අන්තරා ස්වරාවී ගාන්ධාරා උසාවි සංකීර්ණයෙන් පිටතට පැමිණියේ බරැති හදක් දරාගෙනයි. සියල්ල සිදු වූයේ මේ අවසානය වෙනුවෙන් දැයි සිතෙත්දී දැනෙනුයේ ඉහිළිය නො හැකි වේදනාවකි. නමුත් දැන් ඉතින් සියල්ල ම අවසාන වී තිබේ. දක්ෂිණ විතානගේ හා අන්තරා මුතුමුදලි අතර වූ විවාහ සම්බන්ධය නීත්‍යානුකූලව අවසාන වී තිබේ!
“අන්තරා”
වෙව්ළුම් සරකින් ඈ අමතාගෙන දක්ෂිණ ඇයට සමීප වූයේ ය. අන්තරා ඔහු දෙසත්, රිය වෙතට යමින් සිටි පියා දෙසත් දෙවරකට බැලුවා ය.
“මේකටද අන්තරා අපි ආදරේ කළේ… මේකටද අපි අපේ වුණේ…”
දක්ෂිණ තදින් යටිතොල සපාගත්තේ ය.
“මං නෙවෙයිද දක්ෂිණ ඒක අහන්න ඕනෙ…”
බිඳුණු හැඬුම්බර සරකින් අන්තරා අසාගත්තා ය.
“අපිට තව ටිකක් හිතන්න තිබුණ නේද…”
“අපිට නෙවෙයි… ඔයාට… ඔයාට තව ගොඩාක් හිතන්න තිබුණ. දැන් ඉතින් ඔය කිසි දෙයක් ගැන කතාකරල වැඩක් නෑ දක්ෂිණ. අපේ ගමන මෙතනින් වෙන් වෙලා යන විදිහට වෙන්නැති ලියවිලා තියෙන්න ඇත්තෙ”
“කිසි දෙයක් ඉවරයි කියල හිතන්නෙපා අන්තරා. තව කොයි කාලයක් ගියත් ඔයා මගෙ වයිෆ්… නූපුර මගෙ පුතා කියන එක වෙනස් වෙන්නෑ”
අන්තරා කඳුළු පිරි දෑස් කුඩා වෙන සේ දෙතොල් තද කොට සිනහවක් පෑවා ය. ඒ සිනහවේ අරුත අවඥාවක් ද කියා දක්ෂිණ ට තේරුණේ නැත. ඔහු තේරුම් ගන්නා උත්සාහයක් දැරුවේ ද නැත.
“ඔය දෙන්නගෙ ඕනම දේකදි මං ඉන්නව කියල අමතක කරන්නෙපා. නූපුර වෙනුවෙන් වෙන්න ඕන හැම දෙයක්ම මං කරනව. අම්මයි තාත්තයි විදිහට… අපිට තාමත් පුළුවන් එයා ගැන කතාකරන්න. ඔයාට තේරුණා නේද…”
හදවත පුපුරා යාමට ආසන්නයි වාගේ පීඩනයක් දැනෙන්නේ ඇයි දැයි අන්තරා ට සිතිණ. යන්තම් හිස සලමින් ම ඈ දක්ෂිණ වෙතින් ඉවතට පියවරක් තැබුවේ හැඳ උන් සුදු කපු සාරි පොටින් මුහුණ තදකරගෙනයි. ‘මං යන්නං දක්ෂිණ’ කියා හෝ ඈ කීවේ නැත. දක්ෂිණ, පිටුපා යන සිය ප්‍රථම බිරිඳ දෙස බලා සිටියේ හිස් හැඟීමකිනි. කලෙකදී ආශාවෙන් ලං කරගන්නා සියල්ල යම් දිනයෙක බලාපොරොත්තු නොවූ ලෙස අත්හැරී යා හැක. එසේ වනුයේ ලබා ගැනීමෙන් පසු එහි වටිනාකම් නො දැනී -නො පෙනී යන නිසාවෙනැයි දක්ෂිණ ගේ යටිහිත එකහෙළා පිළිගනී. නැවතත් ඒ වටිනාකම් දැනෙන්නට ගන්නේ එකී වස්තුව සදහට අහිමි වීමට යන්නේ යයි හැඟෙනා අවස්ථාවේදී ය. නමුත් ඒ මොහොත, යළි එය ජීවිතයේ රඳවාගැනීමට කල් මදි මොහොතක් විය හැක. දක්ෂිණ ට සිදු වූයේ එයයි.
රිය තුළ දී අන්තරා කඳුළක් දෙකක් හෙළුවා ය. ගැහැනුකමට වැටෙනා ඒ කඳුළු නතර කළ නොහැකි බව ඇය දනී. නමුත් කඳුළු වලට, යළි කිසි දා දක්ෂිණ හිලව් කළ නො හැකි බව ද ඇය දනී.
“ඉරණම දේවල් ඉෂ්ට සිද්ධ කරන්නෙ නිකංම නෙවෙයි. අපිට ජීවිතේට පාඩං ඉගෙනගන්න”
දෙතුන් විටක් දියණිය දෙස ට ඉක්මන් බැල්මන් හෙලූ ජිතේන්ද්‍ර පීතෘ සරින් මුණිවත බින්දේ ය.
“අපි ඒ කාලෙම කියපු දේ නාහපු නිසා සොබාදහම ඔයාට ඒ පාඩම හෙමි හෙමිහිට කල් අරං කියල දුන්න. දෙමව්පියො කවදාවත් දරුවන්ට නරක දෙයක් කරන්නෑ සුදු නෝනා. පුළුවං කමක් තියනවනං දෙමව්පියො දරුවො වෙනුවෙන් ජීවිතේ වුණත් පුදනව”
අන්තරා නාසය ඉහළට ඇද්දා ය. කෙළි වයසෙහි දී ඇයට ඒ ප්‍රේමය දිව්‍යමය තිළිණයක් සේ දැනිණ. දක්ෂිණ තරමට ඈ වටහාගන්නා කිසිවෙකු මෙලොව නැති සේ දැනිණ. නමුත් කාලය බොහෝ දේ වෙනස් කරයි. බොහෝ දේ අවබෝධ කරගන්නට සලස්වයි.
“මෙතනිං හැමදේම ඉවර වෙන්නෑ. මෙතනිං පටං ගන්න දේවල් වුණත් තියේවි. කලබල නොවී අපි හෙමිහිට බලං ඉමු… සොබාදහමට මොනවද කරන්න ඕන කියල”
“මට දැං වෙන මොනාත් ඕන නෑ අප්පච්චි. පුතා ඉන්වනෙ මට. ඔය දෙන්නවත් බලාගෙන… මේ පර්ෆියුම් එක හදන වැඩේත් කරගෙන ඉන්නව”
“හ්ම්”
ජිතේන්ද්‍ර වෙනක යමක් කියන්නට උත්සාහ කළේ නැත. අන්තරා පසුවන්නේ වෙන කිසිත් කිව හැකි මානසික තත්වයක නොවන බව ද ඔහු දැන සිටියේ ය.
ගෙදර පැමිණි අන්තරා නූපුර සමග උනන්දුවෙන් කතා කළේ ය. යුගාත්ම ට ද පාරින්දි ට ද කෙටි ඇමතුම් ලබා දුන්නා ය.
“දවසක් දෙකක් මං අපේ ගෙදර යන එකක් නෑ. අම්මලගෙ ගෙදරට වෙලා ඉන්නව”
මඳහසක් පාමින් එසේ කීව ද ඇය පසුවනුයේ හදපුරා රිදුම් විඳිමින් බව යුගාත්ම ට දැනිණ.
“ඒත් ඔහොම ඉන්නකොට ඔයා වැඩියෙන් කල්පනා කරයි”
“මන්දා. මගෙ ඇඟට පණ නෑ වගේ යුගාත්ම. අඩු ගානෙ නැගිටල ඉන්නවත් බෑ වගේ. මේ ගතිය අඩු වෙනකල් මෙහෙම ඉන්නව”
යුගාත්ම ඈ වෙනස් කරන්නට උත්සාහ නොකළේ ය. ඇතැම් වේදනා කලාප මගහැර යා නො හැකි ය. ඒවාට මුහුණ දෙමින් ඒවා හරහා ගමන් කළ යුතු ය. ඒ වේදනාව විඳිමින් මිස ජීවිතයේ ඊළඟ අදියර වෙත යා නො හැකි ය. අන්තරා සිය දික්කසාදය කඳුලින් සැමරිය යුතු ය. තනිව සැමරිය යුතු ය. ඒ දුකෙන් පදම් වී ශක්තිමත් ගැහැනියක ලෙස ඉදිරියට ගමන් කළ යුතු ය.
තරුපති හා පළිඟු මැණිකේ කොළඹ පැමිණියේ ඊට පසු දිනයි. ඊටත් පසු දා උදයේ තරුපති පළිඟු මැණිකේ ට හොරෙන් ජිතේන්ද්‍ර ට කතා කළේ ය.
“අද මං ඔය පැත්තට එන්න ඉන්නෙ. අපේ කෙල්ල ඉඳීනෙ…”
“ඉන්නව ඉන්නව. මේ දවස් ටිකේ ගෙදරමයි. තීන්දුව ලැබුණට පස්සෙ හෝන්දු මාන්දු වෙලා වගේ ඔහේ ඉන්නව. දවසක් දෙකක් යනකොට ඕව ඇරිල යයි”
තරුපති ට කොළඹ දී කරගන්නට රාජකාරී කටයුතු කිහිපයක් තිබිණ. යුගාත්ම පියා වෙනවෙන් කාලය වැය කළේ ය. ඒ අතරේ අන්තරා ගේ මුහුණට සිනහවක් ගෙනෙත හැකි මීම් එකක් හෝ ඉමෝජියක් හෝ සොයා යැව්වේ ය.
“දැං… එදා අම්ම කියපු කාරණේ ගැන මොකද කියන්නෙ…”
තරුපති හරි බරි ගැහී රියෙහි හිඳ පුතණුවන් විමසූයේ රාජකාරී වැඩ කරගත්තාට පසුයි.
“මොන කාරණේද අප්පච්චි…”
“අම්ම හිතන විදිහටනං උඹට මොකක්හරි හුටපටයක් තියනව”
“මොකක්…”
“අම්මගෙ ගෑනු ඉවට අහු නොවී උඹට තියා මටවත් හොර වැඩ කරන්න බෑ පුතෝ…”
තරුපති සැහැල්ලුවෙන් සිනහ වූයේ ය. මිතුරෙකු සේ පුතුට ළංව ඔහු ගේ පිරිමි හදවතට අත තබන්නට ගෙදරින් පිටත් වෙත්දී ම ඔහු සිතාගෙන සිටියේ ය.
යුගාත්ම ගේ අඩ සිනහව තුළ කියන කතා වාගේ ම නො කියන කතා ද නොවුණා යි කිව නො හැක. නමුත් ඔහු වදනින් සිය සීමා රැකගෙන සිටියේ ය.
“පිස්සුනෙ අම්මට. එහෙම මුකුත් නෑ. එයා ඔය වෙන මරිසියක් දාල ඕපදූපයක් හොයාගන්න බලනව ඇත්තෙ. අප්පච්චි තාමත් අහුවෙනවනෙ එයාට”
“ඒ කියන්නෙ හොයාගන්න එහෙම ඕපදූපයක් තියනවද…”
“අයියෝ අප්පච්චි ඔයත්… අම්ම එක්කම ඉඳල චීත්ත කෑල්ලක් වෙලානෙ”
තරුපති හඬනගා සිනහ වූයේ ය. ඔහු ගේ හදවතට අමුතු සැහැල්ලුවක් දැනිණ.
“දැං අපි යන්නෝනෙ පුතා… ජිතේ අංකල්ගෙ ගෙදරට”
“පාර කියන්න”
“ඒ කියන්නෙ කෙල්ලෙක් උඹේ හිතේ හතර මායිමකවත් නෑනෙ නේ…”
“නෑ අප්ප… මොනා වෙලාද අද අප්පච්චිට…”
“මතකද ඔය ජිතේ අංකල්ගෙ දුව… ධාරා… අර… මුලින්ම මං මගෙ ලේලි කරගන්න හිතං හිටිය කෙල්ල”
“අර ඔයාගෙ ගෝලයෙක් එක්ක පැනල ගියා කියපු එකීනෙ…”
“ඒ ළමයත් දැං ගෙදර ඇවිත්ලු. නිකං ඉන්නෙකේ… ඔයත් මාත් එක්ක එහෙට ගොඩ වෙලා යං. මං මේ කියන්නෙ කරන්න ඕනකමට නෙවෙයි… නිකමට ගොඩවෙලා බලමුකො… බැරි වෙලාවත් ඔයාගෙ හිත ගියොත්…”
“අනේ මේ අප්පච්චි. මෙන්න වැන්ද මටනං ඕන නෑ”
එක මොහොතකට ස්ටියරින් වීලය අත්හැරි යුගාත්ම පියාට අංජලීකරණීය ව වැන්දේ ය.
“නෑ නෑ නිකමට…”
“නිකමටවත් ඕන නෑ. එක සැරයක් පැනල ගිය එකී නේද…ලැජ්ජ නැද්ද අප්ප එහෙම එකියක් ගැන දෙවෙනි සැරේකටත් හිතන්න…”
නො කියා ම ඔහු ව ඒ ගෙදරට කැටිව නො ගිය මෝඩකම යයි තරුපති ට සිතිණ. ඔහු ඒ බවක් කීවේ යුගාත්ම ගේ එකඟතාවය මත ම ඔහු එහි ගෙන යන්නටයි. නමුත් හිතුවක්කාරයා ප්‍රබල ලෙස සිය අදහසට විරෝධය පායි.
“ඕන්න අප්පච්චිව අදාල තැන බැස්සුව. ආයෙ පික් කරන්න ඕන වෙලාවට කෝල් එකක් දෙන්න. එහෙනං මං ගියා”
ජිතේන්ද්‍ර බලාපොරොත්තු සහගත ලෙස පෙරමගට පැමිණියේ ය. නමුත් තරුපති ව බස්වා රිය නික්ම යමින් තිබිණ.
“හරිගියෙ නෑනෙ වැඩේ. වැඩ ගොඩක් තියනව කියල අද එන්න විදිහක් නෑ කිව්ව. අපි බලාපොරොත්තු අත්ඇරගන්න ඕන නෑ ජිතේ. මේ සැරේ අපි සතියක් හමාරක් මෙහෙ ඉන්නවනෙ. මං කොහොමහරි අපේ ඉලන්දාරියව එක්කං එන්නංකො”
මිතුරන් දෙදෙන ගෙතුළට ගියේ සිනහ වෙවී ය. කිශෝරි ගේ ඉල්ලීම මත අන්තරා විත් සිය නර්තනාචාර්යවරයා ගේ පාද නමස්කාර කළා ය. කෙළින් ඔහු ගේ මූණ බලන්නට බැරිකමට ඇගේ ඇස් පියන් බිමට බර වී තිබිණ. ඒ කාලේ සිටි පුංචි කෙල්ලත් දැන් සිටිනා තරුණ ගැහැනියත් අතරේ පෙනුමෙහි ලොකු වෙනසක් නැති බවක් තරුපති ට දැනිණ. ඕනේ නම් මඳක් සිරුරේ පිරුණු බව වැඩි වීම පමණකි. ඇය හැම අතින් ම යුගාත්ම ට ගැලපෙතැයි පසන් හැඟීමක් ඔහු තුළ ලියලන්නට විය. කෙසේ හෝ ඉක්මනින් ම ඔවුන් දෙදෙන මුණගස්වන්නට ඒ මොහොතේ හෙතෙම තදින් සිතාගත්තේ ය.