ඇවිල්ල ඔය පින්දහම් කොරන අතර වාරෙ ඔය වගේ එව්ව ගැන හිතුවට මොකෝ ආදරේ දැනිච්ච තැන, ඇතිවෙච්ච තැන කිසිම හිතක්, කිසිම මනුස්සයෙක් කොයිම ආකාරෙකින්වත් තනන්නෙ නැතුව ඇතී ඒ හැඟීංවලින් බේරිල අහකට යන්න.
“මොනවද කල්පනා කරන්නෙ?”
එයැයිගෙ සිංදුවයි ඒ සිංදුවෙ තේරුමයි අහන් උන්නට පස්සෙ මං බිමට වැක්කෙරෙන හඳ එලිය මැද්දෑවෙ ඉඳන් ඈත පේන කලු පාට අඳුර දිහාව බලන් උන්නු වෙලාව වැඩි හන්දද මන්දා එයැයි මගෙන් එහෙම ඇහුවෙ.
“මක්කවත් නෑ මං කල්පනා කොරේ මේ ඔයැයි කිව්ව සිංදුව ගැන”
“මට පුලුවන් කමක් තියෙනං මං ඇත්තටම ඔයාව එක්කන් යනව චිත්තරපටියක් බලන්න”
වචනෙන් නොකිව්වට, එයැයි බලන හැම බැල්මකම, එයැයි කියන සමහර කතා අස්සෙ පිරිල ඉතිරිල තිබ්බෙ ආදරේ විත්තිය මං හොඳාකාරවම දැනං උන්නා.
“හැබෑටම ඇයි ඔයැයි එදා මං මල් මැහව්ව මේස අතුරණ විකුනන ඒ විදිහට කවියක් කිව්වෙ?”
මට හැබෑවටම උත්තර දැනගන්න ඕන වෙච්ච පුරස්නයක් උනේ ඒක.කොච්චර නං මිනිස්සු කියල උන්නද? කොච්චර නං බඩු භාන්ඩය කියල තිබ්බද? එහෙව් එකේ එයැයි මං මල් මහපු මේස රෙදිවලටම කවියක් කිව්වෙ ඇයි කියන කාරණාව දැනගන්න මයි හිතේ මටත් වඩා මගෙ හිතට බෝම උවමනාවක් තමයි තිබ්බෙ.
“අනේ මන්දා, එදා තමයි මං ඔයාව මුලින්ම දැක්කෙත්, ඒ දැක්ක වෙලේ පටන් මට ඔයාව හොඳට හුරුපුරුදුයි කියලමයි හිතුවෙ. ඒකයි මං එහෙම කවියක් කිව්වෙ”
“ඉතින් මක්කටෙයි ඔයැයි සුදු මැණිකෙ කියල කිව්වෙ? මං කලුයි නෙව”
“මට නිකන් හිතුන එහෙම කියන්න, ඔයා අමනාපද ඒකට?” නලලට වැටිච්ච කැරලි කෙස් රැල්ල එක අතකින් අහකට කොරන ගමන් එයැයි එහෙම ඇහැව්වෙ අනිත් අත මාං සේන්දුවෙලා උන්නු අරලිය අත්තට තියල, මූන මං දිහාවට පාත් කොරගෙන හේ.
“අත එහාට ගන්න, කවුරුහරි දැක්කොතින් වසල හමාරයි”
“කවුරුවත් දැක්කොතින් ඒක එවෙලෙ බලාගන්න පුලුවන් නෙව”
“ඔයැයි එහෙම කිව්වට අපෙ ගෙදරින් හෙම මේ විත්තිය දැනගත්තොතින් මට යහතින් ඉන්න හම්බෙන එකක් නෑ”
“ලලී, මං ඇවිල්ල ඔයාලයි ගෙදරින් ඔයා ගැන අහන්නද?”
නොහිතපු වෙලාවක, එයැයි එහෙම දෙයක් ඇහුවම මං බිරංතට්ටු වෙච්ච එක අහන්නත් දෙයක්ද? අපි තාම මුලිච්චි වෙලා දවසයි දෙකයි තුනයි ගෙවුනෙ. හරියාකාරව හැදිච්චි වැඪිච්චි තැනක ඉස්තිරියාවක් කොරන දෙයක් නෙවි මං මේ කොරේ කොරන්නං වාලේ. එහෙම එකේ දවසක් දෙකක් හම්බුවෙච්චි, හරිහමනැක්කෙ මෙලෝ විස්තරයක් නොදන්න මනුස්සයෙක් එක්කල දීග යන්න ඇහව්වොතින් අපෙ අම්මල හිතාවි මට නුහුගුනේය කියල. ඊටත් එහා හිතාවි මේ නාකි වෙනකං ගෙට වෙල ඉන්න වෙච්ච එලේ මදන විසේ ඉහට ගහලය කියලය.
අනිත් අතට අම්මල මෙයැයිට මනාප වේය කියල කවුද දන්නෙ?
ඕන් ඔව්ව කල්පනා කොර කොර ඉද්දි නෙව ලොකුම හෙනේ කඩා පාත්වුනේ…
“ලාලනී අක්කෙ” කියල හෙනේ කතා කොරද්දි තමා මට තරු පෙනුනෙ
-උදතාරී-